සාපරාධී කාරණාවලදී අනේ‍යාන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී සහ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා නඟන ලද ප්‍රශ්නයේදී ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  3593 readers have read this article !
2018-08-08

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

මන්ත්‍රිවරුන් හැත්තෑවක් සිටිනවා නම් එජනිස බලය අරන් මෙතැනට ඇවිත් කියන්න එතකොට විපක්ෂ නායකකම දෙන්න පුළුවන් - අනුර කුමාර දිසානායක

ඒකාබද්ධයේ මන්ත්‍රි සංඛ්‍යාව 51 පසුව පනස් හතර වුණා. ඊළඟ අවස්ථාවේ 70ක් වුණා. එම අවස්ථා තුනේදීම සිදුවිය යුතු තීරණාත්මක නෛතික වෙනස සිදුවී නැහැ. පක්ෂ හයකින් මන්ත්‍රිවරු තේරී සිටින බවත් 19 වැනි සංශෝධනයෙන් ඒ පක්ෂවල අනන්‍යතාව තහවුරු කර තිබෙන බවත් කිවයුතුයි. පක්ෂවල අනන්‍යතාව අත්හරිනවා නම් ඒ පක්ෂ කුමක්ද?

අප විසිතුන් දෙනකුගෙන් යුතු විපක්ෂයක් බව පිළිගන්නවා. විපක්ෂයට 60% ක්ද 40% ආණ්ඩුවත් වශයෙන් කාලය බෙදුණේ. නමුත් අප කුඩා කණ්ඩායමක් නිසා තමයි සියයට 30ක කාලයක් අපට ලබාගෙන ආණ්ඩුවට 70%ක් ලබාදුන්නෙ. ඒ හැත්තෑවෙන් තමයි අදත් එජනිසයට වෙලාව ලබා දෙන්නෙ.

හය දෙනකු පක්ෂ නායකයන් සිටියදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයාට ලබාදුන්නේ වෙනම පක්ෂ නායකයෙක් නිසා නොවේ, ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයා ලෙස.
නිමල් සිරිපාල ද සිල්වා මහතාට හිමියැයි කියන ලද තනතුර දිනේෂ් මන්ත්‍රිවරයාට ලබාදීමට කරන ලද යෝජනාව පරිදියි. එය ඔවුන්ගේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයක්.

මන්ත්‍රිවරු හැත්තෑවක් ඉන්නවා නම්, හිටපු ජනාධිපතිවරයා, ශ්‍රීලනිප හිටපු නායකයා ඉන්නවා නම් විසිහය යටකර එජනිස බලය ගන්න. ඊට පසු මෙතැන ඇවිත් කියන්න. එතකොට විපක්ෂ නායකකම දෙන්න පුළුවන්. දින සියයේදී විපක්ෂ නායක කවුදැයි චමල් රාජපක්ෂ කථානායකවරයා ප්‍රකාශ කළේ නැහැ.

වත්මන් විපක්ෂ නායකවරයා ඉටුකරන්නේ සැබෑ විපක්ෂයේ කාර්ය නොව ආණ්ඩුවේ වලිගයේ කාර්යයි - උදය ගම්මන්පිල

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායමත් ඇමැති ධුර දරන හෙයින් විපක්ෂ නායකකම දීමට බැරි බවටත් අප එජනිසයෙන් තරග කළ නිසා විපක්ෂ නායක ධුරය දෙන්න බැරි බවටත් කියනවා. හැත්තෑවක් ඉන්න කණ්ඩායමට නොදීම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකිරීමක්.

විපක්ෂ නායකුමා කිසිම සංශෝධනයකින් තොරව ආණ්ඩුවට පක්ෂව ඡන්දය දෙනවා නම්, සෑම මර්දනකාරී පනතකටම අත ඔසවනවා නම් ඔහු ඉටු කරන්නේ සැබෑ විපක්ෂයේ කාර්ය භාරය නොව ආණ්ඩුවේ වලිගයේ කාර්ය භාරයයි.

දිනේෂ් මීළඟ ජනපති අපේක්‍ෂකයාද? - ඇමැති ජෝන් අමරතුංග

'දිනේෂ් මීළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කිසිම පක්‍ෂයක් නැති කණ්ඩායමක් දැන් විපක්‍ෂ නායකකම ඉල්ලනවා. අපි පාර්ලිමේන්තු සම්ප්‍රදාය තේරුම් ගන්න ඕන. ඇයි මේ එක පවුලකටම මේක දෙන්න හදන්නේ? තමුන්නාන්සේලා පක්‍ෂයක් හැටියට ලියාපදිංචි වෙලා තියෙනවා නම්, ඔය ප්‍රශ්නෙ නැහැනේ.
දිනේෂ් ගුණවර්ධන මගේ හොඳ මිත්‍රයා. ඔබතුමා මීළඟ ජනාධිපති අපේක්‍ෂකයාද කියලා හොඳයි කියන්නකෝ

විපක්‍ෂයේ 70 දෙනාගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්න කථානායකතුමාට වගකීමක් තිබෙනවා - ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න

විපක්‍ෂයේ අසුන්ගෙන සිටින අපේ මන්ත්‍රිවරුන් හැත්තෑ දෙනාගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්න කථානායකතුමාට වගකීමක් තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ කථානායකවරු එඩිතර තීන්දු අරගෙන තිබෙනවා. අපි මන්ත්‍රිවරු හැත්තෑ දෙනාගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්න පියවර ගන්න.

පසුගිය මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රිවරු 96 දෙනකු තේරී පත් වුණා. එයින් 25 දෙනකු හැර අනෙක් අය ඒකාබද්ධ විපක්‍ෂයේ කටයුතු කළා. කථානායකතුමාට මුළු රටම ගරු කරපු නායකයෙක්. තවමත් ගරු කරනවා. ඔබතුමා ආගමික නායකයෙක්. මේ විදියට කටයුතු කළොත් පාර්ලිමේන්තුව අශෝභන තත්ත්වයට පත්වෙනවා.

විපක්‍ෂ නායකකම අපට ලබාදෙන්න - කුමාර වෙල්ගම

2015 මහ මැතිවරණයෙන් පස්සේ විපක්‍ෂ නායක හැටියට මාද විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මා මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ නම් කළත් ඒක දෙන්න බැහැ කීවා.
මා කතා කරන්නේ එ.ජ.නි.ස. ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයෙක් ලෙසයි. ජනාධිපතිවරණය පරාද වූ පසු අප මන්ත්‍රිවරුන් ලෙස මේ සභාවේ හිටියා. සන්ධානයේ මන්ත්‍රිවරු දින 100 ඇමැතිකම් ලබා සිටින විට අපේ මන්ත්‍රිවරයකුට විපක්‍ෂ නායකකම දුන්නා.

ඔබතුමන්ලා කියනවා වගේ ඒකාබද්ධ විපක්‍ෂය කියා පක්‍ෂයක් නැහැ. එ.ජ.නි.ස හැටියට අප ඉන්නවා. එදා විපක්‍ෂ නායක ධුරය නිමල් සිරිපාල සිල්වා මහත්තයාට දුන්නා වගේ අද විපක්‍ෂ නායකකම අපට ලබා දෙන්න.

අර්ජුන මහේන්ද්‍රන් මෙරට උසාවියට ගෙන්වා ගන්න හැටියක් නෑ - වාසුදේව නානායක්කාර

අර්ජුන මහේන්ද්‍රන් රටට කළ විශාල අපරාධය ගැන අහන්න මෙරට උසාවියට ගෙන්වා ගන්න හැටියක් නැහැ. මේ අපරාධකාරයා ගැන කරන්න දෙයක් නැත්නම් අප මේ පනත් පුච්චමු.

මේ රටේ පුද්ගලයෙක් ගැන වෙනත් රටකින් ඉල්ලුමක් එනවා. එවිට ඔහු අපරාධයකට සම්බන්ධ දැයි අප වහාම පරීක්‍ෂණ ආරම්භ කරන්න ඕනෑ.

බලවත් රටවල් තමන්ට වුවමනා පරිදි මට්ටු කිරීමට ඇතිකර ගන්නා බහුල අධියක් . යම් අපරාධයක් පිළිබඳ ඉල්ලුමක් ලද විට එය අපරාධයක් දැයි අපි පරීක්‍ෂා කර නඩු කටයුත්තක් ගත්තොත් වෙනත් රටක සංවිධානයක ඉල්ලීමට අයිතියක් නැහැ.

අපේ පුරවැසියෙක් වෙනත් රටකදී අපරාධයක් කළොත් ඊට සහාය දැක්වීමේ කිසිම වරදක් නැහැ. හැබැයි අපේ රටේ පුද්ගලයෙක් අපේ රටේ වරදක් කළොත් වෙනත් රටකට ඒ සඳහා කටයුතු කරන්න බැහැ.

විපක්‍ෂ නායක කවුදැයි තීරණය කරන්න රජයට බැහැ - දිනේෂ් ගුණවර්ධන

ආණ්ඩුවට විරුද්ධව, ඡන්දය ප්‍රකාශ කරන, ආණ්ඩුව විවේචනය කරන මන්ත්‍රිවරු 70ක් මේ විපක්‍ෂයේ අසුන් ගෙන සිටිනවා. මන්ත්‍රිවරු 23ක් නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයෙක් ගැන ඊයේ උදේ හැම තැනම ප්‍රකාශ වෙනවා. අප විපක්‍ෂ නායක ධුරය ලිඛිතව ඉල්ලා සිටියා. මන්ත්‍රිවරු හැත්තෑව විසිතුනට වඩා වැඩියි. ඔබතුමා අලුත් තීරණයක් ප්‍රකාශ කරන බව පැවැසුවා.

අපි නියෝජනය කරන්නේ මහින්ද රාජපක්‍ෂ නායකත්වයයි. මේ රටේ මිලියන ගණනක් අපට ඡන්දය දීලා තිබෙනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදායේ, අමිර්තලිංගම් විපක්‍ෂ නායකතුමා යටතේ කටයුතු කර තිබෙනවා. එදා ශ්‍රී ල.නි.ප.ය සමඟ මා හා සරත් මුත්තෙට්ටුවේගම මන්ත්‍රි ඇතුළු දහදෙනෙකු විපක්‍ෂයේ හිටියා.

මෙතැන සම්පන්දන් මහතා අතර ප්‍රශ්නයක් නැති බව හොඳින් මතක තබා ගන්න.

විරුද්ධ පක්‍ෂයේ වැඩි කණ්ඩායම පිළිගෙන විපක්‍ෂ නායකකම හැම කථානායකවරයාම භාරදී තිබෙනවා.
කථානායක: ඉක්මනින් කියන්න.

දිනේෂ් ගුණවර්ධන: ඉක්මනින් කියන්න බැහැ. හදිසියක් නැහැ. අපි අවුරුදු තුනක් බලාගෙන හිටියා. අලුත් ස්ථාවර නියෝග ඇති කළාම අලුත් තීරණ ගන්නා බවට ඔබතුමා අපට විශ්වාසයක් ඇති කළා. දේශපාලන පක්‍ෂවල නොදැනුවත් ලේකම්වරුන්ගේ අදහස නොව උත්තරීතර වන්නේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුව උත්තරීතර බව ශේ්‍රෂ්ඨාධිකරණයද ප්‍රකාශ කර තිබෙනවා.

නොදැනුවත් ලේකම්වරයකු ලියන ලිපියකින් ඔබතුමා තීරණ නොගත යුතුයි. ඔබතුමා ඇවිත් මේ පැත්තෙ ඉඳගන්න. එදා විපක්‍ෂ නායකකම නැති වෙනවා කියා තර්ජනයක් තිබුණේ නැහැ. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට ගොස් තනතුරු ගත් සම්ප්‍රදායක් තිබෙනවා.

පාර්ලිමේන්තු සම්ප්‍රදායට හානි කරන තත්ත්වයේ තීන්දුවක්, ඒකාබද්ධයේ මන්ත්‍රිවරු හැත්තෑ දෙනාට ලබා දුන්නොත් ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අවලංගු කාසියක් බවට පත් කරන කථානායකවරයා බවට පත්වෙනවා.

අපේ මන්ත්‍රිවරු 70 විපක්‍ෂයේ විශාලතම සංඛ්‍යාවයි. මේ සභාවේ සදාචාරය පවත්වාගෙන යන්න මේ රජය අසමත්ව තිබෙනවා. විපක්‍ෂ නායක කවුදැයි තීරණය කරන්න රජයට බැහැ. ඔබතුමාගේ තීන්දුව ප්‍රකාශයට පත්කළ යුතුයි.

කථානායකවරයා පක්‍ෂ ලේකම්වරයකුගෙන් මත විමසුමක් කළ යුතු නෑ - සුසිල් ප්‍රේමජයන්ත

අපි ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ආපු අය. අපි පැරදිලා ආපු අය නොවේ.

අද වන විට මන්ත්‍රිවරු 70 දෙනකු විපක්‍ෂය නියෝජනය කරනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රි සංඛ්‍යාවෙන් සියයට 31ක් නියෝජනය වෙනවා. එම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ සාධාරණ කාලයක් ලැබෙන්නේ නැහැ. ස්ථාවර කමිටුවල, අධීක්‍ෂණ කමිටුවල ප්‍රමාණවත් නියෝජනයක් සැලැසී නැහැ.

මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ නායකත්වයෙන් තරග කරලයි අපි ඡන්ද ලබාගෙන ඇවිත් තිබෙන්නේ. මන්ත්‍රිවරු 70 දෙනකු සිටින අපේ කණ්ඩායමට විපක්‍ෂ නායක තනතුර ලබා දීම සම්බන්ධයෙන් පක්‍ෂ නායකයගේ මතය ලිපියකින් විමසා තිබෙනවා. මම වසර එකොළහක් එ.ජ.නි. සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදායේදී කථානායකවරයා විසින් පක්‍ෂ ලේකම්වරයකුගෙන් මත විමසීමක් කළ යුතු නැහැ.

අනුර බණ්ඩාරනායක මහතා කථානායකවරයා වශයෙන් ලබාදුන් තීන්දුවක් අපි දැන් ක්‍රියාත්මක කරනවා. මේ අවස්ථාවේ අපි 70 දෙනාගේ කණ්ඩායමේ ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකතුමා තීරණයක් ගන්න. අපි මන්ත්‍රිවරු හැත්තෑ දෙනාගේ අයිතිවාසිකම් පිළිඅරගෙන අලුත් සම්ප්‍රදායක් ඇති කරන්න.

මන්ත්‍රිවරුන් 70කගේ අයිතිය අද පැහැරගෙන - විමල් වීරවංශ

මන්ත්‍රිවරුන් හැත්තෑවකගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අද පැහැරගෙන තිබෙනවා

එජනිසයේ අනූහයෙන් හැත්තෑවක් ඉන්නෙ ඒකාබද්ධ විපක්ෂයේ. අපි හැත්තෑවක් මේ සභාවට එන්නෙ ඔබතුමාගෙ (කථානායක) මුහුණ බලා ගෙදර යන්න නොවේ. ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්නයි. ඒක අපේ අයිතිය. ඒ සඳහා අපට ලැබෙන කාලය ප්‍රමාණවත් නැහැ. ඒ අයිතිය ලබාගැනීමටයි අප කටයුතු කරන්නේ. අප කියන්නේ වැඩි පඩි දෙන්න කියලා නොවේ.

අප පත්කර එවන ලද මහජනයා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට ඇති අයිතිය ලබාදෙන්නැයි කියන ඉල්ලීමයි මේ.
එදා ඔබතුමා කළුපටි බැඳගෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන අප සමඟ එක්වී කතාකළා. ප්‍රජාතන්ත්‍රවාදයේ "අ" යන්නවත් අද මෙතැන රැකෙන්නේ නැහැ.

මට තනි තීරණ ගන්න බෑ - කථානායක කරු ජයසූරිය

මට තනි තීරණ ගන්න බැහැ. මා ඒකාධිපතියෙක් ලෙස තීන්දු ගන්නේ නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂයට කාලය ලබාදීම ගැන ප්‍රශ්නයක් ඇති බව පිළිගන්නවා. ඒකාබද්ධයට ඒ බව මා ලිඛිතව දෙන්න කීවා. ඒ අනුව දින ගණනාවකට පසු මට ලිඛිතව දුන්නා.
එම පක්‍ෂයේ නිල තීන්දු ගැනීම මගේ යුතුකමක්, අයිතියක්. මට තනි තීරණ ගන්න බැහැ. මා ඒකාධිපතියෙක් ලෙස තීන්දු ගන්නෙ නැහැ. මට නොයෙක් දේ ප්‍රකාශ කර තිබුණා. මගේ මියගිය දුව ගැනත් වෙබ් අඩවිවල දාලා තිබුණා. මා ඒ තත්ත්වයට යන්නේ නැහැ. මට ලැජ්ජයි. පක්‍ෂ නායක රැස්වීම තිබෙනවා. තවත් කරුණු දෙකක් මට සොයා ගන්න තිබෙනවා.

මේ ගැන එකී උපදෙස් අරගෙන මේ සතිය තුළ තීරණයක් දෙනවා. මා හැකි තරම් ප්‍රජාතන්ත්‍රවාදී වුණා. මා බුදු කෙනකු නොවේ. බුදු වෙන්න තව කල් තියෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon