බ්‍රසීල් සෙන්ට්‍රල් බැංකුවේ මහා කොල්ලය

  👤  3852 readers have read this article !
2018-08-05

2005 අගෝස්තු 8 සඳුදා උදෑසන අටට බ්‍රසීලයේ ජ්ධපබචතඥලච නගරයේ පොලිස් ස්ථානයේ දුරකථනය නාද විය. ඇමතුම ලැබුණේ එහි පිහිටි සෙන්ට්‍රල් බැංකුවෙනි.
"හොරකමක් සිදුවෙලා. වහාම එන්න" ඇමතුම මැනේජර්වරයාගෙනි.


"හොරකමක්? ආ..... කවුරු හරි බැංකුවේ කොම්පියුටරයක්වත් අරන් ගිහින්ද? අපිට කෝපි ටිකක්වත් නිදහසේ බොන්න විදියක් නැති හැටි" කියමින් උදෑසන කෝපි බීම නැවතූ පොලිස් නිලධාරීන් පිරිස වහාම එම ස්ථානයට ළඟා වූහ.


එහෙත් ඔවුන්ට මුහුණදීමට සිදුවූයේ ලෝකයේ විශාලතම බැංකු කොල්ලයටය. ඩොලර් මිලියන 160ක මුදල් නෝට්ටු අතුරුදන් වී තිබිණි.


දකුණු ඇමෙරිකාවේ විශාලම රට වන බ්‍රසීලය කරුණු තුනක් සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. කානිවල් පැවැත්වීම, පාපන්දු සහ අපරාධ යනු ඒ තුනය. මෙම මංකොල්ලයට මාස කිහිපයකට පෙර එම නගරයේ එක්තරා ගරාවැටුණු ගොඩනැඟිල්ලක සතර කන් මන්ත්‍රණයක් සිදු වූයේ සැමට රහසිනි.


"අපිට විශ්වාසය තියන්න පුළුවන් දක්ෂ ඉන්ජිනේරුවෙක් හයර් කරන්න වෙනවා. ඉංගී්‍රසි කතා කරන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕනෙ. අපරාධ කරපු ඉතිහාසයක් තියෙන්නත් ඕනෙ."


"හරි..... හරි..... දැන් ඉතින් සල්ලි ගන්න විදිය කොහොමද?"
"අපි බැංකුවට මෙහා තියෙන ඉඩමෙ ඉඳල උමඟක් හාරනවා. ඒක කෙළින්ම මතු වෙන්නෙ මුදල් ගබඩාව ඇතුළට." මෙහෙයුමේ මහ මොළකරු තම හිත මිතුරා විස්මයට පත් කරමින් සැලැස්ම විස්තර කළේය.


බැංකුවේ ආරක්ෂක නිලධාරියාද එක් කරගත් ඔවුන් මුදල් ගබඩාව තුළ ඇති කැමරා පද්ධතිය, හදිසි අවස්ථාවක නාද වන අනතුර හඟවන නළා සංවේදක පිළිබඳ සම්පූර්ණ විස්තර ලබා ගන්නා ලදී. අතිරේක වැඩවලට පැමිණි අයත් සමඟ මුළු කණ්ඩායම 25ක් පමණ විය.


දැන් ඉතින් මෙහෙයුමට සියල්ල සූදානම්ය.


පළමුව සිදුවූයේ බැංකුවට යාබද පිහිටි ඉඩම් කට්ටි දෙක තුන සහ ගොඩනැඟිලි මිලට ගැනීමය. එහි අලුත් ව්‍යාජ ව්‍යාපාරයක් ඇරැඹිණි.
"කෘත්‍රිම තණකොළ නිෂ්පාදනය සහ ශාක අලෙවි කරන භූමි අලංකරණ සමාගම"


විශාල තාවකාලික තාප්පයකින් ආවරණය වුණ දස දෙනෙක් පමණ සේවය කළ ව්‍යාපාරික ස්ථානයේ විචිත්‍රවත් දැන්වීම් පුවරු අෑතට දිස් විය.


උමඟ හෑරීම ආරම්භ විය. එය දිගින් අඩි 256කි. පළල අඩි දෙකහමාරකි. හතරැස් හැඩයෙන් යුතු විය. මෙම පිරිස ගණිතය ඉන්ජිනේරු විද්‍යාව ආදී විෂයයන්ගෙන් දස්කම් ඇති අය වූයෙන් උමඟ තුළ විදුලි සැපයුමක් වායු සමීකරණ පද්ධතියක් පවා සකස් කළහ. උමඟේ බිත්ති දැව සහ ප්ලාස්ටික්වලින් ආවරණය කළහ. උමඟෙන් හාරන පස් නිතිපතා විශාල කන්ටේනර්වල පටවා ඉවතට රැගෙන ගිය අතර අවට අය එය ඔවුන්ගේ ව්‍යාපාරයට අදාළ දෙයක් ලෙස සැලකූ බැවින් කිසිවෙක් සැක නොකළහ. ඔවුන්ගේ ඉලක්කය වූයේ උමඟ තුළින් ඇතුළුව (පසුව විනාශ කිරීමට හෝ සංරක්ෂණය කිරීමට තීරණයක් ගන්නා තුරු ගොඩගසා තිබූ) පැරැණි මුදල් නෝට්ටු සොරකම් කර ගැනීමය. අලුත් මුදල් නෝට්ටු නොගෙන පැරැණි ඒවා ගැනීමට හේතුව ඒවා අනුපිළිවෙළට අංකනය කර තැබූ සටහන් නොමැති නිසා පසුව ඇල්ලීමට විදියක් නොමැති වීමය.


වැඩසටහනේ අසීරුම කාර්යය වූ අවසාන අඩි 3.6ක ගනකම් වානේ හා කොන්ක්‍රීට් තට්ටුව බිඳ දැමීමය. සියල්ල අවසානයේ ඇඟිලි සලකුණු මකා දැමීමට හුනු ආලේප කරන ලදී. ඔවුන් උමඟ නිමා කොට මුදල් ගබඩාවට ඇතුළු වූයේ බැංකුව වසා තිබූ සති අන්තයේයි. අඩි 108ක් උසට ගොඩගසා තිබූ ටොන් තුනහමාරක් බර නෝට්ටු එතැනින් ඉවත් කිරීම ඉතා බරපතළ මෙහෙයුමක් විය. මැදියම් රැයේ සියලු දෙනාම පෙළට සිට මුදල් පිරවූ මලු අතින් අත යවමින් සියලුම මුදල් ඉවත් කර ගන්නා ලදී. ඒවා වාහන ප්‍රවාහන ට්‍රක් රථ මෙන් පෙනෙන විශාල කන්ටේනර්වල දමා නගරයෙන් ඉවත් කර ගන්නා ලදී.


එම ට්‍රක් රථ ගණනාවකින් එකක් සැකපිට අත්අඩංගුවට ගැනුණු අතර රට පුරා විසිරී ගිය මුදල්වලින් සොයාගත හැකි වූයේ ඩොලර් විසිදාහක් පමණි. කුමන අපරාධයක වුවත් යම් සාක්ෂියක් ඉතිරි වන බවට කියමනක් ඇත. අතපසුවීමකින් උමඟ තුළ වැටී තිබුණු පෙර ගෙවුම් කාඩ්පතකට අනුව ප්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගැනීමට හැකි විය.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon