බුදු පිළිමයේ මුල්ම නිර්මාතෘවරයා සිංහල මූර්ති ශිල්පියකුද?

  👤  3379 readers have read this article !
2018-08-12

ඔබ ‍ෙදාහොත් මුදුන් දී වඳින පුදන බුදු පිළිමය නිමැවූ ආකාරය පිළිබඳව දිගු ඉතිහාසයක් ඇත. විශේෂයෙන් ලක්දිව බුදු පිළිම නෙළීමේ කලාව වර්ධනය වීමත් වෙනමම කතාවකි. ඒ අනුව අපටම ආවේණික බුදු පිළිමයක කතාව ගැඹුරුය. හිතන්නට යමක් ඉතිරි කරන්නේය.

මෙරට හමුවී ඇති පැරැණිම බුදු පිළිමය කිරිගරුඬ ගලින් නිමැවූවකි. එය හමුවූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහඉලුප්පල්ලමේ ගොවිපොළකිනි. එය හිටි පිළිමයකි. එය ආන්ද්‍රා ප්‍රදේශයේ අමරාවතී බුදු පිළිම සම්ප්‍රදාය අනුව නිමාවී ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප්‍රකාශ කර ඇත. එය සොයා ගැනුණේ 1946 වසරේදීය.

ලක්දිව පැරැණි බුදු පිළිමයක් ගැන මහා වංසයේ එන සඳහන විමසන්නට යොමු වන්නකි. එහි සඳහන් වන්නේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී එය නිමැවුණු බවය. කෙසේ වෙතත් එකී විස්තරය සඳහන් වන්නේ එම රජුගේ රාජ්‍ය කාලය පිළිබඳ විස්තරයේදී නොවේ. රුවන්වැලි සෑයෙ ධාතු ගර්භය පිළිබඳ විස්තරයට අනුව බුද්ධ රූප ආදී වස්තු තැන්පත් කළ බවට වන තොරතුරුද ඇත. කෙසේ වෙතත් බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත්තේ බුදු පිළිමයේ පළමුවැනි නිර්මාතෘවරුන් වන්නේ සිංහල මූර්ති ශිල්පීන් බවය.

දේවානම්පියතිස්ස රජු ඉදිකළා යැයි කියැවෙන බුදු පිළිමයේ කතාවෙන් පසු මහා වංසයේ තවත් තැනක ඉන්පසු යුගයක එනම් වසභ රජුගේ කාලයේ ශ්‍රී මහ බෝධියේ සතර දිසාවේම බුදු පිළිම සතරක් කළ බැව් සඳහන් වේ. මහාවංසය දෙටුතිස් රජු (ක්‍රි.ව. 323-333) කළ කී දෑ විස්තර කරන අවස්ථාවේදී දේවානම්පියතිස්ස රජු විසින් ථූපරාමයෙහි වැඩහිඳවූ මනරම් බුදු පිළිමයක් ගැන සඳහන් කළ අතර එය මහ සෙල් පිළිමය (ගුරුසිලා ප්‍රතිමා) වශයෙන් පූජනීය වූ වස්තුවක් ලෙස පිළිමයක් ලෙස ඉතා ප්‍රකට වූ බවත් දක්වයි. දෙටුතිස් රජු එම පිළිමය එතැනින් ගලවාගෙනවිත් ප්‍රාචීන පබ්බතාරාමයෙහි වැඩහිඳුවා ඇත.

මහසෙන් රජු එම පිළිමය එතැනින් රැගෙන ගොස් අභයගිරියේ තැන්පත් කරවූ බවත් මහාවංසය කියයි. ඉන්පසු සිවුවැනි සියවසේදී පමණ මෙම පිළිමයෙහි නෙත් බුද්ධදාස රජතුමා විසින් තබන්නට යෙදුණු බවත් සඳහන්ය. ඉන්පසු ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 460-478) එම පිළිමයට පිළිම ගෙයක් ලබාදී ඇත. එසේම බුද්ධදාස රජු විසින් නෙත්වලට තැබූ මැණික් නැතිවී තිබුණු නිසා රජු අලුතින් නෙත්වලට මැණික් සවිකොට ඇත. එබැවින් මේ පිළිමයේ කතාව අවස්ථා කිහපයකදීම සඳහන් වන නිසා එවැන්නක් තිබූ බවට පිළිගත හැකිය.

බුදු පිළිමයෙහි අපූර්වතාවන් ගැන කතා කරද්දී ලක්දිව බිහිවූ විශිෂ්ට නිර්මාණයක් වශයෙන් සඳහන් කළ හැක්කේ අනුරාධපුරයේ මහමෙව්නා උයනේ ඇති සමාධි බුදු පිළිමයයි. ඉන්දියාවේ හිටපු ඇමැතිවරයකු වූ ජවහර්ලාල් නේරු තුමා අගමැති වීමට පෙර සිරගත කොට සිටියේය. එහිදී ඡායාරූපයකින් දුටු මේ සමාධි ප්‍රතිමාව දැක පවසා තිබුණේ මෙම පිළිමයෙහි ශාන්ත ලක්ෂණ ඔහු සිත සැනසුමටත් ධෛර්ය දී ඔහුගේ අධෛර්යවත් බව දුරලූ බවත්ය.

භාරතයේ බුදු පිළිම බොහෝමයක් සැරසිලි සහිතය. රැස් වළලු සහිතය. එහෙත් ලක්දිව නිමැවූ බුදු පිළිමවල එවැන්නක් නැත. එහි වන්දනීය බව වඩාත් ඉස්මතු විය.

ලක්දිව නිමැවූ හිඳි පිළිමවලද විශේෂතාවක් ඇත. ඒවා සියල්ල වීරාසන ක්‍රමයට පාද තබාගෙන ඇත. වම් පාදය මත දකුණු පාදය තබා වම් අත මත දකුණු අත තබා සමාධි මුද්‍රාවෙන් යුතුය. මෙය තහවුරු කරන්නට ඇති තවත් සාක්ෂියක් නම් අනුරාධපුර අසෝකාරමයේ ඇති සමාධි පිළිමයත්, බදුල්ලෙන් හමුවූ ලෝකඩ බුදු පිළිමයත් හැරෙන්නට සෑම හිඳි බුදු පිළිමයකම දෑත් තබා ඇත්තේ එහි සමාධි ගත ස්වභාවයෙන්ය. එහෙත් භාරතයේ හිඳි පිළිමවල ගන්ධාර, ගුප්ත වැනි ඉපැරැණි සම්ප්‍රදායන්හිද දක්නට ඇත්තේ පද්මාසන ක්‍රමයට පාද තැබූ අකාරයකි.

ලක්දිව සුවිසල් බුදු පිළිම නිමැවීමේදීද සුවිශේෂතා ඇත. ඉන් අවුකන හා මාළිගාවිල බුදුපිළිම ප්‍රමුඛය, විශේෂය. අවුකන පිළිමය විසල් ගල් පර්වතයකට බද්ධ කර ඇත. මාලිගාවිල පිළිමය ගලෙන්ම නිර්මාණය කර ඇත. රැස් වෙහෙර බුදු පිළිමයද විශේෂය. එය අවුකනට නුදුරුව පිහිටා ඇත. එය පද්මාසනයක් නොමැතිව නිමවා ඇත. මේ අතර සේරුවිලදී හමුවූ මුචලින්ද නාගයා විසින් ආවරණය කෙරුණු බව දක්වන බුදු පිළිමය ඉතා වැදගත්ය. එහි නයි පෙණ නවයක් ඇත. තවත් විශේෂයක් නම් තුන් තැනකින් නැවුණු පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි ඇති ගඩොලින් තැනූ බුදු පිළිමයයි. පොළොන්නරු යුගයෙන් පසු හමුවන බොහෝ පිළිම ගඩොලින් තැනූ ඒවා බවත් පැහැදිලිය.

ගල් විහාරයේ පිළිමද ලක්දිව බුදු පිළිම ගැන කියන කතාවේ අමතක කළ නොහැකි ඒවාය. එහි හිටි පිළිමයද විශේෂය. එය සුවිශේෂී අංග සහිත ඉරියව්වකින් පිහිටියේය. මෙහි දෑත පපුව මත තබාගෙන සිටින ආකාරය ඇතැමුන් ස්වස්තික මුද්‍රාව යැයි කියති. මෙම මුද්‍රාවෙන්ම වූ පිළිමයක් තිස්සමහාරාමයේ යටාල විහාරයෙන්ද හමුවී ඇත. ලක්දිව බුදු පිළිම කලාවේ සුවිශේෂී බව ඉස්මතු කරන තැනකි පද්ම පීඨය. නිමැවූ බොහෝ පිළිම පද්ම පීඨයක් මත ගොඩනඟන්නට වීම ලක්දිව පිළිම කලාවේ වැදගත් ලක්ෂණයකි. එයින් හිටි පිළිමවල මේ ලක්ෂණය බොහෝ විට දැකිය හැකිය. වැල්ලවායේ ඇති බුදු පිළිමය තවත් සලකුණකි. එම පිළිමය දෙපස අවලෝකිතේශ්වර බෝධි සත්ත්වයන්ගේ රූප දෙකක්ද පිහිටා ඇත. කෙසේ වෙතත් කිසියම් ආභාසයක් භාරතීය කලා සම්ප්‍රදායෙන් ලබා ගත්තේ වුවද ලක්දිව කලා ශිල්පියා එය තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් අනුව ලක්දිවට ආවේණික ලකුණු සහිතව නිර්මාණාත්මක හැකියාවෙන් යුතුව නිමවා ඇති බැව් පැහැදිලිය.

එස්. රණසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon