එළුවගේ නෝනා එළිච්චියයි එළියස් මාමගේ පළිච්චියයි

  👤  3153 readers have read this article !
2018-08-12

එකල මෙකල මෙන් ගෙවල් තුළ නාන කාමර නොවීය. අපේ පවුලේ හැම දෙනාම නාන්නට ගියේ වත්ත පහළ තිබූ අපේම නාන ළිඳකටය. එකල අප කුඩා දරුවන් වූ බැවින් මාත් නංගීත් නාන්ට ගියේ අම්මා සමඟය. වයස අවුරුදු 12ක් පමණ වූ මටත් 10ක් පමණ වූ නංගීටත් වැඩිහිටියකු නැතිව ළිඳ පැත්තට යෑම සපුරා තහනම්ය.

සුපුරුදු පරිදි එදා නංගීත්, මාත් අම්මා සමඟ නාන්නට ගියේ අසීමිත සතුටකිනි. ළිඳට යන මඟ දිගට ඇති දං, පේර, හිඹුටු ආදී ගඩාගෙඩි කඩාගෙන කෑමේ යටි අරමුණ එම සතුටට හේතුවයි.

මෙසේ දං, හිඹුටු ආදියේ රස බලමින් ළිඳ වෙත ගිය අපි අම්මා රෙදි සෝදනතුරු ළිං කණ්ඩියේ වාඩිවී සිටියෙමු. ළිඳට සමීපව තිබූ ඕවිටෙහි එළු රංචුවක් කොළ අතු කඩා කමින් සිටින බව අපට දකින්නට ලැබුණේ එවිටය. කලාතුරකින් දකින්නට ලැබෙන මේ දර්ශනයෙන් මවිතයටත්, උද්දාමයටත් පත් මම "අම්මේ! අම්මේ! අර බලන්නකෝ එළු රංචුවක්" කියා කෑ ගැසීමි. මේ දර්ශනයෙන් මා මෙන්ම උද්දාමයට පත්ව සිටි නංගී අම්මේ! අම්මේ!! එළුවෝ විතරක් නෙවෙයි එළියෙකුත් ඉන්නවා" යැයි මහ හ¾ඩින් කීවේ එළුවාගේ ගැහැනු සතාට කියන නම නොදන්න නිසාමය. ඇයට අවශ්‍ය වූයේ එළුවන්ගේ ගැහැනු සතකුත් ඉන්නා බව අම්මාට දැනුම් දීමටය. ඒත් සිදුවූයේ නොසිතූ විරූ කලබැගෑනියකි. ඕවිටේ අඳුරු කොනක ගසක් යට නිසොල්මනේම වාඩිවී සිටි එළියෙස් මාමා වහා නැඟී සිට "ඔව්! ඔව්!! එළියත් ඉන්නවා තමයි. තොපි දන්නේ නැද්ද? එළුවෝ බලාගන්නේ එළිය බව.

මිනිස්සුන්ට අගරු කොරන්ඩ එපා තොපි!

මේ අසා සිටි අම්මාට තරු විසිවුණේ නොදන්නා කමට නංගී කී වචනයේ දෙපිට කැපෙන අරුතක් ගැබ්ව තිබූ බැවිනි.

අනේ! එළියෙස් අයියේ කෙල්ල නොදන්නා කමට කියපු වචනෙ ගනන් ගන්න එපා.
හ්‍ර--! නොදන්න කමට නෙවෙයි! තොපි උගන්නලා ඒකිට! ඒකි මටමයි එහෙම කිව්වේ! මිනිස්සුන්ට ගරහන බැල්ලියො!

එළියෙස් මාමා ගමේ බලවතකු වන සේතන් මුදලාලිගේ ගෙදර සේවය කරන තැනැත්තෙකි. බොහෝ විට ඔහු කරන්නේ සේතන් මුදලාලිගේ එළු පට්ටිය බලාකියා ගැනීමයි. එදිනද එළියෙස් මාමා එළු පට්ටිය දක්කාගෙනවිත් ඕවිටේ දලු කොළ කා බඩ පුරවා ගන්නාතුරු ඒ ගස යට ඉඳගෙන සිටින්නට ඇත. මේ කිසිවක් නොදත් නංගී එළුවන් දැකීමෙන් අමන්දානන්දයට පත්වී නොසිතා නොබලා කී වචනය ගින්නක් බවට පත්වූයේ අනපේක්ෂිතවය. සේතන් මුදලාලිගේ හයිය ඇඟට ගෙන සිටි එළියෙස් මාමා එපමණකින් නතර වූයේ නැත මට බෑ එක එක බැල්ලියන්ගෙන් කුණු කතා අහ අහා මේ රස්සාව කොරන්ඩ. මුදලාලිට කියනවා එයාටම එළුවො බලාගන්න කියලා. හිටපියව්කො!

මෙසේ කී එළියෙස් මාමා හනි හනිකට යන්නට ගියේය.

තල්ගහහේනේ විනී වරුසප්පෙරුම

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon