පෘතුගාලයට රන් රුව රැගෙන ගිය පෙට්ටිය ජර්මනියේ මියුනිච් නුවරින් හමුවෙයි

  👤  3554 readers have read this article !
2018-08-12

පෘතුගාලයට ධර්මපාල කුමරුගේ රන්රුව රැගෙන ගිය දූත පිරිස මාස 8කට පසු නැවත මෙරටට පැමිණි බව ක්වේරෝස් සඳහන් කරයි. ඔවුන් පැමිණි නෞකාවෙන් ජෙයිට්සු නිකායේ පූජකයන් කිහිප දෙනෙක්ද ලංකාවට පැමිණ ඇත. ‍ෙදාන් සුරෙට්ද මැස්සේස් මෙම පිරිස භාරව පැමිණි බවත් දූත පිරිස ගිය ගමන සාර්ථක වීම ගැන බුවනෙකබාහු රජු බොහෝ සතුට පත් වූ බවත් ක්වේරෝස්ගේ වාර්තාවල දැක්වේ.

එහෙත් ඔටුනු පලන් රන් රුව නැවත ලංකාවට ගෙනෙන ලද බවක් කිසිදු ඓතිහාසික වාර්තාවක සඳහන් නොවේ. මෙම විමර්ශනයේදී ප්‍රමුඛ අවධානය යොමු වන්නේ රන් රුවට කුමක්වීද යන්න සෙවීමටය. ඒ සඳහා බොහෝ පරිශ්‍රමයක යෙදුණෙමි. ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ රංජිත් මහතා පැවැසුවේ කොළඹ කෞතුකාගාරයේ ඉන්වෙන්ටි්‍රවල එවැනි ඓතිහාසික වටිනාකමක් ඇති රන් රුවක් ඇතුළත් නොවන බවය. එය අත්හළ නොහැකි අභියෝගයකි. ආචාර්ය ශිරාන් දැරණියගල හමු වී මෙම විමර්ශනයට උපදෙස් පැතුවෙමි. ඒ මහතා සඳහන් කළේ 1975දී පමණ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විදේශයන්හි ඇති අපේ කෞතුක භාණ්ඩ පිළිබඳ සමීක්ෂණයක් පවත්වන ලද බැවින් ඒ පිළිබඳ වාර්තා සොයා බැලීම වැදගත් විය හැකි බවය. ආචාර්ය දැරණියගලගේ උපදෙස් අනුව යමින් කෞතුකාගාර දෙපාර්තමේන්තුවට ගොස් 1975 වකවානුවේ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ කවුදැයි සොයා බැලුවෙමි. 1965 _ 1981 කාලයේ කෞතුකාගාර අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කර තිබෙන්නේ කීර්තිමත් නිලධාරියකු වූ පී.එච්. ද සිල්වා මහතාය. ඔහු මේ වනවිට විශ්‍රාමිකය. පදිංචිව සිටින්නේ නාවල වැලි පාරට නොදුරුවය. මම ඔහු සොයා ගියෙමි. මා ධර්මපාල කුමරුගේ රන් රුව සොයන බව මම සිල්වා මහතාට පැවැසීමි. හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ පී.එච්. ද සිල්වා මා දෙස විමතියෙන් බලා සිටියේය. මා අසීරුවට පත් වූයේ ඔහු මගේ ව්‍යායාමය හාස්‍යජනක කරුණක් සේ සලකාවිදෝ යන සැකයෙනි. එහෙත් මට අසුන් ගන්නට සංඥා කළ හෙතෙම සිහින් ස්වරයෙන් මෙසේ පැවැසුවේ මා විමතියට පත් කරමිනි.

"මෙයට අවුරුදු 30කට පෙර මාත් ඔය ධර්මපාල කුමරුගේ රන් රුව ගැන විමර්ශනයක යෙදුණා. එය ලංකාවේ කෞතුක භාණ්ඩ තෝම්බුවල නැහැ. මා ඒ සියල්ලකම පරීක්ෂා කළා. එපමණක් නොවෙයි අපේ රජවරු විදේශයන්ට ප්‍රදානය කළ ත්‍යාග භාණ්ඩ ලැයිස්තුත් බැලුවා, ඒවායෙත් නැහැ. කොහොම වුණත් මට අවස්ථාව ලැබුණා, විදෙස් කෞතුකාගාරවල තිබෙන ඛ්ඥරතධද ලේබලය සහිත භාණ්ඩ පරීක්ෂා කරන්න. මා ප්‍රථමයෙන්ම පෘතුගාලයේ ලිස්බන් කෞතුකාගාරය සෝදිසි කළා. එහිදී රන් රුව ගැන තොරතුරු දැනගන්න ලැබුණේ නැහැ. ඊළඟට පෘතුගාලයේම කොයිම්බ්‍රා සහ මචාඩෝ යන කෞතුකාගාර දෙකත්, කොඩි පානියම් හා ඔයමැටික්ද ඇන්ග්ලෝ කෞතුකාගාරවලත් සොයා බැලුවා. ඒ කිසිවක ලංකාවේ කෞතුක භාණ්ඩ තිබුණේ නැහැ. නමුත් ජර්මනියේ මියුනිච් කෞතුකාගාරයේදී මට රන් රුව සම්බන්ධ ඉතා වැදගත් තොරතුරක් සොයා ගන්නට හැකි වුණා.

මියුනිච් කෞතුකාගාරයේ ර්භදඪජඩ ඪදමඥදබධපර 1958 ව්ධ.938 යටතේ රන් රුව පෘතුගාලයට ගෙන ගිය පෙට්ටිය සුරක්ෂිතව තැන්පත් කර තිබෙනවා. එය මා හොඳින් පරීක්ෂා කළා. රන් රුව පිළිබඳවද දැනට තිබෙන එකම එක හෝඩුවාවද එය පමණයි. රන් රුව ලංකාවට භාරදීමෙන් අනතුරුව පෙට්ටිය තෑගි භාණ්ඩයක් ලෙස පෘතුගාලයට ගෙන ගියාද යන්න ගැන කිසිම සාක්ෂියක් නැහැ. හිටපු කෞතුකාගාර සහකාර අධ්‍යක්ෂවරයකු වූ සී.එම්. ඔස්ටින් මහතා විසින්ද මේ පෙට්ටිය නිරීක්ෂණය කර සටහනක්ද යොදා තිබිණි.

දැන් මෙම ගවේෂණය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුය. මෙහිදී මතුවන ප්‍රශ්න අතර පළමු වැන්න එය රන් රුව රැගෙන ගිය පෙට්ටියමද යන්නය. දෙවැන්න පෘතුගාලයේ ලිස්බන් නගරයට ගෙන ගිය භාණ්ඩය ජර්මනියේ මියුනිච්හිදී හමුවන්නේ කෙසේද? මේ ප්‍රශ්න මම එය සියැසින් දුටු පී.එච්. ද සිල්වා මහතාට යොමු කළෙමි. මේ ඔහු දුන් පිළිතුරයි.
දේශීය සහ විදේශීය ඉතිහාස ලේඛකයන් සඳහන් කරන ජීව ප්‍රමාණ රන් රුවක කතාව අසත්‍යයකි. මා හඳුනාගත් මංජුසාව තුන් හැවිරිදි දරුවකු බහාලිය හැක්කක් නොවේ. එය දිග, පළල, උස ඛ්ර් 30×16×18 බැගින් වූ ඍජුකෝණාස්‍රාකාර ආභරණ පෙට්ටියකි. මියුනිච්හි නිලධාරීන් එය විවෘත කර පෙන්වූ නමුත් එහි කිසිවක් නොවීය. නමුත් පෙට්ටියේ සිවු පැතිවල ධර්මපාල කුමරුට ඔටුනු පැලඳූ කතාව ඇත් දළින් ඉතා අලංකාර ලෙස කැටයම් කර තිබේ.

සිංහල දූතයා ධර්මපාල කුමරු පෘතුගාලයේ රජුට භාර කිරීම, 3 වන ජෝන් රජු කුමරුට ඔටුනු පැලඳවීම ඒ කැටයම් අතර දැකිය හැකිය. රන් පටිවලින් හැඩ ගන්වා රතු මැණික් ඔබ්බවා ඇත.

වර්තමානයේත් රුවට රුවක් දේවාලවලට බාර වන අපේ ඇත්තන් අවසානයේ බාර ඔප්පු කරන්නේ ගිනි පෙට්ටියක දැමිය හැකි තරමේ පිත්තල රූපයක් කපා දෙවියන් හමුවේ තැබීමෙනි. මෙහිදීත් සිදුව තිබෙන්නේ එවැන්නකි. ඔටුනු පැලඳවීම සංකේතාත්මකව සිදුව ඇති බව පෙනේ.

‍ෙදාන් ජුවන් ධර්මපාල කුමරුගේ රන් ප්‍රතිමාව කෝ?

මේ ලිපියේ අරමුණ ඉතිහාසය නැවත හාරා ඇවිස්සීම නොවේ. සැබැවින්ම ධර්මපාල කුමරුගේ ජීවමාන රුවට සරිලන රනින් නිම කළ රූපයක් වීද? එය පෘතුගාලයට ගෙන ගියාද? එහිදී ඔටුනු පලඳවා අනතුරුව නැවත මෙරටට ගෙන ආවාද? එය ගෙන ආවා නම් එයට සිදුවූයේ කුමක්ද? එය සොරකම් කළා නම් හෝ පැහැර ගත්තා නම් එය සිදුවූයේ කවදාද? එය සොරකම් කළ තැනැත්තන් කවරහුද? ඔවුන් අතීත සොරුන්ද? වර්තමාන සොරුන්ද? එය පසු කලෙක රාජ්‍ය කෞතුකාගාරයක හෝ රජය සතු එකතුවක තිබුණාද එසේ නැතිනම් මේ කතාවත් 'කුවේණියට පියයුරු තුනක් තිබුණා විජය සමඟ විවාහ වූ පසු එකක් අතුරුදන් වුණා' යන අපභ්‍රංශ කතාව වැනි එකක්ද යන්න විමර්ශනයට ලක්කිරීමය.

උදේනි සමන් කුමාර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon