ශාන්ති නිකේතනයට යෑමට තලෙයිමන්නාරමෙන් නැව් නැග්ග සැටි

  👤  4063 readers have read this article !
2018-08-05

එදා ධර්මපාලතුමා සමඟ නියම කැරැගත් පරිදි 1921 අප්‍රේල් මස දිනෙක අපේ ඇදුරු හිමිපාණන් සමඟ කොල්ලුපිටියේ ධර්මපාලතුමාගේ නිවෙස වන ඇලෝ ඇව්නිවු නිවෙසට ගියෙමි. ධර්මපාලතුමා "අප එහි ළඟා වන විට එදාම සවස දුම්රියෙන් ඉන්දියාව බලා පිටත්ව යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියේය. ඇදුරුපාණන් සමඟ මා එහි පැමිණි බව දුටු එතුමා මම අද දඹදිව යනවා. පොඩි උන්නාන්සේ පසුව පිටත් කර එවන්න. ‍ෙදාස්තර හේවාවිතාරණ මහතා අවශ්‍ය සියලු කටයුතු පිළියෙල කර දෙනවා ඇති.

අද මා සමඟ කුඹල්වැල්ලේ සිරිනිවාස උන්නාන්සේත්, මහනුවර ගුරුවරයකුගේ පුතකුත්, මාතර පළාතේ ළමයෙකුත් යනවා. යැයිද කීය. එහෙත් ධර්මපාලතුමාගේ යෝජනාවට මට එකඟ විය නොහැකි විය. මමද එතුමා සමඟ එදාම යෑමට කැමැති බව කියා සිටියෙමි. ධර්මපාලතුමා එයට එකඟ වූයෙන් වහාම ‍ෙදාස්තර හේවාවිතාරණ මහතාට ටැලිපෝන් කොට, මට ද කල්කටාව දක්වා දුම්රිය අවසර පත්‍රයක් ලබා ගන්නා ලෙස නියම කළේය. එදා අද මෙන් පාස්පෝට් ක්‍රමයක් හෝ පිටරට සංචාරය ගැන පාලනයක් හෝ නොතිබිණ. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් කැමැති කෙනකුට මෙරටින් යෑමට ඊමට වුවමනා බැවින් අපට ද එකල ඔවුන් පාලනය කළ අවට යටත් විජිතවලට යෑමට ඊමට කිසිදු තහනමක් නොවීය. මෙරට අද දසලක්‍ෂයක් පමණ ඉන්දියානුවන්ට රටක් නැති පිරිසක් වී අතරමං වී වාසය කිරීමට සිදුව ඇත්තේ එවැනි වගකීමෙන් තොර පාලන ක්‍රමයක් මෙරට පැවැති නිසාය.


මා එදා ඉන්දියාව බලා පිටත්ව ගිය දිනය මට එදා මෙන්ම අද මතකයි. බලාපොරොත්තු රහිත අන්දමින් ඉන්දියාව බලා පිටත්ව යෑමට මට සිදු විය. ගමේ පන්සලේ සිට පහත රටට ආවේත් බලාපොරොත්තු නොවූ විදියකටය. ඒ වෙලාවේම බොරැල්ලේ ශ්‍රී සුමංගලාරාමයට ගොස් එහි අධිපතිව වැඩ සිටි තලගුණේ ධම්මාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් ගමනට අවශ්‍ය පැදුරක්, කොට්ටයක්, පිත්තල සෙම්බුවක් හා සිවුරු පිරිකර ආදිය ලබා ගත්තෙමි. මගේ ගමන ගැන ඇසූ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෙහෙවින් ප්‍රීතියට පත්ව මට ආශිර්වාද කළහ. උන්වහන්සේ එකල ලක්දිව වැඩ සිටි නායක ස්ථවිරයන් වහන්සේලා අතර පරහිතකාමීව ක්‍රියා කළ මහ තෙර නමකි. එදා සවස උන්වහන්සේ ඇතුළු විශාල ගිහි පැවිදි පිරිසක් කොටුවේ දුම්රියපොළට පැමිණ ධර්මපාලතුමා ඇතුළු අපට ආශීර්වාද කළහ. එදා ධර්මපාලතුමා සමඟ ගිය මහනුවර පළාතේ ගුරුවරයකුගේ පුත්‍රයා නම් මෙකල ලංකාවේ ඉතිහාසය පුරාවිද්‍යාව පිළිබඳ විශාරදයකුව සිටින මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් මහතාය.


කුඹල්වැල්ලේ සිරිනිවාස හාමුදුරුවෝ අප කණ්ඩායමේ නායකයා වූහ. ටී.බී. තෙන්නකෝන් නමින් හැඳින්වූ ළමයාට 'විමලානන්ද' යන නම තැබුවේ ධර්මපාල තුමාය.
එදා සවස දුම්රියේ නැඟ කොටුවෙන් පිටත් වූ අපි පසු දින උදේ හයට පමණ තලෙයිමන්නාරමින් නැව් නැංගෙමු. එදා ධර්මපාලතුමාගේ ගමන නිසා නැවේ හා තලෙයිමන්නාරම් දුම්රියපොළේද විශාල පොලිස් පිරිසක් සිටි සැටිත්, පොලිස් නායකයන් ධර්මපාලතුමාගෙන් නානා ප්‍රශ්න ඇසූ සැටිත් අපට මතකයි. ධර්මපාලතුමා රසිකයෙකි. අතරමඟ දුම්රියේ යන විට එතුමා රසවත් කතාන්තර කීවේය. කල්කටාවට ගොස් නිකම් සිටීමට බැරි බවත් බිත්ති මැටි තබන්නට තිබෙන බවත් කීවේය. මස් මාළු කෑම ද තහනම් කළේය. අපි තුන්වැනි දින දවල් ආහාරය දුම්රියපොළටම ගෙන්වා ගත්තෙමු. එහි වම්බටු අල හා මස් සමඟ උයා තිබුණු වෑංජනය මට තවම හොඳට මතකය. මෙය මට බෙදුවේය. දානය වළ¼දාගෙන යන විට වම්බටු මාළුවේ තිබී මස් කෑල්ලක් හමු විය. ඒ දුටු මම "හා මස් තිබෙනවා කන්න එපා" යි කියමින් කෑ ගැසුවෙමි. ධර්මපාලතුමා මා දෙස බලා සිනාසී වටපිට නොබලා කෑ නොගසා තිබෙන දෙයක් පාත්තරය දෙස බලාගෙන වළඳන ලෙස කීවේය. මම එයට කීකරු වුණෙමි.


මා දඹදිව බලා පිටත්ව යෑමටත් පෙර ධර්මපාලතුමා මට කීවේ, ඉන්දියාවට පිටත් කොට එහි රවීන්ද්‍රනාථ තාගෝර්තුමාගේ ශාන්ති නිකේතනයෙහි නවත්වා අවුරුදු පහක්වත් එරටෙහි භාෂා හා ආගමික කරුණු ගැන ඉගෙනීමක් ලබාදෙන බවය. මේ වියදම සම්බන්ධව ධර්මපාලතුමාට හිතවත් හොනලුලු රටේ ධනවත් නෝනා කෙනකු වූ පොස්ටර් මැතිනිය විසින් රුපියල් ලක්ෂයක අරමුදලක් එතුමා නමින් බැංකුවේ තැන්පත් කැරැ තිබෙන බවද දැන ගතිමු. අපට ශාන්ති නිකේතනයේ ඉගෙන ගන්නා අවධියේදී වියදම් කෙළේ පොස්ටර් අරමුදලෙනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon