‘කළු ජූලිය’ සිහි කැඳවීමක්

  👤  3484 readers have read this article !
2018-07-31

1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව රට සංවර්ධනයට පදනම දැමූ බවත් 1983 ඇති වූ ජූලි කලබලයෙන් පසු සියලු දේ අඩාළ වූ බවත් එ.ජා.ප. නායක අගමැති රනිල් වික්‍රමසිංහ ඉකුත් දිනෙක කොළඹ පැවැති උත්සවයකදී ප්‍රකාශ කර තිබිණි. ඔහුට අනුව මෙරට ජනතාව භාෂාව හා ආගම අනුව බෙදීම නිසා යුද්ධය ඇති විය. යුද්ධය අවසන් වුවද ජාතික සමඟිය ඇති වී නැත. රටේ පිරිහීමට එය ප්‍රධාන හේතුවක් වී ඇත.


එ.ජා.ප. නායකයා කියන මේ කළු ජූලිය හෙවත් දෙමළ විරෝධී කෝලාහලයට වසර 35ක් පිරුණේ ඉකුත් 24 වැනිදාය. 1983 ජූලි මාසයේ 24 වැනිදායින් ඇරැඹී සතියක පමණ කාලයක් පැවැති මේ දෙමළ විරෝධී කෝලාහලයෙන් දෙමළ ජාතිකයන්ගේ ජීවිත, දේපළ මෙන්ම රජයේ දේපළ විනාශ විය. සීමිත පිරිස් බලයක් තිබුණු ඊළාම්වාදී බෙදුම්වාදී සංවිධාන පිම්මේ වර්ධනය වූයේ කළු ජූලියෙන් පසුවය. තමිල්නාඩුවේ සහාය ලැබෙමින් තිබූ මේ සංවිධානවලට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ සහාය අනියමින් ලබා ගැනීමට මේ දෙමළ විරෝධී කෝලාහලය මහෝපකාරී විය.


ජූලි කලබල හෙවත් දෙමළ විරෝධී කෝලාහලයට එ.ජා.ප. ආණ්ඩුවේ නිල අනුග්‍රහය ලැබුණාද නැද්ද යන්න විවාදපන්න කාරණයක් වුවද සතියක පමණ කාලයක් මේ රටේ ආණ්ඩුවක් නොතිබුණු බව නම් පැහැදිලි කාරණයකි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය බලා සිටියදී දෙමළ නිවෙස්, කඩ සාප්පු කොල්ලකෑමටත්, ගිනි තැබීමටත්, වාහන ගිනි තැබීමටත්, බොහෝ තැන්වල මිනිසුන් මරා දැමීමටත් හයියක් ජාතිවාදී ඊනියා දේශප්‍රේමීන්ට ලැබුණේ කෙසේද යන්න විමසා බැලීමෙන් බළලුන් ලවා කොස් ඇට බෑව්වේ කවුදැයි යන්න සොයා ගත හැකිය.


70 දශකයේ මැද භාගයේ ඇරැඹී කෙමෙන් පෙරට පැමිණි ඊළාම්වාදී බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයට පණ දී, දිරි දී ජන ඝාතන යුද්ධයක් බවට පත් කිරීමට කළු ජූලිය හේතු වූ බව එ.ජා.ප. නායකයා ප්‍රකාශ කර නොතිබුණද ඇත්ත එය මිස අනෙකක් නොවේ.


කාරණය අනෙකකි.


කළු ජූලියට 35 වසරක් ගත වී තිබුණද යුද්ධය අවසන් කර දස වසරක් ගත වෙමින් තිබුණද මේ රටේ පාලකයන් පමණක් නොව පොදුවේ ජනතාවද නිදහසින් පසු ඇතිවූ කිසිදු ගැටුමකින් පාඩම් ඉගෙන ගෙන නැත. තරුණ පරපුර කළු ජූලිය හෝ අන් කිසිදු ගැටුමක් ගැන කරුණු නොදන්නේ වී නමුත් අත්දැකීම් බහුල වැඩිහිටියන්ගේ හැසිරීම මොන්ටිසෝරි දරුවන්ටත් අන්තය. උතුරේ වේවා, දකුණේ වේවා තවමත් බොහෝ දෙනා නඟන්නේ 50 - 60 - 70 -80 දශකවල නැඟූ ප්‍රශ්නමය. පොතපතින් ඉගෙන නොගන්නෝ අත්දැකීම්වලින් ඉගෙන ගනිති. එහෙත් අපේ බොහෝ දෙනා කෙළවා ගැනීමෙන්වත් ඉගෙන ගන්නේ නැත. අවාසනාව එයයි.


විශේෂයෙන් දකුණේ දේශපාලනඥයන් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය දමිළයා හෝ මුසල්මානුවා පෙන්වා සිංහලයා බිය කර බලය අල්ලා ගැනීම පමණි. කොක්කෙන් හෝ කෙක්කෙන් බලය ඩැහැගැනීමේ මේ 'කැත' පුරුද්ද මේ වනවිට උතුරේ දේශපාලනඥයන්ටත් බෝ වී ඇත. විජයකලාගෙන් ශිවාජිලිංගම්ලාගෙන්, විග්නේශ්වරන්ගෙන් ඒ බව පැහැදිලිව පෙනේ. සිංහල ජාතිවාදී අන්තවාදය හා දෙමළ ජාතිවාදී අන්තවාදය එකිනෙකාගෙන් පෝෂණය වෙයි. උතුරේ මෙන්ම දකුණේ ඇතැම් මාධ්‍යද ඊට උඩගෙඩි දෙයි. 'ආණ්ඩු' ජාතිවාදීව හැසිරෙද්දී සිවුවැනි ආණ්ඩුව ලෙස නම් ලද මාධ්‍යද ජාතිවාදයට උල්පන්දම් දීම රටේ අනාගතයට සුබදායක නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon