දුම්රිය මගියාගේ දේශපාලනය

  👤  3475 readers have read this article !
2018-07-30

1956 බලයට පත් ශ්‍රී ලනිපය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවට ප්‍රබල විපක්ෂයකට මුහුණ දීමට සිදුවිය. ආණ්ඩු පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් තිබුණද, විපක්ෂ නායකයාව සිටි ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා ප්‍රමුඛ වාමාංශිකයන් සතුව ආණ්ඩුවට නැති ප්‍රබල අවියක් තිබිණි. ඒ, වෘත්තීය සමිති ව්‍යාපාරයයි. ල.ස.ස.ප. හා කොමියුනිස්ට් පක්ෂය නායකත්වය දුන් මේ වෘත්තීය සමිති බණ්ඩාරනායක ආණ්ඩුවට අභියෝග කළේ සිය වෘත්තීය සමිති අවියෙනි. වැඩ වර්ජන රැල්ලකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවිය. පසුකලෙක සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කියා සිටියේ ඇන්.ඇම්. ලා මගේ මහත්තයාව නොමරා මැරුවා කියාය.


ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත් දක්ෂ පාලකයකු වූ ජේ.ආර්. ජයවර්ධන වාමාංශික වෘත්තීය සමිතිවල නායකත්වයෙන් 1980 ඇරැඹි මහා වැඩ වර්ජනය අනුකම්පා විරහිතව මර්දනය කර දැම්මේය. එවකට දුර්වලව තිබූ වාමාංශික ව්‍යාපාරයේ ශක්තිය රැඳී තිබූණු අවසන් සටන් පෙරමුණ වූ වෘත්තීය සමිති මෙල්ල කර බල බිඳ දැමුවේය. විවෘත ආර්ථිකය හෙවත් නව ලිබරල් වෙළෙඳපොළ ක්‍රමය තුළින් රට සංවර්ධනය කිරීමට සැලැසුම් කළ ජනාධිපති ජයවර්ධන "වැඩ වර්ජන" ඊට හරස් කැපීමක් ලෙස දුටුවේය. මැලේසියාව සංවර්ධිත රටක් බවට පත්කළ මහතීර් මොහොමඩ්ද එරට වෘත්තීය සමිතිවලට ඕනෑ ඕනෑ හැටියට නටන්න ඉඩ දුන්නේ නැත. සිංගප්පූරුවේ ලී ක්වාන්යූ තවත් එවැනි රාජ්‍ය නායකයෙකි.


ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් පසු රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කිහිප වාරයක්ම "වැඩ වර්ජන" මර්දනය කිරීමට පසුබට වූයේ නැත. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ "වැඩ වර්ජන" පමණක් නොව සියලු දේ යුද්ධයට හා යුද ජයග්‍රහණයට කැප කිරීමට සිදුවිය. තුන්වැනි ඊළාම් යුද්ධය සමයේ ජවිපෙ ඇතුළු විපක්ෂය කැඳවූ මහා වැඩ වර්ජනය ලත් තැනම ලොප් වූයේ ඒ නිසාය.


2015 ජනවාරි 8දා බලයට පැමිණි සිරිසේන වික්‍රමසිංහ හවුලට අවුරුදු තුනක කාලයකදී මුහුණ දීමට සිදුව ඇති වැඩ වර්ජන, විරෝධතා, උද්ඝෝෂණ නිමක් නැත. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කාලය තුළ වැඩ වර්ජන කිහිපයක්ම ඇරැඹුවේය. ඒ සිය වෘත්තීය ඉල්ලීම්වලටත් වඩා වෙනත් ජාතික, ආර්ථික හා දේශපාලන කාරණා වෙනුවෙනි. මේ වන විට "වැඩ වර්ජන" පැවැත්වීම විහිළුවක් බවට පත්වී ඇත. එහෙත් පොදු ජනතාවට නම් ඒවා ඉළ ඇදෙන විහිළුය.


ඉකුත් 26දා එනම් පෝය දිනයට පෙරදින පැවැති දුම්රිය වැඩ වර්ජනය එවැනි විහිළුවකි. මේ වැඩ වර්ජනය පැවැතියේ පැය දෙක තුනක කාලයක් පමණක් වුවද පෝය දිනය හා සති අන්තය එක ළඟට යෙදී තිබීම නිසා ගම් බලා යෑමටත්, විනෝද ගමන්, වන්දනා ගමන්, නෑගමන් යෑමටත් දුම්රියපොළට පැමිණි ජනතාව අතිශය දුෂ්කරතාවකට මුහුණ දුන් බව නොරහසකි.
වැඩ වර්ජනය පස්වරු 2ට ආරම්භ වී පස්වරු 4ට අවසන් වූ බව ඇත්තය. එහෙත් සවස 6 වනතුරුත් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වී තිබුණේ නැත. සාමාන්‍ය දිනයකදී පවා කාර්යාලයීය දුම්රිය එකක් හෝ ධාවනය ප්‍රමාද වූ විට ඇති වන්නේ මහත් තදබදයකි. මෙවැනි විශේෂ නිවාඩුවක් යෙදී ඇති සති අන්තයක දුම්රිය වාර ගණනක් ප්‍රමාද වීම නිසා ඇතිවන තදබදය ගැන කුමන කතාද? පැය දෙකක වැඩ වර්ජන තීන්දුව අහිංසක එකක් නොවන බව මින් ඉතා පැහැදිලිය.


මේ දුම්රිය වැඩ වර්ජනයට හේතුවී ඇත්තේ සුළු සිද්ධියකි.


මරදානේ එල්ෆින්ස්ටන් රඟහල අසල ඇති ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ කතාබහකදී රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා දුම්රිය නිලධාරීන්ට බැනවැදුණ බව පවසමින් වැඩ වර්ජනය අරඹා ඇත. වචන හුවමාරුවක් සිදුවූවා හෝ බැන වැදුණා හෝ වේවා එය දහස් ගණනක් මගීන් දුෂ්කරතාවකට පත්කරන වැඩ වර්ජනයක් ඇරැඹීමට හේතුවක් කර ගැනීම වැරැදිය. රාජ්‍ය සේවයේ සාපේක්ෂ වශයෙන් හොඳ වැටුපක් ලබා ගන්නා දුම්රිය සේවකයන් මෙලෙස දුම්රිය මගීන් බල්ලට දමා කටයුතු කිරීම නින්දිතය. මෑත කාලයේ පැවැති දුම්රිය වැඩ වර්ජන කිහිපයක්ම මෙවැනි වර්ගයේ ඒවා විය.මේ වැඩ වර්ජන පිටුපස පක්ෂ දේශපාලනය තියෙනවා විය හැකිය. එහෙත් ඒ ඒ පක්ෂ කණ්ඩායම් කල්පනා කළ යුත්තේ දුම්රිය මගීන්ටද දේශපාලනයක් තිබෙන බවය. ඊනියා වැඩ වර්ජනවලින් කුපිත වන දුම්රිය මගියා පෙරළා පහර දෙනු ඇත්තේ තම තමන්ගේ දේශපාලනයත් ඊට එකත ªකරය. එවිට සියල්ල අවුල් ජාලාවක් වනු ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon