ලොකු අයියා සහ මල්ලිලා දෙදෙනා

  👤  4055 readers have read this article !
2018-08-05

ඉන්දියාව ලංකාවේ ලොකු අයියා යැයි සමහරු පවසති. කතාව සැහැල්ලු සුරතල් එකක් සේ පෙනුණද එහි ගැඹුරු දේශපාලන අර්ථයක් සැඟව තිබේ. ලොකු අයියා බොහෝවිට මල්ලිලා මත සිය බලය හා අණසක පතුරවමින් ස්වකීය අවශ්‍යතා ඉටු කරගන්නා කළු චරිතයක් ලෙස නිර්වචනය වී තිබේ. එම විශ්ලේෂණය සාධාරණද අගතිගාමීද යන්න තීරණය කළ යුත්තේ අදාළ මැදිහත් වීම් මැන බැලීමෙන් පසුවය. මල්ලිලා මෙන්ම ඔවුන්ගේ මුළු පවුලම ගොඩ දැමූ ලොකු අයියලා ගැන දේශපාලනයේ සමාජ ඉතිහාසයේ මෙන්ම ජගත් සාහිත්‍යයේද අසන්නට ලැබේ.


මේ ඡායාරූපයේ හරි මැද සිටින ලොකු අයියා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිය. දකුණු පසින් සිටින මලයා ජනාධිපති මෛත්‍රිය. වම් පසින් සිටින මලයා අගමැති රනිල්ය. මල්ලිලා අයියාගේ අත අල්ලාගෙන සිටිනවාද එසේ නැති නම් ලොකු අයියා ඔසවාගත් දෙඅත්වල මල්ලිලා එල්ලී සිටිනවාද යන්න බැලූ බැල්මට නිගමනය කළ නොහැකිය. කෙසේ වුවද මේ අවස්ථාවේ අත් අල්ලා ඉහළට එසවීම ගැන අපේ රටේ අගමැති ජනපති දෙදෙනාම එතරම් කැමැත්තක් ඇති බවක් දෙදෙනාගේම මුහුණුවලින් නොපෙනේ.


අපේ අසල්වැසි මහා ප්‍රජාතන්ත්‍රවාදී දේශය සමඟ යහපත් සබඳතා පැවැතීම ඉතා හොඳය. එහෙත් ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව පවත්වන දේශපාලන, ආර්ථික, සංස්කෘතික සබඳතා මෑත අතීතයේදී දෙරටේම බොහෝ මතභේදාත්මක ප්‍රශ්න ජනිත වීමට හේතුවිය. ඉන්දියාව අපේ රට යට කරගනී. ඉන්දියාව සමඟ ඇති කරගන්නා ගිවිසුම් ලංකාවේ ස්වෛරීභාවයට මරු පහරක්ය යන්න බොහෝවිට පෙරට පැමිණි මතය වූයේය. නිදහසින් පසු ගෙවුණු වසර 70 තුළ මේ මතය වරෙක ගිලෙමින්ද නැවත මතුවෙමින්ද පවතින්නේය.


ඉන්දීය අභිලාෂයන් පිළිබඳ සැකය අද ඊයේ ඇති වූවක් නොවේ. ලංකාව යටත් විජිතයක් වශයෙන් තබා ගැනීමට ඉන්දියාව ක්‍රියා කරමින් සිටින බව ප්‍රථමයෙන් පෙන්වා දුන්නේ රෝහණ විජේවීර විසිනි. ඒ සඳහා ඔහු පෙළ ගැස්වූ කරුණු පසු කාලීනව දැඩි විවේචනයට ලක්විය. එසේ කළේ විජේවීර ජාතිවාදී පදනමකින් ඉන්දු _ ලංකා සබඳතා විග්‍රහ කරනවා යැයි චෝදනා කළ පිරිස් විසිනි. ඔවුන් ප්‍රශ්නයේ වැරැදි තැනකින් අල්ලාගෙන විජේවීරට පහර ගැසුවෝය. වර්තමානයේ ඔවුහුද රෝහණ විජේවීරගේ වදන්ම පුනරුච්චාරණය කරති.


අගමැති මෝඩි අපේ රටේ නායකයන් දෙදෙනාගේ අත් ඉහළට ඔසවන්නේ 'එට්කා' ගිවිසුම පිළිබඳව ලංකාවේ බරපතළ විරෝධතා පවතින වකවානුවකය. අගමැති නරේන්ද්‍ර මෝඩි ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත පිළිබඳ අවසන් විනිශ්චයට එළැඹීමට තවමත් කල් වැඩි යැයි අදහසක් ඉදිරිපත් විය හැකිය. එහෙත් මෑත ඉතිහාසයේ ලංකාවේ ප්‍රශ්නවලට අත දැමූ සෑම ඉන්දීය නායකයකුම අත පුලුස්සාගත් බව පිළිගත යුතුය.


මෙහිදී වඩාත්ම අර්බුදයට පත් වූයේ ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකයන්ය. ඉන්දු _ ශ්‍රී ලංකා සබඳතාවන්හි බරපතළම ඛේදවාචකය වූයේ රජීව් ගාන්ධිට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීමය. දීර්ඝ කාලයක් ඉන්දිරාගේ දේශපාලන උපදේශක වශයෙන් කටයුතු කළ ජී.එන්. හක්සාර්ගෙන් කලක් ලංකාවේ ඉන්දීය තානාපති වශයෙන් සිටි ජේ.එෆ්. ඩික්සිත් අප ඉදිරිපත් කළ ප්‍රශ්නයම මෙසේ අසා තිබිණි.


"ගාන්ධි මැතිනිය, ශ්‍රී ලංකාවට මැදිහත් වන්නට තීරණය නොකළා නම් මේ ඛේදවාචක වළක්වා ගන්නට තිබුණා නේද?" ඊට හක්සාර් දී තිබූ පිළිතුර මෙසේය.
"ඔබ ශේක්ස්පියර්ගේ ඛේදාන්ත සියල්ලම කියවා ඇති. සෑම ඛේදාන්තයකටම එක් පුද්ගලයකු පමණක් ගොදුරු කර ඇත. ඒ මන්දැයි ඔබ කල්පනා කළාද? මැක්බත්, ඔතෙලෝ, හැම්ලට් ආදී වශයෙන් වූ එක් චරිතයකටම සියලු දුක් වේදනා පටවා තිබෙන්නේ ඇයි දැයි හිතන්න" යනුවෙනි. ලංකාව සම්බන්ධ වර්තමාන නාටකයේ අවසානය කුමක් විය හැකි දැයි අපි නොදනිමු.


"ඉතිහාසයේ එකම දෙය ඒ ආකාරයෙන්ම දෙවතාවක් සිදු නොවන බවත් වරක් ඛේදාන්තයක් වූ දෙය දෙවැනි අවස්ථාවේ ඒ අයුරින්ම සිදු නොවී විගඩමක හැඩය ගනු ඇත" යන විශිෂ්ට කියමන අපි ඔබට සිහිපත් කරමු.

උදේනි සමන්කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon