ජනපතිගේ සංවර්ධන සංග්‍රාමය

  👤  3372 readers have read this article !
2018-08-02

ඉංග්‍රීසින් මෙරට පාලනය අපට පවරාදී අවුරුදු 70කි. එදා-මෙදා තුර බලයට පැමිණි ආණ්ඩු රට සංවර්ධනය වෙනුවෙන් විවිධ සංග්‍රාම ඇරැඹුවේය. ඒ සංග්‍රාමවලින් රටට යහපතක් නොවූ බව කීම කුහකකමකි. එහෙත් ඒ සියලු සංග්‍රාම පරයන 'සංග්‍රාම' දෙකකට මුහුණ දීමට ගෙවුණු කාලයේදී රටට සිදුවිය. ඒ දකුණේ 'ධවල භීෂණය' හා උතුරේ 'ඊළාම් යුද්ධය'යි.


1948න් පසු ඇරැඹි සියලු සංවර්ධන සංග්‍රාමවල ප්‍රතිඵල සිත්සේ භුක්ති විඳීමට මේ ඊනියා සංග්‍රාම නිසා ජනතාවට හැකි වූයේ නැත. මෑතකදී අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබූ පරිදි 1977දී ආර්ථිකය විවෘත කර පැනීමට සැරැසුණු සංවර්ධන පිම්ම ජාතිවාදී යුද ගැටුම් නිසා වැරැදී ගියේය.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ පොළොන්නරුවෙන් සංවර්ධන සංග්‍රාමයක් ඇරැඹුවේය. එතුමා අවධාරණය කර තිබුණේ පොළොන්නරුවෙන් ඇරැඹූ මේ සංවර්ධන සංග්‍රාමය මුළු රට පුරාම ගෙන යන බවය. සත්‍ය වශයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ විශාල සංවර්ධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට හැකි වී තිබේ. යටිතල පහසුකම් ඇතුළු ජනතාවගේ හිතසුව පිණිස වන කටයුතු රැසක් අදාළ සංවර්ධන ව්‍යාපෘතිවලට ඇතුළත් වී ඇත.


පොළොන්නරුව වුකලීි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හැදී වැඩුණු බිමය. ඒ නිසා එතුමා සංවර්ධන සංග්‍රාමය ඇරැඹීමට පොළොන්නරුව තෝරා ගැනීමේ වරදක් නැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඔහු උපන් බිම වූ හම්බන්තොට යෝධ සංවර්ධනයක් සිදු කළේය. මත්තල ගුවන්තොටුපොළ, සූරියවැව ක්‍රීඩාපිටිය, හම්බන්තොට වරාය, සම්මන්ත්‍රණ ශාලාව ප්‍රමුඛව යටිතල පහසුකම් රැසක් එතුමා හම්බන්තොටට ලබා දුන්නේය. නවීන පන්නයේ නගරයක් ලෙස හම්බන්තොට දියුණු කිරීමේ සැලැසුමක් හිටපු ජනාධිපතිවරයාට තිබිණි.


පොළොන්නරුව අරබයා එවැනි සැලැසුමක් නැති වුණත් හම්බන්තොට මෙන්ම දියුණුවෙන් අඩු දිස්ත්‍රික්කයක් වන පොළොන්නරුව දියුණු කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. රජරට ජල ප්‍රශ්නයට මොරගහකන්ද හා කළු ගඟ ව්‍යාපෘති හරහා විසඳුමක් දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවශ්‍යයෙන්ම හැකි විය. එය ඇත්තටම අගය කළ යුතුය. මොරගහකන්ද ජලාශයට ඉන්ජිනේරු 'කුලසිංහ' මහතාගේ නම යෙදීමද එතරම්ම ගරු කටයුතුය.


'ග්‍රාම ශක්ති හා ගම්පෙරළිය' නමින් ගම සංවර්ධන කිරීමේ වැඩසටහන් දෙකක් ජනාධිපති හා අගමැති දෙදෙනා අරඹා ඇත. ඇමැති සජිත් ප්‍රේමදාසගේ 'උදාගම්' වැඩපිළිවෙළද ගමට ශක්තියකි. මේ සියලු දේ තුළින් සංවර්ධනය වන්නේ රටය. ප්‍රදේශවලට සීමා නොවී මේ සංවර්ධනය රටම වෙළාගත යුතුය. එදා මෙදා තුර ඇරැඹුණු සෑම සංග්‍රාමයක්ම අඩු - වැඩි වශයෙන් සාර්ථක වූ බව කිව හැකිය. නොඑසේ නම් උතුරේ හා දකුණේ තරුණ තරුණියන් අවි රැගෙන රජයට එරෙහිව කැරැලි ගසන්නේ නැත. මේ අරගලවල ප්‍රකාශිත අරමුණු කුමක් වුවත් ඇත්ත හේතුව වූයේ දුප්පත්කමය. සම්පත් බෙදීයෑමේ විෂමතාවය. ජාතික පීඩනය, කුල ප්‍රශ්නය ආදිය මුසු වූ දුප්පත්කම සියල්ලට මුලය. ජනාධිපතිවරයා අවබෝධයෙන් යුතුව මේ සංවර්ධන සංග්‍රාමය ඇරැඹුවේ නම් එය අනාගත පරපුරේ වාසනාවකි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon