කාලි මෑණි අනුහස්් ගැන මහේන්ද්‍රසාමි කියන රහස් කාලි මෑණියන් විශ්වාස කරන අයට පිහිට ලැබෙන අපූරුව

  👤  3504 readers have read this article !
2018-08-12

මහ සයුරේ ඇදී එන රුවල් නැවකි. හදිසියේම හටගත් කුණාටුවක් නිසා නැව ඒ මේ අත පැද්දී ගියේ එය මෙහෙය වූ නාවිකයන්ට කිසිත් කර කියා ගැනීමට ඉඩ නොතබමිනි. අවසානයේ හමා ආ තද කුණාටුව හේතුවෙන් නැවේ රුවල ඉරාගෙන ගියේ කුඹ ගසද කඩා දමමිනි. නැවද දෙකට කැඩී ගමන් ගත් බොහෝ දෙනෙක් මුහුදු බත් වූහ. නැවේ සුන්බුන්වල එල්ලී ගත් තවත් කිහිප දෙනකු ලංකාවට ගසාගෙන ආවේ අහම්බෙනි.

රුවල් නැවේ ගමන් කොට ඇත්තේ වඩිග දේශයේ හා බංගලි දේශයේ සිට පැමිණි පිරිසකි.

සුන්බුන්වල එල්ලී දිවි ගලවා ගත් පිරිස ලංකාවේ වෙරළ තීරයෙහි තැන් තැන්වලට පාවී ආහ. පසුව මොවුන් සත් කෝරලයේදී එකට මුණගැසී ඇත. මෙසේ පැමිණි පිරිස අතර ඉතා රූමත් තරුණියක් වූවාය. සොකරි ඇයගේ නම විය. හෙට්ටිරාල හා ගුරුහාමි සොකරියට වශී වී ඇය ලබා ගැනීමට උත්සාහ කළහ.

අවසානයේ දෙදෙනා අතර ඇති වූ තරගයකදී ඇය හිමි වූයේ හෙට්ටිරාලටය. සත් කෝරලයේ ගම්වල ප්‍රචලිත සොකරි නාඩගමේ කතාව ගෙතී ඇත්තේ මෙකී පුරාවෘත්තය වටාය. සොකරි නාඩගම කරගෙන එන ඒ පිළිබඳව හසළ දැනුමක් ඇති පාරම්පරික කලාකරුවන් පවසන්නේ සොකරිය පත්තිනි මෑණියන්ටද හෙට්ටිරාලගේ චරිතය පා ළඟ කුමරුන්ටද සමානකම් දක්වන බවය. සොකරි නාඩගම පත්තිනි දෙවියන් වෙනුවෙන් කරන ශාන්ති කර්මයක කොටසක් ලෙස සැලකේ.

අතීතයේ තමිල්නාඩුවේ සහ කේ්රලයේ පැවැති පත්තිනි ඇදහිල්ල යටපත් වී ගොස් වර්තමානයේ එය කාලි මාතා වන්දනාව බවට පත්ව තිබේ. මේ පිළිබඳව දැක්විය හැකි එක් සාක්ෂියක් නම් සිලප්පදිකාරම් කාව්‍යයේ එන කේරලයේ සෙංගට්ටුවාන් රජු විසින් ඉදිකරන ලද ඓතිහාසික පත්තිනි දේවාලය අද හඳුන්වන්නේ කොටුංකෝලූර් කාලි කෝවිල නමින් වීමය. මෙම කෝවිලේ පුද ලබන කාලි මාතාව එක පයෝධරයක් ඇත්තී යන අරුතැතිව 'ඔර්රමුලච්චි' නමින් හැඳින්වෙයි. (පත්තිනි දේව කතාවල එක පයෝධරයක් කඩා දමා විසිකර සාප කළ බව සඳහන් වේ.) මේ අනුව ඉන්දියානුවන්ද කාලිය සහ පත්තිනිය එකම දේවතාවිය ලෙස සලකන බව පැහැදිලි වෙයි.

කාලි මාතාවගේ හාස්කම් පිළිබඳව අත්දැකීමෙන් පසක් කරගත් බැතිමතුන් නිරතුරුව තමන් අමතන බවත් ඇතැමුන් ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා කෝවිලට පැමිණ ඒ පිළිබඳ විස්තර කරන බවත් හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පවසයි. මෑණියන් විශ්වාස කරමින් බැතියෙන් පුද පූජා පවත්වා පිහිටාධාර ඉල්ලන සැමටම ඇය පිහිට වන බව මහෙන්ද්‍රසාමි කීය. තවත් කෙනකුට මෑණියන් පිහිට වූ නිසා තමන්ටත් පිහිට ලබා ගැනීමට හැකි වෙතැයි සිතා දෙගිඩියාවෙන් කන්නලව් කරන කිසිවකුට ඇය පිහිට වන්නේ නැතැයි මහේන්ද්‍රසාමි කියයි.

"කෝවිලට එන බැතිමතුන් ශ්‍රද්ධාවෙන් පූජෝපහාර තියල මෑණියන්ගේ පිහිට ලබාගන්නවා. එහෙම පිහිට ලැබූ අයගේ නෑ හිතවතුන් කෝවිලට එන්නේ අර තම ඥාතියාට නැත්නම් හිතවතාට පිහිට වුණු නිසා තමන්ගේ ගැටලුවට විසඳුම් ලැබෙයි කියලා. ඒ අය කලින් මෑණියන්ගේ අනුහස් ගැන විශ්වාස නොකරපු අය වෙන්න පුළුවන්. ඒ අය පූජා බඩු වට්ටි අරගෙන එන්නේ දෙගිඩියාවෙන්. අරයට වගේ මටත් පිහිට ලැබෙයිද කියලා. කාලි මෑණියන්ගේ අනුහස් ගැන මනින්න එන අයට එහෙම පිහිටක් ලැබෙන්නේ නෑ.

ඒ අය ඇවිත් කියනවා අරයට හරි ගියාට මට හරි ගියේ නෑ කියලා. පිරිසකට පිහිට වෙන්නත් තවත් අයට පිහිට නොවෙන්නත් හේතු තියෙන්න ඕනෑනේ. ඇත්තටම මෑණියන් විශ්වාස කරල අවංකවම පිහිට පතනව නම් පිහිට ලැබෙනවා. ඒ වගේම තමන් අත වරද තිබියදී අනෙක් අයට පළි ගැහැව්වටත් වැඩක් නෑ" මහෙන්ද්‍රසාමි කීය.

නන්දන තෙන්නකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon