රන් රුව රැගත් නෞකාව පෘතුගාලයට ළඟා වෙයි

  👤  3652 readers have read this article !
2018-08-05

කෝට්ටේ රජ කළ බුවනෙකබාහු රජුගේ මුණුපුරා වූ ධර්මපාල කුමරු පෘතුගාලයේ ‍ෙදාන් ජෝන් රජු වෙතින් ඔටුනු පලන් පුවත ප්‍රකට ඓතිහාසික සංසිද්ධියකි. එය සිදු කෙරුණේ ධර්මපාල කුමාරයාගේ ජීවමාන ප්‍රමාණයට තැනූ රන් රුවක් පෘතුගාලයට ගෙන ගොස් ඊට ඔටුනු පලඳවන අභිෂේක මංගල්‍යය පැවැත්වීමෙනි. මේ සිදුවීම වන්නේ අදින් අවුරුදු 477කට පෙර ක්‍රි.ව. 1541දීය. මෙම ලිපිය එම රන් රුවට සිදුවූයේ කුමක්දැයි සොයා බලන විමර්ශනයකි.


"රන් රුව" රැගත් නෞකාව පෘතුගාලයට සැපත්ව ඇත්තේ 1541 අගෝස්තු මාසයේය. එම සම්ප්‍රාප්තිය පිළිබඳ සමකාලීන පෘතුගීසි ලේඛකයෙක් වූ කූටෝ, සහ ක්වේරොස්ගේ ලේඛන ආශ්‍රයෙන් පෝල් ඊ. පීරිස් පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කර තිබේ.


"නෞකාව ද ෆෙයිරොයිරෝ ද ජැකෝ වරායේ ජැටියට සේන්දු වී ඇති බව දැනගත් ද ජෝන් රජු රාජ සභාවේ සිටි සියලුම වංශවතුනට ජැටියට ගොස් තානාපති නිලධාරීන් පිළිගන්නා ලෙස නියෝග කර තිබේ. විම්යෝසා, කැප්ටන් නෙයිරා යන උසස් නිලධාරීන් දෙදෙනා විසින් තානාපතිවරයා ගොඩබිමට කැඳවාගෙන එන ලදී. ගොඩබිමට පැමිණ තම සුපුරුදු ඇඳුම් වෙනුවට තද රන් පැහැති වර්ණ කබාද සුදු සරුවාලද ඇඳ ගත්හ. ඉන්පසු විල්ලා රියර් සහ කොරෙයිරා යන රාජ්‍ය නිලධාරීන් දෙදෙනා සමඟ රාජකීය රථයට නැගී මාලිගාව බලා පිටත් වූයේය. මාලිගාවට පැමිණීමෙන් අනතුරුව තුන්වැනි ජො ආ ඕ රජු විසින් ඉතා අලංකාර උඩු වියනක් යටදී පිළිගන්නා ලදී. එහිදී ඇස ගැසුණු සෑම දෙයක්ම සිංහල දූත පිරිසේ සිත ඇඳ බැඳ ගත්තේය. මෙහිදී තවත් වැදගත් සිදුවීමක් විය. එනම් තුර්කි හමුදාවනට එරෙහිව පෘතුගීසි හමුදාව මෙහෙයවා වීරෝදාර සටනක් මෙහෙයවා ජය ගෙන මහත් අභිනන්දනයට පත්ව සිටි ඩියු සෙනෙවියා හමුවිමට දූත පිරිසට අවස්ථාව ලැබීමය.


ආචාර සමාචාර පිළිගැනීමෙන් පසු දූත පිරිස තමන් විසින් ගෙන එනු ලැබූ තෑගි බෝග රජුට පිළිගන්වන ලදී. බුබනෙකබාහු රජු විසින් එවන ලද පුස්කොළ ලියැවිල්ල රජුට භාර දුන්නේ ඉන් අනතුරුවය.


"තම මුණුපුරු ධර්මපාල කුමරු රාජ්‍යයේ හිමිකරු හැටියට ස්ථිර කරන ලෙසත් එසේ කිරීමෙන් රාජ්‍යයට එරෙහි සියලු විරුද්ධකරුවන් දුර්වල වනු ඇති බවත් එසේ කටයුතු කිරීමට එකඟ වන්නේ නම් කලින් පරිදිම තම රටින් තෑගි බෝග එවනු ඇති බවත් ලියැවිල්ලේ සඳහන්ව තිබිණි. ධර්මපාල කුමාරයාට අයත් රාජ්‍යය ආරක්ෂා කර දිය යුතු බවද සඳහන් විය"


මෙම තානාපති කණ්ඩායමේ සම්ප්‍රාප්තිය එරට වැසියන්ගේ ඉමහත් අමන්දානන්දයට හේතු විය. රන් රුව අභිෂේක කරන උත්සවය රටේ සියලුම ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් රජ මාලිගයේ ප්‍රධාන ශාලාවේ පවත්වන ලදී. එදින රාජ්‍යයේ නිවාඩු දිනයක් බව ප්‍රකාශයට පත්කර තිබිණි. රජුගේ නිල ප්‍රකාශනය කියවන ලද්දේ අල්වාරෝ නමැති ලේකම් තැන විසිනි. එදින ධර්මපාල කුමරාගේ අභිෂේක මංගල්‍යය නිමිති කොට ගොන් පොර ප්‍රදර්ශනයක්ද පවත්වන ලදී.


(ලංකාව හා පෘතුගීසි යුගය-පෝල් ඊ. පීරිස් පිට 169-170)


අල්වාරා සකස් කළ නිල ප්‍රකාශනයේ කුමාරයාගේ සහ සිංහල රාජ පරම්පරාවේ භාරකරු හැටියට සම්බහප් පෙරුමාල් සහ ඔහුගෙන් පැවත එන පරපුර නම් කරන ලදී. තෝලක තැන වූයේ අන්තෝනියෝ පෙරෙයිරාය. දූත පිරිස ආපසු ගමන ආරම්භ කරන්නේ 1543 මාර්තු 25 දින බවත් දියෝගුද සිල්වේරාගේ නෞකාවෙන් ඔවුන් ගමන් ආරම්භ කළ බවත් කොරෙයා පවසයි. පෙරදිග රටක කිරීටය පෘතුගාලයට අත්වීමේ පී්‍රතියෙන් උදම් වී ලිස්බන් නගරය පුරා පී්‍රති උත්සව පැවැත්වූ බව සඳහන් වෙතත් ඔටුණු පළන් රන් රුවට නැවත ගෙන ඒම පිළිබඳ දැනට අපට පරිශීලනය කළ හැකි ලේඛනවල කිසිදු සඳහනක් නැත. බුවනෙකබාහු රජු වෙත එවන ලද තෑගි භාන්ඩ ගැලි දෙකක් නැවට පැටවූ බවත් සඳහන්ය. එසේම ප්‍රතිකාල් රජු විසින් එවූ පණිවුඩ තානාපති භාරයේ මෙරටට ලැබුනු බවද සඳහන්ය. සඳහන්ව නැත්තේ මෙරටට ගෙනෙන ලද රන් රුවට කුමක් වීද යන්නය.


(රන් රුව බහාලූ පෙට්ටිය හමුවෙයි.)

ලබන සතියට

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon