ශාන්ති නිකේ්තනය හණමිටිකාර මහල්ලන්ගේ මලකඩ අදහස්වලට පහර දුන්නා

  👤  3598 readers have read this article !
2018-08-12

ශි්‍රයානි අජන්තා විතාන

1921 මැයි මාසය ශාන්ති නිකේතනයේ නිවාඩු සමයයි. අප එම නිවාඩු කාලයේදීම විද්‍යාලයට ඇතුළු කරවනු ලැබුවේ ඒ කාලය තුළ අපට වංග භාෂාව පිළිබඳ දැනීමක් ඇති කරවනු පිණිසය. ශාන්ති නිකේතනයේ උෂ්ණ කාලය ඉතා දරුණුය. දවල්කාලයේ පිදුරු සෙවිලි කළ ගෙවලට වී ‍ෙදාර ජනෙල් වසාගෙන නිදා ගැනීම හැර වෙන කිසිවක් නොකළ හැකි විය. රාත්‍රි දහය හෝ ඊටත් වැඩි වේලාවක් යන තුරුත් උෂ්ණ සුළඟ හැමීය. අපි දරුණු උණුසුමෙන් පිලිස්සෙමින් නිවාඩු කාලය ගත කෙළෙමු.

එකල ශාන්ති නිකේතනය අද මෙන් නොවේ අද නම් ශාන්ති නිකේතනය ජාත්‍යන්තර මහා විද්‍යාලයකි. සෑම තැනම විශාල වූත් අලංකාර වූත් මැඳුරුය. එහෙත් එදා සාමාන්‍ය කුටි කීපයකින් යුත් ශාන්ති නිකේ්තනය විද්‍යාලයකට වඩා තාපසාරාමයක සිරිය ඉසිලීය.

මැටි බිත්තිවලින් යුතු පිදුරු සෙවිලි කළ මේ කුඩා කාමරවලට නම් කර තිබුණේද ශාන්ති නිකේතන විද්‍යාලය ඇරඹූ මුල් අවස්ථාවේදීම ඊට සම්බන්ධව තාගෝර්තුමා සමඟ එහි උගන්වමින් සිට අභාවයට ගිය ගුරු මහතුන්ගේ සිහිවටන මෙන්ය. එහි ශිෂ්‍ය සංඛ්‍යාවද දෙසීයකට නොවැඩි විය. ගුරුවරුන් හා ශිෂ්‍යයන් ඉගෙන ගත්තා පමණකි. අනෙක් සෑම මොහොතකම ගුරු ශිෂ්‍යයන් කාලය ගත කෙළේ සහෝදරයන් හා මිතුරන් ලෙසය.

ශාන්ති නිකේතනයේ භෝජනාගාර දෙකක් විය. මස් මාළු වළඳන්නන්ගේ භෝජනාගාරයෙහි හෝ විද්‍යාල ප්‍රදේශයේ කොතැනක හෝ මස් මාළු පිසීම ගෙන ඒම වැළඳීම තහනම් කර තිබිණ. භෝජනාගාරවල ශිෂ්‍යයන් ආහාර ගත්තේද වෙන් වෙන් වශයෙනි. එහෙත් ආමිස ගත් ශිෂ්‍යයෝ පිටතදී මස් මාළු උයාගන කෑවෝය. විද්‍යාලය තුළ මස් මාළු තහනම්ව තිබිණි. අපි ධර්මපාලතුමා සමඟ ගිය කීප දෙනාම නිරාමිස භෝජනාගාරයට ඇතුළු වීමු.

එකල බෙංගාලයේද ලිපිකාරයන් බෝ කිරීමේ හෝ අධිරාජ්‍ය ක්‍රමයට වහල් වැඩ කරන්නටම සුදුසු අනෙක් යටත් රටවල දෙනු ලැබූ අධ්‍යාපනයට නොදෙවැනි එකක්ම දෙනු ලැබීය.

රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ලිපිකාරයන් බෝ කරන අධ්‍යාපන ක්‍රමයට විරුද්ධ වූ නිසාම මේ නිදහස් විද්‍යායතනය ඇරැඹීය. ඊට පෙර මෙහි පැවැත්තේ තාගෝර්ගේ පියා නිතර යන එන නැවතී විවේක ගත්තා වූ රම්‍ය භූමි භාගයක් පමණි. ශාන්ති නිකේතනයේ එක් කොනක ඉතා පැරිණි රුක්අත්තන ගසක් තිබිණි. මහා ඍෂි දේවේන්ද්‍රනාථ තාගෝර් තුමා ඒ පැරැණි රුක් සෙවණෙහි අතරින් පතර භාවනාවෙහි යෙදී සිටි බවද කියති. රුක්අත්තන ගසටම සමාන වයසැති කාමිනියා වැලකින් මේ ගස වැසී යෑම නිසා ඒ පෙදෙස වහලෙකින් වැසුනා මෙන් සිසිලසින් යුතුව පැවැතිණි. අපි බොහෝ විට අධික විනෝදය තකා මේ රුක් සෙවණේ උණුසුම් විවේක දිනවල දහවල වැතිර සිටියෙමු. මේ ස්ථානය දැන් කෘත්‍රිම වශයෙන් අලංකාර කිරීමට යැම නිසා එය ස්වාභාවික අලංකාරයෙන් තොරව ඇති බව 1956දී ශාන්ති නිකේතනයට ගිය අවස්ථාවේදී මම දුටුවෙමි.

තාගෝර්තුමාට වුවමනා කෙළේ භාරතයේ පැරැණි උසස් අදහස් රැකගන්නා අතර පැරැණි වුවද මලකඩ අදහස් වෙනුවට බටහිර හෝ වේවා පෙරදිග හෝ වේවා උසස් නවීන විද්‍යාත්මක අදහස් ශිෂ්‍යයන්ට උගන්වා ඔවුන් වර්තමාන යුගයට සුදුස්සන් සේ හදා ගැනීමටය.

හෙතෙම පළමුවෙන් භාරතයේ ගැහැනු පිරිමි මිශ්‍ර අධ්‍යාපන ක්‍රමය ආරම්භ කෙළේය. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට එකට අධ්‍යාපනය දීම නිසා තාගෝර්ට නොයෙක් දෙනාගේ අපහාසවලට හා චෝදනාවලට මුහුණ පෑමට සිදුවිය. පසුව ශාන්ති නිනේතනයේ පැවැති මස් මාළු තහනම් නීතිය කෙළවර කොට ළමයින්ට වැඩීමට අවශ්‍ය මස් මාළු බිත්තර ආදිය දෙන ලෙස නියම කෙළේය. සනාතන මතධාරී හණමිටිකාර බමුණු මහල්ලෝ මේ අවස්ථාවේදී තම දූ දරුවන් ශාන්ති නිකේතනයෙන් අස්කැර ගන්නට පටන් ගත්හ. එහෙත් රවීන්ද්‍රනාථ ස්ථිරව සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon