මම කරන්නේ දැළි පිහියෙන් කිරි පැණි කනවා වගේ වැඩක්

  👤  3381 readers have read this article !
2018-08-12

 

සංලාපය - චාමිණී ගම්මන්පිල
ඡායාරූප - අනුරුද්ධ මැදවත්තේගෙදර

මෙරට පොත් ප්‍රකාශක ආයතන අතර "සාහිත පොත් පියස " කැපී පෙනෙන්නේ අන් කිසිවක් නිසා නොව බෞද්ධ දහම් පොත් පමණක් පළකිරීම නිසාය. මීට සත් වසරකට පෙර ඇරැඹි "සාහිත පොත් පියස" සැරසෙන්නේ සිය වැනි බෞද්ධ දහම් පොත එළිදැක්වීමටය.

සාහිත පොත් පියසේ ප්‍රධානි ප්‍රවීණ ලේඛක ටි.එන්.එල්. රූපවාහිනි නාලිකාවේ බෞද්ධ වැඩසටහන් නිවේදක ශාස්ත්‍රපති චාමික මුණසිංහ මරදානේ ආනන්ද විදුහල අසල පිහිටි සාහිත පොත් පියස ආයතනයේදී අප හමුවුණේ ඒ නිමිත්තෙන් සංලාපයක නිරත වීමටය.
ඒ පරිවර්තනයක් වන අජාන් චා හිමියන්ගේ භාවනා මාර්ගය සහ නිර්වාණ අවබෝධයයි.

සාහිත පොත් පියසෙහි ආරම්භය ගැන කතා කළොත්

පොත් ප්‍රකාශන ආයතනයක් පටන්ගන්න මගේ හිතේ තිබුණේ නෑ. එහෙත් මම ලියපු පොත් ප්‍රකාශක ආයතනවලට ලබාදීමේදී මට අසාධාරණයක් වුණා. කර්තෘ භාග හරිහැටි ලැබුණේ නෑ. ඒ නිසා තමයි මට හිතුණේ මගේ පොත් මමම පළ කරනවා කියලා. 2011 අවුරුද්දේ "සාහිත පොත් පියස" පටන් ගත්තේ ඒ අනුවයි.

සාහිත පොත් පියසින් එළිදුටු මුල්ම පොත කුමක්ද?

මගේ "බුදු ඇස, විදු ඇස සහ හෙට ලොව". මෙය ලෝක විනාශයට පෙර දැක්මක් විදිහටයි රචනා වුණේ. ලෝක විනාශය පිළිබඳව මිනිසුන්ට කුතුහලය තිබුණා. ඒ අනුව ලෝක විනාශය බුදු ඇසින් දකින්නේ කොහොමද, ලෝක විනාශය විද්‍යාත්මක ඇසින් බලන්නේ කොහොමද යන කරුණු අලළා මේ කෘතිය රචනා වුණා. මේ පොත මුද්‍රණය කරලා කෙටි කලකින් 2 වැනි හා 3 වැනි මුද්‍රණත් කළා. මේ වෙද්දි මුද්‍රණ 5ක් එළි දක්වා තියෙනවා. ඉන් ලැබූ උත්තේජනය තමයි පොත් ප්‍රකාශනයේ මේ දුර මාව රැගෙන ආවේ.

විශේෂත්වය වන්නේ ඔබ පළ කරන්නේ බුදුදහමට අදාළ පොත් පමණක් වීමයි

අපි නොහිතුවාට බෞද්ධ පොත් සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. හොඳ පාඨක පිරිසක් ඉන්නවා. අපි මෙතෙක් එළිදැක්වූ පොත් 99න් සෑම පොතක්ම පාහේ මුද්‍රණ කිහිපයක් කරලා තියෙනවා. සමහර කෘතිවල 11 වැනි මුද්‍රණයත් කළා. බෞද්ධ කෘති අලෙවිය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.

එහෙත් දහම් පොත්වලට සාහිත්‍ය තුළ ප්‍රමුඛතාවක් ලැබී නැහැ නේද?

ඒක අදාළ වෙන්නේ සම්මාන උත්සවවලදී විතරයි. රාජ්‍ය සම්මාන උත්සවවලදී බෞද්ධ දහම් පොත් ඇගැයීමට ලක්වෙන්නේ නෑ. ඒක ඇත්ත. නමුත් මම ඒ ගැන පශ්චාත්තාප වෙන්නේවත්, මන්දෝත්සාහී වෙන්නේවත් නෑ. මගේ ගමන මම යනවා. බෞද්ධ දහම් පොත් නැවත නැවත මුද්‍රණය කරනවා කියන්නේ ජනතාව එය පිළිගත්තා කියන එකනේ. අන්න ඒ ජනතා සම්මානය මට හොඳටම වටිනවා. බුද්ධ ධර්මය කියලා අද සමාජයේ අධර්මය ඉස්මතු වෙලා. මිත්‍යා දෘෂ්ටිය රජ වෙලා. ඒ දේවලට යම් හෝ පිළියමක් බෞද්ධ දහම් පොත්වලින් සැලසෙනවා කියලා මම විශ්වාස කරනවා.

70,80 දශකයේ මේතරම් බෞද්ධ දහම් පොත් පළ නොවුණත් අදට වඩා යහපත් සමාජයක් තිබුණා නේද?

ඒ කාලේ මිනිස්සු හරි සරලයි. විවෘත ආර්ථිකයත් සමඟ අද සමාජය සංකීර්ණ වෙලා. මිනිස්සු ආවේගශීලීයි. කාර්යබහුලයි. උපන් රටට මෙහෙමත් දෙයක් නොකළොත් මොකටද? අඳුරට ශාප කර කර ඉන්නවාට වඩා එක පහනක් හෝ දැල්වීමයි වටින්නේ. ඒ වගකීමයි මම මේ ඉටු කරන්නේ. බෞද්ධ දහම් පොතක් කියවීමෙන් රාග, ද්වේශ, මෝහ වැඩෙන්නේ නෑ. මේ පොතක් කියවලා එක පුද්ගලයෙක් හෝ හැදෙනවා නම් මට ඒක හරි වටිනවා.

තෝරාගැනීමකින් තොරව ඕනෑම දහම් පොතක් පළ කරනවාද?

බෞද්ධ දහම් පොතක් පළ කරනවා කියන්නේ දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. වැරැදි දෙයක්, විකෘති දෙයක් එළියට ආවොත් විශාල හානියක්. ඒ නිසා අපිට ලැබෙන හැම කෘතියක්ම අපි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිටත්, පාතේගම ඤාණිස්සර හිමිටත්, ‍ෙදාඩම්පහළ ශ්‍රී රාහුල හිමිටත්, නෑගොඩ විපස්සි හිමිටත් යොමු කරනවා. උන්වහන්සේ එම කෘති කියවලා අනුමත කළාට පස්සේ තමයි මුද්‍රණය කරන්නේ. මේ දේට අපි වැඩි කාලයක් ගන්නේ නෑ. සති දෙකකින් පමණ සියල්ල අවසන් කරනවා.

මේ වෙද්දී ඔබ සමඟ සිටින ලේඛක පිරිස කොපමණද?

40ක් විතර ඉන්නවා. අප ආයතනය සතු ගුණාත්මක බව නිසා මෙතරම් පිරිසක් අපි සමඟ එකතු වීම ගැන සතුටුයි. මගේ පොත් ප්‍රකාශයට පත්කරගන්න ගිහින් මම වින්ද දුක මට හොඳට මතකයි. මම කැමැති නෑ මොනම ලේඛකයකුටවත් එහෙම වෙනවාට. බොහෝ අය කර්තෘ භාගය හරිහැටි ගෙවන්නේ නෑ. එහෙම වුණහම මොකද වෙන්නේ. කර්තෘට අභිමානයක් නැති වෙනවා. ඔහුට ශක්තිමත් ආර්ථිකයක් නැතිවෙනවා. මම වැඩ කරන්නේ එහෙම නොවෙන විදිහට. පොත් විකුණුනත් නැතත් එය නිකුත් කරනවා. නිකුත් කරන දිනයේ කර්තෘ භාගයෙන් හරිඅඩක් ගෙවනවා.

කැමැති නම් මුදල් දෙනවා. නැතිනම් පොත් දෙනවා. පොත විකුණුනත් නැතත් මාස 6ක් තුළදී සම්පූර්ණ කර්තෘ භාගය ගෙවනවා. ලේඛකයෙක් පොතක් ලියන්න දරන මහන්සිය මම හොඳට දන්නවා. ප්‍රවීණ ලේඛකයොත් ඒ අයගේ කෘති සාහිත පොත් පියසට දෙන්නේ අපි ඔවුන්ගේ වටිනාකම නිවැරැදිව හඳුනාගෙන සිටින බව ඔවුන් දන්නා නිසයි.

බෞද්ධ දහම් පොත්වලට අමතරව වෙනත් කෘති ප්‍රකාශයට පත් කරන්න කවදාවත් හිතලා නැද්ද?

කවදාවත් නෑ. වෙනත් පොත් ප්‍රකාශකයෝ ඕන තරම් මේ රටේ ඉන්නවා. ලාභ ලැබීමේ අරමුණින් කුණු රසය අලෙවි කරන්න බොහෝ දෙනා කැමැතියි. දහම් රසයට ඒ අය ළඟ ඉඩක් නෑ. ඒ අඩුවයි මම පුරවන්නේ. එතැනින් පිට පනින අදහස් මගේ හිතේ කොනකවත් නෑ.

ඔබ ලියූ බොහෝ දේවලට සෝම හිමි මාතෘකා වෙලා තිබෙනවා.
ඊට විශේෂ හේතුවක් තියෙනවාද..?

සෝම හිමි සමඟ මා පැවැත්වූ පළමු වැනි සාකච්ඡාවෙන් ලියූ "මාගේ දේශය අවදි කරන හඬ" පාඨකයෝ ආදරයෙන් වැලඳගත්තා. ග්‍රන්ථ 10,000ක් අලෙවි වුණා. 2000 වසරේ වැඩිම අලෙවිය පෙන්වූ කෘතියත් එයයි. සෝම හිමි එදා කියූ දේවල් අද ඇත්ත වේගෙන එනවා. ඔහුගේ චරිතයෙන් මම හුඟක් දේ ඉගෙන ගත්තා. උන්වහන්සේ ඇත්ත ඇති සැටියෙන් දැක්කා. සෝම හිමි ලංකාවෙදි කළ අවසන් කතාව, ලියූ අවසන් ලිපිය, සෝම හිමි සිදුකළ අන්තිම පුවත්පත් සාකච්ඡාව අලළා තමයි මගේ අලුත්ම පොත "සෝම හිමි නම් දිව්‍ය පුත්‍රයා" ලිව්වේ. ඔහුගේ චරිතය සුවිශේෂියි. ඒ සුවිශේෂී බවට මම ගරු කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon