මම දෙවතාවක්ම අම්මට ද්‍රෝහි වුණා

  👤  4118 readers have read this article !
2018-08-12

"මම කිලිනොච්චියේ නගරාධිපති, ඔයාගෙ අප්පම්මාගේ දුර නෑදෑයෙක්. දීබාන්ගේ මාමා."

මා ඔහු දෙස බලා සිටියේ ඔහුගේ වචන අදහා ගත නොහැකි වූ ලෙසටය.

එවිට ඔහු කමිස පොකට්ටුවේ වූ ඡායාරූපයක් පිටතට ගත්තේය. එහි සිටියේ මාය. මගේ ගමේ නැන්දා කෙනකුගේ නිවෙසක් ඉදිරිපස ඉස්තෝප්පුවේදී මා එම ඡායාරූපයට පෙනී සිටියා මට සිහි විය. ඒ දෙවසරකට පමණ උඩදීය. මා එදින හැඳ සිටියේ රෝස සහ සුදු පැහැ ඉරි වැටුණු බෝරිච්චි අත් සහිත ගවුමකි. මම සුදු බඳ පටියක් හා සුදු සපත්තු ජෝඩුවක්ද පැලඳ සිටියෙමි.

"ඔයාගේ අම්මයි මට මේක එව්වේ. යාපනේ ඉන්න දීබාන්ගේ අම්මා ඒ කියන්නේ මගේ සහෝදරී අතේ."

ඔහු මගේ ඡායාරූපය නැවත පොකට්ටුව තුළ රැඳවූයේය.

"මං ඔයා ගැන හොය හොය එද්දී වාසනාවට අද උදේ මේ ළමයා හම්බ වුණේ. එයා ඔයාගෙ පින්තූරෙ අඳුන ගත්තා."

ඔහු මගේ සෞඛ්‍යය සම්බන්ධයෙන්ද කරුණු විචාළේය. හෙතෙම ආපසු ගියේ අම්මාද කැටුව හැකි ඉක්මනින් ආපසු පැමිණෙන බව පවසමිනි. එතැන් සිට මම සර්ව සුබවාදී ලෙස සිතන්නට උත්සාහ කළෙමි. එහෙත්, ඔහුට අම්මා සොයාගත නොහැකි වුවහොත්?

ඒ 1988 වර්ෂයේ මැද හරියේ දිනයකි. ඒ සන්ධ්‍යාවේ මම මහලු කාන්තාව සමඟ ගාලට ගවයන් ඇතුළු කරමින් සිටියෙමි. හදිසියේ මාගේ නෙත ගැටුණේ අම්මා මා වෙත දුවමින් පැමිණෙන අයුරුය. ඇය හැඳ සිටි කොළ හා සුදු පැහැති සාරිය සුළඟේ ළෙල දෙමින් තිබිණි. ඇගේ දෑසෙහි වූයේ සංවේදනාවන්ය. මුහුණ දිගේ කඳුළු බින්දු ගලා හැලුණේය. ඇය තවමත් පෙරසේම සුන්දරව සිටීම මට සතුටක් විය.

තට්ටය සහිත උසැති පුද්ගලයා එනම් කිලිනොච්චියේ නගරාධිපතිතුමා විශාල බෑගයක්ද රැගෙන අම්මා සමඟ පැමිණෙමින් සිටියේය.

මට දැනුණේ කියාගත නොහැකි සහනයකි. මා දකින්නට පැමිණීම ගැන මම ඇයට කොතරම් නම් කෘතඥ වන්නේදැයි විස්තර කරන්නට මට වුවමනා විය. ඇය දැකීමෙන් මා අප්‍රමාණ ලෙස සන්තෘෂ්ටියට පත්වූ බව කියන්නට මට අවැසිව තිබිණි. ශිරානි කොහේදැයි අසන්නට ද මට අවශ්‍යම විය. එහෙත් මා වැලඳගත් අම්මා නොනවත්වා වැලපෙමින් සිටියාය. මම නොසෙල්වී, හිරි වැටුණු කලෙක මෙන් පිළිමයක් සේ සිටියෙමි. මගේ සිත පිරී තිබුණේ සතුටින්ද නැතහොත් ශෝකයෙන් දැයි මට තේරුම් ගත නොහැකි විය.

"මං හිතුවා අම්මට මාව එපා වෙලා ඇති කියලා. මං එක වතාවක් නෙවෙයි දෙවතාවක්ම අම්මට ද්‍රෝහි වුණා."

"ඔයා මගේ දුව."
අම්මා කඳුළු පිස දමමින් පිළිතුරු දුන්නාය.
"මමවත් තාත්තවත් කවදාවත් ඔයාව අත අරින්නෙ නෑ."

නිසාම් සහ නවීන් අම්මා මුණගැසෙන්නට අපේ ගෙදරට ගියේ එක්දහස් නවසිය අසූ හතේ නොවැම්බරයේ මැද හරියේ දවසකය. මා ආපසු එවන බවට එදින ඔවුන් අම්මාටත්, ශිරානිටත් පොරොන්දු වී තිබිණි. එදිනම ඉන්දීය සාම සාධක හමුදාව අප නිවෙසට කඩා පැන එහි අස්සක්, මුල්ලක් නෑර පිරික්සා ඇත. ඔවුන් අම්මාගෙන් හා ශිරානිගෙන් ප්‍රශ්න කොට ඇත්තේ මුහුණට තුවක්කු එල්ල කරමිනි.

ඔවුන් මගේ ඡායාරූපයක්ද ඉල්ලා ඇත. එහෙත් ඊට සති කිහිපයකට කලින් අම්මා මගේ බාල වියේ ඡායාරූප පවා පුලුස්සා දමා තිබිණි. එබැවින් ඔවුනට මගේ සේයාරුවක් සොයාගත නොහැකි වී ඇත.

ඒ සියලු දෑ හැරුණු විට ඔවුහු තුවක්කු එල්ල කොටගෙනම අම්මා සහ ශිරානි ළඟම තිබූ සාම සාධක හමුදා කඳවුර කරා රැගෙන ගියහ. ඔවුන් දෙදෙනා නිදහස් කොට තිබුණේ දීර්ඝ ලෙස ප්‍රශ්න විමසීමකින් අනතුරුවය.

තවත් දින කිහිපයකින් ඉන්දීය හමුදාව ඒ අවට නිවාස සියල්ල සෝදිසි මෙහෙයුමකට යටත් කොට ඇත. ඉන්පසුව ප්‍රදේශයේ තරුණ, මහලු සියලු දෙනා උණු තාර පාරෙහි පැය ගණනක් වාඩි කොට තබා ඇත. ඉන් අනතුරුව අල්ලාගත් කොටි සාමාජිකයෙක් ඉදිරිපිට ඔවුන් එක පෙළට පෙරෙට්ටුවක යවා තිබේ. ඒ වෙස් මුහුණක් පැලැඳ සිටි කොටි සාමාජිකයා තලයාට්ටි (ඊඩචතචරචබබඪ) හට හිස වනා කොටි සාමාජිකයන් හා හිතවාදීන් හඳුනා ගැන්ම සඳහාය. කෙසේ හෝ ඔහු ශිරානි දුටුවිට හිස වනා තිබුණේ 'ඔව්' යැයි හඟවමිනි.

අම්ම ශිරානි නිදහස් කොටගෙන තිබුණේ බොහෝ වෙහෙස මහන්සි වෙමිනි. ඇය කන්‍යා සොයුරියන් කිහිප දෙනකු සමඟ එක්ව සාම සාධක හමුදා නිලධාරීන් මුණගැසී කරුණු පැහැදිලි කොටදී තිබිණි.

පසුව අප නිවෙස ආසන්නයෙහි සාම සාධක හමුදා කඳවුරක් ද ආරම්භ කොට ඇත. එතැන් සිට කඳවුරෙහි ප්‍රධාන නිලධාරියා අම්මාට වැදගත් කාන්තාවකට ලෙස සලකමින් අප පවුලේ අය හා මිත්‍ර සබඳතා පවත්වන්නට පටන්ගෙන ඇත. ඒ වනවිට මගේ කවි පොත තිබී ඇත්තේ එම ප්‍රධාන නිලධාරියා අතය. ඔවුන්ට එය හමුවී තිබුණේ කොටි මාධ්‍ය කාර්යාලය පරීක්ෂා කළ අවස්ථාවකදීය. ද්‍රවිඩ ජනතාව පවත්නා රජයට විරුද්ධව කැරැලි ගසන්නේ මන්දැයි තමා එය කියවා වටහා ගත් බවද ඔහු අම්මාට පවසා තිබිණි.

අම්මා ශිරානි නුවර කැඳවාගෙන ගොස් ඇය එහි පාසලකට ඇතුළත් කොට ඇත. අම්මා නුවර යන්නට අවසර පත ලබාගෙන තිබුණේද එම හමුදා නිලධාරියාගේ උදවු උපකාර ලබා ගනිමිනි. ඔවුන් හා ගිවිස ගත් පරිදි ශිරානි නුවර නවතා අම්මා ආපසු යාපනයට පැමිණියාය.

ඒ අතර අම්මා තවත් වැදගත් කර්තව්‍යයකට අත ගසා තිබුණාය. ඔවුන් කිහිප දෙනෙක් එක්ව "කොළඹ ආන්ටි"ගේ නායකත්වය යටතේ දරුවන් අහිමි වූ හා සිරගත කෙරුණු මවුවරුන් වෙනුවෙන් සංවිධානයක් පිහිටුවාගෙන තිබිණි.

දීබාන්ගේ මව එනම් කිලිනොච්චි නගරාධිපතිගේ ඥාති සහෝදරිය වෙතින් අම්මාට පණිවුඩයක් ලැබුණේ ඉන් මාස හයකට පමණ පසුවය.

ඒ එක්දහස් නවසිට අසූ අට වසරේ ජුනි මාසයේදීය. එම පණිවුඩයට අනුව අම්මා ළඟ පාත තැනකට යන බව හඟවමින් ගෙයින් පිටවී ඇත. ඇගේ අත් බෑගය තුළ තිබී ඇත්තේ ඇයටත්, මටත් ඇඳුම් කට්ටල දෙකක් හා අප දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර දෙකය.

පරිවර්තනය - සුනිලා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon