අධිකරණයේ ගෞරවය රැකීම

  👤  3309 readers have read this article !
2018-08-12

ලෝකයේ ඕනෑම රටක අධිකරණය වූ කලී වගාඩම්බරය සහිත ගාම්භීර ආයතනයකි. අධිකරණයට එකී ගෞරවනීය භාවය ලබා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟිනි. ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105/3 වගන්තිය මඟින් මෙරට අධිකරණයේ ගාම්භීරත්වය ආරක්ෂා කර තිබේ. ඊට අනුව අධිකරණයට එරෙහිව සිදුවන අපහාස කිරීම් සම්බන්ධව විභාග කර වරදකාර තැනැත්තන්ට දඬුවම් පැමිණවීමේ අසීමිත බලයක් අධිකරණයට ලබාදී තිබේ. අසීමිත බලයක් යන්නෙන් අදහස් කෙරෙන්නේ අධිකරණයට අපහාස කිරීමට දඬුවම් නීතියෙන් නියම නොකොට එය තීරණය කිරීමේ බලය විනිශ්චයකාරවරයා වෙත පවරා තිබීම නිසාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එවැනි සුවිශේෂී වගන්තියක් ඇතුළත් කර තිබෙන්නේ අධිකරණයේ ගාම්භීරතාව හා ගෞරවනීය භාවය ආරක්ෂා කිරීම උදෙසාය. අධිකරණ තීන්දුවලට පුරවැසියන් අවනත වීමට යට කී සම්මතයන් හා සම්ප්‍රදායන් අත්‍යවශ්‍ය සාධක වන්නේය. සාමාන්‍යයෙන් අධිකරණය ඉදිරිපිටින් ගමන් කරන වාහනයක නළාව හැඬවීමද අධිකරණයට සිදු කරන අපහාසයක් ලෙස සැලකේ. අනෙක් පැත්තෙන් එය විනිශ්චයට බාධාවකි.

අධිකරණයට නොගැළපෙන අන්දමේ ඇඳුම් ඇඳ අධිකරණයට ඇතුළු වීමද අධිකරණයට කරන අපහාසයකි. අධිකරණ ශාලාව තුළ උස් හ¾ඩින් කතා කිරීම පමණක් නොව ජංගම දුරකථන නාද වීමද අධිකරණයට කරන අපහාසයකි. එවැනි අවස්ථාවන්හිදී පුද්ගලයන්ගේ තරාතිරම නොබලා අධිකරණය දඬුවම් පමුණුවයි.

ලෝකයේ ඕනෑම රාජ්‍යයක කවර නීති සම්මතයන් පදනම් කොට හෝ සාක්ෂි ඉදිරිපත් කිරීමේදී සහ විනිශ්චය කිරීමේදී අනුගමනය කරන්නේ එක හා සමාන විධි ක්‍රමයකි. කොමියුනිස්ට් රාජ්‍යයක වේවා ලිබරල් ධනපති ක්‍රමය පවතින රාජ්‍යයක වේවා එය එසේමය. මොන්ටෙස්ක්‍යුගේ න්‍යාය මත පදනම්ව අධිකරණය, විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බල තුලනය පවත්වා ගනී.

අපේ රටේ අධිකරණය සම්බන්ධව මෑත කාලයේ බොහෝ සංවාද විසංවාද පැවැති බව රහසක් නොවේ. නඩු පමා වීම පිළිබඳව විශේෂයෙන් මිනීමැරුම් නඩුවක හෝ ස්ත්‍රී දූෂණ නඩුවක තීන්දුව දෙන්නට අවම වශයෙන් වසර 16කට වැඩි කාලයක් ගත වන බව නීතිපති දෙපාර්තමේන්තුව පවා පිළිගෙන තිබේ. එමඟින් වින්දිතයාට සිදුවන අගතිය පිළිබඳ සමාජයේ සංවාදයක් ඇති වීම සුබවාදී අවස්ථාවකි. නඩු කටයුතු කඩිනම් කරන ක්‍රමවේද අනුගමනය කිරීමට එමඟින් වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේ.

අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4ක් මුල් කර ගනිමින් විභාග වූ අභියාචනාධිකරණ නඩු විභාගයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි එකී චෝදනා සියල්ලටම වරදකරු කරමින් බරපතළ වැඩ සහිත වසර 19ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය එක දිගට වසර 6ක් සිරගත වීමෙන් ගෙවී යන අන්දමට දඬුවම් නියම කළේය. ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල, අධිකරණ කෘත්‍යයට බාධා පැමිණවීම බරපතළ වරදක් බව සමාජයට ඒත්තු යන පරිදි දඬුවම් පමුණුවා තිබේ. එය අභියෝගයට ලක් කිරීමට කිසිවකුට පවතින නීතියෙහි ඉඩක් නැත.

කුමන පසුබිමක් යටතේ හෝ අධිකරණ කේන්ද්‍රීයව සිදු කළ ප්‍රකාශ නිසා හෝ අධිකරණ නියෝග නොසලකා හැරීම නිසා හෝ එක පෙළට නඩු කිහිපයක්ම පසුගිය සතියේ අධිකරණය හමුවට පැමිණියේය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලැබ සිටින නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට ශේ‍ර්ෂ්ඨාධිකරණය තීන්දු කළේය. අභියාචනාධිකරණ නියෝගයක් නොපිළිපැදීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව දඬුවම් නොකර සිටීමට හේතු දක්වන මෙන් උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන්ට අභියාචනාධිකරණය පසුගිය 8දා නොතීසි නිකුත් කළේය. යථෝක්ත නඩු ඉදිරියේදී විභාග වීමට නියමිතය.

මේ සියල්ල ගත් කල ඉන් ගම්‍ය වන ප්‍රධාන කාරණය වන්නේ රටේ ප්‍රභූ පක්ෂය අතර අධිකරණ පිළිබඳව පැවැතිය යුතු ගෞරවය හීන වෙමින් පවතින බවය. එය රටක යහපැවැත්මට කිසිසේත් උචිත නොවේ. බොහෝ ක්ෂේත්‍රයන්හි වර්තමානයේ දකින්නට ඇති පරිහානිය අධිකරණයට කාන්දු වීමට කිසිසේත් ඉඩ නොතැබිය යුතුය. අධිකරණයේ ගෞරවය හා ගාම්භීරතාව ආරක්ෂා වීම අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ඒ තුළින් මුළුමහත් පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික වන බැවිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon