පුංචි කාර් සිහිනය

  👤  3516 readers have read this article !
2018-08-09

ඇතැම් රූපවාහිනි නාළිකා සිය ප්‍රේක්ෂකයාට පුංචි 'මෝටර් රථ' තෑගි දීම අරඹා ඇත. මුදල් හා වෙනත් භාණ්ඩ තෑගි දුන් ඔවුන් මෝටර් රථ තෑගි දෙන්නේ අන් කිසිවක් නිසා නොව ඔවුන් පහළ පාන්තික ප්‍රේක්ෂක ජනතාවගේ සිතුම් පැතුම් ගැන දන්නා නිසාය. පහළ පාන්තික ජනතාව පාරිභෝගික සමාජය තුළ දකින සිහින රැසකි. ඒ අතරේ ඇති සුපිරි සිහිනයක් වන්නේ තමන්ට කියා වාහනයකි.
'මෝටර් රථය' එහි මුල් තැනක තිබේ.

2015 අගෝස්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ පුංචි කාර් මැතිවරණ දැන්වීම පහළ පාන්තික ඡන්ද දායක ජනතාව දිනා ගැනීමට සකස් කළේ ඉහත කී රූපවාහිනි නාළිකාවලට ඇති අවබෝධය එජාපයේ මැතිවරණ ප්‍රචාරකයන්ටද තිබූ නිසාය. අගෝස්තු මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් නොදුන් බොහෝ දෙනකු තුළ 'පුංචි කාර්' හිමියකු වීමේ ආශාව දැල්වී තිබුණා විය යුතුය. එය වරදක් නොවේ. වරද වන්නේ ජනතාවගේ හදවත්වල ඉපදුණු ඒ අහිංසක අපේක්ෂාව උපන් ගෙයිම මරා දැමීමය.

බදු ඉහළ නැංවීම නිසා පුංචි කාර් මිල ඉහළ යෑමට නියමිතය. වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන ආකාරයට එන්ජින් ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා අය කරන නිෂ්පාදන බද්ද ඉහළ නංවා ඇත. මේ අනුව ජපානයෙන් ආනයනය කරන එන්ජින් ධාරිතාව 660 හයිබි්‍රඩ් වාහනයක මිල 2,50,000කින්ද, එන්ජින් ධාරිතාව 660 පෙට්රල් වාහනයක මිල රුපියල් 2,40,000කින්ද ඉහළ යෑමට ඉඩ තිබේ.

පුංචි මෝටර් රථයක ලොකු සිහිනය බොඳ වී යමින් පැවැතීම ආණ්ඩුවට ඉතා නරක ලෙස බලපා ඇත. එහෙත් ඇමැති අජිත් පී. පෙරේරා ප්‍රකාශ කර තිබුණේ අතිරේක බද්ද පැන වූයේ තාවකාලිකව බවය; පුංචි මෝටර් රථ අලෙවිය ඉහළ යෑම නිසා විදේශ විනිමය පිටරටට ඇදී යෑම වැළැක්වීමට මේ තීරණය ගත් බවය. අදාළ තීරණය කවුරු නිර්දේශ කළත් එය ආණ්ඩුවට දුන් ලණුවක් විය හැකිය. එජාපයම දැල්වූ 'පුංචි කාර්' අපේක්ෂාව ඔවුන්ගේ ආණ්ඩුවකින්ම බොඳ කර දැමීම මේ තීරණය නිසා සිදුවන බව නොතේරීයෑම විපක්ෂයේ වාසනාවකි.

ඇමැති මංගල සමරවීරට අනුව පුංචි කාර් සුනාමියට එරෙහිව ගත් මේ තීරණය ජනප්‍රිය නොවුණද බුද්ධිමත්ය. මහාමාර්ගවලට ඔරොත්තු නොදෙන වාහන ප්‍රමාණයක් තිබීම කියන කාරණයට සාපේක්ෂව ඇමැති මංගල වැරැදි නැත. එහෙත් එකක් කඩතොලු හදා ගන්නට ගිහින් ආණ්ඩුව කඩතොලු දෙකක් හදාගෙන ඇත.
මේ ගෙවුණු අවුරුදු කිහිපයේම ආණ්ඩුව කළ බොහෝ දේවල් වැටෙන්නේ ඉඳුරුවේ ආචාරියාගේ වැඩේටය.

ආර්ථිකය හා දේශපාලනය දෙකක් නොව එකක් බව මේ ආණ්ඩුවේ බොහෝ දෙනකුට තේරෙන්නේ නැත. අත්දැකීම්වලින්වත් ඉගෙන ගැනීමට ඔවුන්ට අවශ්‍යතාවක් ඇති බව පෙනෙන්නට නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon