සසර පුරුද්දට ඉපදිලා නිමල දහම් දෙසන්නට ඇප කැප වූ අයුරු

  👤  3380 readers have read this article !
2018-08-12

අතිපූජ්‍ය ත්‍රිපිටකාරාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය ශ්‍රී ජිනවංශ ඥානාරාම වංශාවතංශ, ශාසනධජ සද්ධර්මවාගීෂ්වරාචාර්ය බුද්ධාංකුර නාඋයනේ ශ්‍රී අරියධම්මාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1961 වසරේ සිටම ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ උපසම්පදා විනයකර්ම සියල්ලටම සහභාගි වීම විශේෂිත සිද්ධියකි.

1968 වසරේ සිට එම යෝගාශ්‍රම සංස්ථාවේ සඤ්ඤා ලේඛක ධුරය පැවැරුණු හෙයින් එතැන් සිට පැවිදි උපසම්පදා පින්කම් සංවිධානය කිරීමද උන්වහන්සේටම පැවැරිණි.

එම උපසම්පදා විනය කර්මයන් මනාව සංවිධානය කරමින් අධිශීල සංඛ්‍යාන උපසම්පදාවෙන් පිරිපුන් ධර්මධර, විනයධර භික්ෂු පරම්පරාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව තුළින් බිහි කිරීමට උන්වහන්සේ කළ කැපවීම් අතිමහත්ය.

තෙසැත්තෑ ඥාන ගාථා වන්දනාව උන්වහන්සේ විසින් ඉටු කළ විශේෂ වන්දනා ක්‍රමයකි. එක දිගට පැය තුන හතරක කාලයක් එම ගාථා සජ්ඣායනා කිරීමට උන්වහන්සේ තුළ තිබුණේ සුවිශේෂී හැකියාවකි.

1964 වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දින ගෝතම තපෝවනයේදී පැවැති තෙසැත්තෑ ඥාන පූජාව, ගල්දුව ආරණ්‍ය සේනාසනය, වැල්ලවත්ත ධර්මෝදය පිරිවෙන, ථූපාරාම සහ රුවන්වැලි මහ සෑ මළුව, කැලණි රජමහ විහාරය, දඹදිව බුද්ධගයාවේ වැඩ සිටින ජය ශ්‍රී බෝමැඩ අබියස යන ස්ථානවලදී පැවැත්වූ තෙසැත්තෑ ඥාන පූජාවන් තුළින් ධර්මාවබෝධයට පත් පින්වත් පිරිස දස දහස් ගණනකි.

ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් කටයුතු කරන උතුම් සඟ පරපුරක් ශ්‍රී සම්බුද්ධ ශාසනයට දායාද කිරීමට තම ගුරුදේව මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද, අනුශාසනා ලබමින් කටයුතු කළ උන්වහන්සේ තම ශාසනික යුතුකම් වගකීමෙන් යුතුව ඉටු කරමින් ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව ප්‍රතිපත්ති පූජාවෙන් පිරිපුන් සිල්වතුන්, ගුණවතුන් පිරිසක් බවට පත් කිරීමට ඉටු කළ මහා මෙහෙවරෙහි අග්‍රඵලය මෙම යෝගාශ්‍රම සංස්ථාවට අයත් ආරණ්‍ය සේනාසන වෙත ගියවිට මනාව පසක් වේ.

''ගමෙන් පන්සලට මෙන්ම පන්සලෙන් ගමට'' ඉටු විය යුතු ඉටු කළ යුතු යුතුකම් සහ වගකීම් නිතර අවධාරණය කළ අප මා හිමිපාණන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් ඉටු වූ ශාසනික සහ සමාජ මෙහෙවරයන් අති විශාලය.

කුරුණෑගල, වාරියපොළ, නිකවැරටිය, ආණමඩුව, මීගලෑව, එප්පාවල, රාගම පුනරුත්ථාපන රෝහල වැනි රෝහල්වලටද කොළඹ මහාරෝග්‍ය ශාලාවටද එසේ කරන ලද පරිත්‍යාගයන් නිමක් නැත.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අත්‍යවශ්‍ය තිබූ රුපියල් ලක්‍ෂ අටක් පමණ වටිනා කෘත්‍රිම ශ්වසන යන්ත්‍රය 1994 ඔක්තෝබර් 04 දින පරිත්‍යාග කළේද උන්වහන්සේගේ පුරෝගාමීත්වයෙනි.

කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව අයත් ශ්‍රී ලංකාවේ සතරදිග්භාගයේ පිහිටි ආරණ්‍ය සේනාසන වැඩිදියුණු කිරීමට පුරෝගාමී වූ අප මාහිමිපාණන් වහන්සේ තම යෝගාශ්‍රම සංස්ථාවේ දායක කාරකාදීන්ගේ යහපත තකා එම සේනාසන වැඩිදියුණු කළහ.

කුරුණෑගල කච්චේරිය පාරේ පිහිටි භාවනා මධ්‍යස්ථානය බොහෝ කලක සිට හෙළ බොදු දනන්ගේ ගෞරවාදයට පාත්‍ර වූ පුණ්‍ය භූමියකි. 1975 වසරේදී එම භාවනා මධ්‍යස්ථානය නැවතත් ප්‍රතිසංවිධානය කොට අති පූජනීය නාථගනේ ලොකු ස්වාමීන් වහන්ස්ගේ ප්‍රධානත්වයෙන් එදා ආරම්භ කළ මාසික භාවනා වැඩසටහන අදටත් අඛණ්ඩව පැවැත්වෙන්නේ අප මාහිමිපාණන් වහන්සේ විසින් සවිමත් පදනමක් මත එම පින්බිම ස්ථාපනය කළ නිසාය.

කුරුණෑගල ශ්‍රාවස්ති හාමිනේ නම් උපසිකා මාතාව ඇතුළු පින්වත් සිල්වත් පිරිසකගේ ආරාධනයෙන් මෙම භාවනා මධ්‍යස්ථානය එසේ නැවත ප්‍රතිසංවිධානය විය.

මේ ලෙස බොහෝ දුෂ්කරතා සහිතව පවත්වාගෙන ගිය නිමලව ආරණ්‍ය සේනාසනය වත්මන පවතින තත්ත්වයට වැඩිදියුණු කිරීම සඳහාද අප ස්වාමීන් වහන්සේ පුරෝගාමී වූහ.
එම ආරණ්‍ය සේනාසනයේ ගිලන්හල, ජලටැංකි හා ජලනළ පහසුකම්ද ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේට අවශ්‍ය ගල්ලෙන් 07ක්ද ඉදිකරවා පූජා කරවීමට උන්වහන්සේ සමත් වූහ.
මෙම කාර්යයන් සඳහා අවශ්‍ය ආධාර උපකාර කිරීමට සැදී පැහැදී සිටි කුලුපඟ දායක පිරිසක් සැමදා උන්වහන්සේ සමඟ වූහ.

''කොළඹ අලහකෝන් මෑණියන්, රත්මලානේ මුණසිංහ, කළුතර සුනිල් සෙනෙවිරත්න, එන්.ජී.පී. පණ්ඩිතරත්න යන සත්පුරුෂ මිනිසුන් එහිලා තමන් වහන්සේගේ මෙම සත් කාර්යයන්ට ධනයෙන් සහ ශ්‍රමයෙන් දායක වූ බව නිමලව ආරණ්‍ය සේනාසනයේ එම ඉදිකිරීම්වලට අදාළ උන්වහන්සේගේ සටහන්වල දැක්වේ.

පුහුල්වැල්ල ශ්‍රී රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ විහාර මන්දිරය ඉදිකිරීම දුෂ්කරව පැවැති ගමන්මඟ වේදිකා පඩිපෙළක් සේ ඉදිකිරීම එහිම දෙමහල් ආසන ශාලාව, නාඋයන ආරණ්‍ය සේනාසනයේ දාන ශාලාව, දෙමහල් භාවනා ශාලාව, ඉදිකිරීම සිදු කළේද දියතලාවේ කහගොල්ල ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමය, මීතිරිගල ත්‍රිපිටක ධර්මායතය, කොග්ගල ත්‍රිපිටක ධර්මායතනය, ඕපාත රජවන්ගල ආරණ්‍ය සේනාසනය, දෙල්ලව අහරගල ආරණ්‍ය සේනාසනය යන පින්බිම්වල අදටත් දලුලා වැඩෙමින් වැඩහිඳින බෝධිරාජයාණන් වහන්සේ රෝපණය කරවූයේද අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පුරෝගාමීත්වයෙනි.

''පාරක් හැදෙද්දී පාරෙන් හැදෙන'' ගිලන් හලක්, දාන ශාලාවක් ආදී යම් ඉදිකිරීමක් කරද්දී ඉන් මිනිසුන් හැදෙන අපූරු, නිර්මාණාත්මක සැලසුම් සහගත පුණ්‍යකර්මයන් ලෙස මෙම මහ පින්කම් ඉටුවෙද්දී ඉන් හැදුණු හැදෙන පරපුර පරපුරෙන් පරපුරට උතුම් ශ්‍රී සද්ධර්මය ආරක්‍ෂා කරගෙන ඉදිරියට ගෙන යන පිරිසක් බවට කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව අයත් ආරණ්‍ය සේනාසනයන්හි වැඩවසන ස්වාමීන් වහන්සේ මෙන්ම දායක කාරකාදීන්ද පත්ව ඇත්තේ අප ස්වාමීන් වහන්සේ සතු වූ මෙම අපූරු සැලසුම් සහගත බෝසත් සිරිත් නිසාය.

සාමණේර වියේ සිටම ධර්මය ප්‍රගුණ කිරීම සඳහා මුල්තැන දීමේ ප්‍රතිඵලයක් ලෙස අප ස්වාමීන් වහන්සේ පියවරෙන් පියවර දහමින් මෙන්ම ධර්මාවබෝධයෙන් ද පෝෂණය වූහ.
උන්වහන්සේ බුදුගුණ භාවනාව සහ මෛත්‍රි භාවනාව වැඩුවේ පැවිදි දිවියට පත්වීමට පෙර පාසල් වියේ පුංචි දරුවකු ලෙසය. පැවිදි වීමට පෙර ගත කළ ''පණ්ඩුපලාස'' සමයේදී (පැවිදි වීමට මවුපිය අවසර ලබා ආරණ්‍යයට පැමිණි පැවිදි වන තුරු බණ දහම්, ඇවැතුම් - පැවැතුම්, හුරු-පුරුදු වෙමින් ගත කළ සමය) ආනාපානසතිය මෙන්ම 'මහාෂී' භාවනා මාර්ගයද වැඩූහ.

පැවිදි වී ගත කළ සාමණේර සමය බුදුගුණ, දම්ගුණ, සඟගුණ, මෛත්‍රි, අසුභසති, මරණසති ආනාපානසති යන භාවනා වඩමින්, මහා සතිපට්ඨානය වඩමින්, ද්වංතිංසාකාරයෙන් යුතුව ගත කළහ.

උපසපන් තෙර නමක් ලෙස අති විශාල ධර්මස්කන්ධයක් ප්‍රගුණ කරමින් දස දහස් සංඛ්‍යාත වූ සිවුවණක් පිරිසට ධර්මාවබෝධය ලබා දෙන්නට කටයුතු කළ අප ස්වාමීන් වහන්සේගේ එම ධර්මාවබෝධ ශක්තිය පෙර සසරේ සිට පැවැත එන්නක් බව උන්වහන්සේගේ උපත සිදුවූ ආකාරයේ සිට ගත කළ උතුම් පැවිදි දිවිය දක්වා වූ සිදුවූ අසිරිමත් සිදුවීම්වලින් මනාව පසක් වේ.

උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය පිණිස බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කරමින් බව සසරේ සැරිසරන අතර මෙම භවයේදී අප අතර ඉපදී ධර්මාවබෝධය ලබමින්, ධර්මාවබෝධය ලබාදෙමින් දාන, ශීල, භාවනාදී උතුම් බුදු සිරිත් ප්‍රගුණ කරමින්, ප්‍රගුණ කරවමින් කටයුතු කළ බවට වූ සාධක රැසක් උන්වහන්සේගේ චරිතාපදානය නිරීක්‍ෂණයේදී අපට හමුවේ.

සටහන - සුනිල් පොරමඬල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon