අංගොඩ පිස්සා දකුණු කොළඹ පළමුවැනි මන්ත්‍රි වූ හැටි

  👤  3736 readers have read this article !
2018-08-12

බර්නාඩ් සොයිසා යනු 1940 ගණන්වල සිට මහත්මා දේශපාලනයේ නියැළුණු ප්‍රවීණ දේශපාලනඥයෙකි. බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂ අපේක්ෂකයකු ලෙස 1947 මහ මැතිවරණයට ඉදිරිපත්ව දේශපාලන දිවිය ඇරැඹූ ඔහු එම වසරේ පැවැති අතුරු මැතිවරණයෙන්ද පරාජයට පත්විය. ල.ස.ස.ප. අපේක්ෂකයකු ලෙස 1952 මැතිවරණයට ඉදිරිපත් වුවද ඉන්ද පරාජයට පත් වුවත් 1956 මැතිවරණයෙන් ජයගෙන මුල්වරට ජාතික රාජ්‍ය සභාවට පත්ව ආවේය.

එතැන් සිට 1960 මාර්තු, 1960 ජූලි, 1965 සහ 1970 මහ මැතිවරණවලින් ජයගත් ඔහු එඩ්මන්ඩ් සමරවික්‍රම සහ ජේ.ආර්. ජයවර්ධන සමඟ දකුණු කොළඹ බහු ආසනයේ මන්ත්‍රිවරයා ලෙස දසක ගණනාවක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළේය. 1970 සමඟි පෙරමුණ ආණ්ඩුව පත්වූ පසු ඔහුට නියෝජ්‍ය මුදල් ඇමැති ධුරය පිරිනැමුවද කිසියම් හේතුවක් නිසා ඔහු එය භාර ගත්තේ නැත.

එකල මුදල් ඇමැතිවරයා වූයේ ල.ස.ස.ප.යේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාය. එබැවින් ඔහු යටතේ නියෝජ්‍ය මුදල් ඇමැති ධුරය දරන්නට අකැමැති වූවාද යන්න ගැන දැන ගන්නට නැත. කුමන හේතුවක් නිසාදෝ මුදල් ඇමැති ඇන්.ඇම්.ට නියෝජ්‍ය මුදල් ඇමැතිවරයකු සිටියේද නැත.

එසේ වුවත් ඇන්.ඇම්. විදෙස් ගතවූ අවස්ථාවලදී වැඩබලන මුදල් ඇමැති ලෙස දිවුරුම් දුන්නේ බර්නාඩ් සොයිසා බව බොහෝ දෙනා නොදනිති. වැඩබලන මුදල් ඇමැති ලෙස දිවුරුම් දීමට එන ලෙස බර්නාඩ් සොයිසා මහතාට ඇරයුම් කළ විට ඒ සඳහා ඔහු යන දිනය හෝ වේලාව රජගෙදර කිසිවකු දැන සිටයේ නැත. ඔහු ඒ සඳහා ගියේද තනිවමයි. දිවුරුම් දීම සඳහා සුබ දවසක් හෝ සුබ වේලාවක් නොබැලූ ඔහු කොටුවේ රජගෙදරට ගියේද පා ගමනිණි. දිවුරුම් දුන් පසු ඔහු මුදල් අමාත්‍යාංශයට ගියේ කුලී රථයකිනි.

වැඩබලන මුදල් ඇමැති ධුරයේ දිවුරුම්දීම ස¼දහා එකල බර්නාඩ් සොයිසා මහතාට වැයවී ඇත්තේ වැඩිම වුවහොත් රුපියල් 5 කටත් වඩා අඩු මුදලක් බව දන්නෝ පවසති.
එකල ඔහු පාර්ලිමේන්තුවේ කතා පවත්වන විට කිසි දිනක ගණපූරණය නැතිවී නැත. විවිධ විෂයයන් ගැන අති විශාල දැනුමක් තිබූ ඔහුගේ ව්‍යක්ත කතාවට සවන්දීමට පක්ෂ විපක්ෂ සියලු දෙනාම මහත් කැමැත්තක් දැක්වූ බව එදා මන්ත්‍රිවරු දැන සිටියහ.

දකුණු කොළඹ ආසනය බහු ආසනයක් වූ විට බර්නාඩ් සොයිසා මහතා වැඩිම කාලයක් එම ආසනය නියෝජනය කළේ ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟය. 1965 මාර්තු මැතිවරණයෙන් බර්නාඩ් - ජේ.ආර්. දෙදෙනාම ජයගත්තේ නිතරගයෙනි. බහු ආසනයකට තේරී පත්වන මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේදී අමතන ලද්දේ පළමු මන්ත්‍රි, දෙවැනි මන්ත්‍රි ආදී වශයෙනි. එහෙත් එලෙස ආමන්ත්‍රණය කිරීම නිවැරැදි නැත. ඒ සියලු දෙනාම ආසනය ජයගත් සම මන්ත්‍රිවරුන්ය.

මේ බව පාර්ලිමේන්තුවේදී බර්නාඩ් සොයිසා මහතා කීප වරක්ම කථානායකවරයාට මතක් කළද එහි වෙනසක් සිදු නොවුණේ පරණ පුරුද්දට මෙනි. ජේ.ආර්. සහ බර්නාඩ් නිතරගයෙන් පත්වූ වග අමතක වූ කථානායක ඇල්බට් ඇෆ්. පීරිස් මහතාද පාර්ලිමේන්තුවේදී ජේ.ආර්. ඇමතුවේ දකුණු කොළඹ පළමුවැනි මන්ත්‍රි ලෙසය. බර්නාඩ් සොයිසා ඇමැතුවේ දකුණු කොළඹ දෙවැනි මන්ත්‍රි ලෙසය. මේ හේතුවෙන් වරක් බර්නාඩ් සොයිසා මහතා පාර්ලිමේන්තුවේදී මෙසේ කීය.

ගරු කථානායකතුමනි! ජයවර්ධන මැතිතුමාත් මමත් දකුණු කොළඹ ආසනයට පත්වුණේ නිතරගයෙන්. ඒ නිසා මෙතැන පළමුවැනි, දෙවැනි ස්ථාන ගත් මන්ත්‍රිවරු නෑ. අපි දෙදෙනාම සම මන්ත්‍රිවරු මම දෙවැනි මන්ත්‍රි නොවේ."

එනමුත් කථානායකවරයාට බර්නාර්ඩ්ගේ කතාව අමතක වී තිබිණි. 1965 - 70 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වුයේ යූ.බී. වන්නිනායක මහතාය. ඔහු ඉදිරිපත් කළ අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදයේදී විපක්ෂය වෙනුවෙන් මුලින්ම සභාව අමතන්නට සිදු වූයේ බර්නාඩ් සොයිසා මහතාටය.

කථානායකවරයා එදත් ඔහු ඇමැතුවේ දෙවැනි මන්ත්‍රිවරයා ලෙසිනි.
"ධ් ජචතත භනධද ඩ්ධද. ඕඥපදචපඤ ඉධරඵච. ඉඥජධදඤ ර්.ර්ථී. ටධප ඛ්ධතධථඡධ ඉධභබඩ..."

කථානායක ආමන්ත්‍රණයට සාවධානව සවන් දුන් බර්නාඩ් මන්ත්‍රිවරයා අසුනින් නැඟිට සන්සුන්ව මෙසේ කීය.

"ගරු කථානායකතුමනි! දකුණු කොළඹ දෙවැනි මන්ත්‍රිවරයා ලෙස හඳුන්වමින් ඔබතුමා මා අමතන විට මට ළඟදී වුණු සිදුවීමක් මතකයට නැඟුණා. කරුණාකර එම සිද්ධිය කෙටියෙන් පැවැසීමට අවසර දෙන්න. මගේ යාළුවකුගෙ යාළුවෙක් මානසික රෝගයකින් පෙළෙනවා. ඔහු ඉන්නෙ පිස්සන් කොටුවෙ. අපි දෙන්නා ළඟදී ඔහු බලන්න පිස්සන් කොටුවට ගියා. මම ඔහු හඳුනන්නෙ නෑ. නමුත් ඔහු සමඟ මෙහෙම කතාබහක් ඇති වුණා.

ඒ රෝගියා මගෙන් ඇහුවා "උඹ කවුද" කියලා. එවිට මම කීවා "මම බර්නාඩ් සොයිසා" කියලා. ඊළඟට ඔහු ඇහුවා "උඹ මොනවද කරන්නෙ?" කියලා. "මම මොකුත් කරන්නෙ නැහැ" කියලා එවිට මම කිව්වා. "ඒ කියන්නෙ තමුසෙ රස්සාවක් කරන්නෙ නෑ?" ඔහු ඊලඟට ඇහුවා. "මම කීවා මං දේශපාලනය කරනවා කියලා. "දේශපාලනයක් ගැන නොවේ මම අහන්නේ? තමුසෙ කොහොමද ජීවත්වෙන්නෙ කියලයි." ඒ රෝගියා තරහෙන් වගෙ මගෙන් ඇහුවා.

මම කීවා "මම තමයි දකුණු කොළඹ මන්ත්‍රි" කියලා. එතකොට මිනිහා හිනාවෙමින් මට කීවා "පලයන් පිස්සා යන්න. දකුණු කොළඹ මන්ත්‍රි මමනේ" රෝගියා එහෙම කීවා. (මන්ත්‍රිවරු සිනාසෙති)

බර්නාඩ් සොයිසා මහතා එසේ පවසමින්ම දකුණු කොළඹ මන්ත්‍රි ජේ.ආර්. දෙස බලමින් මෙසේ කීය.

"කථානායකතුමනි. ඉන් පස්සෙ මම ඒ රෝගියාට මෙහෙම කරුණු පැහැදිලි කර දුන්නා. සහෝදරයා... දකුණු කොළඹ කියන්නෙ බහු ආසනයක්නේ... ඒකට මන්ත්‍රිවරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඔයා අනෙකා මම...."

බර්නාඩ් සොයිසා කළ මේ කතාවට කථානායකවරයාටද සිනා නොවී සිටීමට නොහැකි විය. වැඩිපුරම සිනාසුණේ ජේ.ආර්. ජයවර්ධන මහතාය.

මේ කතාවෙන් පසු කථානායකවරයා යළි කිසි දිනෙක දකුණු කොළඹ දෙවැනි මන්ත්‍රිවරයා ලෙස බර්නාඩ් සොයිසා මන්ත්‍රිවරයාව හැඳින්වූයේ නැත.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon