පෙම් බැඳුණු හැටි රසයෙන් පිරුණු හැටි

  👤  3794 readers have read this article !
2018-08-05

මේ... මීට වසර සියයකටත් පෙර මෙරට ගැමියන් අතර පැවැති සිරිත් විරිත් හා බැඳුනකි. මහ වන මැද වූ ඒ ගම්වැසියනගේ සරල ජීවිතය අද නැතිවා වුව වත්මනෙහිද මේ සිරිත් විරිත්වලින් ආලෝකවත් වූ අවස්ථා ඉඳ හිට ගම්මාන තුළ පවතී. එබැවින් මේ කියන රසකතාව මීට බොහෝ කාලෙකට පෙරවූ සිදුවීම් හා බැඳුණේය.


එදා අවුරුදු 15 හා 20 අතර කාලසීමාවේදී දූ දරුවන්ගේ ආවාහ විවාහයන් කෙසේ හෝ සිදුවිය යුතු බවට මවුපියන්ගේ සතුට දනවන දෙයක් විය. විවාහය තම ගමෙන් හෝ යාබද ගමකිනි. එදා මඟුල් කපුවන් හා මවුපියන්ගේ යෝජනා අනුවම විවාහ වීම් ඉතා අඩුවිය. තම පෙම්වතා හෝ පෙම්වතිය තෝරා ගැනීම තරුණයාටත් තරුණියටත් රිසි පරිදිම වන මැද ගම්වල සිදුවිණි. බාහිර ලෝකයේ නවීනතා නොමැති වුවද මේ පෙම්වතුන්ට ගම්බද ජීවිතයේ ඉමහත් රස අතීතයක් තිබිණි.


පෙම් බැඳුම් වැඩිපුරම හටත්තේ අතරමඟදීය. හිත් වැටුණු තරුණයා තරුණියව හමුවීමට කෙසේ හෝ මඟක් පාදා ගනී. එය ඇතැම් විට බුලත් විටට හුනු ටිකක් නැති නම් දුම්කොළ ටිකක් ඉල්ලීමට තරුණයකු ගෙයකට ගොඩ වැදීමකි. නැති නම් හෙනේ කුරහන් නෙළා දීමට හෝ එහි අස්වැන්න ගෙන ඒමට හෝ තරුණියක් ගමේ සෙසු ගැහැනුන් සමඟ ඉදිරිපත් වීමකි. සිත් වැටුනේ නම් ඒ තැනැත්තා හා කතා කිරීමට ඉඩ ලැබෙන්නේ ඔවුනොවුන්ගේ හැඩ වැඩ හා කරන කියන දේ දැකගත හැකි මෙවන් තැන්වලදීය. ගම්වල මේ ස¼දහා හොඳම තැන යැයි කියැවෙන්නේ කවුරුත් එකතු වන පොදු ළිඳ හෝ පිහිල්ලය.


ඔවුන්ගේ හමුවීම් හා පෙම්බස්ද අදට වඩා බොහෝ වෙනස්ය. තරුණයකුට යම් තරුණියක් කෙරෙහි ආදරයක් ඇතිවූයේ නම් ඇය හමුවූ විටෙක බොහෝවිට විමසන්නේ...
"උඹ මා එක්ක යන්න කැමැතිද" කියලාය. ඇයට ඒ වෙලේම පිළිතුරක් දී ගත හැකි නම් පවසන්නේ හොඳයි කවදද? යනුවෙන්ය. මේ විමසීම පළමු කොටම සිදු කරන්නේ තරුණිය නම්.... ඇය විමසන්නේ...


උඹ මාව ගන්න කැමැතිද? කියලාය. තරුණයාට ඒ මොහොතේම තීරණයක් දෙන්න බැරිවී නම් කියන්නේ... පස්සේ කියන්නම් කියලාය. කියාගන්නම බැරි වී නම් තරුණයා හේනේ පැලට වී පැල් කවි ගොතා කියන්නේ තම සිත බැඳි ආදර සෙනෙහසය. ඒ ඇයට ඇසෙන්නටය. එය ඇයගේ සවන් වැකුණේ නැතිවා වුවත් අෑතින් ඒ හඬ එන්නේ අසවලාගේය යන්න ඇය සැණින් හඳුනා ගනියි.


එදා වන මැද ගම්මානවල සබන් භාවිතය බොහෝ අඩුය. සබන් තිබුණය කියන්නේද ලොකුම දෙයකි. මුදල් හිඟ බව මෙන්ම පහසුවෙන් ලබාගත හැකි දුරක නොතිබීම මීට මූලිකම හේතුවය. හේනෙන් ලබාගත් යමක් විකිණීමෙන් හෝ අහම්බෙන් ලැබෙන කුලී වැඩකින් හෝ සුළු මුදලකින් ලබා ගැනීමට හැකි වූයේ නම් හෙතෙම මහපාරේ ඇති කඩයක් සොයා සැතපුම් ගණනක් දුර යන්නේය. එහි ගොස් සුවඳ හමන සුදු සබන් කැටයක් මිලදී ගනී. ඒ සබන් කැටය තමන්ට හිතවත් සගයකු අතේ ඇයට යවයි. ඇය එය භාරගෙන පිහිල්ල හෝ ළිඳට ගොස් නාද්දී සබන් සුවඳ විහිදෙයි. මේ පෙම් සබන් සුවඳේ අගමුල ගැන හැඟෙන සෙසු තරුණයන්ගේද නෙත් ඇය වෙත ඇදෙන්නේ කුතුහලයක් ඇති කරමිනි. මේ නිසා ගමේ කා අතරත් සැක සංකා හටගනියි. ඊර්ෂ්‍යාවෙන් යුතුව ඊට ද්‍රෝහිකමක් සිදු කරන්නේ කලාතුරකිනි.


එදා බොහෝ තරුණ තරුණියෝ පෙම් බැඳුම් හට ගත් පසු ගමෙන් මොහොතක් හෝ පිටව සිටිනවාට කැමැත්තක් නැත. නිතරම ඇයව ඔහුව දකින සිත් ඇතිවම කල් ගෙවීමට කැමැතිය. ලියුමක් ලියාගන්නට හැකි වීම මේ පෙම් බැඳුම්වල ඉතා ඉහළ ගුණයක් ඇති දෙයකි. ප්‍රේමයක් හට ගත් පසු එය ලියුමකින් ලියා දැන්වීම රසයෙන් පිරුණෝය. ලියුම ලියන්නාගේ සිතැඟි මෙන්ම ඔහුගේ චරිතයද ඉන් මැනවින් වටහාගත හැකි වනු ඇතැයි එදා පෙම්වත්හු වටහාගෙන සිටියහ.


මේ බොහෝ පෙම් හසුන් වාසගම සඳහන් නොකර ලියූ තැනැත්තා වටහාගත හැකි අයුරින් ලියූ කවි සිතුවිලිය. සැබැවින්ම කවිය ඇතැම්විට මේ බොහෝ කවි ඒකාකාරි විය. ඊට හේතුව නම් මෙසේ ලියා තිබුණු වදන් හා යෙදුම් ප්‍රචාරය වීම නිසා ඒවා මතකයේ තිබී යළි යළිත් ඒවාම ලියැවුණු නිසා වන්නට පුළුවන. ඇතැමුන් දැනුම් තේරුම් ඇති අයගෙන් ලියන හැටි දැනගත් අතර ඒ අය බොහෝ විට දැනුමැති, රස සිතිවිලි ඇති මැදි වයසේ වූ විවාහකයෝද වෙති. බොහෝ ගම්වල කවි සිතිවිලි පෙළගස්වන්නට උපන් හපන්කම් ඇති මවුවරුද සිටියහ.


තමන්ට ලැබුණු පෙම්පත් සුරැකිව තබා ගන්නේ පොල් කොළ හෝ පන් කොළවලින් වියූ පෙට්ටිවලය. ඔවුන්ට එදා තිබුණේ ඇඳුම් සුළු ප්‍රමාණයකි. ඒ තිබෙන ඇඳුම් අතර මේ පෙම්හසුන් සැඟවිය. මේ කවි බොහෝමයක තමන් අවට තිබෙන පරිසරයත් ඉන් අත්විඳි සැබෑවත් දැවටී තිබිණ. ඒ නිසාම ඒවා සුන්දර විය.
මෙහි දැක්වෙන්නේ එදා වන මැද ගැමි යුවතියක් සිය පෙම්වතාට ලියා යැවූ කවි දෙකකි.

උදේ රෑට ගොයමට පිනි බෑවා වගේ
සැන්දෑවට ගස්වල මල් පිපුණා වගේ
රත්තරන් බඳට ගෝමර ඉසුණා වගේ
ඉවසාගෙන ඉන්ට බැරුවා හිතට මගේ

විලක නෙලුන් මල් පිපිලා පැණි දෙනවා
මලක බඹරු රොන් අරගෙන විහි දෙනවා
ඔබට බැඳපු ආලය මගේ වැඩි වෙනවා
කොතැනක ගියත් ඔබ හට ජීවිත දෙනවා
ආදරය, විරහව, පාළුව, තනිකම යන සියල්ල කැටිවූ පෙම්වතුන්ගේ හැගුම් එක එක රස මට්ටම්වලට අනුව කවිපද අතර බැඳී තිබුණු රසවත් යුගයක් කෙසේ හෝ එකල තිබිණ. මේ අතර දිනෙන් දින මෝරන ආදරය නිසා දුක දැනී කඳුළු වැගිරෙන තරමට ශෝකී බවක් දැනේ යැයි ලියැවුණු කවිද තිබිණ. මේ එවැන්නකි.

කන්ට බැරිය බත් උගුරේ හිර වෙනවා
බොන්ට බැරිය ඇල් වතුරත් උණු වෙනවා
උඹට තිබුණු ආදර මගෙ වැඩි වෙනවා
ආදර නුඹ නිසා මගේ ජීවිතෙ දෙනවා

පස්ස බල බලා පාරේ යන්ට එපා
මූණ බල බලා ගින්දර දෙන්ට එපා
දුන්නු දුක් මදිව තවදුක් දෙන්ට එපා
ආදර මිතුර මම ඇරලා යන්ට එපා

මේ ලියුම් කවිවලින් ලියා එහි අගට බොහෝ දෙනා සටහන් කළ එකම දෙයක් තිබී ඇත. ඒනම්. "මේ ලිපිය දුටු වහාම මට උත්තර ලැබෙයි කියා. මම බලාපොරොත්තුවෙන් සිටිනවා." කියලාය.


විවාහය ගිවිස ගන්නේ මේ කවිපද බැඳුම් හුවමාරු වූවාට පසුය. රොබට් නොක්ස් මේ ගම් දනව්වල එදා පැවැති තොරතුරු සොයා ගැනීමට උදව්වක් වෙයි. වන මැද ගම් දනව්වල නීත්‍යනුකූල කසාද ලිවීමක් නැත. විවාහවීමට දෙදෙනාම කැමැති වූ විට තම මවුපියන්ට දන්වති. ඉන් පසු එක් පසෙක මව හෝ පියා අනෙක් පසේ මවුපියන් හමුවී විවාහය ගැන අදහස් හුවමාරු කර ගනිති. මවුපියන්ගේ විරෝධය පළවන්නේ කලාතුරකිනි. සුබ නැකැත් බලති. වෙනදාට වඩා අමුත්තකට මඟුල් ගෙදර දක්නට ලැබෙන්නේ මාළු පිනි එකක් දෙකක් වැඩිවීම හා කැවුම් ටිකක් බැදීමය. මනාලියට අඳින්නට දීම සඳහා හැට්ටයක්, චීත්තයක් හා මාලයක් හෝ මුද්දක් මනාලයා විසින් ගෙනනු ලැබේ. සිය මවුපියන් හා හිතවතුන් කිහිප දෙනකු කැටුව පෙම්වතියගේ ගෙට ගොස් ඒවා දී මඟුල් කෑම කා පැයකින් පමණ පසු මනමාලිය කැඳවාගෙන යයි.


මෙසේ විවාහ වී මනමාලයා ගෙදරට ගිය විගසම අෑ ඒ ගෙදර ‍ෙදාරේ කටයුතු කරන්නට පටන් ගනී. කිසියම් විදියකින් විවාහය කඩ කිරීමට සිතුණොත් මනමාලයා විසින් දුන් චීත්තය හා හැට්ටයත් මාලය හෝ මුද්දත් ඔහුගේ ගෙදරම තබා යයි. මවුපියන් එකතුව එය නැවත පිළියම් කිරීමට ගන්නා උත්සාහයද අසාර්ථක වුවහොත් කසාදය ඉන් අවසන්ය.
දෑවැද්ද සඳහා දුන් හරකුන් හා වෙනත් දේපළ ඇතොත් ඒවා මනමාලයා විසින් ආපසු භාර දිය යුතුය. එසේ නොකළහොත් මදි කමකැයි සිතති. එයින් නොනැවතී අන් කෙනකුන් සොයා ගැනීමෙන් හෝ සොයාදීමෙන් ඇයට දෙවැනි විවාහයකටද ඇතුළත් විය හැකිය. උසාවි ගානේ රස්තියාදු වීමක් නැත.


එස් රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon