නැවත කිසිදාක කොටි සංවිධානයට සම්බන්ධ නොවන්නට නිරෝමි තීරණය කරයි

  👤  4563 readers have read this article !
2018-08-05

සංවිධානයෙන් සමුගැනීමේ සතුට විසින් මා අකිලාගෙන් සමුගැනීමේ ශෝකය තරමක් දුරට අකා මකා දමනු ලැබ තිබිණි.
'ඇයි මට කලින් නොකිව්වේ අකිලා වැලපුණාය.

'ඔයා මාව දාල යන්නේ ඇයි නිරෝමි. ඔයා මා ළඟින් ඉන්න ඕන නේද? අපි කොච්චර දුරක් නම් එකට ආවද? මට හිතාගන්න බෑ මේ මොනවත්'
මා ඇගේ අත අල්ලාගෙන ඇය දෙස බලා සිටියේ විළියෙනි. මට කිසිවක්ම කතා කරගත නොහැකි විය.


'අකිලා දැන් යන්න. ඔයාගේ කට්ටිය පේන තෙක් මානෙක නෑ. ඔයාට එයාලව මඟ ඇරේවි'
සෙංගමාලම් අකිලාගේ ගමන කඩිනම් කරවූවේය.


අප අතර වූ වැලඳ ගැනීම එකවරම ලිහිල්ව ඇගේ අත පහත වැටිණි. ආපසු හැරුණු ඇය අනෙක් සගයන් සොයා දුවන්නට පටන් ගත්තාය. හෙළි පෙහෙළි කොට තිබූ භූමිය දිගේ දුව ගිය ඇය වනයට වැදෙන්නට පෙර එක් වරක් මා දෙස හැරී බැලුවාය. උදෑසන පායා නැඟී එන හිරුට පිටුපා සිටි මම ඇය දෙසම බලා සිටියෙමි. ඇගේ එක් අතක ර් 16 රයිෆලයත් අනෙක් අතෙහි මා දුන් සරමත් ඇඳුම් කිහිපයත් රැඳී තිබිණි. ඒ වනවිටත් ඇය හඬමින් සිටි බව නිසැකය. දීප්තිමත් හිරු එළියෙන් මිදී වනාන්තරයේ අන්ධකාරය තුළට මුහුම් වූ ඇය ක්‍රමයෙන් නොපෙනී යන තුරුම මම ඇය දෙස බලා සිටියෙමි.


පැල්පතෙහි මිදුලේ අඹ ගස යට සෙවණෙහි මම වාඩිවී සිටියෙමි. සුළඟින් කොළ සෙලවෙන නාදයට සවන්දීගෙන මා සිටියේ යම් පමණක සැහැල්ලුවෙනි. ගෙවත්ත පිරී තිබුණේ පොල් හා තල් ගස්වලිනි. ඒ අතර කෙසෙල් පඳුරු ද දක්නට විය. සුළඟ හමා ආවේ අසල වූ ගව මඩුවෙන් නැවුම් ගොම සුවඳ රැගෙනය. මා නැවතී සිටි නිවෙසේ මහලු කාන්තාව ජීවිකාව උපයා ගත්තේ එම ගව මඩුවෙනි. මා අසලම වූ පොල් ගසක බෙනයක් විය. ගෙල වටා රතු මාලයක් සහිත ගිරවෙක් බෙනය තුළට රිංගා යනු මම බලා සිටියෙමි. අනතුරුව ඇය ප්‍රීතියෙන් හඬ නඟනු ඇසිණි.


මා එම නිවහනට පැමිණ දින තුනක් ගත වී තිබිණි. මගේ ඉල්ලා අස්වීමෙන් පසුව අප තිදෙනා ට්‍රැක්ටරයකින් වෙනත් නිවෙසකට කැඳවාගෙන එනු ලැබිණි. ඉන් පසුව එක්තරා තරුණයෙක් මා මෙම නිවෙසට ගෙන ආවේ ඔහුගේ බයිසිකලයේ ඉදිරිපස හිඳුවාගෙනය.


මා සිටින තැන අම්මාට දන්වන බවට සෙංගමාලම් සපථ වූ හැටි මට නැවත නැවතත් සිහි විය. ඔහු මට දුන්නේ ඉටු කළ නොහැකි පොරොන්දුවක්ද? සතුරු හමුදාවෙන් පිරීගත් යාපනය වෙත ඔහු මගේ ලියමන කෙලෙසක යැව්වාද? හැරත් මුළු මහත් කොටි හමුදාවම යාපනයට කිලෝමීටර් සියයක් දුරින් වූ වන්නි වනයේ සැඟවී සිටින කල?
සමහර විට අම්මාත් ශිරානිත් නුවර පදිංචියට ගොස් ඇතිවා වන්නටද ඇත. සමුගත් පසුව මගේ පවුලේ අය හා එක්වන්නට මට උපකාර කළ හැක්කේද කොටි සංවිධානයටමය.
බසයක හෝ දුම්රියක නැඟී කොළඹට හෝ නුවරට යෑම ද පහසු කටයුත්තක් නොවීය. මා අත මුදල් හෝ හැඳුනුම්පතක් නොතිබිණි. මම මඟ ලකුණු ද හරි හැටි නොදැන සිටියෙමි. හමුදාවෙන් ප්‍රශ්න කළහොත් මා තනිව යාපනයට යන සාවද්‍ය හේතු කාරණා ඔප්පු කළ යුතු විය. කැරැලි ගැසුණු හිස කෙසින් යුක්තව පමණට වඩා විශාල දම් පැහැති බතික් ගවුමකින් සැරසී, නිරාවරණ දෙපයින් මා ආපසු නිවෙසට යන අයුරු මම සිතින් මවා ගතිමි. මා එලෙස දකින නිවැසියන් හා නෑ හිත මිතුරන් විස්මිත වනු ඇත.
'ළමයා....!'


ගෙහිමි කත මා ඇමැතුවේ එලෙසිනි. ඉරී ගිය සාරියක් හැඳි ඒ කෙසඟ ගැහැනිය අවුරුදු හැත්තෑවකට ආසන්න වයසක සිටින්නට ඇත. ඇය මගේ නම ඇසුවේද නැත. මමද ඇගේ නම ගම නොවිමසුවෙමි. අෑ නිවෙසේ තනිව විසුවද ඇගේ උපකාරයට තරුණයෝ දෙදෙනෙක් දිනපතා පැමිණියහ. උදෑසන පැමිණ ගවයන් තණ බිමට රැගෙන ගියේ එක් තරුණයෙකි. ඇඳිරිය වැටෙද්දී ගව රැල ආපසු දක්කාගෙන ආවේද ඔහුමය. ගෙවත්තෙහි වැඩට උදවු දුන්නේ, දර පැළුවේ හා කඩපළට කිරි රැගෙන ගියේ තවත් තරුණයෙකි.
ඇය කොටි හිතවාදී කාන්තාවක් වන්නට ඇත. නැතහොත් ඇගේ පුත්‍රයෙක් හෝ ඥාතියෙක් කොටි සංවිධානයට බැඳී සිටියා විය හැකිය. අපි වචන තබා සිනහවක් පවා හුවමාරු කර නොගත් තරම්ය. ඇය මට කතා කළේ කෑම වේලාව සිහිපත් කරන්නට පමණකි. අනතුරුව අපි දෙදෙනා තද - බද වූ ඉස්තෝප්පුවේ වාඩි වී නිහඬවම ආහාර ගතිමු. හැම විටෙම දිවා හා රාත්‍රි ආහාරය සඳහා එහි පිසුණේ රතු කැකුළු බත් සහ කෙසෙල් වෑංජනයකි. අතුරුපස සඳහා නැවුම් යෝගට් එකක්ද නොවැරැදීම ලැබිණි.


දවසේ වැඩි කාලයක් මා එහි ගත කළේ ඉදිරිපස මිදුලේය. මම එහිදී මා හා තනිව කතා කළෙමි. ශිරානි ඒ සියලු දේ අසා හිඳිතැයි මම උපකල්පනය කළෙමි. පසුගිය කාලයේ මගේ අත්දැකීම් පැහැදිලි කරද්දී මට වැලි මිදුලේ කෝටුවකින් සිතුවම් අඳින්නට ද සිදුවිය. මා ඒ සියලු දෑ විස්තර කළේ වෙනත් කිසිවකුගේ අත්දැකීම් ලෙසටය. සමහර දිනෙක මම ගෙමිදුල අතු ගා පිරිසුදු කළෙමි. තවත් විටෙක ගවයන් ගාල් කරන්නට උපකාර වූයෙමි. මා ගවයන් නැහැවූ අවස්ථාද විය. එහි විදුලි ආලෝකය නොතිබූ හෙයින් අප රාත්‍රි ආහාරය ගත්තේ චිමිනි ලාම්පුවක ආලෝකයෙනි. රාත්‍රි ආහාර ගත් විගස ඇය ඉස්තෝප්පුවේ වූ ලණු ඇඳට වැටුණාය. මා වැතිර ගත්තේ ඇය අසල ගෙබිමය. උදෑසන ඉරත් සමඟම අපි දෙදෙනා ද අවදි වීමු.


දින ගෙවී ගොස් සතියක් බවට පත් වී තිබිණි. මට මගේ පවුලේ අයගේ හමුවීම පිළිබඳව සැකයක් නූපන්නා ද නොවේ. මම නොයෙක් ආකාරයෙන් සිදුවිය හැකි දෑ සිතින් මවා ගත්තෙමි.


සමහර විට අම්මා මඟ එමින් සිටිනවා ඇත. ඇයට මගේ ලියුම නොලැබුණා වන්නටද බැරි නැත. එසේ නැතහොත් ලියුම ලැබුණද අම්මා මා දකින්නට පැමිණීම ප්‍රතික්‍ෂේප කළා විය හැකිය. ඇය නොපැමිණියද මට ඇයට ‍ෙදාස් පැවරිය නොහැකිය. මා ඇයටත්, ශිරානිට හා අප්පාටත්, බොහෝ දුක් ගිනි උරුම කොටදී ඇත. සමහර විට ඔවුන් මට කිසිදාක සමාවක් නොදෙනු ඇත.


එසේ වුවහොත් මේ මහලු කත සමඟ සදා මෙලෙසින් ජීවත් වන්නට සිදු වනු ඇත. කවුරුන් හෝ මා සුරක්‍ෂිත ස්ථානයකට කැඳවාගෙන යන්නට පැමිණෙන තෙක් මම බලා සිටියෙමි. කෙසේ නමුත් නැවත කිසිදාක කොටි සංවිධානයට නොබැඳෙන්නට ද මම තීරණය කොට සිටියෙමි.


අනෙක් අතට භීෂණය මා පසුපසින් පන්නා එමින් සිටියේය.


කෙසේ වෙතත් තවත් සතියක් එලෙස නැවතී හිඳින්නට මම කල්පනා කළෙමි. අනාගතය අවිනිශ්චිත වුවද මම නිවැරැදි දේ කළෙමි යැයි යන විශ්වාසය මා සිත තුළ විය. ඒ වනවිටත් යුද්ධය තුළ මගේ ජීවිතය කිහිප වතාවක්ම ගැලවී තිබිණි.


එය එක්තරා දහවලකි. ඒ මා එම නිවෙසට පැමිණ ගෙවී යමින් තිබූ අටවැනි දිනයයි. හදිසියේ මිමිනුම් හඬක් සමඟ පා ගැටෙන නාදයක් පිටත වැට දෙසින් මතුව ආයේය. ගේට්ටුව විවර විය. ඉන් ඇතුළු වූයේ මා එම නිවෙසට කැඳවාගෙන ආ තරුණයාමය. ඔහු පිටුපසින් තවත් පුද්ගලයෙක් සිටියේය. ඔහු හැඳ සිටියේ සුදු සිල්ක් කමිසයක් හා අළු පැහැති දිග කලිසමකි. ප්‍රසන්න මුහුණක් සහ තට්ට හිසැති ඒ උස මිනිසා නගරයෙන් ආ අයකු විය යුතු යැයි මට සිතිණි.


'මේ ඉන්නේ එයා තමයි'
අඹ ගසට බයිසිකලය හේත්තු කළ තරුණයා ආගන්තුකයාට කීවේය.
'ඔයා මාව අඳුරන්නේ නම් නෑ'
අමුත්තා මා ඉදිරිපිට සිට කීවේය. ඔහුගේ සිනාසෙන ඇස් මුරලිගේ මෙනැයි මට සිතිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon