පර්පචුවෙල් ධනපති පන්තිය

  👤  3702 readers have read this article !
2018-08-05

දේශපාලනඥයන්ට සහ දේශපාලන පක්ෂවලට බලපෑම් කරන අලුතෙන් පොහොසත්වූ මැද පන්තියක් මේ රටේ බිහිවී තිබෙන බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ පසුගියදා ප්‍රකාශකර තිබිණි.


ජනාධිපතිවරයාද සහභාගි වූ රැස්වීමකදී අදහස් ප්‍රකාශ කළ මහාචාර්යවරයා මේ අලුත් බලවේගය හඳුන්වා තිබුණේ "පර්පචුවෙල් ධනපති පන්තිය" ලෙසය.
පර්පචුවෙල් ධනපතියෝ තම මුදල් බලයෙන් ඇමැතිවරුන් හා ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් අල්ලේ නටවන අතර ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදනයටද බලය පතුරුවන තරමට මේ වන විට ඔවුන් ශක්තිමත්ව සිටින බවද හෙතෙම පෙන්වාදී තිබිණි. මේ නව ධනපති පන්තිය දේශපාලන පක්ෂවලට කෝටි ගණනින් මුදල් විසිකර ඇති අන්දම තවමත් හෙළිදරව් වෙමින් තිබේ. මේ මුදල් කොහෙන් කෙසේ පාත් වෙනවාදැයි ජනතාව කුෂ්ණිම්භූතව බලා සිටිති.


එක් මන්ත්‍රිවරයෙක් තමා පර්පචුවෙල් සමාගමෙන් මිලියන 3ක් ගත් බව ප්‍රසිද්ධියේ පිළිගත්තේය. එපමණක් නොව අවශ්‍ය නම් එම මුදල් දනට පිනට දෙන්නට වුවත් කැමැති බවද කීවේය. තවත් මන්ත්‍රිවරයකු කීවේ තමා පමණක් නොව මන්ත්‍රිවරු 118 දෙනකු බැඳුම්කර කල්ලියේ මුදල් ලබාගත් බවයි. චෙක්පත්වල අංකද හෙළි වූ නමුත් දැන් ඒ සියල්ල කිසිදු විමර්ශනයකින් තොරවම යට ගොසිනි. ආණ්ඩුව ඒ පිළිබඳ උදාසීන ඇල්මැරුණු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බව පෙනේ.


වර්තමාන ලංකාවේ දේශපාලන පක්ෂවල මතවාද, ප්‍රතිපත්ති නිර්මාණය කරන්නේ තීන්දු තීරණ පාලනය කරන්නේ මේ නව ධනපති පන්තියදැයි සැක සිතෙන තරමට තත්ත්වය බරපතළය. සුවිශේෂී ලක්ෂණය වන්නේ ඔවුන් ප්‍රාග්ධන හිමිකරුවන්ව සිටින්නේ ශ්‍රමය සූරාකෑමෙන් නොවීමය.


ඔවුන් ධනපතියන්ව සිටින්නේ මහ බැංකුවේ බැඳුම්කර කොල්ලයෙන් සහ වංචා දූෂණ තුළින් මහජන මුදල් කොල්ලකෑමෙන් වීමය. තමන්ට අවශ්‍ය පරිදි රාජ්‍ය ප්‍රතිපත්ති නම්මවා ගැනීමට ඔවුන්ට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය මැනිය හැක්කේ ඩොලර් මිලියන, බිලියන ගණනිනි.


පර්පචුවෙල් ධනපති පන්තියට ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය කියා වෙනසක් නැත. ඔවුන් තම අභිමතයට අනුව ආණ්ඩුව මෙන්ම විපක්ෂයද හසුරුවති. අද ලංකාවේ ජාතික ආරක්ෂාවට ඇති බරපතළම තර්ජනය මේ ආර්ථික අපරාධකරුවන් විසින් ජාතික දේශපාලනය හැසිරවීමය.


ප්‍රතිපත්ති සම්පාදකයන් රාජ්‍ය අධිකාරියේ මූල්‍ය වගකීම අත්හැර ක්‍රියා කරන බව ඉතා පැහැදිලිය. එය හොඳින්ම පෙනුණේ චීනය පසුගිය ජනාධිපතිවරණයේදී ඇ. ඩොලර් බිලියන 6.7ක අල්ලසක් දුන් බවට එල්ලවූ චෝදනාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළ ආකාරයයි. ඔහු අෑනුමක් හැර අහක බලා ගත්තාට වැඩි දෙයක් කළේ නැත.


රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මේ තරම් පහසුවෙන් කුප්‍රකට සමාගම්වලට හැසිරවිය හැකි නම් එය ජාතික ආරක්ෂාවට මෙන්ම ස්වෛරීභාවයටද තර්ජනයක් බව අමුතුවෙන් කිවයුතු නැත. දූෂණයට එරෙහි වීමේදී රාජ්‍ය බල අධිකාරය සෘජු විනිවිද පෙනෙන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා නොකරන්නේ නම් අවසානයේ දූෂිතයන්ගේ ගොදුර බවට පත්වන්නේද සර්වජන ඡන්ද බලයෙන් මහජනතාව තෝරාපත් කරගන්නා ආණ්ඩුවමය. එය ලොව බොහෝ රාජ්‍යයන් වර්තමානයේ මුහුණ දෙන අභියෝගයකි. සියල්ල තීරණය කරන්නේ අලුතෙන් බිහිවූ පර්පචුවෙල් ධනපති පන්තිය නම් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද බලය කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටෙනු වැළකිය නොහැකිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon