1990

  👤  3566 readers have read this article !
2018-08-08

රජකු වුණත් ලෙඩකු නම් පලක් නැත. 'ආරෝග්‍යා පරමා ලාභා' යැයි බුදුන් වහන්සේ දේශනා කළේ එනිසාය. නිරෝගීකම තරම් සැපයක් නැති බව බොහෝ දෙනකුට අවබෝධ වන්නේ රෝගී වූ විටය.

යමකු රෝගී වූ විට රෝහල හා වෛද්‍යවරුන් තරමටම නොවුණද ගිලන්රථයද අත්‍යවශ්‍ය වන අවස්ථා තිබේ. නිවෙසේ සිට හෝ අනතුරක් සිදු වූ ස්ථානයේ සිට හෝ ආරක්ෂිතව රෝහල් ගතවීමට අකැමැති කිසිවකු නැත. 'ගිලන්රථය' ඒ කැමැත්ත වෙනුවෙන් සැකසුණකි.

සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව මීට දෙවසරකට පෙර 'සුවසැරිය' නමින් පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවයක් ඇරැඹුවේ, ජනතා හිතසුව පිණිස බව පවසමිනි.

අගමැති රනිල්, ඉන්දීය අගමැතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව එරට රජය 'සුවසැරිය' ගිලන්රථ 88ක් ලංකාවට ලබාදුන්නේය. පළමුවැනි පියවරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල එය ක්‍රියාත්මක විය. දෙවැනි පියවර ලෙස තවත් ගිලන්රථ 209ක් ඉන්දීය රජය පරිත්‍යාග කර ඇත.

'සුවසැරිය' ගිලන්රථ සේවාව හඳුන්වාදීමේදී විවිධ පාර්ශ්වයන් විවිධ චෝදනා එල්ල කළේය. මේ පිටුපස 'රෝ' ඔත්තු සේවාව සිටින බවත් ඉන්දීය ජාතිකයන්ට මින් රැකියා ලබාදෙන බවත් කියමින් ඔවුහු චෝදනා කළහ. ඒ චෝදනා කෙසේ වෙතත් දුරකථනයෙන් '1990' අංකය අමතා භේදයකින් තොරව ඕනෑම කෙනකුට ගෙන්වා ගත හැකි 'සුවසැරිය' ගිලන්රථ සේවාව 2016 ජූලි මාසයේ දී ඇරැඹීමෙන් පසු මේ දක්වා 94,351 වාරයක් රෝගීන් ප්‍රවාහනය කර තිබේ. මේ ගිලන්රථ වැඩි වශයෙන් යොදාගෙන ඇත්තේ රථවාහන අනතුරුවලට ලක්වූ රෝගීන් රෝහලට ප්‍රවාහනය කිරීමටය. හෘදයාබාධ රෝගීන් සියයට 10ක්ද, ශ්වසන අපහසුතාවලින් පෙළුණු රෝගීන් සියයට 14ක්ද, ගෘහස්ථ අනතුරුවලට මුහුණ දුන් රෝගීන් සියයට 11ක්ද 'සුවසැරියෙන්' ප්‍රවාහනය කර ඇත.

මේ ගිලන්රථ තුළදී සිදුව ඇති දරු උපත් සංඛ්‍යාව 30කි. කිසිදු දරුවකුට උපද්‍රවයක් සිදුනොවීම සුවිශේෂී කරුණකි. රැගෙන ගිය කිසිදු රෝගියකු අතරමඟදී මරණයට පත්වී නැත. ඊට හේතුව අන් කිසිවක් නොව නවීන තාක්ෂණයෙන් යුක්ත අංගසම්පූර්ණ මේ ගිලන්රථ තුළ හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා පුහුණු නිලධාරියකු හෝ නිලධාරිනියක රැඳී සිටීම විශේෂත්වයකි. ඔවුන්ට උපදෙස් දීම සඳහා වෛද්‍යවරයෙක් පැය විසි හතරේම රාජකාරියේ යෙදී සිටී.

නොමිලයේ ලබාදෙන මේ ගිලන්රථ සේවාවේ පළමු අදියරේදී රැකියා අවස්ථා 500ක් පමණ ජනිත කළ අතර දෙවැනි අදියරේදී 1,700කට වැඩි සංඛ්‍යාවකට රැකියා අවස්ථා හිමි වීමට නියමිතය.

මේ සියලු රැකියා මෙරට පුරවැසියන්ට හිමිවීම කැපීපෙනෙන කාරණයක් වන්නේ ගිලන්රථ සේවාවෙන් ඉන්දීය ජාතිකයන්ට රැකියා ලබාදෙන බවට චෝදනාවක් එල්ල වූ නිසාය.
රජයේ රෝහල්වල ගිලන්රථවලින් සිදු කෙරෙන්නේ රෝහලකින් රෝහලකට රෝගීන් රැගෙන යෑමය. නිවෙසින් රෝහලට රෝගීන් රැගෙන යෑමේදී 'සුවසැරිය' මහෝපකාරී වේ.
අනෙක ඇතැම් රජයේ රෝහල්වල ගිලන්රථ නැත. සමහර රෝහල්වල ඇත්තේ ගිලන්රථයක් පමණි. ඇතැම් රෝහලක එයද අබලන්ය.

'සුවසැරිය' එවැනි රෝහලක සිටින රෝගීන්ට කෙතරම් වටින්නේ දැයි අමුතුවෙන් කිවයුතු නොවේ.

වසරේ දින 365 දීම දවසේ පැය විසිහතර පුරා දිවා - රෑ ක්‍රියාත්මක වන 'සුවසැරිය' දුරකථන ඇමැතුම් ලබාදී විනාඩි 12ක් වැනි කෙටි කාලයකින් අදාළ ස්ථානය වෙත පැමිණෙයි. නිවෙසේ වාහනයක් තිබුණද ගිලන්රථයකින් අදාළ රෝගියා රෝහලක් වෙත රැගෙන යෑමේ වාසිය වන්නේ මුල්පැයේ ලබා දෙන ප්‍රතිකාර රෝගියකුගේ ජීවිතය පිළිබඳ තීරණාත්මක සාධකයක් වන නිසාය. අනතුරට මුහුණ දුන් පුද්ගලයා වෙත ලැබෙන රත්රන් පැය (ට්ධතඤඥද ඩධභප) ලෙස එය හඳුන්වයි.

සුවසැරිය ගිලන්රථ සේවය ඒ 'රත්රන් පැය' වෙනුවෙන්ම ඇපකැප වූවකි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon