ලංකාව චෝල අධිරාජ්‍යයේ 9 වැනි ප්‍රාන්තය ලෙස වසර 80ක් පැවතුණා

  👤  3699 readers have read this article !
2018-08-12

දිගින් දිගටම දකුණු ඉන්දියාවෙන් ලංකාවට, ආක්‍රමණ එල්ල විය. මෙසේ තුන්වැනි උදය (ක්‍රි.ව. 945-952) දවස පළමු වැනි පරන්තක නම් චෝල රජ ලංකාව ආක්‍රමණය කළේය. නැවතත් හතර වැනි මිහිඳු (ක්‍රි.ව. 952-972) රජු දවස දෙවැනි පරන්තක නම් චෝල රජ (ක්‍රි.ව. 953-973) ලංකාව ආක්‍රමණය කළේය. අන්තිමට පළමු වැනි රාජරාජ නම් චෝල රජ (ක්‍රි.ව. 985-1014) ලංකාව ආක්‍රමණය කර රජරට අත්පත් කර ගත්තේය. ඒ පස් වැනි මිහිඳු රජ දවසය. ඔහුගේ කේරළ හා කර්ණාටක ද්‍රවිඩ කුලී හමුදා කැරැලි ගසා රජවාසල වටකර අනුරාධපුරය අත්පත් කරගෙන තිබුණු තත්ත්වය යටතේ පස් වැනි මිහිඳු රජ අගනුවර අතහැර රුහුණට පලා ගොස් සිටි නිසාත්, රජරට ඒ වනවිට එම දකුණු ඉන්දීය කුලී හමුදා අත පැවතුණු නිසාත් පළමු වැනි රාජරාජ යටතේ ලංකාවේ රජරට චෝල අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් බවට, 'මුම්මුඩ චෝල මණ්ඩලම්' යනුවෙන් අෑ¼දා ගන්නා ලදී. ඔහුගේ පුත් පළමු වැනි රාජේන්ද්‍ර රජ (ක්‍රි.ව. 1014-1044) ආක්‍රමණය තවත් පුළුල් හා සම්පූර්ණ කරමින් රුහුණෙත්, දක්‍ෂිණ දේශයේත් විශාල ප්‍රදේශ අත්පත් කරගෙන පස් වැනි මිහිඳු රජුත් සිර භාරයට ගෙන ලංකාවේ වැඩි ප්‍රදේශයක් චෝල අධිරාජ්‍යයට අෑ¼දා ගෙන එය චෝල අධිරාජ්‍යයේ ප්‍රාන්ත 9න් එකක් බවට එනම්, 'ඊළාම් මණ්ඩලම්' හෙවත් ඊළම් ප්‍රාන්තය බවට පත් කළේය. එදා දකුණු ඉන්දියාවේ ඉතා බලසම්පන්න වී සිටි චෝල පාලනය ලංකාවේ විශාලතම ප්‍රදේශයක් පුරා පැතිරුණු හා දිගු කලක් මුළුල්ලේ පැවැති ද්‍රවිඩ පාලනය විය. එම චෝල පාලනය අවුරුදු 80ක් පමණ කල් පැවැතිණි. මේ කාලය තුළ විශාල ද්‍රවිඩ සංක්‍රමණයක් හා ජනාවාස පිහිටුවීමක් සිදුවූ බව පැහැදිලිව පෙනෙයි. ඉන්දු - යුරෝපීය බලය ලංකාවේ ස්ථාපිත කිරීමෙන් පසුව ලංකාව විදේශීය අධිරාජ්‍යයකට යටත් වූ පළමු වැනි අවස්ථාව මෙයයි. දකුණු ඉන්දීය අධිරාජ්‍යයක් ලංකාව යටත් කළ පළමු වැනි අවස්ථාව මෙයයි. දකුණු ඉන්දියාවේ සිට ලංකාවේ ඊළම් ප්‍රාන්තයට විශාල ලෙස ද්‍රවිඩ සංක්‍රමණිකයන් පැමිණීම තේරුම් ගත හැකිය. මේ කාලයේ රජරට හා රුහුණේ, නැඟෙනහිර ප්‍රදේශවල පිහිටුවනු ලැබූ නිත්‍ය ද්‍රවිඩ ජනාවාස ඇත්ත වශයෙන්ම ලංකාවේ දෙමළ ජාතිකත්වයේ පදනම වූ බව පෙනෙයි. උග්‍ර ශිව භක්තික හින්දුවරුන් වූ චෝලයන්ගේ බලපෑම ලංකාවේ ද්‍රවිඩ ජනාවාසවල අද දක්වාත් නොනැසී පවතී. අද ලංකාවේ උතුරු - නැඟෙනහිර දෙමළ ජනතාවද මේ ශිව භක්තික හින්දූහුය.

සියවස් හතරක් පමණ දකුණු ඉන්දියාවේ බලසම්පන්නව සිටි චෝල අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් වශයෙන් ලංකාව වසර 80ක් පමණ පැවැත්ම හේතුවෙන් මීට කලින් වූවාට වඩා අති විශාල ලෙස මහ පරිමාණයෙන් ද්‍රවිඩ ප්‍රජාවගේ වර්ධනයක් වූවා සේම එහි සමාජ සංස්කෘතික බලපෑමේ වර්ධනයක්ද සිදුවූ බව පැහැදිලිය. ක්‍රි.ව. 1070දී කීර්ති හෙවත් පළමු වැනි විජයබාහු රජුගේ නායකත්වයෙන් චෝල අධිරාජ්‍යයේ පාලනයෙන් ලංකාව නිදහස් කර ගත්තත්, චෝල අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් වශයෙන් ලංකාවේ ඇති වූ වෙනස්කම්, නව වර්ධනයන්, විශේෂයෙන්ම සමාජ භෞතික සංවිධානයේ ඇති වූ වෙනස්කම් ආපසු හැරවිය හැකි වූ ඒවා නොවේ. (යාපනේ රාජ්‍යය - පද්මනාදන් ආචාර්ය උපාධිය සඳහා ලියූ නිබන්ධනය)

පළමු වැනි විජයබාහුගෙන් පසු ඒ වකවානුවේ මුළු රටම එක්සත් කර තබා ගැනීමට නිශ්ශංකමල්ලට (ක්‍රි.ව. 1187-1196) හැකි වුවත්, ඉන් පසුව රටේ පාලනයේ ඉතාමත් නරක තත්ත්වයක් උදාවිය. අවුරුදු 20ක් තුළ රජවරු 11 දෙනෙක් රට පාලනය කළහ. මේ තත්ත්වය යටතේ ක්‍රි.ව. 1212දී පරාක්‍රම පාණ්ඩ්‍යගේ නායකත්වයෙන් ප¾ඩි හමුදා පොළොන්නරුව ආක්‍රමණය කළහ.

ඉන් පසු කාලිංගයේ මනුවරතන් රජුගේ තුන් වැනි පුත්‍රයා වූ කාලිංග මාඝ නම් අති ක්‍රෑර පාලකයා 1215දී ඔහුගේ බලසම්පන්න ද්‍රවිඩ කුලී හමුදා සමඟින් ලංකාව ආක්‍රමණය කළේය. මාඝගේ පාලනය එතෙක් දිවයිනේ කෙරුණු දරුණුම කොල්ලකාරී පාලනයයි. හේ විශාල කේරළ හා දෙමළ කුරිරු හමුදාවක් ගෙනැවිත් පරාක්‍රම පාණ්ඩ්‍ය අල්ලා ඔහුගේ දේපොළත් කොල්ලකා විහාර හා මහජනයාගේ සියලු දේපොළත් කොල්ලකා ඒවා හමුදාවට දුන්නේය.

කොල්ලකෑ ඉඩම් ජීවිත භුක්තියට කුලී හමුදාවට දුන්නේය. විහාර හමුදා බැරැක්ක බවට පත් කළේය. කාලිංග මාඝ පාලනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුරිරු යුද්ධ පාලනයක් විය. මෙහිදී සමාජ ශ්‍රම සංවිධාන බිඳ වැටිණි. පැරැණි වාරි ක්‍රමය පිළිසකර කළ නොහැකිව අභාවයට ගියේය. වසර 40ක් තරම් කල් පැවැති මේ අත්තනෝමතික යුද්ධ පාලනයත්, කෝල්ලකෑමත්, විනාශයත් හේතු කොටගෙන වියළි කලාපයේ ජනාවාස රටාව මුළුමනින්ම බිඳ වැටුණේය.

මේ අතර මලයානු අර්ධද්වීපයේ සිට ඉන්දීය කුලී හමුදාවල පිහිටෙන් 1247දී චන්ද්‍රභානු ලංකාව ආක්‍රමණය කළේය. මේ ආක්‍රමණය පරදවනු ලැබුවත්, යළිත් 1263දී හේ එදා ඒ වනවිට රටේ උතුරේ තිබූ මාඝගේ ප්‍රදේශ අල්ලා ගත්තේය. මෙන්න මේ වකවානුවේදී පිට පිටම සිදුවූ විදේශීය ආක්‍රමණය හා විනාශයනුත් හේතුවෙන් ලංකාවේ එතෙක් පැවැති සමාජ, ආර්ථික හැඩගැස්ම විශේෂයෙන්ම එහි සමාජ සංවිධානය, බිඳ වැටීමෙන් වියළි කලාපයේ තවදුරටත් ජීවත් විය නොහැකි වීම නිසා වියළි කලාපය අතහැර මෙතෙක් එකට ජීවත් වූ සිංහලයන් හා ද්‍රවිඩයෝ දෙපැත්තට ඇදී ගියහ. ද්‍රවිඩයන් උතුරට හා නැඟෙනහිරට, මඩකළපුව ප්‍රදේශයට ඇදී ගිය අතර ඒ ප්‍රදේශවල එතෙක් සිටි සිංහල ජනයා දෙමළ ජාතිකත්ව තුළට නවීකරණය කර ගනු ලැබූ බවට සාධක තිබේ. සිංහලයන් කඳුකරයට හා නිරිත දිගට සංක්‍රමණය වූ බව පෙනෙයි.

13 වැනි සියවසේ පටන් මෙලෙස සිංහල ජාතිකත්වයත්, දෙමළ ජාතිකත්වයත් එකිනෙකාගෙන් වෙන්ව හුදෙකලාව වෙනම ප්‍රජාවන් වශයෙන් පවතින්නට පටන් ගත්තේය.
මේ වකවානුවේදී ලංකාවේ සමාජ සංවිධානය බිඳ වැටීමත්, සිංහලයන් නිරිත දිගට හා කඳුකරයටත්, ද්‍රවිඩයන් උතුරට හා නැඟෙනහිරටත් සංක්‍රමණය වීමත් හැර මධ්‍යම ආණ්ඩුවක් නැතිකම හෝ දුර්වලකම හේතු කොටගෙන කුඩා ප්‍රාදේශීය පාලන බොහෝ තැන්වල බිහි විය. රජරට ප්‍රදේශවල වන්නියාර්වරුන්ගේ පාලනත්, උඩරට වෙනම පාලනයකුත්, නැඟෙනහිර පළාතේ වෙනම ප්‍රාදේශීය පාලනත් බිහිවිණි.

මෙලෙස හය වැනි සියවසේ පල්ලව රාජ වංශයේ පටන් 16 වැනි සියවසේ විජය නගර් ආධිපත්‍යය බිඳ වැටීම දක්වා සියවස් දහයක කාලයක් තිස්සේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ බලපෑමට හසුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිංහල ජාතිකත්වයක් හා දෙමළ ජාතිකත්වයක් ලංකාවේ වෙන වෙනම වර්ධනය වී ඇත.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon