පොලු මුගුරු ගෙන නීතිය හා සාමය ඇමති එනතුරු බලා සිටියේ කවුද?

  👤  4702 readers have read this article !
2018-07-29

මාධ්‍ය මිතුරන්ට ජනපති මොරගහකන්දේදී කියා දුන් පාඩම

මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතියේ කළු ගඟ රන්දියවර මංගල්‍ය ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා පැවැත්විණි. කථානායක කරු ජයසූරිය ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක්ද පළාත් ආණ්ඩුකාරවරුන් සහ මධ්‍යම මහ ඇමැති සරත් ඒකනායක මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ. පෙරවරු 8ට පමණ ජනාධිපතිවරයා මේ ස්ථානයට පැමිණියේය. ඒ වන විටත් මහින්ද අමරවීර, දයා ගමගේ, ලසන්ත අලගියවන්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ සරත් ඒකනායක මැති ඇමැතිවරුද පැමිණ සිටියහ.

ජනපති මැති ඇමැතිවරුන්ද සමඟ එහි සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහයට එක්විය. ජනපති දියණිය චතුරිකාද එහි පැමිණ සිටියාය. තේ පැන් සංග්‍රහය අතරතුර ජනපති මෛත්‍රි මොරගහකන්ද ව්‍යාපෘතියේ අතීත මතක සටහන් මතක් කිරීමද කාගෙත් සිත් ගත්හ.

මම ජනාධිපති වෙලා ඇමැති විෂයන් භාර ගන්න කතා කළාම ආරක්ෂක ඇමැතිකම ඇරුණම මම ඉල්ලුවේ පරිසර විෂය. මම ඒක ඕනමයි කිව්වා. ජනාධිපතිවරයා කීවේය.
ආගිය තොරතුරු කතා කිරීමෙන් පසු පෙරවරු 9.03ට යෙදුණු සුබ මොහොතින් මෙම ව්‍යාපෘතිය ඉදිරිපිට කළුගලෙන් නෙළන ලද අවුකන බුද්ධ ප්‍රතිමාවට සමාන වූ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා නිරාවරණය කිරීමට එක්විය. අනතුරුව මෙම ජලාශය කුලසිංහ ජලාශය නමින් නම් කිරීම සිදුවිය.
මේ අවස්ථාවට පැමිණ සිටි බස්නාහිර මහඇමති ඉසුර දෙස ජනපති මෛත්‍රි බැලුවේය.

"ආ... ඔයත් ආවද? එහෙනම් ළඟට වෙලා ඉන්න, හෙට ටීවී එකේ ලොකුවට වැටෙයි" ජනපති කීවේ කවුරුත් සිනහ ගන්වමිනි.
ඔය අතරවාරයේ ජනාධිපතිවරයාගේ දියණිය චතුරිකා මහ ඇමැති සරත් ළඟට පැමිණියාය.

අන්කල් දන්නවද මේ ජලාශය හදන්න පටන් ගන්නකොට ගියපු පළමුවැනි සංචාරේ අන්කලුත් ඉන්නවා චතුරිකා කීවාය.
"ඔව්... ඔව් මම ළඟත් ඒ වීඩියෝ එක තියෙනවා" යැයි මහ ඇමැති සරත් චතුරිකාට කීවේය.

පරිසර හා මහවැලි සංවර්ධන ඇමැතිවරයා ලෙස මෛත්‍රිපාල මීට වසර 24කට පමණ පෙර මෙහි මූලික නිරීක්ෂණ චාරිකාවට එක්වන විට සරත් ඒකනායක පරිසර නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායකගේ පෞද්ගලික ලේකම්වරයායි.

උත්සව සභාවට ගිය ජනපති මෛත්‍රි පිළිගනු ලැබුවේ එජාපෙ සහ ශ්‍රී ලනිප ලග්ගල ආසන සංවිධායකවරුන් දෙදෙනාය. ඒ රෝහිණී කවිරත්න සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රිවරුන් විසිනි.

උත්සවයේ කතා සීමා කර තිබූ අතර පිළිගැනීමේ කතාව වීරකුමාර දිසානායක රාජ්‍ය ඇමැතිවරයා විසින් සිදු කළේය.

"නිමල් ඇමැතිතුමාටයි, ජයවික්‍රම පෙරේරා ඇමැතිතුමාටත් කතා කරන්න දෙන්න" ජනපති මෛත්‍රි සංවිධායකයන්ට කීවේය. ඊට හේතුව වී තිබුණේ ඔවුන් දෙපළද මෙම ව්‍යාපෘතිය සිදුවන කාලය අතරතුර වාරිමාර්ග විෂය භාරව කටයුතු කළ ඇමැතිවරුන් දෙදෙනකු වීමය.
අනතුරුව පැවැති උත්සව සභාව ඇමැතූ ජනපති මෛත්‍රි මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉතිහාසය ගැන මෙන්ම මාධ්‍ය ගැනද කතා කළේය.

"මේ ව්‍යාපෘතියට උප්පැන්න දෙන්න හුඟාක් අය ඉදිරිපත් වෙලා ඉන්නවා.

1994 වසරේ මෙරට කීර්තිමත් ඉන්ජිනේරුවරයෙක් වන ආචාර්ය කුලසිංහ මැතිතුමා ඉන්ජිනේරු කණ්ඩායමක් සමඟ මේ මහ කැලේට මම ඇතුළු වන වෙලාවේ කුලසිංහ මැතිතුමා සිතියම අරගෙන මෙතැනින් වේල්ල හැදෙන්නේ, මෙතැනින් ඇළ හැදෙන්නේ කියල පෙන්වා දුන්නා. එහෙම පෙන්නුවේ මේ මහා වනාන්තරයේ ගල් අස්සේ රිංග රිංගා යන ගමන්. එදා එහෙම කතා කරන අවස්ථාවේ ඔය උප්පැන්න දෙන්න හදන කවුරුවත් මේක දැකලත් නෑ."

පෞද්ගලික මාධ්‍යවල හැසිරීම ගැනද ජනාධිපතිවරයා මෙහිදී කතා කළේය.

"ආණ්ඩුවක් විදියට අපි කරන දේවල් ඇතැම් පෞද්ගලික මාධ්‍ය අවශ්‍ය දේ නොවෙයි දාන්නේ. අපේ කටින් පිට වෙන අනවශ්‍ය දේවල් දාන්නේ. මම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළේ. රටේ නිදහස ශක්තිමත් කළේ, මේ රටේ මාධ්‍ය නිදහස දුන්නේ. නිවැරැදි දේ සමාජයට, ලෝකයට දෙන්න. දේශපාලන ආරවුල් ගැටුම් අනවශ්‍ය අශීලාචාර කතන්දරවලට ප්‍රමුඛත්වය දෙන්න නොවෙයි. මම ඒ මාධ්‍ය මිතුරන්ට කියනවා. ලබාදුන්නු නිදහස අරගෙන අපව විනාශ කරලා, අපව දුර්වල කරලා, දීල තියෙන මාධ්‍ය නිදහස නැති කරගෙන නැවත දවසක කඳුළු සලන්න එපා කියලා". යැයි ජනපති මෛත්‍රි කීවේය.

උත්සව සභාව අවසන් කළ ජනපති මෛත්‍රි එම ස්ථානයේ පිහිටි සංචාරක නිවාසයේ සූදානම් කර තිබූ දිවා ආහාරයටද සහභාගි වී තවත් උත්සව කිහිපයකට සහභාගි වීම සඳහා අම්පාර බලා පිටත්ව ගියේය.

කැබිනට්ටුව සිනා සාගරයක් කළ ෆයිසර්ගේ වගන්තිය

සතියේ කැබිනට් හමුව ජනපති මෛත්‍රිගේ සහ අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී ආණ්ඩුවේ විශේෂ කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු විය. නියඟයෙන් විපතට පත් දිස්ත්‍රික්ක 13ක ජනතාවට ගෙන තිබූ ලක්‍ෂයකට අඩු ණය රජයෙන් පියවීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඇමැති මංගල ඉදිරිපත් කළේය. ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි විය.

"මේ ණය වැඩිපුර අරගෙන තියෙන්නේ කාන්තාවෝ. ඒ අයගේ ගැටලුවලටත් මුල් තැනක් දීලා කටයුතු කරන්න" ජනාධිපති මෛත්‍රි කීවේය.
අනතුරුව එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ගැන ද කැබිනට් හමුවේ අවධානය යොමුවිය. ඇතැම් මැති ඇමැතිවරුන් කීවේ බැංකු නිලධාරීන් මෙම වැඩපිළිවෙළ අවුල් කිරීමේ උත්සාහයක නිරත වන බවය.

මේක පොහොට්ටුවේ කොන්ත්‍රාතුවක්. ඇමැති සජිත් සහ රාජිත කීවේ කාගේත් අවධානය ඒ දෙසට නතු කර ගනිමිනි.
"එහෙම ප්‍රශ්නයක් තියෙනව නම් මේ ගැන හොයලා බලන්න නිලධාරීන් එහෙම කරනවා නම් ඒ ගැන පරීක්‍ෂණයක් කරන්න." ජනපතිගේ කතාව අගමැතිද අනුමත කළේය.
අනතුරුව අවධානය යොමු වූයේ මධ්‍යම අධිවේගී මාර්ගය ගැනය. එහි මීරිගම කොටස ඉදිකිරීමේ කටයුතු නිසි ආකාරයෙන් ඉටු නොවන බවට ඇමැති චම්පික දෝස් මුරයක් නැඟුවේය.

"එහෙනම් ඔයා මේ ගැන කබීර් එක්ක කතා කරලා බලන්න.." ජනපති මෛත්‍රි චම්පික ඇමැතිවරයා දෙස බලමින් කීවේය.

ඇමැති ස්වාමිනාදන්ට උතුරට යන්න බැරි හේතුව

අනතුරුව උතුරේ නිවාස ඉදිකිරීමේ කටයුතු පිළිබඳවද කැබිනට් හමුවේ අවධානය යොමු විය.

"උතුරට නිවාස 50,000ක් දීල තියෙනවා. වතුකරයටත් එවැනි නිවාස ව්‍යාපෘතියක් දෙන්න, උතුරේ නිවාස හදන එක පරක්කු වෙන්නේ උතුරේ තාක්‍ෂණික ඇගයුම් කමිටු ප්‍රධානියා නිසා. ඒ නිසා නිවාස අමාත්‍යංශයේ නිලධාරියෙක් තාක්‍ෂණික ඇගයුම් කමිටුවට දාන්න. මනෝ ගනේෂන් ඇමැතිවරයා කීවේය.
"උතුරේ තක්‍ෂණ කමිටු ප්‍රධානියා තියාගත්තා කියන්නේ ටී.එන්.ඒ. එකෙන්." අගමැති කීවේය

"මේක තාක්‍ෂණික කමිටුවක්. තාක්‍ෂණ කමිටු ප්‍රධානියා තියා ගන්න ඕනෙ නම් ඔහුව තාක්‍ෂණික නිලධාරියෙක් විතරක් කරන්න නැත්නම් වැඩකටයුතු ප්‍රමාද වෙනවා" මනෝ යළිත් කීවේය.

"උතුරේ නිවාස පිළිබඳ අර්බුදයක් තියෙනවා. මට ඒ පැත්තට යන්නවත් බෑ. මිනිස්සු අහනවා කෝ හදන ගෙවල් කියල. මෙතැන ප්‍රශ්නය වෙලා තියෙන්නේ චීනය කියනවා මිලියන 1.3ක් යනවා එක ගෙයක් හදන්න කියලා. ඉන්දියාව කියනවා මිලියන 2.2ක්යනවා කියලා. මේ ඔක්කොම සමාගම් කරන්නේ. චීනය හදනවට ඉන්දියාව විරුද්ධයි. ඒ නිසා තමයි මේ ප්‍රශ්නය ඇදෙන්නේ." ස්වාමිනාදන් කීවේය.

"මේක කතා කර කර ඉඳලා වැඩක් නෑ. කතාකර කර හිටියොත් කිසිම දෙයක් වෙන්නෙ නෑ. හොඳම වැඩේ තමයි දෙගොල්ලටම හරි දීල වැඩේ කරන එක. එතකොට කවුරුත් තරහ වෙන්නේ නැහැ." රාජිත ඇමැතිවරයා තරමක් ආවේගයෙන් කීවේය.

"විජයකලා එදා කිව්වෙත් එයාගෙ හිතේ තිබුණු පීඩනය වෙන්න ඇති. ජනතාව අතර රජය වැඩක් කරයි කියලා තියෙන විශ්වාසය නැතිවෙලා තියෙනවා. ඒක නිසා තමයි ජනතාව අපට ප්‍රෙෂර් එකක් දෙන්නේ" මනෝ විජයකලාවද බේරා ගැනීමේ අදහසින් කීවේය.

"පසුගිය ආණ්ඩුවෙන් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් කළා. නිවාස 40,000ක ව්‍යාපෘතියක් කළා. මාර්ග හැදුවා. සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් කළා. අපිට වෙලා තියෙන්නේ කතා කරනවා විතරයි. කෙරෙන්නේ නැහැ." ඇමැති චම්පික කීවේය.

"නිවාස හදල නෑ කියන්න බෑ. අපි හැම තැනම නිවාස හදල තියෙනවා." සජිත් කීවේය.
"මම ඉන්දියාව සහ චීනය සමඟ මේ ගැන කතා කරන්නම්" අගමැති කීවේ සජිත් දෙස බලමිනි.

"මෙම වැඩපිළිවෙළ දවසින් දවස පහු වෙනවා" ස්වාමිනාදන් කීවේය.
"මේක රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක්. ඒ මට්ටමින් විස¼දාගත යුතුයි." මංගල ඇමැතිවරයා කතා බහට එක්විය.
"ඉන්දියාව තරහ කරගෙනත් බෑ" අමුණුගම ඇමැතිවරයා කීවේය.

"සතියක් ඇතුළත මෙම ගැටලුව විස¼දගන්න බැරි වුණොත් ජනාධිපතිතුමා ටී.එන්.ඒ. එකයි, අගමැතිතුමයි, ඉන්දියානු මහ කොමසාරිස්තුමයි, ගෙන්නල සාකච්ඡා කරන්න. නැත්නම් මේකෙ විසඳුමක් නෑ"යැයි ඇමැති රාජිත කීවේය.

"දැන් මේ සජිත් ඇමැතිතුමා ඔය වැඩේ හොඳට කරනවනේ. ඒකත් එතුමට භාර දුන්නා නම් හරි" ඇමැති මංගල සහ අමුණුගම කීවේ සජිත් දෙස බලමිනි.
අනතුරුව කැබිනට් හමුවේ සිදුවූයේ අපූරු දෙයකි. පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා මෙවරද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. අත්හිටුවූ දෙයක් යළිත් වරක් වෙනත් ආකාරයකින් පැමිණි බවට කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයාට හැඟී ගියේය. තරමක් විමතියට පත්වූ ජනපති මෛත්‍රි ඒ ගැන කිසිම සඳහනක් නොකර එය කල් දැමුවේය.

"හුඟාක් අමාත්‍යාංශවල මුදල් ප්‍රතිපාදනවලින් හරියට වැඩක් කරන්නේ නෑ. ඒවා ආපසු මහා භාණ්ඩාගාරයට යනවා." ජනාධිපතිවරයා කීවේය.

අනතුරුව කැබිනට් හමුවේ අවධානය යොමු කෙරුණේ ඉන්ධන මිල සූත්‍රය ගැනය. ඇමැති චම්පික එම සූත්‍රය ගැන තරමක් කේන්තියෙන් කතා කළේය.

"මේක හැදුවේ පී.බී. ජයසුන්දර ලේකම් ඉන්න කාලේ. දැන් අලුත් විදියකට මේ මිල සූත්‍රය හදන්න ඕනේ." ඇමැති චම්පික කීවේය.

අනතුරුව ඇමැති ෆයිසර් සහ අර්ජුන කැබිනට් හමුවේදී තරමක් ආවේගශීලීව කතා කළේය. තත්ත්වය සමනය කිරීමට ජනාධිපතිවරයාටද මැදිහත්වීමට සිදුවිය. ක්‍රීඩා නීතියේ වගන්තියක් යටතේ නිකුත් කළ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ගැනීමට අදාළව මෙම පත්‍රිකාව ඉදිරිපත් වී තිබිණි.
මේ අවස්ථාවේ ඇමැති අර්ජුන ඊට අදහස් දැක්වීමට සූදානම් වෙද්දී ෆයිසර් ඊට බාධා කළේය.

"මම නීතිය හොඳින් දන්නවා. මමත් ජනාධිපති නීතිඥ කෙනෙක්." ෆයිසර් කීවේය. අර්ජුන ඇමැතිවයා කීවේ "මේ දාල තියෙන වගන්තිය වැරදියි. ක්‍රීඩා පනතේ 44 වගන්තියක් නෑ. ක්‍රීඩා පනත 43 වගන්තියෙන් අවසන් වෙනවා." කියාය. සෙසු ඇමැතිවරුන් මහ හයියෙන් අර්ජුන ඇමැතිවරයා කී කතාවට ෆයිසර් දෙස බලමින් සිනාසුණේය. පසුව ජනපති මෛත්‍රි කීවේ "ක්‍රීඩා ඇමැතිතුමාගේ දේවල් එතුමටම කරන්න දෙන්න" කියාය.

විජයකලා කලඑළි බහී

අගමැති රනිල් පසුගිය සතියේ උතුරේ සංචාරයක නිරත විය. 'සුවසැරිය' ගිලන් රථ ප්‍රදානයක්ද එහිදී සිදුවිය. ඉන්දියානු රජයේ ආධාර මත එම ගිලන්රථ ප්‍රදානය සිදුවීමද විශේෂත්වයකි. මෙම උත්සවයේදී ඉන්දීය අගමැති මෝඩි දිල්ලියේ සිට සයිබර් තාක්ෂණය ඔස්සේ සභාව ඇමතීය. ඉන්දීය අගමැතිවරයා සිංහල භාෂාවෙන්ද සභාව ඇමතීම විශේෂත්වයක් වන අතර උත්සවයේ සිටි පිරිස දැඩි උනන්දුවෙන් යුතුව ඒ දෙස බලා සිටියේය. අගමැති රනිල් ඊට දින කිහිපයකට පෙර ඉන්දීය අගමැතිවරයාට දුරකථනයෙන් කතා කළේය.

"ඔබතුමා - අපට ගිලන් රථ දෙන උත්සවයේදී සයිබර් තාක්ෂණය හරහා අපේ ජනතාවට කතා කරන්න පුළුවන්නම් හොඳයි" අගමැති රනිල් කීවේය.

"බොහොම ස්තුතියි.... ඔබතුමාගේ ඉල්ලීමට මම ඒකට අවශ්‍ය කටයුතු යොදන්නම්" ඉන්දීය අගමැතිවරයා අගමැති රනිල්ට පොරොන්දු වී තිබිණි.
ඒ අනුව ඉන්දීය අගමැතිවරයා දිල්ලියේ සිට යාපනයේ පැවැති උත්සවය ආමන්ත්‍රණය කළේය.

මෙම උත්සවයේදී තවත් විශේෂයක් සිදුවිය. ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අනුබල දෙන ප්‍රකාශයක් කර රාජ්‍ය ඇමැතිකමින් අස්වූ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරියද මෙම උත්සවයට සහභාගි වීමයි. ඇමැතිකම අත්හැරීමෙන් පසු අගමැතිවරයා සහභාගි වූ උත්සවයකට මන්ත්‍රිවරිය ගිය පළමු අවස්ථාව මෙය වීමද විශේෂයකි.

අකිලගේ ප්‍රශ්නයේදී මම තැපැල් පියුන් කෙනෙක් විතරයි. අගමැති කියයි.

බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා කෙළින්ම පාර්ලිමේන්තු ගියේ විශේෂ රාජකාරි කිහිපයක් සඳහාය. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇතුළු පිරිසක් අගමැතිවරයා පිළිගත්හ. අනතුරුව මැති ඇමැතිවරුන් ආගිය තොරතුරු කතාබහ කළහ.

"බැඳුම්කරේ චෝදනා අවාම අගමැතිතුමා හා එජාපයේ සියලු දෙනාම පාර්ලිමේන්තු විවාදවලට විපක්ෂය අහපු ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ විතරද බැඳුම්කර කොමිසමට ගිහින් උත්තර දෙන්නත් කොන්දක් තිබුණා. ඒත් මේ අය සිංගප්පූරුවට පැනලා ගියා." විජයදාස රාජපක්ෂ කීවේද සිනා මැදය.

"ඒකාබද්දෙ අයම දැන් කියන්නෙ මෙයාලා පගා විවාදය මඟ ඇරපු නිසා අපි දැන් බැඳුම්කරේ ගැන දිගටම එජාපයට විරුද්ධව කතා කරන්නෙ කොහොමද කියලලු." දයා ගමගේ කීය.

"කිරිඇල්ල ඇමැතිතුමා වතු කම්කරුවන්ට අනෙක් පර්චස් 07ක් දීම දින 100දී පටන් ගත්ත වැඩපිළිවෙළ අනිත් දිස්ත්‍රික්කවලටත් ව්‍යාප්ත කරන්න. ඒක ලොකු පිනක්" චමින්ද විජේසිරි කී විට අගමැතිවරයාද එකඟත්වය පළ කළේය.

"මගෙන් වැවිලි එක ගැලවුණාම මේක නැවතුණා. ඒත් දැන් මට ලැබුණු වතු හරහා මම නුවර දිසාවේ කැබලි 1500ක් බෙදුවා. 10,000ක් බෙදීම ඉලක්කයයි. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැඩපිළිවෙළ පටන් ගත්තේ. වතු කම්කරුවන්ට මෙවැනි අයිතියක් දුන්නු එකම රජය අපියි. ඉඩම් ලැබුණු දවසේ රෑ ඒ මිනිස්සු සතුටට හොඳටම බීල සමහර තැන්වල රණ්ඩුත් කරගෙනලු." ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැති ඇතුළු සියලු දෙනා සිනාසුනහ.

"ගාල්ලෙ අපේ ක්‍රිකට්වලට ඉතා වාසි ක්‍රිකට් පිටියේ ප්‍රශ්නය ඉවරද.අපි ඒක සමබරව විස¼දාගත යුතුයි. ඒක දැන් සමහරු පටු දේශපාලනයටත් යොදා ගන්නවා" නවීන් දිසානායක කීය.

"ලංකාවට ලෝක උරුම 08ක් තියෙනවා. ගාලු කොටුව ඉන් වැදගත්ම තැනක්. දකුණේ සුන්දර මුහුදු තීරය හා කොටු පවුර ලෝක උරුමය බලන්ට ලක්ෂ ගණනක් සංචාරකයෝ එනවා. එදා බලය පාවිච්චි කරල යුනෙස්කෝවටත් පාට් දාලා හැදූ බිල්ඩින් 02 හා අනිත් කුඩා අනවසර ඉදිකිරීම් ඉවත් කළාම ප්‍රශ්නය ඉවරයි." විජයදාස රාජපක්ෂ පැහැදිලි කළේය.

"ගාල්ලට ක්‍රිකට් ඇතුළු වෙනම ක්‍රීඩා සංකීර්ණයක් හදන්න ඒ කාලෙම යෝජනා කළා. ඒ පිටියේ 40,000කට ක්‍රිකට් බලන පහසුකම් දෙන්න යෝජනා වී තිබෙනවා. සමහරු කියන්නේ එච්චර ලොකු වැඩියි වියදමත් වැඩියි කියලයි. 25,000ක් ඇතියි සමහරු කියනවා. මම කියන්නෙ 35,000කට ආසන්න මට්ටමේ එකක් අනාගතය ගැන හිතල ඉදිකළ යුතු බවයි. ගාල්ලෙ මැච් වලට උදේ ගිහින් හවස කොළඹ එන්නත් ප්‍රෙක්ෂකයන්ට දැන් පුළුවන්නේ. එතකොට ගාල්ලට ස්ටේඩියම් 02යි. මංගලල සාගලල බලනවා මාතර පිට්ටනියක් ටෙස්ට් මට්ටමට ගේන්න." අගමැතිවරයා පැහැදිලි කළේය.

"මත්තල ඉන්දියාව බාරගත්තම සූරියවැව පිටියේ ක්‍රිකට් තරග පවත්වන සැලසුමක් ගැන ඉන්දියාව හිතන බව ආරංචියි. සමහරවිට අයි.පී.එල්. තරග කිහිපයක් ගහන්න බැරි නෑ. ගාල්ල රටේ ප්‍රධාන ගුවන් තොටුපළවල් දෙකක් අතරේ තියෙන නිසාත් නවාතැන් පහසුකම් ඇති නිසාත් ගාල්ල රැකගන්න ඕනෑ. දඹුල්ල දුරයි. නවාතැන් පහසුකම් අඩුයි." නවීන් දිසානායක විග්‍රහ කළේය.

"සූරියවැව රාත්‍රි ක්‍රිකට් ගහන වැඩ පිළිවෙළක් හැදුණොත් ඒපැත්තෙන් අලුත් හෝටල් හැදේවි. ගාල්ල පැවිලියන් එක ගැන දැන් කෑගහන්නෙ ජනමාධ්‍යයි, ඒකාබද්දෙයි විතරයි" අගමැති කීවේ සිනාමැදය.

"කළු ගඟ විවෘත කරන එකට අගමැතිතුමාට යන්න බැරි වුණේ ඇයි." දයා ගමගේ මෙන්ම විජයදාස රාජපක්ෂද විමසීය.

"මොරගහකන්ද එකට මම ගියා. විදේශ අයගෙ වැදගත් හමුවීම් තිබූ නිසා මෙවර යන්න බැරි වුණා. ලෝකල් ඒවා නම් කැන්සල් කරන්න හරි තිබුණා." අගමැති කීය.
"බැසිල් මාස ගාණකට රට ගියා. එයා ජනපති අපේක්ෂකත්වය සඳහා නම් නොකරනතාක් ආපහු එන්නෙ නෑ කියලා ගියා කියලත් ආරංචියි." චමින්ද විජේසිරි බැසිල් ගැන අලුත් ආරංචියක් හෙළි කළේය.

"අධ්‍යාපන සේවයේ උසස්වීම් ජනාධිපතිතුමා නැවැත්තුවා නේද? ඒක අවුල් කරගත්ත එක අපරාධයක්" දයා ගමගේ කීය.

"ඒ පත්වීම් කරපු කමිටුවේ ප්‍රධානියා අකිලගේ ළඟම ඥාතියෙක්ලු. එහෙම වුණාම වැඩේ හොඳට කළත් අනිත් අයට සැක ඇතිවෙනවා. පළමු රවුම අකිල දිනුවා. වෘත්තීය සමිති ජනාධිපති හමුවෙලා ඊළඟ රවුම එයාලා දිනුවා. ඔය ජෝෂප් ස්ටාලින්ලා අපට හුඟක් හිතවත් අය. ඔවුන් අදත් මාත් එක්ක සමීපයි. අකිලලා වෘත්තීය සමිතිවල මතයටත් කන්දෙන්න ඕන. අකිල අපේ අයට සාධාරණය කරන්න හැදුවා. ඒත් ඒ හරහා අනිත් අයට අසාධාරණයක් වෙන්න බෑ. ජනාධිපතිතුමයි මායි කතා කරල අපි නම් කරන අධ්‍යාපන කමිටුවකින් ඊළඟ පියවරට යමු කියල එකඟත්වයට ආවා. මම මෙතනදී තැපැල් පියුන් විතරයි." අගමැති කීය. "කොයි අගමැති හරි මේ වගේ ප්‍රහාර 2-3ක් වැදුනම ඒ අත්දැකීම් මත ඉස්සරහට ප්‍රශ්න ඇති නොවෙන්න වැඩ කරන්න පුරුදු වේවි. මේක අනෙක් ඇමැතිලටත් පාඩමක්." අගමැතිවරයා වැඩි දුරටත් කීය.
"පළාත් සභා තියනවාද" චමින්ද විජේසිරි ඇසීය.

"පළාත් සභා මොන ක්‍රමයට හරි තියන්න වෙනවා. පළාත් පාලන කල් දාලා ලැබුණු වාසියක් තිබුණද" අගමැතිගේ පිළිතුර විය.

"කළු ගඟ විවෘත කරපු දවසේ ජනාධිපතිතුමා මේ රටේ පක්ෂපාතී ජනමාධ්‍ය ගැන කරපු විග්‍රහය වටිනවා. අද අපි දී ඇති නිදහස අවභාවිත කරල පස්සේ අඬන්න එපා කියල එතුමා පක්ෂග්‍රාහී හා විපක්ෂය බලයට ගේන්න පටු විදිහට හිතලවැඩ කරන ජනමාධ්‍යවලට ඇඬෙන්නම දුන්නා." විජයදාස රාජපක්ෂ කී විට අගමැති ඇතුළු සියලු දෙනා එය අනුමත කළහ.

රදගුරු ස්වර්ණ ජයන්තියේදී නිවේදකයාට වුණු අකරතැබ්බ

ඔස්වල්ඩ් ගෝමිස් විශ්‍රාමික කොළඹ අගරදගුරුතුමාගේ රදගුරු පදවියේ ස්වර්ණ ජයන්ති සැමරුම පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ජනපති මෛත්‍රි, අගමැති රනිල්, කථානායක කරු, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද සහ චන්ද්‍රිකා, ඇමැති ජෝන්, මන්ත්‍රි රවි ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. උත්සවය පටන් ගැනීමට මිනිත්තු 15කට පමණ පෙර මහින්ද එහි පැමිණි අතර ඒ වන විටත් අගමැති රනිල් හා කථානායක කරු උත්සවයට පැමිණ සිටියහ. මඳ වේලාවක් මහින්ද කථානායක කරු සමඟ ආගිය තොරතුරු කතාබහ කරමින් සිටියහ. ඒ මොහොතේ මන්ත්‍රි රවි එහි පැමිණියේය.

"ආ.....කොහොමද නායකතුමා" මහින්ද රවිට කීවේ සිනාසෙමිනි.

රවිද මහින්ද දෙස බලමින් සිනාසී වටපිට බැලුවේ අගමැතිවරයා රවිට මඳක් පසෙකින් සිටි නිසාය.
උත්සවයට ජනපති ආවේ තරමක් ප්‍රමාද වීය. උත්සවය ආරම්භ වූයේ උඩරට නැටුම් අංගයකින් ඔස්වල්ඩ් ගෝමිස් රදගුරු හිමිපාණන් ඇතුළු ආරාධිතයන් උත්සව ශාලාවට කැඳවීමෙනි. උත්සවයේ සිටි සැවොම සිතුවේ ජනපති මෛත්‍රි පැමිණෙනු ඇති කියාය. එසේ පැමිණියේ අගමැතිවරයා සහ මහින්දය.
පොල්තෙල් පහන දැල්වීම සඳහා නිවේදකයා විසින් ආරාධිතයන්ට ආරාධනා කළ අතර මහින්ද සහ චන්ද්‍රිකාට ආරාධනා නොකළේය. වහාම සංවිධායක නිලධාරියකු ඒ බව නිවේදකයාට දැනුම් දුන්නේය.

අනතුරුව නිවේදකයා දෙතුන් වරක්ම චන්ද්‍රිකා හා මහින්දද උත්සවයේ සිටින බව මතක් කළේ පොල්තෙල් පහන දැල්වීම සඳහා ඔවුන්ට ආරාධනා කිරීමට අතපසු වූ කාරණය මැකී යනු පිණිසය. උත්සව සභාවේ කටයුතු ආරම්භ වී මඳ වේලාවක් ගිය පසු තවත් උත්සවයකට යෑම සඳහා මහින්ද ඉන් පිටත්ව ගිය අතර ඉන් මිනිත්තු 10කට පමණ පසු ජනපති මෛත්‍රි උත්සවයට පැමිණියේය.

ෂැන්ග්‍රිලා හෝටලයේදී මහින්ද සම්පන්දන් හමුවක්

චීන සමූහාණ්ඩුවේ 91 වැනි හමුදා සංවත්සරය වෙනුවෙන් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී උත්සවයක් පැවැත්විණි. හිටපු ජනපති මහින්ද ද ඊට එක්වූහ. විපක්‍ෂ නායක සම්පන්දන්, ඇමැති රංජිත් සහ ගෝඨා ඇතුළු පිරිසක් ඊට එක්වූහ.

මහින්ද එන විට චීන තානාපතිවරයා සිටියේ සම්පන්දන් සමඟ කතා කරමිනි. මහින්ද දුටු තානාපතිවරයා පෙරමඟට පැමිණ මහින්ද පිළිගත්තේය. එතැනදී සම්පන්දනුත් තානාපතිවරයාත් දෙදෙනාම මහින්ද හැඳින්වූයේ මේ ඉන්නේ අපේ ඊළඟ ජනාධිපතිතුමා කියාය. එය කාගේත් අවධානයට ලක්වූහ.

අනතුරුව මහින්ද සම්පන්දන් සමඟ කතාබහක නියැළුණේය. දෙදෙනා අතර වර්තමාන දේශපාලන තත්ත්වය සහ රටේ අනාගතය සම්බන්ධයෙන් කතාබහ කෙරිණි. මහින්ද සිටිනු දුටු රන්ජිත් මද්දුම බණ්ඩාර පැමිණ කතා කළේය. "මොකද ඇමැතිතුමා ඔයාලගේ ආණ්ඩුව හරියට වැඩක් කරන පාටක් නැහැනේ. එහෙන් පාතාලය වැඩිවෙලා. මහ දවාලේ මිනී මරනවා. මෙහෙන් කුඩු ජාවාරම්කාරයෝ වැහි වැහැලා. ඉස්කෝලේ ගේට්ටු ළඟත් කුඩු විකුණනවා. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙහෙම කොහොමද රටක් කරන්නේ? මහින්ද ඇසුවේය.

"අපි පුළුවන් උපරිමයෙන් කරනවා සර්" මද්දුම බණ්ඩාර පිළිතුරු දුන්නේය.
"උපරිමයෙන් කරනවා කියලා වැඩක් නැහැ ඇමැතිතුමා. බලන්න අර කතරගම කිරිවෙහෙරේ හාමුදුරුවන්ට වෙඩි තියපු එක ගැනවත් පරීක්‍ෂණයක් හරියට කරන්නේ නැහැනේ. ඒ වෙඩි තියපු කෙනා හැංගිලා ඉඳලා තියෙන්නෙත් ඇමැති කෙනෙක්ගේ ගෙදරලු නේද? මහින්ද වහෙන් ඔරෝ භාෂාවෙන් ඇසූ දෙය දැන සිටි මද්දුම බණ්ඩාර සිනාසුනා මිස ඊට පිළිතුරක් දුන්නේ නැත.

අනතුරුව පිරිස සමඟ කතාබහ කරමින් සිටින අතරතුර මහින්ද කීවේ" මේ ආණ්ඩුව මුලින්ම චීනෙට බැන්නා. පස්සේ හම්බන්තොට වරාය චීනෙට දුන්නා. ඊළඟට ඉන්දියාවට බැන්නා. දැන් මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට දෙන්න යනවා. මේ දවස්වල ආණ්ඩුව වැඩියෙන්ම බනින්නේ රුසියාවට. මම මේ බලන් ඉන්නේ රුසියාවට මොනවා දෙයිද කියලා." මහින්ද පැවසුවේ සිනාසෙමිනි.

මේ අතරවාරයේ ගෝඨාභය උත්සවයට ආවේය. පිරිසගෙන් ගෝඨාභයට ද ලැබුණේ හොඳ පිළිගැනීමකි. හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ වර්තමාන ආරක්ෂක ලේකම්වරයා මෙහිදී හමුවූහ. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙදෙනා සාකච්ඡා කරන බව රැස්ව සිටි පිරිසේ කතාබහක් ඇතිවිය.

සියල්ලෝ සතුටු සාමීචියේ යෙදී සිටින අතරතුර මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා
කොහොමද ඇමැතිතුමා තොරතුරු, අලුත් අමාත්‍යාංශයේ වැඩ කටයුතු එහෙම කොහොමද" යැයි ඇසූ විට මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ "ඔබතුමා දන්නවනේ මට මොන කාර්ය ජනාධිපතිතුමයි, අගමැතිතුමයි පැවරුවත් ඒ වැඩේ මම කරනව කියලා ."

"ආ ඒක නෙමේ ඇමැතිතුමා මම මේ ළඟදී ඔබතුමාලගේ ගමේ පොතුබන්දන පන්සලේ උත්සවයකට ගියානේ" යැයි ගෝඨාභය කියන විට මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා ප්‍රතිඋත්තර දුන්නේ "ඔබතුමා පොතුබන්දන පන්සලට යන්න දින දෙකකට කලින් මමයි අගමැතිතුමයි ගිහින් බුදුමැඳුරයි, සංඝාවාසයයි විවෘත කළා. අනික ඕව අපේ පන්සල්නේ" යැයි මුවගට සිනහවක් නඟාගනිමින් පැවැසීය.

මේ අතර පසුගිය බදාදා සවස අමුතුම අත්දැකීමක් විඳගන්නට මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාට අවකාශ උදාවිය. ඒ ප්‍රවීණ නාට්‍ය හා සිනමා අධ්‍යක්‍ෂ සිසිල් ගුණසේකරගේ නවතම සිනමා කෘතිය වන"යක්ෂා දේශය" සිනමා පටයේ මුහුරත් උළෙලට සහභාගි වීමේ අවස්ථාවට එක්වීමේදීය. මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා මෙම මුහුරත් උළෙලට සහභාගි වූයේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන පුරවර සැරිසර ව්‍යාපෘතිය මඟින් මෙම සිනමා කෘති ජාත්‍යන්තරයට ගෙන යෑමේ කාර්යයට සමගාමීවයි. මම මුහුරත් උළෙල පැවැත්වුණේ චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදීය.

වෙනදා පැවැත්වෙන මුහුරත් උළෙලවලට වඩා මේ උත්සවය හාත්පසින්ම වෙනස් විය.මේ සූදානම ගැන කිසිත් නොදත් අමාත්‍යවරයා සංස්ථා පරිශ්‍රයට ඇතුළු වන විට බිහිසුණු පෙනුමැති ගෝත්‍රිකයන් විශාල පිරිසක් අමාත්‍යවරයා එන මඟ දෙපස අවි හා පොලු මුගුරු රැගෙන සිටින අයුරු දුටු අමාත්‍යවරයා තම ආරක්ෂක නිලධාරියාට සඳහන් කළේ "අපි වැරැදි තැනකටද ඇවිල්ල ඉන්නේ" කියාය. තරමක් තැති ගත් ආරක්ෂක නිලධාරියා සඳහන් කළේ "නෑ සර් මෙතැන තමයි තැන, අපි ඩයරිය බලලා තමයි ආවේ" යැයි කීවේය. "එතකොට කොළඹ 07ට ආපු මේ ආදිවාසීන් කවුද? කියා විමසන විට එතැනට පැමිණි චිත්‍රපට අධ්‍යක්‍ෂ සිසිල් ගුණසේකර මහතා මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා අසලට පැමිණ "සර් බයවෙන්න එපා, මේ මගේ චිත්‍රපටයේ එන දර්ශනයක අවස්ථාවක් තමයි රඟ දක්වන්නේ. සර්ව පිළිගන්න මේ වගේ දෙයක් කරන එක හොඳයි කියල මට හිතුන. ඒකයි මේ පිරිස ගෙන්නුවේ" යැයි පැවැසීය.

ඇමැතිවරයාට තත්ත්වය තේරුම් ගියේ ඉන්පසුවය. කලබලයට පත්වූ ඇමැති ආරක්‍ෂක නිලධාරීන්ද සන්සුන් වූයේ සිසිල් ගුණසේකරගේ පැහැදිලි කිරීමෙන් පසුවය.

මොරගහකන්දට මහන්සි වුණ ඇමැතිවරයෙක් ගැන චන්ද්‍රසේන කිව්ව කතාව

රාජා ධර්මපාල විසින් රචනා කළ ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවය හිටපු ජනපති මහින්දගේ සහ මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ලොකුගේ, ජී.එල්., බන්දුල සහ ප්‍රසන්න ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

"දුටුගැමුණු රජතුමා ඇස් දෙකෙන් දැකපු ලේඛකයෝඒ කාලේ එතුමා ගැන නොයෙක් දේවල් ලිව්වා. මගේ රට එක්සේසත් කරපු මහින්ද මහත්තයට මමත් සලකන්නේ දුටුගැමුණු රජතුමාට වගෙයි" රාජා පැවසීය.

"මගේ නම තියෙන හැම දෙයක්ම විකුණන එක තමයි දැන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. මම මේ බැලුවේ නම වෙනස් කරලා හරි රටේ සම්පත් ටික ඉතිරි කර ගන්න පුළුවන්ද කියලයි" මහින්ද පැවැසීය. "ආණ්ඩුවට දැන් තියෙන්නේ මර බය. ඔබතුමාට විතරක් නෙමෙයි ඔබතුමාගේ නමටත් ආණ්ඩුව බයයි. ඒ හින්දයි නම නැති කරලා දාන්න හදන්නේ. මුලින් හොර නාමයක් ගාලා නම නැති කරන්න හැදුවා. ඒක අසාර්ථක වුණාම දැන් බලනවා නම තියෙන ස්ථාන විනාශ කරලා හරි නම නැති කරන්න" ප්‍රසන්න කීවේය.

"මේ රටේ මිනිසුන්ගේ හිත්වලින් මහින්ද රාජපක්ෂ කියන නාමය නැති කරන්න ආණ්ඩුව ටිකක් කල්යයි" ලොකුගේ පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවෙසේදීය. ව්‍යවස්ථාදායක සභාවට උපදෙස් දීමට පත් කළ විද්වත් කමිටුවට පිටින් ගොස් ජයම්පති වික්‍රමරත්න සුමන්තිරන් සමඟ එක්ව සාදා ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් මෙහිදී දිනේෂ් සහ ප්‍රසන්න පිරිසට කරුණු පැහැදිලි කළහ.

එසේම ආණ්ඩුවේ තුනෙන්දෙකේ බලය නැති කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි. "අපි කොහොම හරි ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය නැතිකරන්න ඕනේ". මහින්ද පෙන්වා දුන්න්ය. "ආණ්ඩුවෙන් කට්ටිය ගන්නවා නම් මං දෙනවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි කෙනෙක්.." මහින්දානන්ද පැවැසීය.

"තමන්ගේ සහෝදරයා ඉතින් ඕනේ වෙලාවක ගන්න පුළුවන්නේ. එයා වැඩ කරන්නේ කොහොමත් ඔයා කියන විදියටනේ." රෝහිත මහින්දානන්දට පැවැසීය.
අනතුරුව කතාබහට ලක්කෙරුණේ ජාතික සම්පත් විකුණමින් යන ගමන සම්බන්ධයෙනි.

"මගේ නම තිබ්බත් ඇති ආණ්ඩුවට. එක්කෝ ඒක කගලවලා දානාව. නැත්නම් විකුණනවා" මහින්ද සිනාසෙමින් පැවැසීය.

"වැඩ බැරි ආණ්ඩුව කරන එකම වැඩේ තමයි ඕක. තමන්ගේ දෙයක් හදාගන්න බැරිකම වහගන්න අපි හදපුවා විකුණමින් යනවා. එතකොට කාටත් නෑනේ. ඒක තමයි ආණ්ඩුවේ තියරිය." ප්‍රසන්න පැවැසීය.

පක්ෂ නායකයන්ගේ අවධානය මොරගහකන්ද ජලාශය විවෘත කිරීම සම්බන්ධයෙන් යොමු කෙරුවේ එස්.එම්. චන්ද්‍රසේනය.
"මොරගහකන්ද ජලාශය හදන්න මුල් වුණේ මහින්ද මත්තයයි. නිමල් සිරිපාල ඇමැතිතුමයි. ඒ හින්ද ඒකේ ගෞරවය යන්න ඕනේ මහින්ද මහත්තයටයි. නිමල් ඇමැතිතුමාටයි මිසක් මෛත්‍රිපාල මහත්තයාට නෙමේ. මම අවුරුදු 6ක් වාරිමාර්ග නියෝජ්‍ය ඇමතිවරයා විදියට හිටිය හින්ද හො¼දාකාරවම දන්නවා නිමල් ඇමැතිතුමා මේකට මහන්සි වෙච්ච හැටි" එස්.එම්. පැහැදිලි කළේය.

"ඒ උත්සවයේදී ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ට ‍ෙදාස් කිව්වා නේද? ප්‍රසන්න ඇසුවේය.
"ඔව් ඔව් එතුමට දැන් මාධ්‍යවේදීන් පෙන්නන්න බැරි ගාණට ඇවිත් තියෙන්නේ. එදා බලයට එනකොට නම් පෙනී හිටියේ මාධ්‍යවේදීන්ගේ ඉෂ්ඨ දේවතාවා වගෙයි. හැබැයි බලය ගිලිහෙනකොට මාධ්‍ය වහකදුරු වගේ වෙලා" ඩලස් පැවැසීය.

"ජන බලය කොළඹට" උද්ඝෝෂණය කල්ගිය හැටි

ඒකාබද්ධ විපක්ෂය "ජන බලය කොළඹට" උද්ඝෝෂණයේ සංවිධායක කටයුතු භාර දී තිබෙන්නේ නාමල් ප්‍රමුඛ තරුණ මන්ත්‍රිවරුන්ටය. ඔවුන් මේ දිනවල ඒ සඳහා වෙහෙසෙමින් සිටී.

ඒ සම්බන්ධයෙන් නාමල් පසුගිය සතියේ තරුණ කණ්ඩායම් සහ කාන්තා කණ්ඩායම් සමඟ වෙන වෙනම සාකච්ඡා පැවැත්වීය. කාන්තා සංවිධාන සමඟ පැවැති එක් සාකච්ඡාවකට පවිත්‍රා ද එක්ව සිටියාය. "රටක ප්‍රශ්න ඇති වුණාම ඒවා මුලින්ම දැනෙන්නේ ගෙදරට. පසුගිය කාලේ මවුපියෝ පාසල් ළඟ මුර කළේ ත්‍රස්තවාදීන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගන්න. දැන් මවුපියන් ආයෙත් ඉස්කෝල ළඟ මුර කරන්න යන්න වෙලා තියෙන්නේ දරුවන් කුඩුවලින් ආරක්ෂා කරගන්න. ඉස්කෝලේ ගේට්ටු ළඟ කුඩු විකුණන තැනට දැන් රට පත්වෙලා ඉවරයි" පවිත්‍රා කීවාය. ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් පසුගිය සඳුදා නෙළුම් මාවතේ කාර්යාලයටත් කැඳවා තිබුණේ ජනබලය කොළඹ උද්ඝෝෂණය ගැන කතා කරන්නටය. නාමල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට බැසිල්, ලොකුගේ, ප්‍රසන්න ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

නාමල් මෙහිදී පිරිසට දැනුම් දුන්නේ උසස් පෙළ සිසුන්ගේ විභාග කටයුතුවලට උද්ඝෝෂණය නිසා කිසිදු බාධාවක් සිදු නොවිය යුතු යැයි දැනුම් දී ඇති බවය.
"මහින්ද මහත්තයා කියලා තියෙනවා අගෝස්තු 17 වැනිදා මේ උද්ඝෝෂණය පවත්වන එකෙන් උසස් පෙළ විභාගයට බාධාවක් වෙයි කියලා. මේ උද්ඝෝෂණය නිසා දරුවන්ට කිසිදු බාධාවක් විය යුතු නැති බවත් එතුමා දැනුම් දීලා තිබෙනවා. ඒ නිසා මේ උද්ඝෝෂණය විභාගයෙන් පසුව පවත්වන්න කියලා එතුමා කිව්වා" නාමල් පැහැදිලි කළේය.

මහින්දගේ ඉල්ලීම ඒකවුරුත් අනුමත කළහ. ඒ අනුව තීන්දු කෙරුණේ "ජනබලයඝ කොළඹට උද්ඝෝෂණය සැප්තැම්බර් මස 05 වැනිදා පැවැත්වීමටය. අනතුරුව උද්ඝෝෂණයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකචඡා කෙරිණි. මෙහි ප්‍රධානතේමාව වන්නේ ජනතා විරෝධී ආණ්ඩුව ගෙදර යවමු යන්නය. තවත් තේමා රාශියක් පසුව හෙළිදරව් කිරීමට නියමිතය.

"ජන සටන පාගමනට වඩා ලොකු සෙනඟක් අපි මෙ උද්ඝෝෂණයට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ආණ්ඩු විරෝධය ලෝකයටම පැහැදිලි වන ආකාරයට අපි මේක සංවිධාන කරන්න ඕනේ" නාමල් කීවේය.

"දැන් මේ උද්ඝෝෂණයට සෙනඟ ගේන්නේ කොහොමද" පළාත් පාලන ප්‍රධානියෙක් ඇසුවේය. " ඒ සේරම එළියට දාන්න බැහැ. හැබැයි ඕනෙම දේකට ඔට්ටු පිරිසක් තමයි මේකට කොළඹ එන්නේ" ප්‍රසන්න කීවේය. ඕන දේකට ඔට්ටු පිරිසක් යන්නෙන් ප්‍රසන්න අදහස් කළේ ආණ්ඩුව ගෙදර යවන්න හැකියාව තිබෙන පිරිසක් ඉන්න බව තේරුම් ගත් පළාත් පාලන ආයතන ප්‍රධානීහු සිනාසෙන්නට පටන් ගත්හ.

ජනාධිපතිවරු ළඟ ඉන්න අය ගැන ඔස්ටින් චමල්ට කිව්ව කතාව

හිටපු කථානායක චමල්, ලක්ෂ්මන් යාපා සහ හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහභාගි වූ විවාහ මංගල උත්සවයක් බදාදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. චමල්, ලක්ෂ්මන් සහ ඔස්ටින් තිදෙනාම අසුන්ගෙන සිටියේ එකම මේසයකය. තිදෙනාම සුහද කතාබහක නිරතවෙමින් සිටියේ ආගිය තොරතුරු කතාබහ කරමිනි. ඔස්ටින් ජනාධිපති ලේකම්කම දරපු සමයේ සිය අත්දැකීම්ද විස්තර කළේ මේ කතාබහ අතරය.

" මට කටයුතු කරන්න වුණේ විවිධ අදහස් තියෙන රජයේ නිලධාරීන් එක්ක. විවිධ අදහස් තියෙන දේශපාලනඥයො එක්ක. ඔවුන් හැමෝටම මම නිවැරැදි දේ තමයි ඉෂ්ට කළේ" ඔස්ටින් කීවේය.

"ඔබතුමා.. කවදත් ඒ වගකීම හරියට ඉෂ්ට කළානේ" චමල් කීවේය.

"ඔව්.. විවිධ කට්ටිය ඉන්නවා. කවුරුත් හැබැයි නිවැරැදි දේ පාලකයන්ට පෙන්නන්නෙ නෑ. මහින්ද ජනාධිපතිතුමාටත් වුණේ ඕකම තමයි" ඔස්ටින් කීවේය.
"ඒක ඇත්ත.. බලය තියෙනකොට හුඟක් කට්ටිය ළඟට ඇවිත් බොරු තමයි කියන්නෙ" එතැන සිටි තවත් ව්‍යාපාරිකයකු කීවේය.
"යුද්දෙ ඉවර වුණු වෙලාවේ මහින්ද මහත්තයට ලොකු පිළිගැනීමක් තිබුණා. ඒක අදටත් තියෙනවා. හැබැයි එතැනින් එහාට යන්න බෑ. උපදෙස් ටිකක් ලැබෙන්න ඕන" තවත් ව්‍යාපාරිකයකු කීවේය.

"ඔව් ඒක ඇත්ත.. ළඟ හිටපු අය කියන දේවල් තේරුම් ගනිද්දි පරිස්සම් වෙන්න ඕන" චමල් කීවේ කාගේත් අවධානය ඒ දෙසට නතු කරගනිමිනි.
"මහින්ද මහත්තයට ලොකු ජනතා ආකර්ෂණයක් තියෙනවා. ඒක කවදාවත් වෙනස් වුණේ නෑ. වෙන කිසිම ජනාධිපති කෙනකුට තනතුරෙන් ගියාට පස්සේ එහෙම පිළිගැනීමක් තිබුණෙ නෑ" ලක්ෂ්මන් යාපා කීවේය.

පොදුජන පෙරමුණෙන් ඉන්ජිනේරු බළකායක්

විශ්වවිද්‍යාල ඉන්ජිනේරු පීඨ ජේ‍යෂ්ඨ මහාචාර්යවරු ඇතුළු තරුණ ඉන්ජිනේරු රැසක් බ්‍රහස්පතින්දා හැන්දෑවේ නෙලුම් මාවතේදී බැසිල් හමුවිය. පිරිස බැසිල් හමුවුණේ ශ්‍රී ලංකා පොදුජන ඉන්ජිනේරු පෙරමුණ පිහිටුවීම ගැන කතා කරන්නටය.

අපි දන්නා තරමින් ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට ඍජුවම සම්බන්ධ ඉන්ජිනේරු පෙරමුණක් නෑ. අපි තව මාසයක් ඇතුළත දහස් සංඛ්‍යාත සාමාජික පිරිසක් ඉන්න ඉන්ජිනේරු සංගමයක් ශ්‍රී ලංකා පොදුජන ඉන්ජිනේරු සංගමය ලෙස හදනවා... රැස්වීමේ කැඳවුම්කාර ඉංජිනේරුවරයා කතාවට මුලපිරුවේය.
'ඒක බොහොම හොඳයි' බැසිල් කීවේය.

ඉන්ජිනේරුවෝ විදියට අපිට ලොකු වගකීමක් තියෙනවා. අපේ ඉන්ජිනේරුවෝ ගොඩක් රට දාලා යනවා. සමහරු යන්නේ ඕස්ට්‍රේලියාවට, මෙල්බන්වල වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 600 අපේ හම්බන්තොටටත් මිලිමීටර් 1200ත් වහිනවා. මගේ ගෙදර තියෙන්නේ පර්චස් දහයක ඉඩමක මගේ දරුවො සෙල්ලම් කරන්නේ ඔබඒතුමාලා හදලා දීපු උද්‍යානවල. මම මේ කතාව හෙට ප්‍රසිද්ධියේ කිව්වොත් හෙට මගේ රස්සාවත් නැති වෙයි යැයි ඉන්ජිනේරුවරයකු කීවේ දැඩි සංවේදී වෙමිනි.

අපි හදපුවා දැන් මේ ආණ්ඩුව විකුණනවා. අවුරුදු පහකට බලයට එන ආණ්ඩුව අවුරුදු 99කට හබන්තොට වරාය බදු දුන්නා. ඉස්සර තිබුණා පීත කොමිස් නීතිය කියලා නීතියක් ඒක ෆීලික්ස් ඩයස් අයින් කළා.

ඒ නීතියට අනුව දරුවකුට මවුපියන්ගෙන් ලැබෙන දේපළක්වත් කිසි කෙනකුට විකුණන්න බෑ. අපිටත් තිබ්බේ අන්න එහෙම නීතියක් පනවලා තියන්න. බැසිල් කීවේ සැවොම සිනහ ගන්වමිනි. සුප්‍රකට ඉන්ජිනේරු ගායකයෙක්ද සාකච්ඡාවට එක්ව සිටියහ. ඔහුගේ ජනප්‍රියම ගීතයෙන් කොටසක් ගයමින් විසිර යමු යැයි සභාවෙන් යෝජනාවක් ආවේය. සින්දුව කියන්න ඉසෙල්ලා මට වචනයක් කියන්න තියෙනවා. ලංකාවේ හැම විෂයක් ගැනම ඔබතුමාට තියෙන ගැඹුරු අවබෝධය මම දැන ගත්තේ අද යැයි එම ඉන්ජිනේරුවා කීවේය.

තුමුල නමුණුකුල ගිරි හිස
උඳුල සඳ මඬල දුටු නෙත රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන හින හෙන්නට කාරණා...
ඔහොම හිනා වෙන කොට උඹ ලස්සනයි උමා... යන ගීතය ගායනා කරමින් පිරිස විසර ගියේය.

සැමරුම් සහ ඉලක්ක

1977 මැතිවරණ ජයග්‍රහණයට වසරක් පිරුණු දා එනම් 1978 ජූලි 21 වැනිදා එදා රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයා දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයකම නිවාස 5 බැගිින් ඉදිකර නිවාස නැති පවුල්වලට බෙදා දුන්නේය. "මැතිවරණ නිවාස" ලෙස හැඳින් වූ මෙම නිවාස ඊළඟ වසරේ 10 බැගින් ද ඊට පසුව එළැඹි වසරේ 20 බැඟින් ද ඉදිකර ජනතාවට ලබා දෙන ලදී. මුල්ම මැතිවරණ නිවාස වැඩසටහනට වසර 40ක් පිරුණු දා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා නිවාස 37කින් සමන්විත "සිවුදස් සමරුගම" ජනතා අයිතියට පත් කළේ අම්බලන්තොට ලුණමදීය. එදිනම දිවයින පුරා නව උදාගම්මාන 40කට මුල්ගල් තැබුණේ මේ 40 වස් සැමරුමට සමගාමීවය. උත්සවයට සහභාගි වී සිටි ජේ‍යෂ්ඨ රාජ්‍ය නිලධාරියකු සජිත් සමඟ පිළිස¼දරක යෙදෙමින් ඇසුවේ "2019 දෙසැම්බර් 31 වැනිදාට කලින් ගම්මාන 2500ක් හදන්න නම් දවසකට ගම්මාන 3කවත් වැඩ පටන් ගන්න ඕනෑ නේද? ඒක අමාරු ඉලක්කයක් නොවෙයිද ඇමැතිතුමා?" කියාය. සජිත් කීවේ "ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. දිනකට ගම්මාන 3 කටත් වැඩියෙන් දැන් වැඩ ආරම්භ කරනවා. ඒ විතරක් නෙවෙයි සතියකට ගම්මාන 3ක් අනිවාර්යෙන්ම විවෘත කරනවා. දැනටමත් අපි ඉතා පහසුවෙන් ඒ වේගය පවත්වාගෙන යනවා. මම සිංගප්පූරුවේ හිටපු සතියේ විවෘත කිරීම කල්ගිය ගම්මාන 3 වෙනුවට ඊළඟ සතියේ ගම්මාන 6ක්ම විවෘත කළා. අපි හැඩගැහිලා තිබෙන යාන්ත්‍රණය ඒකයි. අනෙක් අතට ලංකාවේ වෙන මොනම අමාත්‍යාංශයකවත් නැති තරම් දක්‍ෂ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මට ඉන්නවා. ඒ අය මේක තමන්ගේම වැඩක් හැටියට හිතාගෙන හැඟීමෙන් වැඩ කරන නිසා අපි දවසින් දවස ඉලක්කයට කිට්ටු වෙනවා" කියාය.

ශ්‍රී ලනිප - මුස්ලිම් පෙරමුණට ෆවුසි, හිස්බුල්ලා අමතක වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුස්ලිම් පෙරමුණේ හමුවක් පසුගිය සඳුදා අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ කොළඹ පිහිටි නිල නිවෙසේදී පැවැත්විණි. මේ සඳහා ඇමැති මහින්ද අමරවීර සහ ශ්‍රී ලනිප මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාසද එක්ව සිටියහ. මුස්ලිම් පෙරමුණේ ප්‍රාදේශීය සභා, නගර සභා නියෝජිතයෝ 226 දෙනකු පමණ මේ සඳහා එක්වූහ.

දීර්ඝ කාලයක සිට මෙම මුස්ලිම් පෙරමුණෙන් කටයුතු සිදුවුණේ පක්ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපතිවරයකු වන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිගේ ප්‍රධානත්වයෙනි. එහෙත් මෙම හමුව ගැන ෆවුසි ඇමැතිවරයා දැනුවත් නොකිරීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් ෆවුසි මේ දිනවල කථානායකවරයා සමඟ ඊජිප්තුවේ සංචාරයක නිරතව සිටී. විදේශගත වීමට පෙර හෝ ඔහුට මේ ගැන කිසිදු සඳහන් නොකර තිබීමද කැපීපෙනේ. ඊට අමතරව නැඟෙනහිර පළාත නියෝජනය කරන ශ්‍රී ලනිප මුස්ලිම් ඇමැතිවරයකු වන ඒ.එල්.එම්. හිස්බුල්ලා ඇමැතිවරයාද මෙම හමුවේදී අමතක කර තිබීම එහි සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රි පිරිසක් කසුකුසු ගාන්නට වූහ.
අලුත් ව්‍යවස්ථාව කෙරෙන වැඩක්ද?

ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජනා කරන නව ව්‍යවස්ථාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමකදී ද අවධානය යොමුවී තිබිණි. ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව පැවැති රැස්වීම් සඳහා සහභාගි වූයේ ජ.වි.පෙ. නායක "අනුර දිසානායකය. ඔහු මේ පිළිබඳව තත්ත්වය දේශපාලන මණ්ඩලයට පැහැදිලි කළේය. "ආණ්ඩුව ගෙනාපු ව්‍යවස්ථා කෙටුම්පත ගැන බරපතළ ප්‍රශ්න තියෙනවා. ඇතැම් කරුණුවලට අපිට පක්‍ෂයක් ලෙස එකඟ වෙන්න බැහැ. ඒ වගේම ආණ්ඩුව තවත් වැරැද්දක් කරලා තියෙන්නේ. කමිටුවේදී සාකච්ඡා කරලා එකඟ නොවූ දේවල් පවා කෙටුම්පතට එකතු කරලා. ඒකට විරෝධය පළ කළා. ඉදිරි කමිටු රැස්වීම්වලදී එම ප්‍රශ්න ගත කරුණු ගැන සාකච්ඡා කරන්න වෙනවා. කොහොම නමුත් මේ තියෙන තත්ත්වය අලුත් ව්‍යවස්ථාවක් ගේන එක නොකෙරන වැඩක් විදිහට තමයි පේන්න තියෙන්නේ. "අනුර කුමාර දිසානායක කියා සිටියේය. "කොහොමත් මේ ආණ්ඩුව පිළිවෙළකට වැඩක් කරගන්න පුළුවන් එකක් නොවෙයි. හැම වැඩක්ම අනාගන්නවා. රටේ ව්‍යවස්ථාව හදන්න තරම් මේ ආණ්ඩුව දක්‍ෂ නැහැ. තමන්ගේ දේශපාලන බලපොරය ඔළුවේ තියාගෙන රටක ව්‍යවස්ථාව හදන්න බැහැ. ඒ නිසා මේක අසාර්ථක එකක්. කතා සාප්පුවක් විතරයි" ටිල්වින් සිල්වා කියා සිටියේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර ඇති ජන හමු දස දහස මේ දිනවල රට පුරා ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වෙමින් තිබේ. ජ.වි.පෙ. නායකයෝ රට පුරා ගම්දනව්වල මෙම ජනහමු මාලාවට සහභාගි වෙති. ජ.වි.පෙ. ජාතික සංවිධායක බිමල් රත්නායක පසුගිය සතියේ කිලිනොච්චි ප්‍රදේශයේ එවැනි රැස්වීම් කිහිපයකට සහභාගි විය. මේ අතර පසුගියදා ගම්වාසීන් විසින් දිවියකු මරා දැමුණු ප්‍රදේශයේදී රැස්වීමක් සංවිධානය කර තිබිණි. රැස්වීමෙන් පසුව ප්‍රදේශවාසීන් සමඟ එම සිදුවීම පිළිබඳවද මන්ත්‍රිවරයා කතාබහක නිරත විය. "මන්ත්‍රිතුමා දකුණේ මාධ්‍යවල මේ සිදුවීම වාර්තා කළේ සම්පූර්ණ ම්ලේච්ඡ වැඩක් විදිහට. දිවියාට ගහන රූපරාමු සියල්ල පෙන්නුවා. දෙමළ ජනතාව ගැන විශාල විරෝධයක් හැදුවා. දෙමළ ජනතාව "කොටියා" බවට පත්කරන විදියේ නිවුස් ගියා." සිංහල මාධ්‍ය පිළිබඳව අවධානයකින් පසුවන අයෙක් කියා සිටියේය. "ඇත්තම සිදුවීම අපි දන්නේ නැහැ.

අපිත් මාධ්‍යවල ගියපු නිවුස් තමයි දැක්කේ." මන්ත්‍රිවරයා කීය. "ඒක තමයි ප්‍රශ්නේ. උතුරේ දෙමළ මාධ්‍යවල විශේෂයෙන් පත්තරවල ලිව්වේ ඒ දිවියා හමුදා කඳවුරක ඉඳලා පැනපු එකෙක් කියලා. හමුදාව තමයි මේකට වගකියන්න ඕනෑ" කියලා" එම ප්‍රදේශයේ පුද්ගලයෙක් කියා සිටියේ "ඒ වගේ ආර්ටිකල් එකක් මමත් කියෙව්වා. සිංහලෙන් පළවෙලා තිබුණා පත්තරයක" බිමල් රත්නායක කීවේය. "ඒත් මේ සිදුවීම් දෙකක් තමයි එකතු කරලා තියෙන්නේ. ඇත්තම සිද්ධිය වුණේ මෙහෙමයි. හමුදා කඳවුරකින් ලොකු බල්ලෙක් පැනලා ගම්වැදිලා තිබුණා. මිනිස්සුන්ටත් කරදර වෙන්න ඇති. මිනිස්සු කඳවුරට පැමිණිලි කළාම හමුදාවෙන් බල්ලා අරගෙන ගිහින්. ඒ අතරේ තමයි දිවියා ගමට පැනලා තියෙන්නේ." තවත් පුද්ගලයෙක් කියා සිටියේය. "ඒක තමයි අද තියෙන ප්‍රශ්නය. ඉතාම කුඩා සිද්ධියක් වුණත් දකුණේ මාධ්‍ය සහ උතුරේ මාධ්‍ය වාර්තා කරන්නේ ජාතිවාදී පදනමෙන්. අන්තිමට බල්ලා, දිවියා කළා. දෙමළ මිනිස්සු, කොටියා කළා. මේක කනගාටුදායක තත්ත්වයක්. ඇත්තටම දැන් ජනප්‍රිය දේශපාලනය වෙලා තියෙන්නේ ජාතිවාදය. ඒක නිසා මාධ්‍යයත් වාර්තා කරන්න පෙලඹෙන්නේ ඒ වගේ ප්‍රවෘත්ති. මේ තත්ත්වය වෙනසක් කරන්න ලොකු මැදිහත්වීමක් කරන්න වෙනවා." බිමල් රත්නායක කියා සිටියේය.

හිට්ලර් සහ ප්‍රභාකරන් කතාව ගැන කනස්සල්ලක්

පසුගියදා ජ.වි.පෙ. මන්ත්‍රි බිමල් රත්නායක විදෙස් සංවිධානවල නියෝජිතයන් කිහිපදෙනකු මුණ ගැසිණි. රටේ පවතින දේශපාලන තත්ත්වයන් පිළිබ¼ඳවත් ජ.වි.පෙ. දේශපාලන කටයුතු පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ජ.වි.පෙ. විසින් යෝජනා කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද බිමල් රත්නායක මන්ත්‍රිවරයා ඔවුන් දැනුවත් කළේය. ලෝකයේ බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගැන ලොකු සංවාදයක් තිබෙනවා. ලංකාවේත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන කොට විධායක ජනාධිපති ධුරය ගැන විවේචනයක් තිබෙන බව අපි දන්නවා. ඔබතුමා කියන ආකාරයට 20 වැනි සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සතුටුදායක දෙයක් බව අපිට හැඟෙනවා." විදෙස් නියෝජිතයෙක් කියා සිටියේය. "ඔව් ලංකාවේ දේශපාලන සංවාදවලදී මතුවුණා හිට්ලර් ගැන. ඒ වගේම තව පැත්තකින් ප්‍රභාකරන් ගැන. නමුත් ඒ අන්තවාදී පාලනයන් ගැන ලොකු විරෝධයක් මතු වෙලා තියෙද්දී ලංකාවේ දේශපාලකයන් ඒ මාතෘකා කතා කරන්නේ ඇයි. අපිට නම් ඒක් ප්‍රශ්නයක්" තවත් එක් නියෝජිතයෙක් තම කනස්සල්ල පළ කරමින් කියා සිටියේය. "අපේ රටේ දේශපාලන සංවාදය ටිකක් සංකීර්ණ එකක්. එක පැත්තකින් වංචා දූෂණ ගැන කතා කරන කොට තව පැත්තකින් ඒ මාතෘකාව වෙනස් කරන්න වෙන වෙන සංවාද හදනවා. එක කණ්ඩායමක් හිට්ලර් ඉල්ලනවා. තව කණ්ඩායමක් ප්‍රභාකරන් පාලනයක් ඉල්ලනවා. ඊට පස්සේ ඒ වටා ලොකු සංවාදයක් හදනවා. රටේ ඇත්ත ප්‍රශ්න යට ගහනවා. ඇත්තටම අපිට අභියෝගයක් තියෙනවා. රටේ ඇත්ත ප්‍රශ්න ගැන ජනතාවගේ අවධානය යොමු කරන එක ගැන." බිමල් රත්නායක කියා සිටියේය.

උතුරේ මහ ඇමැති ගෝඨාගේ හමුව මිනිත්තු 15කට පෙර අවලංගු කරයි

දෙමළ පුවත්පත් ප්‍රධානීන් සහ ගෝඨා අතර විශේෂ හමුවක් ඇතුල්කෝට්ටේ පිහිටි වියත්මඟ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ගෝඨා එම මාධ්‍ය ප්‍රධානීන් සමඟ 'වියත්මඟ සහ එළිය' වැඩසටහන් පිළිබඳව පැහැදිලි කළේය. එහිදී ගෝඨා මාධ්‍ය ප්‍රධානීන්ට කීවේ යුද්ධයෙන් පසුව එම ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගැනීමට රජය අපොහොසත් වූ බවය.

'අපි විශාල මුදලක් උතුරේ සංවර්ධන කටයුතු සඳහා වැය කළා. ඒ අතරින් උතුරු දුම්රිය මාර්ගය විශේෂයි. අපි හැකි තරම් උත්සාහ කළා උතුරේ අයගේ ගැටලු ගැන සාකච්ඡා කරන්න. මම ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කොට උතුරේ මහ ඇමැතිතුමා සමඟසාකච්ඡා කරන්න වෙලාවක් ඉල්ලුවා. වෙලාව දීලා ඒ සාකච්ඡාවට හරියටම විනාඩි 15ක් තියෙද්දී ඒක එතුමා අවලංගු කළා'ගෝඨා පැහැදිලි කළේය.

මෙහිදී මාධ්‍ය ප්‍රධානීන් ගෝඨාගෙන් විමසා සිටියේ උතුරේ සංහිඳියාව ඇති කිරීම සඳහා ඇති වැඩපිළිවෙළ පිළිබඳවයි.
'ජාතික ප්‍රශ්නයට විසඳුම දිය යුතු ප්‍රධානම මාර්ගය තමයි ආර්ථික සමානාත්මතාවක් ඇති කිරීම. මේ වෙන කොට අපි නගරබද දෙමළ ජනතාව සමඟ කතා කළා. නමුත් උතුරේ ජනතාව සමඟත් 'වියත්මඟ' සාකච්ඡා කරන්න බලපෑමක් කරනවා' ගෝඨා පැහැදිලි කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon