ස්වාධීන කොමිෂන් සභා නවයෙහි සභාපතිවරයන් හා සාමාජිකයන් වෙත දැනට ගෙවනු ලබන පාරිශ්‍රමිකයන් හා වෙනත් දීමනා 2018-06-01 දින සිට සංශෝධනය කිරීම සඳහා වන යෝජනාව සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්.

  👤  3219 readers have read this article !
2018-08-10

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

රාජ්‍ය සේවයේ සියලු දෙනාට පඩි වැඩි කිරීමට කොමිසමක් නම් කිරීමටයි මම යෝජනා කළේ
- ඇමැති මංගල සමරවීර

"කලාකරුවන්ගේ හා සිඟිති දරුවන්ගේ ගිණුම් සම්බන්ධයෙන් නව බදු පනත නිසා ඇතිවී තිබෙන ප්‍රශ්න අගෝස්තු මාසය තුළ නිවැරැදි කරනවා" යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අපි මේ පනත ඉදිරිපත් කරන්නේ වැට් බද්ද පිළිබඳ සංශෝධන ඇති කරන්නයි. සෞඛ්‍ය සේවා, සෞඛ්‍ය ආයතනවල සෞඛ්‍ය සේවා වැට් බද්දෙන් නිදහස් කිරීම මේ පනතෙන් සිදු කරනවා.

චැනල් සේවාවලින් වැට් බදු අය කිරීමද ඉවත් කරනවා. ඒ වගේම ළදරු කිරිපිටි, පාසල් දරුවන්ගේ පොත්පත්, සනීපාරක්ෂක උපකරණ ආදියට අය කරන වැට් බද්දත් මෙයින් ඉවත් කෙරෙනවා.

අපි 2015ට පෙර රට විශාල ණය කන්දකට යටවී, විවිධ සම්බාධක පැනවුණු තත්ත්වයකට පත්ව තිබුණා.

වක්‍ර බදු අඩු කරන්නත්, සෘජු බදු පුළුල් කරන්නත් අපේ ප්‍රධාන ඉලක්කය වී තිබෙනවා. 48,850ක් වූ බදු ලිපි ගොනු මේ වන විට 33,667ක් වී තිබෙනවා.

සී.සී. 1000 හෝ 1000ට අඩු වාහනවල මිල පසුගිය කාලයේ ලක්ෂ හයකින් පමණ අඩු වුණා. දළ වශයෙන් මේ වාහන 28,000ක් පමණ ලංකාවට එන්න පටන් ගත්තා. සී.සී. 1000ට අඩු වෑන් 1000ක් පමණ මාසයකට ආවා. මේ නිසා අපේ මුදල් විශාල වශයෙන් පිටරටවලට ඇදී යෑමට පටන් ගත්තා.

කුඩා වාහන මේ රටට ගලාගෙන ඒම නිසා රාත්‍රි 12ටත් වාහන තදබදයක් කොළඹ නගරය තුළ දක්නට ලැබුණා. රාජපක්ෂ කාලයේ තිබුණාට වඩා අද තවමත් බද්ද අඩුයි.
අඟහරුවාදා ඇමැති මණ්ඩලයේදී දුම්රිය රියැදුරු මහත්වරුන්ට, දුම්රිය සේවකයන්ට පඩි වැඩි කරනවාට විරුද්ධව නොවේ මම කතා කළේ. මේ පඩි වැඩි කිරීම සිදු කළා නම් රාජ්‍ය සේවයේ විශාල පිරිසකට පඩි වැඩි කිරීම කළ යුතු බරපතළ තත්ත්වයක් ඇතිවන නිසා රාජ්‍ය සේවයේ සියලුම දෙනාට පඩි වැඩි කිරීම සඳහා කොමිසමක් නම් කිරීම සඳහායි මම යෝජනා කළේ.

එම කොමිසම පත් කිරීමට කටයුතු කරමින් තිබියදී තමයි හිටි හැටියේම කිසිම දැනුම්දීමකින් තොරව මේ දුම්රිය සේවය වැඩවර්ජනයක් ආරම්භ කළේ.

මේ වර්ජනය පැවැත්වෙන තාක්කල් දුම්රිය මගීන් සඳහා ලබාදී ඇති සීසන් බස්වල යෑමට වලංගු කළා. උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට නොමිලයේ බස්වල ගමන් කිරීමට පහසුකම් සලසා තිබෙනවා. පෞද්ගලික බස් අයිතිකරුවන්ගෙන් ඉල්ලනවා මුදල් අමාත්‍යාංශයට පැමිණ ලියාපදිංචි වෙනවා නම් මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ගෙවා ඒ බස් ධාවනය කිරීමට අවස්ථාව සලසනවා.

මාස තුනක් ඇතුළත මේ වැටුප් වැඩි කිරීමට පත් කරන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවට සහතික වෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට පැමිණෙන ලෙස වර්ජනය කර සිටින සේවකයන්ගෙන් ඉල්ලනවා.

කොමිසමෙන් දෙන තීන්දු ක්‍රියාත්මක නොකිරීමට පොලිස්පතිට හයියක් ලැබුණෙ කොහොමද?
උදය ගම්මන්පිල

පොලිස් කොමිසමෙන් ලබාදෙන තීන්දු ක්‍රියාත්මක නොකිරීමට තරම් හයියක් පොලිස්පතිවරයාට ලැබුණේ කොහොමදැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි උදය ප්‍රභාත් ගම්මන්පිල (එජනිස) ප්‍රශ්න කළේය.

ස්වාධීන කොමිෂන්වල ස්වාධීනව කටයුතු කිරීම සඳහා ඔවුන්ට හොඳ වැටුපක් ලැබෙන්න ඕන. ධාතු කරඬුවක් වඩම්මන ආකාරයෙන් ගෙනා ස්වාධීන කොමිෂන් සභාවලින් වැඩක් වෙලා තිබෙනවාද?

ජාතික විගණන පනත දින 100 රජය කාලෙ ගේන බව කීවා. පනත නැති නිසා ජාතික විගණන කොමිසමේ අයට අවුරුදු දෙකක් වැඩ නැතිව ඉන්න වුණා. ලබාදෙන උසස්වීම්, මාරුවීම්, විනය තීන්දු ක්‍රියාත්මක කරන්න බැරි නම් ස්වාධීන පොලිස් කොමිසමෙන් ඇති වැඩේ මොකක්ද? ස්වාධීන තීන්දු ක්‍රියාත්මක නොකිරීමට හයියක් පොලිස්පතිට ලැබුණෙ කොහොමද?

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්මාණශීලී වැඩ කිහිපයක් කරන්න හදනවා. මහ බැංකු වංචාවට පමණක් දෙවැනි වංචා දහයක් ගැන අප කරන ලද පැමිණිලිවලට කිසිවක් වුණේ නැහැ.

ජේ‍යෂ්ඨයන් නොසලකා කනිෂ්ඨයාට පොලිස්පති තනතුර දුන්නා. නීතිපති තනතුරත් දුන්නෙ ජේ‍යෂ්ඨයා සිටියදී කනිෂ්ඨයාටයි. පොලිස්පතිතුමා නීතිය නවනවා. නීතිපතිතුමා ගත්තොත් මෙතරම් දේශපාලනයවූ නීතිපතිවරයෙක් අප දැක නැහැ. ත්‍රිපුද්ගල අධිකරණයේ අහන්න නඩු දහයක් යවලා තිබ්බාලු. එයින් නවයක්ම ඒකාබද්ධ විපක්ෂයේ අයට විරුද්ධවයි.

මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවී අවුරුදු තුනක් ගතවී තිබෙනවා. නඩුවක් නැහැ. මහාධිකරණවලට උසස්වීම් ලබාදෙනවිට ජේ‍යෂ්ඨයා සිටියදී කනිෂ්ඨයන්ට ලබාදීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය කඩා වැටෙනවා. අද රටේ මිනීමැරුම් ඇයි? නීතිය ඉටුනොවෙන නිසා තමන්ම නීතිය අතට ගෙන ක්‍රියා කරන නිසයි.

වත්මන් ඇමැතියි හිටපු ඇමැතියි ප්‍රශ්න ඇදගෙන: මොකක්ද මේ හැසිරීම?
කථානායක කරු ජයසූරිය

වත්මන් නිවාස ඇමැති හා හිටපු නිවාස ඇමැති, තම තමන්ට එල්ල වූ චෝදනා ඔප්පු කළහොත් ඇමැති තනතුරෙන් හා මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසමින් පාර්ලිමේන්තුවේදී ඊයේ එකිනෙකාට අභියෝග කරගත්හ.

නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස සහ හිටපු නිවාස ඇමැති විමල් වීරවංශ මන්ත්‍රිවරයාත් අතර එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීම දුරදිග යෑමෙන් පසු මෙසේ අභියෝග ඉදිරිපත් විය.

හැකිනම් පෞද්ගලික විද්‍යුත් නාළිකාවක ප්‍රසිද්ධියේ තමා සමඟ විවාදයකට පැමිණෙන්නැයි විමල් වීරවංශ මන්ත්‍රිවරයා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට තවත් අභියෝගයක් කළේය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ අවසරය ඇතිව ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණයන් විවිධ පළාත්වල නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලවල තාවකාලික පදනමින් රැකියා ලබාදී රුපියල් 500ක දෛනික වැටුප් ලබා දෙන බවත් ඔවුන්ගේ රැකියා ස්ථීර කරන බව පවසා ඇති නමුත් ඔවුන් මෙතෙක් ස්ථීර කර නොමැති බවත් සඳහන් කළ විමල් වීරවංශ මන්ත්‍රිවරයා, මෙය නිවාස අධිකාරියට බරක් යැයි පැවැසීය.

එයට පිළිතුරු දුන් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කිසිවෙක් ස්ථීරව බඳවා ගැනීමක් සිදුකර නැතැයිද නිවාස අධිකාරියට බරක් වන දෙයක් සිදුවී නැති බවත් පවසා කහතුඩුවෙන්, මත්තෙගොඩින් නිවාස ඇමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ ඥාතීන්ට නිවාස ලබාදී ඇති බව සඳහන් කිරීමත් සමඟ ඇමැතිවරයාත් මන්ත්‍රිවරයාත් අතර බහින්බස් වීම ඇරැඹීමත් සමඟ සභාව තුළ උණුසුම් වාතාවරණයක් ඇති විය.

ඔය කියන නිවාසවල මගේ කවුරුවත් පදිංචි වෙලා නැහැ. පුළුවන් නම් ඔප්පු කරන්න. ඔප්පු කළොත් මම මේ මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වනවා යැයි විමල් වීරවංශ මන්ත්‍රිවරයා කිහිපවරක්ම පැවැසීය.

මට ඔප්පු කරන්න පුළුවන් මේ ෆයිල් තියෙනවා. මම මේ ෆයිල් සභාගත කරනවා. මේවා බොරු බවට ඔප්පු කළොත් මම මගේ ඇමැතිකමෙන් ඉල්ලා අස්වනවා. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පැවැසීය.

කථානායක - වත්මන් ඇමැතියි හිටපු ඇමැතියි ප්‍රශ්න ඇදගෙන. ඔබතුමාලා උගත් ඇමැතිලා නේද? මොකද්ද මේ හැසිරීම. දෙන්නම වාඩි වෙන්න.

බදු නැත්නම් පෙට්රල් ලීටරයක් රු. 83කට දෙන්න පුළුවන්
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක

බදු නැත්නම් පෙට්රල් ලීටරයක් රුපියල් 83කට දෙන්න පුළුවන්. සාමාන්‍ය ජනතාව නැවත නැවත හූරාගෙන කෑම ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වෙලා. ස්වාධීන කොමිෂන් සභා මඟින් අප රටේ පොලිසියේ වගේ අනෙක් ආයතනවල ස්වාධීනත්වය බලාපොරොත්තු වුණා. ආණ්ඩුවක් විසින් ලබාදිය යුතු සේවා අද කඩා වැටිලා. ප්‍රවාහනය, සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා කඩා වැටිලා. මේ නිසා ජනතාව විශාල අර්බුදයකට පත්වෙලා. මේ අර්බුදයෙන් සිටින ජනතාවට බදු පැනවීම තුළින් ඔවුන් දුගී බවේ පත්ලටම වැටිලා තිබෙනවා.

තමුන්නාන්සේලා විවිධ බදු මඟින් ජනතාව තව තවත් ගිලටීනයට හසු කරනවා. වත්මන් මුදල් ඇමැති ඉදිරිපත් කළ දේශීය ආදායම් බදු පනත සියලු බදු මූලධර්ම උල්ලංඝනය කර තිබෙනවා. ඕනෑම රටක ඉහළ ජනයාගෙන් බදු ලබාගෙන පහළ ජනයාගේ සේවාවන් සඳහා යොදවා ගත හැකිව තිබෙනවා. අවුරුදු දෙකහමාරකට පසුව මුදල් ඇමැති කියන දේ තමයි, අගමැති අවුරුදු දෙකහමාරකට කලින් කීවේ. සෘජු හා වක්‍ර බදු අතර පරතරය වැඩි වී තිබෙනවා. 80:20 අනුපාතය එදා වගේම අදත් තිබෙනවා. තමුන්නාන්සේලාගේ අරමුණ වක්‍ර බදු එහෙම තිබියදී සෘජු බදු වැඩි කර ගැනීමයි. එය කිසිසේත්ම සාධාරණ නැහැ.

බදු පරිපාලනය කරන ආයතනයකට මෙන්ම බදු ගෙවන්නාටද බද්දක පවතින නිශ්චිතභාවය වැදගත් වෙනවා. බදු ප්‍රතිශතයේ අයවැයෙන් අයවැයට කරන වෙනස්කම් නිසා ව්‍යාපාරිකයන් හා බදු ගෙවන්නන් අවිනිශ්චිතභාවයට පත්වෙනවා. අය-වැයෙන් වෙන බදු වර්ගයක් කියලා පනතෙන් වෙනත් බදු වර්ගයක් ඇතුල් කරනවා. සමහර බදු පනවනවා ඒකට සිදුවූ දේ සභාවට කියන්නෙ නැහැ.
පෝසතුන්ගෙන් අරන් දුප්පතුන්ට බෙදනවායැ.

ඉතිහාසයේ වැඩිම බදු බරක් ජනතාවට පැටවූ ආණ්ඩුව ලෙස යහපාලන ආණ්ඩුව වාර්තා පොතට එකතු වෙනවා
බන්ධුල ගුණවර්ධන

මේ ආණ්ඩුව අය-වැය ලේඛනය ගෙනාවේ හරිත අය-වැයක් කියලා. දැන් හයිබි්‍රඩ් වාහනවල මිල අසීමාන්තික ලෙස වැඩි කරලා. ජපන් වාහන ගෙන්වීම අඩු කර ඉන්දීය වාහන වැඩියෙන් ආනයනයට ආණ්ඩුව කටයුතු කරනවා.

2017දී මෙරටට රත්රන් ආනයනය කිරීමට රුපියල් 650ක් නාස්තිකාර ලෙස වියදම් කර තිබෙනවා. පසුගිය මාස කීපයේදී රත්රන් විශාල ප්‍රමාණයක් ගෙනත් තිබෙනවා. ඒ මුදල ඉතිරි කර ගත්ත නම් හම්බන්තොට වරාය විකුණන්න වෙන්නේ නැහැ. මේ රත්රන් පස් සමඟ මිශ්‍ර කර ඉන්දියාවට අපනයනය කරනවා.

අද රටේ ජනතාවට දරා ගන්න බැරිතරම් බදු බරක් පටවා තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම බදු බරක් ජනතාව මත පැටවූ ආණ්ඩුව ලෙස යහපාලන ආණ්ඩුව වාර්තා පොතට එකතු වෙලා තියෙනවා. රුපියල් බිලියන 500ක් බදු වශයෙන් ජනතාවගෙන් ලබා ගන්නවා. අපේ අසරණ ජනතාව මෙයින් පීඩාවට පත්වෙනවා. කිසිම ක්ෂේත්‍රයක බදු ලිහිල් වී නැහැ.

ගණ පූරණය නෑ:
විවාදය කල් යයි

සභා රැස්වීම පවත්වාගෙන යෑම ස¼දහා අවශ්‍ය මන්ත්‍රි සංඛ්‍යාව හෙවත් ගණපූරණය නොමැතිවීම හේතුවෙන් ඊයේ (9දා) පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නොහැකි විය.

මාධ්‍ය නිදහස පිළිබඳව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි රංජිත් සොයිසා යෝජනාව ඉදිරිපත් කරමින් සිටියදී සභාවේ ගණපූරණය නොමැති බවට එජාප මන්ත්‍රි සිඩ්නි ජයරත්න මුලසුනේ අවධානය යොමු කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon