දුම්රිය සේවක වැටුප් කතාවෙන් කැබිනෙට්ටුව ඇවිළුණු හැටි

  👤  4158 readers have read this article !
2018-08-05

ජනපති මෛත්‍රි පසුගිය දිනවල සිටියේ පොළොන්නරුවේය. "පිබිදෙමු පොළොන්නරුව" වැඩසටහනේ පළමු අදියර යටතේ ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති 180 විවෘත කිරීම මෛත්‍රි අතින් සිදුවිය. මේ නිසා මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු මේ දිනවල සිටින්නේ පොළොන්නරුවේය. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකරන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 6000ක් වැය කර ඇති අතර එහි පළමු අදියර යටතේ ව්‍යාපෘති 180ක වැඩ අවසන් කර තිබේ. ඒ සඳහා රුපියල් කෝටි 2500කට ආසන්න මුදලක් වැය කර ඇත. බදාදා දිනයේ ව්‍යාපෘති රැසක් විවෘත කළ ජනාධිපතිවරයා රාත්‍රියේ මැදිරිගිරිය නගරයේ පැවැති සංගීත සන්දර්ශනයකටද සහභාගි විය. මැති ඇමැතිවරුන් කිහිප දෙනකු සමඟ පොලිස්පති පූජිත් ජයසුන්දරද මේ සඳහා එක්ව සිටියේය. සංගීත සන්දර්ශනය දෙස මඳ වේලාවක් බලා සිටි පොලිස්පතිවරයාට ගීතයක් ගායනා කිරීමට අතිශය කැමැත්තක් ඇති විය. ඔහු එකවර ජනාධිපතිවරයා දෙස බැලුවේය.


"සර්... මමත් සින්දුවක් කියන්නම් නේද?'" පොලිස්පතිවරයා විමසීය.


"ඔය... ඉතින් හූවක් අහගන්න තමයි යන්නේ මෙන්න මේ... පැත්තකට වෙලා ඉන්න" මෛත්‍රි කීවේ සිනාසෙමිනි.
එහෙත් පොලිස්පතිවරයාට ඉවසුම් නැති විය. කෙසේ හෝ ගීතයක් ගායනා කිරීමට සිත්විය. පසුව ඔහු සංවිධායකවරුන්ට ඒ බව දන්වා වේදිකාවට ගොඩ විය. ගීතය ගායනා කිරීමට මයික්‍රපෝනය අතට ගනිද්දීම "හූ" සංග්‍රහයක් ඇසිණි.


"ආ.... නියමයි.... නියමයි... ඕව තමයි ඕනේ... තව පාරක් කියන්න" පොලිස්පතිවරයා සිනාසෙමින් කීවේ වේදිකාවේ සිටගෙනය. අනතුරුව ගීතයක් ගායනා කළ පූජිත් මෛත්‍රි අසලට ගොස් අසුන් ගත්තෙ ලැජ්ජාවෙනි.


"ඒකනෙ මම කිව්වේ... කොහෙද කියන දේ අහන්නේ නෑනෙ." මෛත්‍රි කීවේ සිනාසෙමිනි.
"කමක් නෑ සර්... වෙබ්වලින් වැඩිපුරම ගහන්නේ සර්ටනේ.. ඊළඟට ඉන්නෙ මම. ඕව නම් මොනවද සර්...." පොලිස්පතිවරයාද සිනාසෙමින් කීවේය.
බ්‍රහස්පතින්දා පස්වරුවේදී පොළොන්රුවේ විවිධ ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීමෙන් පසු "හෙළ බොජුන් හල" නමින් ඉදිකර තිබූ දේශීය ආහාර අලෙවි හලක් ජනපති අතින් විවෘත කෙරිණි. මේ අවස්ථාවට ඇමැතිනි තලතා, වීරකුමාර සහ මාන්නප්පෙරුම එක්ව සිටියහ. මෛත්‍රි එය විවෘත කිරීමෙන් පසු එහි ආහාර නිරීක්‍ෂණය කර පිටවීමට උත්සාහ කළේය.


"මොකක්ද ජනාධිපතිතුමා" තලතා මෛත්‍රි දෙස බැලුවේය.
"ඇයි මොකෝ?" මෛත්‍රි පෙරළා ඇසුවේය.
"මේකෙන් කෑම මොනවහරි කාලා යයි කියලා අපි හිතුවේ" තලතා කීවේය.
"ආ... හරි හරි කන්න දෙන්නම්. තව වැඩ තියෙනවානේ, එන්නකො යන්න" කියමින් මෛත්‍රි තලතාද සමඟ එක්ව උත්සව භූමියට ගියේය. මෛත්‍රි උත්සවය අමතන විට ඒ අසල පිහිටි බොජුන් හලේ මහා ඝෝෂාවක් ඇසිණි. පාසල් ළමයින් එහි ආහාර ගැනීම නිසා මේ හඬ ඇසුණු බව මෛත්‍රිට වැටහිණි.
"ළමයි නම් මොනවද? ඒ අය කෑම කන්න දඟලන එක අහන්න දෙයක් නොවෙයි අපේ තලතා ඇමැතිතුමියත් මට සද්දයක් දැම්මා හෙළ බොජුන් හලෙන් කෑම කන්න දුන්නේ නෑ කියලා" මෛත්‍රි තලතා දෙස බලමින් කීවේය.

මංගලට කැබිනට්ටුව එපා වූ හැටි
සතියේ කැබිනට් හමුව ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා පෙරවරුවේ පැවත්විණි. එහිදී දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමේ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ ඇමැති මංගල, අමුණුගම සහ රාජිත අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූහ. මංගල ඇමැතිවරයා එහිදී දැඩිව කැබිනට් මණ්ඩලයක් ලෙස මීට වඩා වුවමනාවෙන් කටයුතු කළ යුතු බවත් වෘත්තීය සමිතිවල කීමට සෑම කටයුත්තක්ම සිදුකළ නොහැකි බවත් පවසමින් ‍ෙදාස් නැඟුවේය. දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව ඇමැති අමුණුගම ඉදිරිපත් කළේය. දුම්රිය වෘත්තීය සමිති ගැටලු නිරාකරණය කිරීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අමුණුගමය.
"මේ යෝජනාවට අපි කැමති වුණොත් අනෙක් ක්ෂේත්‍රවල අයටත් මේ වැටුප් වැඩිවීම බලපානවා. ඒ නිසා මේකට ඉඩදෙන්න බෑ." මංගල විරෝධය දැක්වීය.
"මේ අයට අපි පොරොන්දුවක් දීලා තිබෙනවා. ඒ නිසා එය ක්‍රියාත්මක කළ යුතුයි." ඇමැති රාජිතද කතාබහට එක්විය.


"එහෙම කරන්නෙ කොහොමද? වෘත්තීය සමිතිවල පදේට නටන්න නම් ආණ්ඩුවක් මොකටද? කැබිනට් මණ්ඩලයක් මොකටද?" මංගල දැඩිව කීවේය.
මේ අතර වාරයේ රාජිත ඇමැතිවරයාද අදහස් දැක්වීමට ගොස් කැබිනට් හමුව උණුසුම් විය.


"අපි මේ ගැන දීර්ඝ ලෙස කතා කළා. වෘත්තීය සමිති පෙන්නුවා ඒ අයගේ ප්‍රශ්න කිව්වා. එතැන මුදල් අමාත්‍යාංශයේ නිලධාරීනුත් හිටියා. ඒ අය මේ වැඩිවීමට එකඟ වුණා. දැන් මේක වෙනස් කරන්න බෑ." අමුණුගම කීවේය.
මේ අවස්ථාවේ මංගලට කේන්ති ගියේය.


"වෘත්තීය සමිති කියන පදයට නටන්න කැබිනට් එකක් මොකටද? මේක කොන්ද පණ නැති කැබිනට් එකක්. අපි තීන්දු ගද්දී කොන්ද කෙළින් තියන් තීන්දු ගන්න ඕන" මංගල කීවේය. මේ අවස්ථාවේ තත්ත්වය පාලනය කිරීමට ජනපති මෛත්‍රිද දැඩි වෙහෙසක් ගත් අතර කෙසේ වෙතත් එම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණි.
"හයිරෙක්ස්" ගිවිසුම ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කැබිනට් හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මැලේසියානු සමාගමකට මෙරට ලිහිසි තෙල් කර්මාන්තය සඳහා පිවිසීමට අවසර ලබාදීම සඳහා මෙම ගිවිසුම අස්සන් කර තිබිණි.


"මේක ක්‍රියාත්මක කරන්න මේ තරම් කල්වරන්නෙ ඇයි කියලා හිතාගන්න බෑ" ෆයිසර් ඇමැතිවරයා කීවේය.
මේ අවස්ථාවේ ඇමැති අර්ජුනට තරමක් කේන්ති ගියේය.
"මේක මම ඇමැති වෙන්න කලින් පටන් ගත්ත එකක්. මේ නිසා රටට අහිතකර බලපෑම් ඇති වෙනවා." අර්ජුන කීවේය.
"එහෙම නෑ. මේකට නීතිපතිවරයා අනුමැතිය දීලා තියෙනවා" ෆයිසර් කීවේය.
"නීතිපති අවසර දීපු කතාවක් මමවත් දන්නෙ නෑ" අර්ජුන තරමක් කේන්තියෙන් කීවේය.
"කොහොම වුණත් මේක ක්‍රියාත්මක කරන්නෙ නැතුව කකුලෙන් අදිනවනම් මම මේකෙන් අයින් වෙනවා. ඔයාලා ඒ ගිවිසුම ගැන බලලා ඕන එකක් කතාකරන්න" මෛත්‍රි කීවේය.


අනතුරුව අර්ජුන ඇමැතිවරයා එය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයාට පවසා තිබේ.
අනතුරුව ටෙන්ඩර් පටිපාටියෙන් තොරව හදිසි අවශ්‍යතා සඳහා භාණ්ඩ මිලදී ගැනීම මෙන්ම ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවසර ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් සාකච්ඡා කෙරිණි.


මංගල සහ රාජිත අතර එහිදීද මත ගැටුමක් ඇතිවිය.
"හදිසි අවශ්‍යතා වුණොත් ටෙන්ඩර් දදා ඉන්න බෑ. ඒක ප්‍රමාද වෙනවා. ඒ නිසා ටෙන්ඩර්වලින් තොරව හදිසි අවස්ථාවල කටයුතු කළ යුතුයි." රාජිත කීවේය.
"ඒකනම් කීයටවත් කරන්න දෙන්න බෑ. ටෙන්ඩර් වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕනෑ එහෙම නොවුණොත් තමයි ඔය වංචා දූෂණ වෙන්නෙ." මංගල කීවේය.


සිය අමාත්‍යාංශයේ කටයුතුවලට අගමැති කාර්යාලයේ ඇතැම් නිලධාරීන් ඇඟිලි ගහන බව පවසමින් මනෝ ගනේෂන් ඇමැතිවරයා කැබිනට් හමුවේදී පැවැසීය.
"මට අමාත්‍යාංශයේ වැඩ කරගෙන යන්න බෑ. අගමැති කාර්යාලයේ නිලධාරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ. මේක නතර කළ යුතුයි. එහෙම නොවුණොත් මම තීරණයක් ගන්නවා." යැයි මනෝ තදින් කීවේය.

අලුත් පොදු අපේක්ෂකයා කවුද
පසුගිය සතියේ ඇමැති චම්පික සහ ජනපති මෛත්‍රි අතර හමුවක් පැවැත්විණි. මේ සඳහා ඔවුන් දෙදෙනා පමණක් සහභාගිවීමද විශේෂත්වයකි. එහිදී ඇමැතිවරයා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කෙසේ හෝ අගමැති රනිල් ඉවත් කොට ඊළඟ වතාවේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට හැකියාව පවතින බවය. අනතුරුව ජනාධිපති මෛත්‍රි ශ්‍රී ලනිප මන්ත්‍රි පිරිසක් හමුවී චම්පික ඇමැතිවරයා පැවැසු දේ ගැන සාකච්ඡා කර තිබේ.
පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා තමන්ව යෝජනා කරන්නේ ඔහුටද ඉන් පාර කපා ගැනීමට ඇති අවශ්‍යතාව නිසා බව ජනාධිපතිවරයා ශ්‍රී ල.නි.ප. මන්ත්‍රි පිරිස හමුවේ එහිදී පවසා තිබේ.

අගමැතිගේ නැඟෙනහිර සංචාරය
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සති අන්තයේ මඩකළපුව දිස්ත්‍රික්කයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සඳහා එක්විය. පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම සමඟ යුද්ධයෙන් බැට කෑ ජනතාවගේ ගැටලු සොයා බැලීම සඳහා එක්විය.
"සර්.....මේ මිනිස්සුන්ට තියෙන ලොකුම ගැටලුව තමයි ඉඩම් ගැටලුව. ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකසන්න පුළුවන් නම් හොඳයි" බෝගොල්ලාගම අගමැතිවරයාට කීවේය.


"ඔව් අපි ඒකට විසඳුමක් දෙන්නම්. ඒ අයගේ අඩුපාඩු ටිකට ඉක්මනින්ම විසඳුම් දෙන්නම්" අගමැතිවරයා බෝගොල්ලාගමට කීවේය.
ඉරිදා මඩකළපුවේ දෙමළ ජනතාව වෙසෙන ආරියම්පති වෙත පැමිණි අගමැතිවරයා නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කළ අතර අනතුරුව බෝගොල්ලාගම සංවිධානය කොට තිබූ සිවිල් සංවිධාන හමුවීමකටද එක්විය. සහජීවනය ගොඩනඟන අයුරු එහිදී සාකච්ඡා විය. ආණ්ඩුකාර නිල නිවසේදී තේ පානය කළ අගමැතිවරයා මුස්ලිම්වරු වෙසෙන එරාවුර් වෙත ගොස් එහි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කළේය. අති විශාල ජනකායක් එක්වූ ජන හමුවක්ද ඇමැතූ අගමැතිවරයා එහිදී විශේෂ ප්‍රකාශයක් කළේය.
"නැඟෙනහිර සංචාරක ව්‍යාපාරය ශීඝ්‍රයෙන් දියුණු කිරීමට සෘජු ගුවන් සේවයක් කඩිනමින් අරඹනවා. එවිට සංචාරකයන්ට හා ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේත් කටයුතු කඩිනම් වේවි" අගමැතිවරයා එහිදී කීවේය. බෝගොල්ලාගමට අමතරව රවුෆ් හකීම්, වජිර අබේවර්ධන හා ටී.එන්.ඒ. මන්ත්‍රිවරුද මෙම උත්සවවලට එක්වූ අතර ඔවුන් එදින දිවා ආහාර ගත්තේ නැඟෙනහිර හිටපු මහ ඇමැතිගේ එරාවුර් නිවසේදීය. ඉරිදා සවස අගමැතිවරයා යළි කොළඹ බලා පිටත් විය.


මේ අතර අඟහරුවාදා අගමැතිවරයා ගාල්ලට ගියේ තරු පහේ නවීනතම හෝටලයක් විවෘත කිරීමටය. අගමැතිවරයා හෙලිකොප්ටරයෙන් බහින විට මඳ වැසි ඇදහැලිණි.
"කෝට් එක අඳිනවාට වඩා ෂර්ට් එකට උඩින් ජැකට් එක අඳිමු. ස්මාර්ට් කැෂුවල්නේ එන්න කියලා තියෙන්නෙත්"කී අගමැතිවරයා තැඹිලි පැහැයට හුරු ඉන්දියානු ක්‍රමයේ ජැකට් එකක් ඇඳ උත්සවයට එක් විය.


"අපි හිතුවා ජනපති මෛත්‍රිපාල ඡන්දය ඉල්ලන්න එනවා කියලා" වජිර අබේවර්ධන මෙන්ම ගයන්ත කරුණාතිලක කී විට අගමැතිවරයාද සිනාසුණේය.
බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැඳුරට ආවේ චීන කොමිනියුස්ට් පක්ෂ ඉහළ දූත පිරිසක් හමුවීමටය. එම හමුවීමෙන් පසු පැමිණ සිටි මැති ඇමැතිවරු සමඟ අගමැතිවරයා කාලීන දේශපාලනය ගැන අදහස් හුවමාරු කර ගත්හ.


"අද නේද ඒකාබද්ධයේ ආණ්ඩුව පෙරළන මහින්ද අගමැති කරන ලිප්ටන් උද්ඝෝෂණය. පළාත් පාලන ඡන්දයේදීත් කිව්වේ මහින්ද අගමැති කරනවා කියලනේ" ලක්ෂ්මන් කිරිඇල්ල සුපුරුදු ලෙස කතාවට මුල පිරුවේ උස් හ¾ඩින් සිනාසෙමිනි.
"ඒකාබද්ධයේ දැන් ඇතුළෙත් උද්ඝෝෂණ, එළියෙත් උද්ඝෝෂණ. ආණ්ඩුව ඕනෑම උද්ඝෝෂණයකට ආරක්ෂාව දෙනවා. එයාලා වගේ අපි වෙඩි තියලා මිනිස්සු මරන්නෙ අතපය කඩන්නේ නෑ" අගමැතිවරයා කීවේද සිනා සෙමිනි.


"අගමැතිකම ගන්න බව කියන මහින්ද මහත්තයා උදේ හවස විපක්ෂ නායකකමයි ඉල්ලන්නේ" චමින්ද විජේසිරිද කතා බහට එක්විය.
"පාර්ලිමේන්තු සම්ප්‍රදායට කාටවත් අභියෝග කරන්න බෑ. අගමැති පත්වෙන්නෙ වැඩිම මන්ත්‍රිවරු ඉන්න පක්ෂයෙන්. විපක්ෂ නායක පත්වෙන්නේ ඊළඟට වැඩිම පක්ෂයෙන්. මේ පාර්ලිමේන්තුවේ දෙවැනි වැඩිම මන්ත්‍රිවරු ඉන්න පක්ෂය ආණ්ඩුවේ ඉන්න නිසා තුන්වැනියට වැඩිම මන්ත්‍රිවරු ඉන්න පක්ෂයටයි විපක්ෂ නායකකම යන්නේ. මේක නොතේරෙන බබාලයි අද ඒකාබද්ධයේ ඉන්නේ" ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහය අගමැතිවරයාද අනුමත කළේය. "මෙයාලා ඒක තේරුම් ගන්න බැරිව බොරුවට කථානායකතුමාට බනිනවා" අගමැතිවරයා කීය.


"විශේෂ මහාධිකරණ එයාලා ආපු දවසට අහෝසි කරනවා කියලා බැසිල් කිව්වා" දයා ගමගේ කීය.
"නීතිය දන්නේ නැති අයයි ඕක කියන්නේ. උඩතලවින්න, විද්‍යා දැරියගේ නඩු ඇහුවෙත් විශේෂ මහාධිකරණවල තමයි" විජයදාස රාජපක්ෂ කීය.
"නවක වදයට එරෙහිව වසර 10ක් හිරේ යන ඇපත් නැති නීති ගේන එක අනාගත සිසු පරපුරට කරන විශාල සේවයක්. මේ ආණ්ඩුවටයි විජයදාස ඇමැතිතුමාටයි රටම ස්තුති කරනවා" චමින්ද විජේසිරි කීය.


"ප්‍රාදේශීය සභාවක මන්ත්‍රිකමින් දිනන්න බැරි පෙරටුගාමීන් පටු අරමුණු මත අධ්‍යාපනය විනාශ කරන්න සිසුන් යොදා ගන්නවා. කැම්පස් එන්න කලින්ම ඒ ගෙවල්වලට බැහැලා සිසුන්ට සමාජ වෛරය ඇති කරනවා. ඊළඟට නවක වදය හරහා සිසුන් බිලි ගන්නවා. මහපොළෙන් ජීවත් වෙන සිසුන්ගේ උද්ඝෝෂණවලට දස ලක්ෂ ගණන් මුදල් යොදවන්නේ කවුද කියලා අපි දන්නවා. ඒ ශිෂ්‍ය නායකයෝ ලක්ෂ 300ක වාහනවලින් ඇවිත් සිසුන් අව්වේ පයින් යවලා කඳුළු ගෑස්, ජල ප්‍රහාරවලට ලක් කරලා නායකයෝ ටික සල්ලි මලු අරන් තරු හෝටලයකින් අඩියකුත් ගහලා පයින් ආපු අර සිසුන්ට හිනා වෙවී ගෙදර යනවා. අද ඇත්ත තත්ත්වය එයයි. මේකට දැඩි පියවර අරන් සිසුන් බේරාගන්න ඕනෑ" විජයදාස රාජපක්ෂ කළ විග්‍රහය අගමැතිවරයා ඇතුළු පිරිස අසා සිටියේ ඉතා ඕනෑකමිනි.


"මේ 2015 වෙනසට විශාල කැප කිරීමක් කරපු රතන හිමි දැන් ආණ්ඩුවට, ජනපතිට පහර දෙනවා. වස විස නැති වැඩපිළිවෙළට වැය කළ කෝටි ගණන් මුදලට හා වාහන මෙන්ම වෙනත් පහසුකම්වලට සාපේක්ෂ ප්‍රගතියක් නෑ කියලා ජනපතිගෙ ප්‍රකාශකයෙක් හිමිට ප්‍රහාර එල්ල කළා. ජනාධිපතිතුමාමයි රතන හිමි නළවලා තියෙන්නේ කියලා ඒ පැත්තෙ අයම බනිනවා" පී.හැරිසන් කීය.


"එක පාරටම කුඩා කාර් බදු ඉහළ යෑම ගැන මිනිස්සු අවුල් වෙලා ඉන්නේ" දයා ගමගේ කීය.
"දැනටත් පාරවල් හිරවෙලා. මිනිස්සු ඒකට බනිනවා. වාහන එන එක අඩු කරන්න පියවර ගත්තම ඒකටත් බනිනවා. රාජ්‍ය ණය නිසා අලුත් පාරවල් හදන්න රටට සල්ලි නෑ. ඉක්මනින් කණු උඩ යන කෝච්චි ආවම පාරවල්වල තදබද අඩු වුණාම බදුවල වෙනසක් කළ හැකියි" අගමැතිවරයා කීය.
"මාතර ඉඳලා හම්බන්තොට අධිවේග තව වසර 4කට ඕනෑ නෑ. මුලින් හම්බන්තොට කර්මාන්ත දියුණු කරලා පස්සෙයි අධිවේග ගේන්න තිබුණේ. නිරපරාදේ රටේ සල්ලි රාජපක්ෂලා හිර කළා" ගයන්ත කරුණාතිලක කීය.


"හම්බන්තොට පැත්තේ අනවශ්‍ය ඉදිකිරීම් හා පාරවල්වලට යට කළ සල්ලි තිබුණා නම් නුවර හා රත්නපුර අධිවේගවලට ඒ මුදල් දාලා ඒවා තවත් ඉක්මන් කරන්න තිබුණා" ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
"නුවර ටවුන් එක මැද ඉදිකරන්න ගිය ටනල් එක කෝ. අධිවේගයේත් නුවර පැත්තෙ ඉදි කිරීම් මදියි. ඒ මිනිස්සු ‍ෙදාස් කියනවා කියලා මට මයන්ත මල්ලි කිව්වා" නවීන් දිසානායක කීවේ අගමැතිටය.
"ටනල් එක නුවර වැවේ මට්ටමටත් පහළට ගෙනියන්න වෙනවා. එතකොට අධික මුදලක් වැය වෙනවා. ණය සීමාවත් පනීවි. ඒත් නුවර අධිවේගය ඊළඟ ඡන්දවලට කලින් සම්පූර්ණ කරන්න වැඩ කළ යුතුයි" අගමැතිවරයා කීය.
"රාජිත ඇමැතිතුමා ඔෟෂධ 48ක මිල කලින් අඩු කළා. ළඟදී තව 25ක මිල අඩු කරනවා. මේවා ජනතාවට දැනෙන්නේ නැත්තේ ඇයි? ආණ්ඩුවේ ප්‍රචාරක යන්ත්‍රයේ අඩුපාඩු තාම තියෙනවා" නවීන් දිසානායක කීවේය.
නවීන් එජාප ජාතික සංවිධායක ලෙස රට පුරා පක්ෂය ශීඝ්‍රයෙන් සංවිධානය කරගෙන යනවා. ඒක පක්ෂයට ලොකු හයියක්. සජිත් රටපුරා ගෙවල් හැදීම තවත් හයියක්" දයා ගමගේ කතා කළේ ප්‍රශංසා මුඛයෙනි.


හදිසියේම තිරුපති ගිය අගමැති
අගමැති රනිල් බ්‍රහස්පතින්දා පස්වරුවේ හදිසියේම ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඒ සිය බිරිය වන මෛත්‍රි වික්‍රමසිංහද සමඟිනි. මේ ගමනට වයඹ පළාත නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයෙක් සහ ඔහුගේ බිරියද සහභාගි වී තිබේ.
පිරිස තිරුපති කෝවිලේ විශේෂ පූජාවකට සහභාගි වීම සඳහා මෙසේ ගොස් ඇත.
තිරුපති යෑම සඳහා ඉන්දියානු රජය අගමැතිවරයා ඇතුළු පිරිසට විශේෂ හෙලිකොප්ටර් යානයක්ද ලබා දී ඇත.


ලොහාන්වයි, මහින්දානන්දවයි වාහනේ දමාගෙන එස්.බී. පේරාදෙණිය සරසවියට ගිය ගමන
ඒකාබද්ධ විපක්ෂයේ සභානායක හමුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පස්වරු 5.30ට පමණ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති නිල නිවෙසේදී පැවැත්විණි. 16 කණ්ඩායම නියෝජනය කරන එස්.බී., සුසිල් සහ ජෝන් ද පළමුවරට පක්ෂ නායක හමුවට සහභාගි වීම විශේෂත්වයකි. ඊට අමතරව දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, අසංක නවරත්න සහ මන්ත්‍රිවරුන් වන පවිත්‍රා, වෙල්ගම, ජොනී, මහින්දානන්ද, චන්ද්‍රසේන සහ හිටපු ඇමැති බැසිල් සහ ජී.එල්. ද එක්ව සිටියහ.


ගම්මන්පිල පක්ෂ නායක හමුවේ න්‍යාය පත්‍රය ඉදිරිපත් කළ අතර පළමුව එහි සටහන් වී තිබුණේ 16 කණ්ඩායම වෙනුවෙන් සහභාගි වූ එස්.බී., ජෝන්, සුසිල් පිළිගැනීමයි.
එහෙම එකක් ඕනෙ නෑ. දැන් එයාලා 16 නෙවෙයි දැන් ඔක්කොම එකයි. හෙට අනිද්දාට මේ ගොඩ තවත් වැඩිවෙනවා තව 8ක් විතර එනවා. මහින්ද කීවේ එස්.බී. දෙස බලමිනි.


අනතුරුව විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී බ්‍රහස්පතින්දා පැවැත්වූ "ජනබලය" උද්ඝෝෂණ මාලාව ගැන සාකච්ඡා කළහ.
ඒකට ඔබතුමා සහභාගි වෙන්න. අපි දැන් සංවිධාන කටයුතු කරගෙන යනවා. විමල් මහින්දගෙන් ඉල්ලීමක් කළේය.
අනතුරුව පක්ෂ නායකයන්ගේ අවධානය යොමු කෙරුණේ පළාත් සභා මැතිවරණය ගැනය.


මේ ගැන සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාව මුණගැසීමට පක්ෂ නායකයෝ මෙහිදී තීරණය කළහ.
අනතුරුව මැතිවරණ කල් දැමීමට එරෙහිව පාර්ලිමේන්තුව තුළ උද්ඝෝෂණයක් කිරීමටද පක්ෂ නායකයෝ මෙහිදී එකඟතාව පළකර ගත්හ.
රටට එරෙහි ව්‍යවස්ථාව ගැන සොයා බැලීමට විශේෂඥවරුන්ගෙන් යුතු කමිටුවක් හිටපු ඇමැති ජී.එල්.ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අනතුරුව එස්.බී. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය ගැන කතා කළේය.


"ශිෂ්‍ය ව්‍යාපාරයටත් අපි සහයෝගය දෙන්න ඕනේ. ඔවුන්ටත් විශාල ගැටලු ටිකක් තියෙනවා." එස්.බී. කීවේය.
"ඔව්, අපිටත් ඒ අයට සහයෝගයක් දෙන්න බැරි වුණා. මොකද එක එක ගැටලු මතුවුණු නිසා. අපි ඒ ප්‍රශ්නවලටයි මුල් තැන දුන්නේ. මහින්ද කීවේය.
"නෑ සර්. අපි මුලින්ම ඒ අයට උදවු කරන්න ගියාම ඒ අය කැමැති වුණේ නෑ." ජොනී කීවේ මහින්ද දෙස බලමිනි.
"නෑ, දැන් ගැටලුවක් නෑ. මට ශිෂ්‍ය ව්‍යාපාරයේ පිරිසකුයි අචාර්යවරුන් ගෙනල්ලා මේ ගැන කතා කරන්න පුළුවන්." එස්.බී. කීවේය.
"එහෙනම් එස්.බී. ඒ ගැන බලලා වැඩපිළිවෙළක් හදන්න." මහින්ද එස්.බී.ට වැඩේ භාර දුන්නේය.


"හොඳයි, මම ඒ ගැන බලන්නම්. අද උදෙත් මා හම්බවෙන්න අපේ ගෙදරට නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ළමයි කට්ටියක් ආවා." එස්.බී. කීවේය.
"ඔව්, ඔව්. මෙයා මාර වැඩ කරන්නෙ. දවසක් පේරාදෙණියේ කැම්පස් එකේ උද්ඝෝෂණයක් වෙලාවෙදි මාවත් වාහනයට දාගත්තා ඒක විසඳන්න යන්න. මම බැලුවා වැඩේ හරියන්නෑ. ලොහාන්වත් ඇදලා දාගත්තා. පස්සේ ඇතුළටම ගිහින් මෙයා බැස්සා. ළමයි ටික දැන් වාහනවලටත් ගහන්න යනවා. අපි දෙන්නා වාහනෙන් බැස්සේ නෑ. ඇතුළටම වෙලා හිටියා. එතැන බැස්සා නම් ඉවරයි." එදා මහින්දානන්ද අතීත ආවර්ජනයක යෙදුණේය.


"ඒ කාලේ හොඳම ප්‍රතිවාදියානෙ මෙයා." විමල් කීවේය. අනතුරුව මහින්ද අවධානය යොමු කළේ පසුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දේශපාලන වේදිකාවල කතාබහ කිරීමේදී සිදුකළ ප්‍රකාශයන් ගැනය. විපක්ෂ නායක තනතුර, ජනාධිපති අපේක්ෂකයන් ගැන විවිධ කතා ඇති විය.
"මොනවහරි ගැටලු තියෙනවා නම් අපි එකතු වෙලා ඒක විසඳගන්න ඕන. තමන්ගෙ ගේමුයි වෙන වෙන ඉලක්කයි තියාගෙන සෙල්ලම් කරන්න හදන්න එපා මේ වෙලාවේ. අපි ගමනක් යනකොට එකට යන්න ඕන" මහින්ද කීවේ වෙල්ගම සහ වාසු දෙස බලමිනි.


හමුව අවසන් වී පක්ෂ නායකයන් විජේරාම නිවෙසින් පිටව යෑමට උත්සාහ දරද්දී මහින්ද එස්.බී.ට කතා කළේය.
"එස්.බී. පොඩ්ඩක් ඉඳලා යන්න." මහින්ද එස්.බී. සමඟ නිවෙස ඇතුළට ගියේය. මඳ වේලාවක් දෙදෙනා අතර සාකච්ඡාවක් පැවැත්විණි.


පියංකරගේ දියණියගේ මඟුල් ගෙදරදී "ගම්පෙරළියට" වැටුණු බාල්දිය
පාර්ලිමේන්තු මන්ත්‍රි පියංකර ජයරත්නගේ බාල දියණිය වන සචිනි නයනදරා ජයරත්නගේ විවාහ මංගල උත්සවය පසුගිය සතියේ ෂැන්ගි්‍රලා හෝටලයේදී පැවැත්විණි. ඇයගේ අත ගත්තේ කසුන් දිසානායකය. මෙම අවස්ථාවට මහින්ද, චමල්, බැසිල් සහ ගෝඨා මෙන්ම, ප්‍රසන්න, මහින්දානන්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි පිරිසක් එක්ව සිටියහ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මේ සඳහා එක්ව සිටියේ තලතා අතුකෝරාල ඇමැතිවරිය පමණක් වීමද විශේෂත්වයකි. ඊට හේතුවක් තිබිණි. තලතා ඇමැතිවරියගේ විවාහයේ කපුවා පියංකර මන්ත්‍රිවරයාය. පාසල් සමයේ පියංකරගේ මිතුරෙකු වූ සාලිය ජයසිංහ සමඟ ඇමැතිවරිය විවාහ වී සිටින අතර එය පාසල් කාලයේ පෙම් සබඳකමකි. එහි කපුවා පියංකර වීම නිසා ඔවුන් තිදෙනා අදටද සමීප මිතුරන්ය.


නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිටියේ මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්නය. මහින්ද ඇතුළු ඒකාබද්ධයේ පිරිස වෙනම මේසයක අසුන් ගෙන සිටි විට අමරවීර සහ අලගියවන්න වෙනම අසුන් ගෙන සිටියහ. එතැන සිටි මහින්ද දුටු අමරවීර සහ අලගියවන්න එම මේසය අසලට පැමිණ කුළුපගව කතාබහ කළහ.
"ව්‍යවස්ථාවෙන් ජනාධිපති වෙන්න පුළුවන් දෙපාරයි. හැබැයි මෙතුමා නම් තුන් පාරක්ම හිටියා" බැසිල් මහින්දට කීවේ අලගියවන්නව පෙන්වමිනි.
"ඒ කොහොමද?" මහින්ද ඇසුවේය.


"ඇයි මෙයා චන්ද්‍රිකාගේ කාලෙත් ඇමැති. ඔබතුමාගේ කාලෙත් ඇමැති. මෛත්‍රිගේ කාලෙත් ඇමැති. එහෙමයි මෙතුමා තුන් පාරක් හිටියේ" බැසිල්ගේ කතාවට මහින්දට හො¼දටම හිනා ගියේය.


මහා ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ මුණුබුරකු වන කස්සප සපරමාදු සහ ඔහුගේ බිරිය වන චමීන්ද්‍රි සපරමාදුද මෙම උත්සවයට සහභාගි වී සිටි අතර මහින්ද දුටු ඔවුහු එතැනට පැමිණියහ.


"ඔයාලා ගම්පෙරළිය නම මොකද මේ ආණ්ඩුවට දීල තියෙන්නෙ" මහින්ද ඇසුවේ කස්සප සහ චමීන්ද්‍රි දෙස බලමිනි.
"සර් ඒක අහපු එක හොඳයි. අපි දුන්නෙ නෑ. අපේ ඇමැතිතුමාල දෙන්නත් ඉන්නවනේ. මේ පොතේ නම කොපි කරල ආණ්ඩුව නටන නාඩගම පේනවා නේද? ඔබතුමාලට තිබුණනෙ ඒවා පෙන්නල දෙන්න" චමීන්ද්‍රි, අමරවීර සහ අලගියවන්න දෙස බලමින් කීවේය.


අමරවීර සහ අලගියවන්න ඊට කිසිවක් කීවේ නැත.


ප්‍රසන්න හඬා වැටේ
කටාන ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බල මණ්ඩලය රැස් වූයේ නාමල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙනි. ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රිවරු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. එහිදී මන්ත්‍රිවරුන්ගේ අවධානය යොමු කෙරුණේ රතන හිමියන්ගේ දේශපාලන පිම්ම සම්බන්ධයෙනි.
'රතන හාමුදුරුවෝ ආණ්ඩුවට විරුද්ධයි කියලා බොරුවට කෑගැහුවට ආණ්ඩුවට එරෙහි අභියෝගයක් ආවාම අගමැතිගේ පැත්තේ හිටගන්නවා. මිනිස්සු දැන් උන්වහන්සේ ගැන හොඳට දන්නවා' නාමල් පැවැසීය.


'කාන්තාවෝ පිරිසක් ඉන්න රැස්වීමකට ගිහින් ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වුණා කියලා වැඩක් නැහැ. එහෙම නම් ජනාධිපතිට ලියුමක් යවලා නීත්‍යනුකූලව අස්වෙන්න ඕනේ. මොකද උපදේශකකම දුන්නේ ජනාධිපති මිසක් කාන්තාවෝ ටිකක් නෙවේනේ' ප්‍රසන්න පෙන්වා දුන්නේය.


'රතන හාමුදුරුවෝ දන්නවා දැන් දේශපාලනය යන අත. ඒක තමයි ඔය කරණම ගැහුවේ. මේ ආණ්ඩුවේ ඉඳලා පලක් නැහැ කියලා හොඳටම තේරිලා තියෙන්නේ' රණවීර පැවැසීය.


'ගම් මට්ටමෙන් පොහොට්ටුවට ලොකු උනන්දුවක් තියෙනවා. මිනිස්සු දැන් අපිව හොයාගෙන ඇවිත් අහන්නේ කවද්ද ආණ්ඩුව පෙරළන්නේ කියලයි' හරිස්චන්ද්‍ර කීවේය.
'අපිටත් වඩා මේ ආණ්ඩුව එළවීමේ උනන්දුව තියෙන්නේ මිනිසුන්ට. කොහොමටත් ජනාධිපතිවරයාගේ කාලේ ලබන අවුරුද්දෙන් ඉවරයි. ඉට පස්සේ ආයෙත් එක්සත් ජාතික පක්‍ෂයටවත් නිදහස් පක්‍ෂයටවත් මේ රටේ ආණ්ඩු පිහිටුවන්න ලැබෙන්නේ නැහැ' ප්‍රසන්න කීවේය.


ඒකාබද්ධ විපක්‍ෂය මේ දිනවල යෙදී සිටින්නේ කුමන හෝ මැතිවරණයක් ඉල්ලා පාරට බැසීමේ වැඩපිළිවෙළ සහ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළෙහි නිරත වෙමිනි. ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරුණේ උතුරු මැද පළාතෙනි. පසුගිය සතියේ වයඹ පළාතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරිණි.
එහි එක රැස්වීමක් පැවැත්වුණේ නාත්තනඩියේදීය. එම රැස්වීමට බැසිල් සහ ප්‍රසන්න සහභාගි වී සිටියහ. රැස්වීම අවසන් වූ පසු බැසිල්ගෙන් සමුගත් ප්‍රසන්න තමන්ට නියමිත අනෙක් රැස්වීම සඳහා පිටත්ව ගියේ ඩුලිප්, ලන්සා සමඟ එකම රියක නැඟීය. ඒ යන අතරතුර ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ලැබුණේය. දුරකථන ඇමැතුමෙන් කියැවුණේ ප්‍රසන්නගේ බිරියගේ ළඟම ඥාති දියණියක මියගොස් ඇති බවය. සය හැවිරිදි දැරියගේ මරණය ඇසූ ප්‍රසන්න දුරකථන ඇමැතුම විසන්ධි වූ විගසම ඉකි බිඳිමින් හඬන්නට විය. ප්‍රසන්නගේ හැ¾ඩීම ලන්සාට සහ ඩුලිප්ට ගැටලුවක් විය.


'මොකක්ද මන්ත්‍රිතුමා වෙලා තියෙන්නේ? ලන්සා ඇසුවේය.
'මට ගොඩක් හිතවත් අපේ දුවෙක් නැතිවෙලා. එයා අපේ නෝනගේ පැත්තෙන් ඥාති වෙන කෙනෙක්. අපේ ගෙදර ආවම කා එක්කවත් කතා නැහැ මගේ ඔඩොක්කුවට වෙලාමයි ඉන්නේ. කොහේ හරි ඇවිදින්න ගියත් මගේ අතේ එල්ලිලා තමයි යන්නේ' ප්‍රසන්න විස්තර කළේය. අනතුරුව ප්‍රසන්න කීවේ තමන් දැන් වහාම කොළඹ යා යුතු බවය. ලන්සා සහ ඩුලිප් කීවේ රැස්වීමේ වැඩ තමන්ට බලාගත හැකි බැවින් ප්‍රසන්නට කොළඹ යා හැකි බවය. ඒ අනුව වහාම ප්‍රසන්න කොළඹ ආවේය.
දැරියගේ දේහය තැන්පත් කර තිබුණේ මෝදරය. ප්‍රසන්නගේ බිරිය ඉන්දියානු දෙමළ ජාතික කාන්තාවක් වීම නිසා එම දැරිය මෙන්ම ඇගේ ඥාතීහුද ද්‍රවිඩ ජාතියට අයත් වූහ. අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ මෝදරය.


දැරියගේ අවසන් කටයුතු සිදුකෙරුණේ අඟහරුවාදාය. මහින්ද සහ බැසිල්ද ප්‍රසන්නගේ ඥාති දියණියට අවසන් ගෞරව දක්වන්නට පැමිණ සිටියහ. ඔවුන් ඉදිරියේදීද ප්‍රසන්නට හැඬුණේ දැරියගේ සුරතල් කතා සිහිපත් වූ නිසාය.


මේ අතර හිටපු ජනපති මහින්ද සිකුරාදා පස්වරුවේ කුරුවිට බලා පිටත් වූයේ හෙලිකොප්ටරයෙනි. කුරුවිට මහජන ක්‍රීඩාංගණයට මහින්ද රැගත් හෙලිකොප්ටරය ගොඩ බැස්වූ අතර ක්‍රීඩාංගණය වෙත පවිත්‍රා මන්ත්‍රිවරිය හා හිටපු පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. මහින්ද දිවා ආහාරය සඳහා පැමිණියේ හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහට අයිති "රිටී්‍රට්" හෝටලයටය. මේ අවස්ථාවට පවිත්‍රා - කංචන යුවළ, ප්‍රේමලාල්, වක්කුඹුර ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් එක්ව සිටියහ. හිටපු ජනාධිපතිවරයා සුන්දර පාරිසරික නවාතැනක් වූ එතැන පැය හතරකට ආසන්න කාලයක් ගත කළේය. දිවා ආහාරයෙන් පසු මඳ වේලාවක් මහින්ද මන්ත්‍රිවරුන් සමඟ ආගිය තොරතුරු මෙන්ම දේශපාලන කරුණු කාරණා ගැනද සුහද කතාබහක නිරත විය. එහිදී වැඩි අවධානයක් යොමු වූයේ ව්‍යවස්ථාව ගැනය.


"ව්‍යවස්ථාව තීරණාත්මකව පරාජය කරන්න වෙනවා සර්... බටහිරින් එන සල්ලිවලින් මන්ත්‍රිලා සතුටු කරලා මේ වැඩේ කරගන්නයි හදන්නේ. මේකට විරුද්ධව පුළුල් මහජන මතයක් ගොඩනඟන්න වෙනවා. එහෙම නැති වුණොත් රටට ලොකු විනාශයක් තමයි වෙන්නේ." පැමිණ සිටි මන්ත්‍රිවරු එහිදී කීහ. හිටපු ජනපති මහින්ද ද එම කරුණු අනුමත කරමින් කතා බහ කළේය. මඳ වේලාවක් විවේක ගැනීමෙන් පසුව මහින්ද එරත්න සමන්තබද්‍රාරාමය වෙත ගියේ එහි අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරය විවෘත කිරීම සඳහාය. පවිත්‍රාගේ ස්වාමිපුරුෂයා වූ කංචන ජයරත්න විහාරස්ථානයේ උත්සව කටයුතු සූදානම් කර තිබිණි.


බැසිල් නිසා කෑගල්ලේ
වුණු ගෝරිය
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය සතිඅන්තය ගත කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවැති පොහොට්ටුවේ සම්මන්ත්‍රණ මාලාවට සහභාගි වීමෙනි. බැසිල් මුලින්ම ගියේ යටියන්තොට තිබූ සම්මන්ත්‍රණවලටය. හිටපු මහ ඇමැති මහීපාල හේරත්, හිටපු පළාත් ඇමැති ශ්‍රී ලාල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කංචන විජේසේකර, තාරක බාලසූරිය සහ කනක හේරත් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.


අසනීප තත්ත්වයෙන් පසු වන ශ්‍රී ලාල් හිටපු පළාත් ඇමැතිවරයා දීර්ඝ කාලයකට පසුව දේශපාලන වේදිකාවක කතා කළේ පොහොට්ටු සම්මන්ත්‍රණයේ වීම විශේෂත්වයකි.
"බැසිල් ඇමැතිතුමා... මම හැමදාම ඔබතුමා එක්ක හිටියා. අපිට මතකයි ඔබතුමා අපිට ඒ කාලේ පාරවල් හදන්න උදවු කරපු හැටි. රට සංවර්ධනය කරන්න ඔබතුමා තුළ තිබුණු උනන්දුව අපි දන්නවා. මට සනීප නැති නිසා මම පසුගිය මහ මැතිවරණයට තරග කළේ නෑ. ඡන්දේ ඉල්ලුවේ මගේ නෝනා රාජිකා. එයා ඡන්ද 62,000ක් ගත්තා. ඒ ඡන්ද රාජිකාගේ නොවෙයි මගේ. "ශ්‍රී ලාල් හැඟීම්බර විය. පසුව සභාවේ සියලු දෙනාගේ අත්පොළසන් නද මධ්‍යයේ ඔහුගේ මුහුණෙහි සිනහවක් නැඟුණි.


අනතුරුව හිටපු ඇමැති බැසිල් ද පොහොට්ටුවේ සම්මන්ත්‍රණය ආමන්ත්‍රණය කළේය.
"කිසියම් ආණ්ඩුවක් පටන් ගන්න ව්‍යාපෘතියක් ඊළඟට එන ආණ්ඩුව විවෘත කරන එක අසාමාන්‍ය දෙයක් නොවෙයි. හැබැයි එක දෙයක් කියන්න ඕන.
මම ආර්ථික සංවර්ධන ඇමැති විදියට මොරගහකන්ද ව්‍යාපෘතියට විදේශ ආධාර ගන්න ගොඩක් මහන්සි වුණා. අර කවුද කිව්වා වගේ මේ ආණ්ඩුවට තිබුණේ මොරගහකන්දට වතුර පුරවන්න විතරයි. අපි පටන් ගත්ත මොරගහකන්ද විවෘත කළේ මේ ආණ්ඩුව. අපිට ඒ ගැන ඊරිසියාවක් නෑ. හැබැයි ඒ ගැන බොරු කියන එක වැරැදියි." බැසිල් කීවේය.
එය අවසන් වී දෙහිඕවිට සම්මන්ත්‍රණයට ගිය බැසිල් ඇතුළු පිරිස කරවනැල්ල හරහා කෑගල්ලට ගියේ කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකුගේ අවමඟුලකට සහභාගි වීම ස¼දහාය. මෝටර් රථයෙන් බැස කිලෝමීටර් බාගයක් පමණ දුර පයින්ම යෑමට පිරිසට සිදුවිය. මඟ දෙපස සිටි ගම් වැසියන්ට ආචාර කරමින් බැසිල් අවමඟුල් ගෙදර යද්දී පිටුපසින් සිටි ගම් වැසියන් දෙදෙනකුගේ උණුසුම් කතා බහක් බැසිල්ට ඇසුණි.


"උඹ මොකටද අපේ බැසිල් මහත්තයාට ආයුබෝවන් කියන්නේ. උඹ යූ.එන්.පී. කාරයෙක්නේ" ගම්වැසියෙක් කීවේය.
"ඔව් මම යු.එන්.පී. තමයි. මොනවා වුණත් එතුමා වැඩක් කළ මන්ත්‍රිවරයෙක්. ඒකයි මම ආයුබෝවන් කියන්නේ" අනෙක් ගම්වැසියාද කීවේය.
"හරි හරි දැන් ඕක නතර කරගන්න. ඉස්සරහ මළගෙදරනේ. ඕවා දැන් කතා කරලා වැඩක් නෑ. එතුමන් අපේ වැඩපිළිවෙළට කැමැති ඇති ඒකයි." බැසිල් දෙදෙනාම අස්වසමින් කීවේය.


සුවපති ජනපති වූ
ඉතිහාසය ගැන කාලෝ කළ
හෙළිදරව්ව
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්නට උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. අගමැති රනිල් ඇතුළු මැති ඇමැතිරුවන්, වෛද්‍යවරුන්, විද්වතුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඇමැති රාජිත මෙරට සෞඛ්‍ය සේවාවට කළ සේවාව අගයමින් "සුවපති කිරුළ" පිරිනැමීම මෙහිදී ජනපති මෛත්‍රි අතින් සිදුවිය. උත්සවය විශේෂ සංස්කෘතික අංග කිහිපයකින් රස ගැන්විණි.


උත්සව සභාව ඇමැතූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙහිදී අපූරු කතාවක් කීවේ කාගේත් අවධානය ඒ දෙසට නතු කර ගනිමිනි.
"නිදහසින් පස්සේ ලංකාවේ සුවපතිවරු එහෙම නැත්නම් සෞඛ්‍ය ඇමැතිවරු 26 දෙනෙක් ඉ¼දලා තියෙනවා. පළමුවැන්න බණ්ඩාරනායක මහත්තයා. 1948දී එතුමා සෞඛ්‍ය ඇමැති වුණා. 1951දී ඉල්ලා අස්වුණා. වැඩිකල් නොගොස් රාජ්‍ය නායකයා බවට පත්වුණා. 25 වැනි සුවපති තමයි වත්මන් ජනාධිපතිතුමා. එතුමා ධුරයෙන් අස්වුණා. කවුරුත් හිතපු නැති විදියට ජනධිපති වුණා. මේ ඉතිහාසය ගැන හිතනකොට එක්තරා පණිවුඩයක් තිබෙනවාද කියා මට හිතෙනවා. ටිකක් පරිස්සමින් ඒ කාර්ය කරන්න ඕනෑ. පළමුව සුවපති දෙවැනුව ජනාධිපති වීමේ ප්‍රවණතාවක් තිබෙනවාද කියා මට හිතෙනවා." කාලෝ කීවේ කාගේත් සිනහ හඬ මධ්‍යයේය. ඒ අවස්ථාවේ ඇමැති රාජිතගේ බිරිය සිහහ වෙමින් රාජිත දෙස බැලුවේ හැඟීම් ගොන්නක් පොදිකරගත් බිරියක විලාසයෙනි. ඇය සිටියේ ජනපති මෛත්‍රිට වම් පසිනි. දකුණු පස සිටියේ ඇමැති රාජිතය. ජනපති මෛත්‍රිට බයිපාස් කරමින් ඇය ඇමැතිවරයා දෙස බලා එම සිනහව පෑම විශේෂත්වයකි.


කාලෝට දෙවැනි නොවන්නට ජනපති මෛත්‍රිද රාජිත ගැන කතා කළේය.
"රාජිත ඇමැතිතුමනි, මම සෞඛ්‍ය ඇමැති ලෙස ඉන්න කොට එදා මට ඔබට තියෙන වාසනාව තිබුණේ නෑ. නිමල් ඇමැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ලෙස පත්වෙද්දී මේ ආකාරයෙන් පිළිගන්න එවකට රාජ්‍ය නායකයාට හෘද සාක්ෂියක් තිබුණේ නෑ. මම දුම්කොළවලට, සිගරැට්වලට විරුද්ධව සටන් කරද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය එදා මාව පිළිගන්නා විට ඒ උත්සවයේදී රාජ්‍ය නායකයාට කතා කරන්න තිබ්බ පෝඩියම් එක ආපහු ගලවගෙන ගියා. ඒ උත්සවයේදී එවකට රාජ්‍ය නායකයා කතා නොකර ගොළුවත රැක්කා. න්‍යායපත්‍රයේ කතාවක් කරන්න තියෙනකොට තමයි පෝඩියම් එක ගලවගෙන ගියේ. මම ඒ දෙස බලාගෙන හිටියේ කඳුළු පිරි දෙනෙතින්" ජනපති මෛත්‍රි හැඟීම්බරව කිවේය.


"කාලෝ ෆොන්සේකා මැතිතුමා ඉඟියක් කළා. මම ආශීර්වාද කරනවා රාජිත ඇමැතිතුමාට. හැබැයි මට එක ප්‍රශ්නයක් තියෙනවා. එතුමා ඒ කිව්ව දේට එන්නේ ඉන්න තැන ඉඳලද එළියට ගිහිල්ලාද කියන එක" යැයි ඒ ගැන මෛත්‍රි කීවේ සිනාසෙමිනි.
සංහිඳියාව


ත්‍රිකුණාමලය, කඩවත්සතර, මාංගායුත්තු හි "තට්චනාපුරම්" සහ "කෛලායපුරම්" 99 වැනි සහ 100 වැනි උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට පෙර සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට පැවරී තිබුණේ ත්‍රිකුණාමලය, පන්කුලම, මොරවැව දකුණ, ගජබා ගල්ලෙන් රජමහා විහාරස්ථානයේ යෝජිත චෛත්‍ය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගි වීමටය. මෙම උත්්සවයට සහභාගිවූ තවත් විශේෂ අමුත්තකු වූයේ දෙමළ ජාතික සංවිධානයේ තුරෙයි රත්නසිංහම් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාය. ඔහු මුල්ගල් තැබීමේ අවස්ථාවට පැමිණ එහි ප්‍රේක්‍ෂකයකු පමණක් වූයේ නැත. මුල්ගලක් තැන්පත් කර එහි සිමෙන්ති බදාම ඇතිරීමටත් ඔහු ඉදිරිපත් විය.


අනතුරුව සියල්ලන්ගේම අවධානය යොමු වූ තවත් දෙයක් වූයේ තුරෙයි රත්නසිංහම් මන්ත්‍රිවරයා මල් වට්ටියක් දෑතින් රැගෙන ඇමැතිවරයා සමඟ බුදු කුටියට ගොස් මල් පූජා කිරීමයි. මේ සිද්ධීන්වලින් අනතුරුව සජිත් විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ සමඟ පිළිසඳරක යෙදෙමින් සිටිය දී ඇසුවේ "කොහොමද අපේ හාමුදුරුවනේ අපේ ජනාධිපතිතුමායි, අගමැතිතුමායි රටේ ඇති කරලා තිබෙන ස්වෛරීභාවය, සංහිඳියාව, ජාතීන් අතර අනේ‍යාන්‍ය විශ්වාසය?" කියාය. "මෙතන සිංහල, දෙමළ, ඉස්ලාම්, හින්දු, කතෝලික කියන සෑම ජන කොටසක්ම ඉන්නවා. මේක නේද අපේ හාමුරුදුරුවනේ රටට අවශ්‍ය" සජිත් අසද්දී භික්ෂුන් වහන්සේ පිළිතුර වූයේ "බොහොම හරි ඇමැතිතුමා, ජාතික සමගිය, විශ්වාසය තහවුරු වන ඔබතුමාගේ මේ වැඩසටහනට අපි ආශීර්වාද කරනවා" කියාය.


වාහන මිල වැඩි වෙන අස්සේ
මන්ත්‍රි වැටුපද වැඩි වේ
පසුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් වූ කරුණු කාරණා කිහිපයක් තිබේ. ඉන් එකක් වෙන්නේ මැති ඇමැති වැටුප් සියයට 215කින් ඉහළ දැමීමය. එය 2018 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. යම් ලෙසකින් එය ක්‍රියාක්මක වුවහොත් හිඟ මුදල්ද සමඟ පර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අගෝස්තු මාසයේ වැටුපට එක්වන මුදල රුපියල් ලක්ෂ හතර හමාරකට ආසන්නය. ඒ අනුව නියෝජ්‍ය ඇමැතිවරයකුට ලැබෙන මුදල ලක්ෂ හය හමාරකි. රාජ්‍ය ඇමැතිවරයකුට සහ කැබිනට් ඇමැතිවරයකුට ලක්ෂ 6කට ආසන්න මුදලක් ලැබේ.


තත්ත්වය එසේ තිබියදී පසුගිය සතියේ පොඩි මිනිහාගේ වාහන මිල වැඩිකළ බවට විපක්ෂයේ දේශපාලඥයන් ‍ෙදාස් නැඟුවේය. මැති ඇමැතිවරුන් අධික සැප වාහන ගනිමින් වැටුප්ද වැඩිකරගෙන පොඩි මිනිහගේ වාහනයට පහර ගැසීම ගැන ජනතාවගේද ප්‍රසාදයක් නොමැත. තත්ත්වය එසේ තිබියදී නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කර තිබුණේ ජනතාවට අධික බදු මුදලක් කරමත තබා මන්ත්‍රි වැටුප වැඩිකිරීම සාධාරණීකරණය කරන්නේ කෙසේද කියාය. මන්ත්‍රිවරයා මේ ගැන ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකර තිබේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් වසන්ත පෙරේරා සිකුරාදා පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ යම් ලෙසකින් එම මුදල වැඩිකළහොත් සිය වැටුප වකුගඩු රෝගීන් වෙනුවෙන් ලබාදෙන ලෙසය. වකුගඩු රෝහල වෙත මුදල හරවා යවන ලෙසද මන්ත්‍රිවරයා දැනුම්දී ඇත. ඊට අමතරව අතුරලියේ රතන හිමි ඇතුළු තවත් මන්ත්‍රිවරුන් ගණනාවක්ම මෙම පඩි වැඩිකිරීමට විරෝධය දක්වා තිබේ.


කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක පොරය
කොළඹ මහ නගර සභාවේ මුල්ම මංගල රැස්වීම පවත්වනු ලැබුවේ නව නගර ශාලාවේදීය. විපක්ෂ නායක ධුරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හිටපු නියෝජ්‍ය පුරපතිවරයකු වන අසාත් සාලි මහතා මන්ත්‍රිවරුන්ගේ බහුතරයක අස්සන් සහිත ලිපියක් පුරපතිට භාරදුනි. එම ලිපියට ප්‍රගතිශීලී ජනතා පෙරමුණේ (මනෝ ගනේෂන් පක්ෂයේ) 10 දෙනෙක් අස්සන්කොට තිබිණි. එම අස්සන් 10 එම පක්ෂයේ නාගරික මන්ත්‍රිනි ප්‍රියානි විනිෂියා ගුණරත්න මහත්මිය සභා ගැබ තුළදී ඉල්ලා අස්කර ගැනීමත් සමඟ විපක්ෂ නායක පත්කිරීමේ හීනය ලත්තැනම ලොප් විය.


ඉන්පසු වෛද්‍ය ගාමිණී කාරියවසම් දයාකාන්ත පෙරේරා, එරික් චන්ද්‍රසේන, අජන්ත ලියනගේ යන මන්ත්‍රිවරුන් විපක්ෂ නායක තනතුර සඳහා ඉදිරිපත් වන බවට නගර සභා බල ප්‍රදේශය පුරාම පැතිර ගියේය.
ඉන්පසුව ජේ‍යෂ්ඨ නාගරික මන්ත්‍රි එරික් චන්ද්‍රසේන මන්ත්‍රිවරයාද විපක්ෂ නායක තනතුර සඳහා තවත් අස්සන් බහුතරයක් සමඟ දුන් ලිපිය පිළිබඳව සභාවේදී කතා කළේවත් නැත.


ඉන්පසුව ඉකුත් ජුනි 22 වැනිදා එම්.එම්. මන්සිල් විපක්ෂ නායක ධුරය ඉල්ලා අස්සන් 27ක් සහිත ලිපියක් පුරපතිවරයාට භාරදුනිමි. ඒ සමඟම හිටපු විපක්ෂ නායක අජන්ත ලියනගේ මහතාද අස්සන් 23ක් සමඟ ලිපියක් දුනිමි. ඒ සඳහා චරිත ගුණරත්න (එක්සත් ජාතික පෙරමුණ) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අසාස් සාලි මහතාත් අජන්ත ලියනගේ මහතාගේ පැත්තට අස්සන් කළත් අවසානයේදී අජන්තට ඉතිරි වුණේ මන්ත්‍රිවරුන් 25ක අස්සන්ය. ඒ අනුව මන්සිල් මහතා රෝසි සේනානායක මහත්මිය විපක්ෂ නායක ලෙස පත් කළාය.


රටට නව වැඩපිළිවෙළක් සැකසීම වෙනුවෙන් විද්වත් කමිටු රැස්වෙයි
ජාතික විද්වත් සංවිධානය විසින් ක්‍ෂේත්‍ර 10ක් පදනම් කර ගනිමින් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විද්වත් කමිටු දහයක් පසුගිය ජූලි මාසයේදී මහරගම පැවැති උත්සවයකදී රටට හඳුන්වා දෙන ලදී. කෘෂිකර්ම, ධීවර හා පශු සම්පත්, ආර්ථික, අධ්‍යාපනය, සෞඛ්‍යය, ක්‍රීඩා, ප්‍රවාහනය, තොරතුරු තාක්‍ෂණය, කලා හා සංස්කෘතික, ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැඟීම, පරිසරය එම ක්‍ෂේත්‍ර දහය වෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයන්, කලාකරුවන්, බහුජන සංවිධාන නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු විද්වතුන් වෘත්තිකයන් සහ ක්‍ෂේත්‍රයන්හි ප්‍රවීණයන් මෙම ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සිය දායකත්වය සපයයි. මේ දිනවල එම විද්වත් කමිටු රැස්වීම් ආරම්භ කර තිබෙන අතර ඉදිරියේදී සකස් කරනු ලබන ජාතික ප්‍රතිපත්ති සඳහා යෝජනා, අදහස් රැස්කිරීම ආරම්භ කරනු ඇත.


අධ්‍යාපන, ආර්ථික, කලා, සංස්කෘතික, ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැඟීම යන ක්‍ෂේත්‍රයන්හි කමිටු රැස්වී මේ වන විටත් ඉදිරි මාස හය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරගෙන තිබේ. ක්‍ෂේත්‍ර දහයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටු සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, වෘත්තීය සමිති නායකයන්, ගොවි, ධීවර සමිති නායකයන්ද ඇතුළත් වෙයි. ආර්ථික වැඩපිළිවෙළක් සකස් කිරීමේ ප්‍රතිපත්ති කමිටුව නියෝජනය කරන්නේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා සහ වසන්ත සමරසිංහය. එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය, වරලත් ගණකාධිකාරි ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුය. ඊට අමතරව ව්‍යාපාරිකයන්, ආර්ථික විශ්ලේෂකයන් ඇතුළු පිරිසක් එම කමිටුව නියෝජනය කරයි. මෙම කමිටුවද පසුගිය සතියේ කොළඹදී රැස්විය.

''අපි මුලින්ම ආර්ථික ක්‍ෂේත්‍රය පිළිබඳ ප්‍රතිපත්ති සකස් විය යුතු රාමුවක් සකස් කර ගන්න ඕනෑ. ඒ වගේම බදු ප්‍රතිපත්තිය, ණය අර්බුදය, ව්‍යාපාර ආරක්‍ෂණය, කර්මාන්ත දියුණු කළ හැකි මාර්ග ආදී විශේෂ කරුණු කිහිපයක් ඔස්සේ යෝජනා අදහස් රැස්කර ගන්න ඕනෑ'' ආචාර්ය අනිල් ජයන්ත කියා සිටියේය. ''මේ විවෘත ආර්ථිකය ඇතුළේ අපේ රටේ ආර්ථිකය පල්වෙලා තියෙන්නේ. මේ ක්‍රමය ඇතුළේ ආර්ථිකය ගොඩනඟන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි විකල්පයක් ලෙස රටට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියක් හදාගන්න ඕනෑ. විශේෂයෙන් නිෂ්පාදනය, ජන සහභාගිත්වය, ප්‍රතිඵල සාධාරණ ලෙස ජනතාවට බෙදී යන වැඩපිළිවෙළක් තමයි අපේ ඉලක්කය විය යුත්තේ'' සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. ''ඒ වගේම අපි මේකට ජනතා අදහස් ගන්න ඕනෑ. ඒ වගේම ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් හමුවෙන්න ඕනෑ. ඒ වගේම ජනතාව දැනුවත් කරන සංවාදයක් රට තුළ හදන්න ඕනෑ. ඒ විදියට තමයි අපි ජනතාව මේ වැඩේට සම්බන්ධ කර ගන්න වෙන්නේ'' වසන්ත සමරසිංහ යෝජනා කළේය. ඒ අනුව කමිටුවේ නියෝජිතයන් ක්‍ෂේත්‍ර චාරිකාවල නිරත වෙමින් ජනතා අදහස් ලබා ගැනීමටද අවධානය යොමු විය.

මැනින් වෙළෙඳපොළේ පලතුරු ඉදවීමට ස්වාභාවික ක්‍රමයක්. ජ.වි.පෙ. මන්ත්‍රි මැදිහත් වෙයි
කොළඹ මැනින් වෙළෙඳපොළේ පලතුරු වෙළෙන්දෝ කොළඹ නගර සභාවට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළහ. ඒ පලතුරු ඉදවීම සඳහා කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය වෙනුවට ස්වාභාවික ක්‍රම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස බල කරමිනි. වසර 100කට ආසන්න ඉතිහාසයක් තිබෙන මැනින් වෙළෙඳපොළේ පලතුරු ඉදවීම සිදුකළේ ස්වාභාවික ක්‍රමයකටය. නමුත් මීට වසර 12කට පමණ පෙරදී පලතුරු ඉදවීම සඳහා රසායනික ක්‍රමයක් හඳුන්වාදී තිබෙන්නේ නගර සභාව විසිනි. පෞද්ගලික සමාගම් කිහිපයක් සමඟ එක්ව නගර සභාව විසින් මෙම රසායනික ක්‍රමය හඳුන්වා දීමටද වෙළෙන්දන් සහ ගොවියන් විරෝධය පළ කළහ. නමුත් කාලයාගේ ඇවෑමෙන් වෙළෙන්දන්ට සහ ගොවියන්ට එයට එකඟ වීමට සිදුවිය. නමුත් මේ වනවිට පලතුරු පරිභෝජනය විශාල ලෙස පහත වැටී තිබෙන්නේ ජනතාව අතර පලතුරු ඉදවීමේ ක්‍රම පිළිබඳව විශ්වාසයක් නොමැතිකම නිසාය. එමෙන්ම රසායනික ද්‍රව්‍ය යොදා ඉදවන නිසා පලතුරුවල නැවුම් රස පහව යෑමද ජනතාව පලතුරු පරිභෝජනයෙන් අෑත් වීමට හේතුවී තිබේ. මේ තත්ත්වය නිසා මැනින් වෙළෙඳපොළේ ව්‍යාපාරික සංගමය නැවත ස්වාභාවික මෙන්ම පාරම්පරික ලෙස පලතුරු ඉදවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමට සටනක් ඇරැඹීය. මේ සඳහා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන සහ ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රි ජෛව පනත තාක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය අශෝක රන්වලද මැදිහත් විය. ඒ සඳහා සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වීය.


පසුගිය 01 වැනිදා මැනින් වෙළෙඳපොළ ව්‍යාපාරික සංගමයේ මහ සභාව රැස්වූ අතර සංකේතාත්මක රසායනික ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීමට විරෝධය පළ කරමින් එම උපකරණ ගිනි තබා විනාශ කරන ලදී. මේ අතර ඔවුන් නගර සභාවට විශේෂ ඉල්ලීම් කිහිපයක් යොමු කර තිබේ. ස්වාභාවික පලතුරු ඉදවීම සඳහා යොදා ගත් දුම් කාමර අලුත්වැඩියා කරදීම, අවශ්‍ය ප්‍රතිපාදන නගර සභාව විසින් සැපයීම, කෘත්‍රිම සහ ස්වාභාවික ඉදවන පලතුරු හඳුනා ගැනීමට ස්ටිකරයක් හඳුන්වා දීම, මෙම ස්වාභාවිකව ඉදවන පලතුරු සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබාදීම සහ රසායනික ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීම තහනම් කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීම එම ඉල්ලීම් අතර වෙයි. ''මේක ඓතිහාසික වැඩක්. ගමේ ගොවියාගෙන් පටන් ගන්න තිබුණු වැඩක් කොළඹ මැනින් ව්‍යාපාරිකයන් ආරම්භ කිරීම හිතාගන්න බැරි දෙයක්. ආණ්ඩුව තමයි ජනතාවගේ සෞඛ්‍ය ගැන හිතලා මේ දේවල් කරන්න ඕනෑ. නමුත් ගොවියන් ව්‍යාපාරිකයන් ආණ්ඩුවටත් පාඩමක් උගන්වලා තියෙනවා. මේ වැඩේ සාර්ථක කර ගත්තොත් නැවතත් අපිට අපේ රටේ පලතුරුවල නැවුම් රස බලන්න පුළුවන්'' අශෝක රන්වල මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon