මැති-ඇමැතිවරුන් ටික අපි පණ මෙන් රැකගමු

  👤  3447 readers have read this article !
2018-08-03

'සහල් මිල යළිත් පිම්මේ ඉහළ නැඟලා, පුංචි වාහන මිල ඉහළ දමයි, දුම්වැටි මිල ඉහළට' මේ ඊයේ පෙරේදා දිනපතා පුවත්පත්වල මුල් පිටුවල පළ වූ සිරස්තල කිහිපයකි. ඔෟෂධ 25ක මිල පහළ ගිය පුවතක්ද ඒ අතර විය. එහෙත් එලෙස මිල පහළ යෑමක් ගැන සුබාරංචියක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. වැඩිපුර ඇත්තේ අසුබ ආරංචිය.


ජීවන බරින් මිරිකෙමින් සිටින මේ රටේ බහුතර ජනතාවට අසන්නට ලැබුණු අලුත්ම ආරංචිය වන්නේ මැති ඇමැතිවරුන්ගේ වැටුප් විනිසුරුවරුන්ගේ වැටුපට සමානුපාතිකව වැඩි කිරීමේ යෝජනාවක් කතානායකවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවය.


'ඉකුත් ජූලි මස 17 වැනිදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී ගත් තීරණයකට අනුව මේ වැටුප් වැඩිවීම සිදු කෙරෙන බව දැනගන්නට ඇත. සියයට 215කින් පමණ ඉහළ නැංවෙනු ඇතැයි පැවසෙන මේ වැටුප් වැඩිවීම ජනවාරි මාසයේ සිට හිඟ වැටුපද සමඟ ගෙවීමට නියමිත බව පැවසෙයි.


පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ වැටුප රුපියල් 54,285කි. එය රුපියල් 1,25,000 දක්වා වැඩි වෙයි. නියෝජ්‍ය ඇමැතිවරයකුට රුපියල් 63,500ක වැටුපක් හිමි වූ අතර නව වැටුප රුපියල් 1,35,000ක් වනු ඇත. ඇමැති හා රාජ්‍ය ඇමැති වැටුප රුපියල් 65,000ක් වූ අතර රුපියල් 1,40,000ක් දක්වා ඔවුන්ගේ වැටුප වැඩි වේ.


කලකට පෙර පාර්ලිමේන්තුව සම්මත කරගත් පනතට අනුව අධිකරණවල විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිවීම්වලට සමගාමීව මැති - ඇමැතිවරුන්ගේ වැටුප්ද ඉහළ දැමිය යුතුය. 2016 වසරේදී විනිසුරු වැටුප් ඉහළ දැමුවද මැති - ඇමැති වැටුප වැඩි කළේ නැත. එහෙත් ඒ වසරේදී මැති - ඇමැතිවරුන්ට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක්ද, රුපියල් පනස්දහසක දුරකථන දීමනාවක්ද ලබා දුන්නේය. පාර්ලිමේන්තු රැස්වීමට පැමිණීමේ දීමනාවද මේ ආණ්ඩුව යටතේ වැඩිකරනු ලැබීය. අධීක්ෂණ මන්ත්‍රිවරුන්ට රුපියල් ලක්ෂ දෙකක දීමනාවක්ද ලබා දෙන බව සඳහන් විය. මේ සියලු අමතර දීමනා ලබාදී ඇත්තේ මැති - ඇමැතිවරුන්ගේ ආර්ථික අපහසුතා සලකාය.


සාමාන්‍ය ජනතාවට මෙතරම් ආර්ථික අපහසුතා ඇත්නම් පැය විසිහතරම ජනතාව වෙනුවෙන් ඇප වී කැප වී වැඩ කරන මැති - ඇමැතිවරුන්ට කෙතරම් ආර්ථික අපහසුතා ඇත්ද යන්න කවුරු කවුරුත් අවබෝධ කරගත යුතුය. එනිසා සියයට 200කින් නොව සියයට 300කින් වැටුප් වැඩි කර ගත්තද කිසිවකු ඊට විරුද්ධ වීම ගුණමකු කමකි. මේ මැති - ඇමැතිවරුන් වෙහෙස මහන්සි වී රට දියුණු කළ දවසට පොදු ජනතාවටද සුවසේ ජීවත් විය හැකි වනු ඇත. එහෙත් සියල්ල ඉවසා දරාගෙන එනම්, පටි තද කර ගෙන සිටීමට කවුරු කවුරුත් තදින් සිතට ගත යුතුය. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ජනතා සේවකයන් පිරිස කවර මිලක් ගෙවා හෝ රැක ගැනීම අවශ්‍යය. නොඑසේ නම් ගොයමේ අංකුර උඩ අතට නොව මඩ යටට ඇදී යනු ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon