රනිල්, මලික් සහ අර්ජුනගේ කැබිනට් පත්‍රිකා විසිවුණු හැටි

  👤  4239 readers have read this article !
2018-08-12

කාන්තාවන්ගේ රූපකාය ගැන මෛත්‍රි ෆොන්සේකාගෙන් අහයි

තිරසර දැක්ම කතිකාව ජනගත කිරීමේ උත්සවය ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතිවිණි. හිටපු අගමැති දි.මු. ජයරත්න, තිරසර සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා ඇතුළු මැති ඇමැතිවරුන්, විද්වතුන් විශාල පිරිසක් ඒ සඳහා සහභාගි වූහ. මේ සඳහා අගමැති රනිල් සහභාගි නොවීමද උත්සව සභාවේ සිටි ඇතැමුන් කසුකුසු ගාන්නට වූහ. ජාතික තිරසර කතිකාව උදෙසා සකස් කළ විද්වත් කමිටු වාර්තාව එහි ප්‍රධානි මහාචාර්ය මොහාන් මුණසිංහ විසින් මෙහිදී ජනාධිපතිවරයාට භර දුන්නේය.

"තිරසර සංවර්ධනය සඳහා එළිදැක්වුණු වාර්තාව සමඟ මේ රටේ පාසල් දරුවන්ගේ ඉඳලා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට විවෘත ආරාධනාවක් කරනවා මේ ගැන සංවාදයක් ඇති කරන්න කියලා." ජනාධිපතිවරයා කීවේය.

එහිදී ජනාධිපතිවරයා තොටගමුවේ රාහුල හිමියන් විසින් රචිත සැළලිහිණි සන්දේශයේ එන කවියක්ද මතක් කළේය. උන්වහන්සේ කාන්තාවන් ගැන ලියූ කවියක් ජනාධිපතිවරයා එහිදී අපූරුවට ගායනා කළේය.

"සිසිවන උවන ඉඟසුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන
දිසි රණ ලියෙව් යුතු මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන"

යැයි ජනපති මෛත්‍රි කළ ගායනයට උත්සව සභාවේ සිටි සියලු දෙනා අත්පොළසන් දෙන්නට විය. ජනාධිපතිවරයා එතැනින්ද නතර වූයේ නැත.

ඒකනේ කන්තාවන්ගේ සුන්දරත්වය තමයි මේ කවියෙන් කියවෙන්නේ. කාන්තාවන් හරියට අත මිට මොළොවපුවහම අල්ලන්න පුළුවන්ලු. මම දන්නෑ. ඒක ඇත්තද? ෆොන්සේකා ඇමැතිතුමා?" යැයි සිනාසෙමින් ජනාධිපතිවරයා ෆොන්සේකා ඇමැතිවරයාගෙන් විමසුවේය.

ෆොන්සේකා ඇමැතිවරයාට කර කියා ගත දෙයක් නොමැති විය. උත්සව සභාවම එකම සිනා සාගරයක් බවට පත්විය.

කැබිනට්ටුව රත්කළ යෝජනා

ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් සතියේ කැබිනට් හමුව පැවැත්වූයේ අඟහරුවාදා පෙරවරුවේය. එහිදී විශේෂ අවධානය යොමු වූයේ අධීක්ෂණ මන්ත්‍රිවරුන් සඳහා ලබාදීම සඳහා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර තිබූ අපූරු පැකේජයක් ගැනය. අගමැති රනිල් මෙම යෝජනාව ඉදිරිපත් කළේය. 'ගම්පෙරළිය' වැඩසටහන සඳහා පත්කරන අධීක්ෂණ මන්ත්‍රිවරුන්ට හත් දෙදෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක්, කාර්යාලයක්, වාහනයක්, සීමා රහිත ඉන්ධන දීමනාවක්, දුරකථන දෙකක් සහ මාසික දීමනාවක් ලබාදීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි. මෙය දුටු විගසම ශ්‍රී ලනිප ඇමැතිවරුන් වන නිමල් සිරිපාල, සරත් අමුණුගම සහ මහින්ද අමරවීර ඊට විරුද්ධව කතාබහ කළහ. 'ජනතාවට අමාරු වෙලාවේ මේවා කරන්න ගියොත් ඒක එච්චර හොඳ දෙයක් නෙවේ. මේක කරන්න පුළුවන්කමක් නෑ' ජනපති මෛත්‍රි කීවේය.

'අපි මේ ගැන කමිටුවක් පත්කළා. ඒකෙ නිර්දේශ මතයි මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න යන්නේ' අගමැතිවරයා කීවේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්, අගමැති ලේකම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් යන ත්‍රිපුද්ගල කමිටුවකින් මේ ගැන වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර එහි නිර්දේශද මේ සඳහා ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත් පැමිණි විරෝධය හමුවේ ජනපති මෛත්‍රි එම යෝජනාව ඉවත් කළේය. අනතුරුව මලික් සමරවික්‍රම ඇමැතිවරයාද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර එයද ජනපති මෛත්‍රි විසින් ඉවත දමා තිබේ.

එම යෝජනාවේ තිබුණේ ඇමැතිවරුන්ට ඉදිරිපත් වන නඩු සඳහා කතා කරන නීතිඥවරුන්ට ගෙවිය යුතු මුදල් රජයෙන් ගෙවීම සඳහා වන යෝජනාවකි. එම යෝජනාවද කැබිනට් හමුවේදී ඉවත දමා ඇත.

අනතුරුව කැබිනට් හමුවේ අවධානය යොමු වූයේ ඔෟෂධ මිල අඩු කිරීම පිළිබඳවය. ඒ පිළිබඳව ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ කැබිනට් හමුවට කරුණු පැහැදිලි කළේය.
"රජය කරපු හොඳ වැඩක්. මේ අවංක නිලධාරීන් ආරක්ෂා කළ යුතුයි. මේ පිළිබඳව ප්‍රචාරයක් ලබාදිය යුතුයි." මංගල කීවේය. අමුණුගම සහ තලතාද මෙම ක්‍රියාව අගය කරමින් අදහස් දැක්වූහ. 'මම එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක. මට මේ පිළිබඳ තොරතුරු අවශ්‍යයි' හරීන් ඉල්ලා සිටියේය. එවිට යළි අදහස් දැක්වූ ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා අදහස් දැක්වීය. "ඔෟෂධ මිල අඩු කළාම අපිට විවිධ බලපෑම්වලට මුහුණ දෙන්න සිදු වුණා. එක පැත්තකින් සමාගම්වලින්. අනෙක් පැත්තෙන් කෝප් කමිටුවෙන් සහ අල්ලස් කොමිසමෙන්. මට පැය 04-05 අල්ලස් කොමිසමේ ප්‍රශ්න කිරීම්වලට ලක්වන්න සිදු වුණා. ඇතැම් සමාගම් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. එම නඩුවලට අපි තනියෙන් පෙනී සිටිනවා. වෙනත් කිසිදු සහයෝගයක් ලැබෙන්නේ නැහැ. අල්ලස් කොමිසමේ ප්‍රශ්න කිරීම් සිදු කළ පොලිස් නිලධාරීන් ඔෟෂධ ගැන දන්නෙවත් නැහැ.

එහෙම අයට මෙහි බලපෑම තේරෙන්නේ නැහැ.' සභාපතිවරයා කීවේය. 'අල්ලස් කොමිසමේ ඉන්න පොලිසියේ සැරයන්ලා. කොස්තාපල්වරුන් තමයි මෙවැනි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්නේ. ඔවුන්ට ඔෟෂධ ගැන කිසිදු අවබෝධයක් නැහැ. සෞඛ්‍ය සේවාව ගැන අවබෝධයක් නැහැ.' ජනපති කීවේය. අල්ලස් කොමිසමට නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කිරීම පිළිබඳව රට තුළ අප්‍රසාදයක් මතුව ඇතැයි අමුණුගම අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
'මහා පරිමාණ දූෂණ, වංචා පිළිබඳව පරීක්ෂණ පවත්වන්නේ නැහැ. වෙනත් පොඩි පොඩි ප්‍රශ්නවලට නිලධාරීන් ගෙන්වලා ප්‍රශ්න කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවැරැදිව සිදු කළ ඇතැම් දේවල්වලටත් ප්‍රශ්න කර තිබෙනවා. අලුතින් පැමිණි ගණකාධිකාරවරයකු අල්ලස් කොමිසමට කැඳවා ප්‍රශ්න කර තිබුණා. එහිදී එම නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ 'අමාත්‍යාංශයේ ප්‍රධාන විගණන නිලධාරිවරයා වන සෞඛ්‍ය ලේකම්ගේ නියෝගයකට අනුවයි එම වැඩ සිදු කළේ" කියලා. එවිට අල්ලස් කොමිසමේ නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා. "ඔයා කොහොමද එහෙම කරන්නේ. නිලධාරියෙක් වුණාම ලේකම්වරයා කියූ පමණින් තීන්දු තීරණ ගන්න එපා. ඇතැම් අල්ලස් පැමිණිලි ඒ 4 කොළවලත් ලියා ඉදිරිපත් කර තිබෙනවා. ඒවාටත් පරීක්ෂණ කරනවා. ඇතැම් අය දේශපාලන හේතු මතත් පරීක්ෂණ පවත්වනවා' රාජිත චෝදනා කළේය. අපි ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ලබාගන්නේ.

පුවත්පතකටවත් ප්‍රකාශ ලබාදෙන්නේ නැහැ.' අසිත ද සිල්වා කීවේය. මම මේ පිළිබඳව සොයා බලන්නම්' ජනාධිපතිවරයා කීවේය.

දුම්රිය සේවකයන්ගේ වැටුප් විසමතා ඉවත් කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමි වූයේ පසුගිය මැයි මාසයේදීය. එම විසමතා ඉවත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විරෝධය පළ කිරීම නිසා අමාත්‍ය මණ්ඩලය තුළද ගැටලු සහගත තත්ත්වයක් මතු විය. මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කෙළේ වැටුප් විසමතාව ඉවත් කිරීම නිවැරැදිව කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් දුම්රිය වැඩ වර්ජනයක් ආරම්භ විය හැකි බවයි. එම අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසුවේ වැටුප් කොමිසමේ සභාපතිවරයාද දුම්රිය සේවකයන් සමඟ පැවැති සාකච්ඡාවට එක්වූ බවයි. ඔහු ද එම තීන්දුව අනුමත කළ බව අමාත්‍යවරයා කියා සිටියේය. වැටුප් කොමිසමේ සභාපතිවරයාට තීන්දු කරන්න බෑ. වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ වැටුප් විසමතා ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් රාජිත සේනාරත්න අමාත්‍යවරයාම ඉදිරිපත් කර තිබෙනවා.' මංගල කීවේය. 'වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයටත් වඩා හෙද සහ අනෙකුත් කාර්ය මණ්ඩලවල වැටුප් ප්‍රශ්න තිබෙනවා.' ඔවුන්ගේ ඉල්ලීම මත තමයි මෙම කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කළේ. දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට තීන්දු කළා. එය ආපසු හරවන්න බැහැ. නීතිපති දෙපාර්තමේන්තුවත් සංවෘත සේවාවක් බවට පත් කිරීමෙන් පසුව තමයි ප්‍රශ්න විස¼දා ගත්තේ' රාජිත කීවේය. 'ඉදිරිපත් වූ කරුණු හරි. නමුත් මුදල් අමාත්‍යවරයා ගැටලුවක ඉන්න බව පේනවා. ඒ නිසා මේ ගැන සලකා බලන්න.' ජනාධිපති ඉල්ලා සිටියේය.

'තාක්ෂණික සේවාවල ගැටලු පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ඔවුන් වර්ජනයක් ආරම්භ කළහොත් ඊට වඩා ප්‍රශ්නයක් ඇති වෙනවා' අමුණුගම කීවේය. වැටුප් විසමතාව ඉවත් කළ යුතුයි. එසේ නොමැති වුවහොත් ගැටලු ඇති වෙනවා. වැටුප් කොමිසමත් ඊට එකඟත්වය පළ කළා' රාජිත යළි පැවැසුවේය. එවිට ජනාධිපතිවරයා කියා සිටියේ මුදල් අමාත්‍යාංශය සහ කැබිනට් අනුකාරක සභාව ඒකාබද්ධ විසඳුමකට එන ලෙසය. 'අමාත්‍ය මණ්ඩල රැස්වීමේ කතා කළ සියලුම තොරතුරු පසුදින පුවත්පත්වල වාර්තා වෙනවා. අමාත්‍යවරුන් මහ පාරේ ඉඳගෙන මාධ්‍යයට අදහස් දක්වනවා. එය අවලස්සන වැඩක්.' ජනාධිපති තරමක් කේන්තියෙන් කීවේය. 'අපි ලබාදුන් මාධ්‍ය නිදහස නිසා තමයි එහෙම කරන්නේ හකීම් පැවැසීය.

'මට බදාදා දින අමාත්‍ය මණ්ඩල තීන්දු තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු දෙකකට අදහස් දක්වන්න සිදුවෙලා තිබෙනවා. එකක් අමාත්‍ය මණ්ඩලය ගත් තීන්දු තීරණ පිළිබඳව. අනෙක් කරුණ තමයි අමාත්‍යවරුන් මාධ්‍යයට දැක්වූ අදහස් පිළිබඳව. ඒවාටත් උත්තර දෙන්න වෙනවා.' රාජිත කීවේය. ඊට අමාත්‍යවරුන් මහ හයියෙන් සිනාසුණහ. දුම්රිය වැටුප් විසමතා ගැටලුවට අපි මුහුණ දිය යුතුයි. බස්වලින් හරි මිනිස්සුන්ට ප්‍රවාහන සේවා සපයමු. ශක්තිමත් ලෙස ඊට මුහුණ දෙමු. මංගල කීවේය. 'වරාය, ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැටුප් විසමතා ඉවත් කර තිබෙනවා. ඔවුන්ට 2021 වන තුරු ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ' චම්පික රණවක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 'සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් කිරීම තුළ වෙන වෙනම වැටුප් තල හැදිය යුතුයි. දුම්රිය තාක්ෂණික නිලධාරීන්ගේ ප්‍රශ්නයත් විසඳිය යුතුයි. ඇතැම් ආණ්ඩු විරෝධී කොටස් මෙම ප්‍රශ්නය මුල් කර ගනිමින් විරෝධතා ඇති කරන්න පුළුවන්. එම නිසා සාධාරණව, සංවේදීව මෙම ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙන්න.' රාජිත ඉල්ලීමක් කළේය.

අනතුරුව ඇමැති අර්ජුන විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් ප්‍රතික්ෂේප විය. එම කැබිනට් පත්‍රිකාවෙන් කියැවුණේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා අවස්ථා අසූවක් ලබාදීමට අනුමැතිය ලබාදෙන ලෙසය.
සුවිශේෂී ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හා සී.පී.එස්.ටී.එල්. සමාගමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනකු බඳවා ගැනීමට මෙම අවසරය ඉල්ලා තිබිණි. ඒ සඳහා නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබුණේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියා නොව දීමනාවක් පමණක් ලබා දිය යුතු බවයි. ඒ ගැන අමාත්‍ය අර්ජුන රණතුංග අදහස් දැක්වූයේ තරමක් කනගාටු ස්වරූපයෙනි.

'අද ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරයි තරමක් දුරට හෝ හොඳින් ජීවත් විය හැක්කේ. ජාතික මට්ටමේ අනෙක් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එදා වේල කන්න නැතිව ඉන්නවා. අපි උත්සාහ කළේ එවැනි ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යම් රැකවරණයක් ලබා දෙන්න. අන්ධ ක්‍රීඩකයන්, ගම්බද ක්‍රීඩකයන් දිනපතා අපිව හමුවෙන්න එනවා. ඔවුන්ට අපි පිළිසරණයක් විය යුතුයි. අර්ජුන රණතුංග පවසද්දී ජනපති මෛත්‍රිපාල කීවේ තෙල් සංස්ථාවට එවැනි අනුමැතියක් දුනහොත් වරාය වැනි වෙනත් ආයතනවලටත් එවැනි අවස්ථාවක් දීමට සිදු වෙනවා.' ඒ නිසා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියා ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය හරහා පොදු වැඩපිළිවෙළක් හදන්න' කියාය. 'ඇත්තටම මම අද ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පදනම් වුණේ මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් පදනම් කරගනිමින්. ඒ පත්‍රිකාවෙන් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය ආයතනවල රැකියා ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දෙන්න තිබුණා'යි අර්ජුන දීර්ඝව කරුණු පැහැදිලි කළත් පලක් වූයේ නැත. ඒ ඔහුගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය නොලැබීම හේතුවෙනි.

වසා දැමූ ගංගා නිම්න මණ්ඩලයේ සේවකයෝ දෙස ජනපති බැල්ම

ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලය වසා දැමීම හේතුවෙන් රැකියාව අහිමි වූ සේවකයන් 1,682 දෙනකු සඳහා වන්දි ලබාදීමට මහවැලි සංවර්ධන ඇමැති හා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදෙස් මත මහවැලි සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සරත්චන්ද්‍ර මහතා තීරණය කර තිබේ.

1990 මාර්තු 31 වැනිදා ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය වසා දමන අවස්ථාවේ ඔවුන්ට පදිංචියට ඉඩමක් හා වන්දියක් ලබාදීමට එවකට පැවැති රජය විසින් තීරණය කර තිබිණි. එම තීරණය පරිදි කිහිපදෙනකු සඳහා එවකට ඔවුන් පදිංචිව සිටි නිවාස ඔවුන්ටම පවරා දීමට පියවර ගෙන තිබුණද පුද්ගලයන් 1,682 දෙනකු සඳහා කිසිදු වන්දියක් ගෙවා නොතිබිණි.

පැවැති සියලු රජයන් සමඟ මේ පිළිබඳ දැනුවත් කර වන්දි ඉල්ලා සිටියද කිසිදු සහනයක් ලබා නොදී සිටියදී ඉකුත් 18දා මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත්චන්ද්‍ර විතාන මහතා සමඟ සමස්ත ලංකා එක්සත් සේවක සංගමය පැවැත්වූ සාකච්ඡාවකදී තිස් වසරක කාලයක් සේවය කරන ලද සේවකයන්ට රුපියල් 2,50,000ක් වසර 30කට වැඩි සේවකයන් සඳහා රුපියල් 2,65,000ක් හා හය වසරක් සේවය කළ සේවකයන් සඳහා රුපියල් 96,000ක් වන්දි මුදල් ලෙස ලබාදීමට පියවර ගෙන ඇත.

පසුව සේවකයන් 1682දෙනාගේ එකඟත්වය මත සියලු දෙනාට රුපියල් 1,50,000 බැගින් වූ මූලික වන්දි මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.

මේ අනුව 28 වසරක් තිස්සේ පැවැති ගැටලුවක් විසඳීමට පියවර ගැනීම පිළිබඳ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත්චන්ද්‍ර විතාන මහතාට සමස්ත ලංකා එක්සත් සේවක සංගමයේ සහ වන්දිලාභීන්ගේ ස්තුතිය පුදකර සිටී.

අගමැතිගේ හාද්ද නිසා උණුසුම් වුණු සරසවි සම්මාන උළෙල

සරසවි සම්මාන උළෙල අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ඇමැති මංගල සමරවීර, නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න ඇතුළු මැති ඇමැතිවරුන් රැසක්ද, කලාකරුවන්, නිළියන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. මෙම සම්මාන උළෙලේ සිදු වූ විශේෂ සිදුවීමක් ගැන එදින උත්සවයේ මෙන්ම පසුදින සමාජ මාධ්‍ය හරහාද විශාල ප්‍රචාරයක් ලැබිණි. ඒ අගමැති රනිල් ජනප්‍රිය නිළි පූජා උමාශංකර්ට හාද්දක් දීමය.

එහිදී ශ්‍රී ලංකාවේ පූජාට සම්මානය ලබා දුන්නේ අගමැති අතිනි.

'මම ආසයි ඔබතුමාට හග් එකක් දෙන්න' පූජා ඇසුවාය. 'ඔබේ ආසාවට මම බාධා කරන්නේ නෑ. මම ඒක තවත් ධෛර්යවත් කරනවා' අගමැති කීවේ සිනාසෙමිනි.
පූජාගෙන් උණුසුම් හාද්දක් ලැබූ අගමැතිවරයා පෙරළා ඇයටද ඊටත් වඩා උණුසුම් හාද්දක් දුන්නේ කාගේත් දැවැන්ත අත්පොළසන් හඬ මධ්‍යයේය.

ඇතැම් පිරිස් විසිල් ගහන්නට වූයේ ප්‍රේක්ෂකයන්ගේ දැඩි උදේ‍යාගය නිසාවෙනි.
බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා පාර්ලිමේන්තු යන විට විශාල මැති ඇමැතිවරු පිරිසක් අගමැති කාර්යාලය තුළ රැස්ව සිටියහ.

'සාපරාධී කරුණුවලදී අනේ‍යාන්‍ය සහයෝගිතා පනතට ඡන්දය දෙන්න සියලු දෙනා උනන්දු විය යුතුයි කියලා තියෙද්දී අපේ සමහරු ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ නොසිටීම ලොකු වැරැද්දක්. ලක්ෂ්මන් සූක්ෂ්මව කල් ගත්තේ නැත්නම් පනත පරාද වෙනවා. ආණ්ඩුව බේරා ගැනීම ගැන ස්තුතියි.' අගමැතිවරයා කිරිඇල්ලට ස්තුති කළේය.

'පාර්ලිමේන්තු මන්ත්‍රිලගෙ පඩි වැඩි කිරීමට විරුද්ධව එජාපය තීන්දු කිරීම වටිනවා. නැත්නම් මිනිස්සු අපේ ඔළුව කාවි' නවීන් දිසානායක කීවේ සිනා මැදය.

'ඔය ප්‍රශ්නය ගැඹුරින් බලන්න වෙනවා. 2006දී මහින්ද රාජපක්ෂ ද ජෙයරාජ් හරහා පනතක් සම්මත කළා. විනිශ්චයකාරයන්ගේ පඩි වැඩිවෙන කොට මැති ඇමැති පඩිත් වැඩි විය යුතු බවට. පක්ෂ නායක රැස්වීමේදී ඒක මතු වුණාම සියලු පක්ෂවල නායකයෝ ඊට එකඟ වුණා' ලක්ෂමන් කිරිඇල්ල කීය.

'ඒත් ජනාධිපතිතුමාගේ වැටුප 95,000ක් වෙද්දී මන්ත්‍රිලාට ලක්ෂ හතරක් බව එතුමා කිව්වේ මොන පදනමින්ද' චමින්ද විජේසිරි ප්‍රශ්න කළේය.

'ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රිල ගැටලු ඉදිරිපත් කරන්නේ සභානායක ලෙස මටයි. මන්ත්‍රි වැටුප රුපියල් 54,000යි. වරාය කම්කරුවකුත් ලක්ෂයක් විතර ගන්නවා. මන්ත්‍රිලගෙ වැටුප ලක්ෂ ගණන් කියල කියන්නේ ලබා දෙන වාහනය, ඉන්ධන, කාර්යාල හා සේවක වැටුප් ඔක්කොම එකතු කරලයි. මන්ත්‍රිලාට වාහන කාල, ඉන්ධන බීලා, කාර්යාල ඩෙසර්ට් එකට ගන්න බෑ. රුපියල් 54,000න් මළ ගෙවල් මඟුල් ගෙවල්වලටත් දෙන්න වෙනවා. ආසියාවේ අඩුම වැටුප ලංකාවෙයි. සිංගප්පූරුවෙ මන්ත්‍රි කෙනකුට රු. කෝටි 10ක් ලැබෙනවා. ඒ නිසා මන්ත්‍රිලගෙ වැටුප් ගැන යථාර්ථවාදීව හිතන්න ජනමාධ්‍ය ඇතුළු කාටත් වගකීමක් තියෙනවා' ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළ විය.
'ගිය සතියේ ‍ෙදාස්තරලා, මේ සතියේ දුම්රිය වර්ජනය කරනවා. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩි බවයි මිනිස්සු කියන්නේ. වජිර අබේවර්ධන කීය.

'ගිය පාර ර්ණී/ඹ් විභාගෙට, මේ පාර ඒ/ඹ් විභාගෙ ඉලක්ක කරලා මේ වර්ජන එන්නේ. වර්ජන කරන අයටයි අවාසි. ජනතාව කැලඹිලා වර්ජකයන්ට ගැහුවා. බස් දාලා විභාග ළමයි අදින්න පුළුවන්. දුම්රිය පඩි වැඩි කළොත් තව විශාල ආයතන ගණනක පඩි වැඩි කරන්න වෙනවා. රට ගොඩ ගන්නකම් රට ගැන හිතලා ක්‍රියා කිරීමේ වගකීමක් කාටත් තියෙනවා.'

අගමැති කීය.

'අද දුම්රියට ජනතාව එල්ල කළ පහරදීම හෙට ‍ෙදාස්තරලාටයි. ‍ෙදාස්තරලා දැන් දවසක් හැර දවසක් වර්ජන කරන්න එනවා.' චමින්ද විජේසිරි කීය.

'මහින්දලා අසාර්ථක විරෝධතාවක් විහාරමහාදේවි එකේ තිබ්බේ රතුපස්වල තුන්දෙනෙක් වෙඩි තියල මරපු දවසට හරියටම වසර 5ක් පිරෙන එක සමරන්න කියලා ජනතාව කියනවා.' විජයදාස රාජපක්ෂ කීවේ සිනා මැදය.

'අර සංඝ පනත ගෙන ඒමේ අලුත් තත්ත්වය මොකක්ද? ප්‍රශ්න ඇතිවෙන ඒවාට අත ගහන්න නරකයි.' දයා ගමගේ කීය.

'ඒ පනතට අදාළ කෙටුම්පත දැන් මහ නාහිමිවරුන් අත තියෙන්නේ. උන්වහන්සේලායි අවසන් තීන්දුව ගන්න ඕන.' විජයදාස රාජපක්ෂ කීය.

'මල්වත්තේ සහ අස්ගිරි මහ නාහිමිවරු මේකට අස්සන් කළාට ඒ සංඝ සභා මේකට කැමැති නැහැ. එදා රජවරු හදපු නීති ප්‍රමාණවත්ය. මේ පාර්ලිමේන්තුව අලුත් නීති ගේන්න ඕනේ නෑ. භික්ෂු විනය ගැන භික්ෂුන්ම බලා ගත යුතුයි කියන තැනයි උන්වහන්සේ ඉන්නේ.' ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලි කළේය.

මහින්ද හකීම් - මනෝ එක්ක තීරණාත්මක හමුවක

හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පස්වරුවේ විශේෂ හමුවක් පැවැත්විණි. ඒ පළාත් සභා මැතිවරණය ගැනය. පස්වරුව වන විට මෙම සාකච්ඡාව පැවැත්වෙන බව මහින්දට ආරංචි විය. පාර්ලිමේන්තුවේ දෙවැනි මහලේ කාමරයක පැවැත්වුණු මෙම හමුව සඳහා ආණ්ඩුවේ අමාතවරුන් වන රාවුෆ් හකීම් සහ මනෝ ගනේෂන්ද සහභාගි වූහ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ්, ඩලස් සහ ගම්මන්පිල ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. හමුව පැවැත්වීමට නියමිතව තිබුණේ පස්වරු 2.30ට පමණය. නමුත් මහින්ද ඇතුළු පිරිස 2.15 වන විට දෙවැනි මහලට ගොස් මන්ත්‍රිවරු පිරිස සමඟ ආගිය තොරතුරු කතාබහ කරමින් සිටියහ. 2.30ට පමණ මනෝ ගනේෂන් ඇමැතිවරයා පැමිණියේය.
'මනමාලි එනකන් බලන් ඉන්නවා වගේ අපි ඔබතුමා එනකන් බලන් ඉන්නවා' ඩලස් කීවේ සිනාසෙමිනි.

'අනේ සොරි සර්... 2.30ට කිව්ව නිසා මම වෙලාවටම ආවා. සර්ලා ඉතින් කලින්ම ඇවිල්ලනෙ යැයි මනෝ කීවේ මහින්ද දෙස බලමිනි.

පැයකට ආසන්න කාලයක් පැවැති මෙම හමුවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කතා කළේය.

මැතිවරණයේදී යම් යම් කරුණු කිහිපයක් ගැන මහින්ද සහ හකීම්, මනෝ අතර එකඟතාවකට පැමිණ තිබේ.

කැමරාවලට කතා කරන මන්ත්‍රිවරුන්ට මහින්ද දුන් අවවාදය

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා රාත්‍රියේ විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසේදී පැවැත්විණි. පස්වරු 5.30ට පක්ෂ නායක හමුව පැවැත්වීමට නියමිතව තිබුණද එදින පාර්ලිමේන්තුවේ පැවැති වැඩකටයුතු අවසන් වී ඇතැම් පක්ෂ නායකයන් එන විට සවස 6.30ද පසු වී තිබිණි. එම නිසා හමුව පටන් ගැනීමට සිදුවූයේ රාත්‍රි 7ට පමණය. මේ සඳහා දිනේෂ්, විමල්, ගම්මන්පිල, වාසු, වෙල්ගම, ජොනී, සාලින්ද, සුසිල්, ජෝන්, එස්.බී., මහින්දානන්ද, පවිත්‍රා සහ අසංක නවරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනතුරුව දිනේෂ් විසින් එදින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැති වාදයේ කරුණු කාරණා ගැන පැහැදිලි කළේය.

"කථානායකවරයාගේ ක්‍රියා කලාපය ඒකපාශ්විකයි. එතුමා සන්ධාන මහ ලේකම්ගේ මතය විමසලා තියෙනවා. එහෙම කරන්න වුවමනාවක් නෑ. ඒක වැරැදි ක්‍රියාවක්. පක්ෂ නායකයන්ගේ මතයයි අහන්න ඕන." දිනේෂ් කීවේය.

"සන්ධානෙ මහ ලේකම් මොකෙක්ගෙන්වත් ඇහුවේ නෑ. සන්ධානෙ නියෝජනය කරන පක්ෂ එකතු කරලා අහන්න තිබුණනේ." වාසු තරමක් කේන්තියෙන් කීවේය.

"සන්ධානෙ විධායක කමිටුවෙ අපිත් ඉන්නවා. අඩු තරමේ අපිවවත් කැඳෙව්වේ නෑනේ." සුසිල් කතාබහට එක්විය.

"කථානායකට තීන්දුවක් යවනවා නම්, මතයක් තියෙනවා නම් ඒක සන්ධානෙ සාමාජික පක්ෂවලින් අහන්න ඕනේ. විධායක සභාව රැස් කරලායි මතයක් දෙන්න ඕනේ." අසංක නවරත්නද ඒ ගැන කතා කළේය.

"එහෙම නම් ඔයාලා ලියුමක් ලියන්න සන්ධානෙ විධායක කමිටුව රැස් කරන්න කියලා" මහින්ද කීවේය.

"මධ්‍යම කාරක සභාව මේ හෙට අනිද්දා කැඳවලා තියෙනවා. අපි ඒකෙදි මේ ගැන කියන්නම්" එස්.බී. කීවේය.

"අපි ඒ මධ්‍යම කාරක සභා රැස්වීමට යන්නේ නෑනේ." ජෝන්, එස්.බී. දෙස බලමින් විමසීය.

සෙසු පක්ෂ නායකයන්ද මුහුණට මුහුණ බලාගන්නට වූහ.

"නෑ, නෑ, අපි නොගිහින් බෑනේ. අපි ගිහින් මේ ගැන කියන්න ඕනේ." එස්.බී., ජෝන් දෙස බලමින් කීවේය.

අනතුරුව 5දා පැවැත්වෙන ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණය ගැන කතා කළේය. තරුණ පෙරමුණ විසින් එය සංවිධානය කිරීමට නියමිතය.

ඒ සඳහා සියලුදෙනාගේ සහභාගිත්වය අවශ්‍ය බව මහින්ද කීවේය. අනතුරුව වාසුට උපහාර උළෙලක් පැවැත්වීම කෙරෙහි පක්ෂ නායක හමුවේ අවධානය යොමු විය. ගම්මන්පිල මන්ත්‍රිවරයා එය න්‍යාය පත්‍රයටද ඇතුළත් කර තිබිණි.

"මේ ගැන දැන් කතා කරන්නේ මොකටද? වාසු ළඟ තියාගෙන අපි ඒ ගැන කතාකරන එක හරිද? අපි ඒක වෙනම හමුවෙලා කතා කරමු." මහින්ද කීවේය.
"අනේ......මට මොන උපහාරද? ඕවා ඕනෑ නෑ ජනාධිපතිතුමනි. එහෙම උත්සව එපා." වාසු කීවේය.

අනතුරුව විමල් පක්ෂ නායක හමුවේ අවධානය වෙනතකට ගනිමින් කීවේ අපූරු කතාවකි.

"ජනාධිපතිතුමනි, දැන් දැන් අපේ මන්ත්‍රිවරු එක එක ප්‍රකාශ කරමින් තිබෙනවා. ඒකෙන් එළියට යන මතය තමයි අපි අතර එක මතකයක් නෑ කියලා. ඒක හොඳ නෑ." විමල් කීවේය.

"ඔව් මේක හරි ප්‍රශ්නයක්. මටත් කීප දෙනෙක් කතා කළා. අපි අතර එක එක ප්‍රශ්න තියාගෙන කතා කරන්න එපා. එතකොට එළියට යන්නේ වෙන මතයක්." මහින්ද සැවොම දෙස බලා කීවේය.

"ජනාධිපතුමනි, ඕක කියන්නේ මටනේ. කිසිම තැනක මම වැරැදි දෙයක් කතා කරලා නෑ. විධායක ජනාධිපති ක්‍රමයට මම විරුද්ධයි. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ අපේ නායකයා කියන එකයි අපගේ මතය. වෙන අය නෑ කියලයි මම කිව්වේ. වෙන දෙයක් නෙවේ" වෙල්ගම කීවේය.

"හරි, හරි, නායකයා බව හැබෑව. නමුත් ඊළඟ ජනාධිපතිවරණයට මට තරග කරන්න බෑනේ. එහෙම නම් අපි ඒකට විකල්පයක් හොයාගන්න ඕනෑ. ඒ යන ගමනෙදි ඉතින් එක එක නම් තියෙනවා. ඒක අවසානයට තීරණය කරමු. එතකන් කිසිම කෙනෙක් කැමරා අල්ලනකොට එක එක කතා කියන්න යන්න එපා. එතකොට තමයි මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ" මහින්ද අවවාදයක් කළේය.

අඟහරුවාදා රාත්‍රියේම ප්‍රසන්න, පවිත්‍රා, ජොන්ස්ටන් ඇතුළු පිරිසක් මහින්ද මුණගැසුණේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවෙසේදීය. එහිදී සාකච්ඡාවලට ලක් කෙරුණේ ආණ්ඩුව නැවත වරක් ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ ගැනය.

"ආරංචියක් ආවා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී තිබ්බ සාකච්ඡාවකදී ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීම ගැනත් කතා කළා කියලා. ආණ්ඩුව දවසින් දවස ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් යන හින්දා ඒක නැති කරන්න ඉක්මනටම මොනවා හරි කරන්න ඕනේ කියලා අගමැති කිව්වලු" ප්‍රසන්න හෙළි කළේය.

"මටත් ඒක ආරංචි වුණා. ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනෙක් රිමාන්ඩ් කරලා ආණ්ඩුව ගැන තියෙන ජනතා අප්‍රසාදය නැති කරන්න තමයි කතා වෙලා තියෙන්නේ. ඉදිරි සතියේ කොහොම හරි දෙතුන් දෙනෙක් ඇතුළට ගන්න ඕන කියලා කතා වුණාලු" ජොන්ස්ටන් පැවැසීය.

"රනිල්ගේ හැටි ඔහොම තමයි. එයාට රට, ජාතිය වැඩක් නැහැ. කොහොම හරි බලය රැක ගන්න තමයි රනිල්ට ඕනේ. ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න එයා දෙපාරක් හිතන්නේ නැහැ" මහින්ද කීවේය.

"ගෝඨාභයට උදවු කරන අය ගැනත් දැන් හොයාගෙන යනවාලු. මෙයාලට ඕනේ කොහොම හරි විපක්ෂයේ බලවේගය මර්දනය කරන්නයි" පවිත්‍රා කීවාය.

"මොනවා කළත් දැන් ආණ්ඩුවට ගොඩ ඒමක් නැහැ. මේ ආණ්ඩුව දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි" ප්‍රසන්න කී කතාවට කවුරුත් එකඟ වූහ.

ගුරු - ගෝල අවුල

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ පසුගිය සඳුදා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුණගැසීමට ගියහ. ඒ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. සාකච්ඡාවට යෑමට පෙරාතුව නෙළුම් මාවතේ කාර්යාලයේදී මුණගැසුණු මෙම පිරිස එහිදී මූලික සාකච්ඡාවක් පැවැත්වූහ.

තමන් හමුවට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් කොමිසමේ සභාපතිවරයා සුහදව පිළිගත්තේය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී මැතිවරණ පැවැත්වීමට තමන්ගේ පාර්ශ්වයෙන් ඇති බාධා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. හෙට අනිද්දා දිනයක මැතිවරණ කොමිසමේ සාමාජිකයන් රැස්වී මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවත් හෙතෙම පැවැසීය.

"ඔබතුමාට මැතිවරණ පැවැත්වීමට පූර්ණ බලතල තියෙනවා. දැනට පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙන්නේ පැරැණි ක්‍රමයයි. අලුත් ක්‍රමයක් තවම පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. ඒ හින්දා පැරැණි ක්‍රමයටම ඡන්දය තියන්න පුළුවන්." ජී.එල්. නීතිමය තත්ත්වය පැහැදිලි කළේය.

"මම පිළිගන්නවා මැතිවරණ කොමිසමට බලය තියෙනවා කියලා. මෙහෙම හිතන්නකෝ, පාරක් හදලා තියෙනවා. හැබැයි මේ පාර මැද්දෙන් ගඟක් යනවා. එතැන පාලමක් හදලා නැහැ. එතකොට මොකද වෙන්නේ? සභාපතිවරයා ඇසීය.

"පාර තියෙනවා නම් පාලමක් හදාගන්න එක ලොකු දෙයක් නෙවෙයි. වැඩේ කරන්න පුළුවන්" ජී.එල්. කීවේය.

"තවදුරටත් මැතිවරණ කල්දැමීමෙන් නරක නාමය එන්නේ මැතිවරණ කොමිසමට මිසක් ආණ්ඩුවට නෙවෙයි. ආණ්ඩුව උත්සාහ කරන්නේ කොමිසමට මුවාවෙලා කොහොම හරි මැතිවරණය කල්දාගන්නයි. ඔබතුමා බලතල භාවිත කරන්න" සුසිල් ඉල්ලා සිටියේය.
ඒ සියලු කාරණාවලට කන්දුන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ කොමිසමේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කර ඉක්මන් තීන්දුවක් ගන්නා බවය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම අඟහරුවාදා උදේ 11ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේදී රැස්වුණේ දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙනි.

"ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය හිමියි. ඒ වුණාට කථානායකවරයා ඒ හිමිකම දෙන්න සූදානම් නැහැ" දිනේෂ් පැවැසීය.

"කථානායකවරයා හිතාමතාම විපක්ෂ නායක ධුරය අපිට අහිමි කරන්නයි යන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය විමසන්න කථානායකට අයිතියක් නැහැ. ඒ තීන්දුව ගන්න එතුමට පුළුවන්" ප්‍රසන්න පෙන්වා දුන්නේය.

"ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා කියන කථානායකවරයා දැන් පෙනී ඉන්නේ ආණ්ඩුව වෙනුවෙන්" විමල් පැවැසීය.

"මන්ත්‍රිවරුන් 70ක් ඉන්න කණ්ඩායමට නොදී විපක්ෂ නායක ධුරය 16ක් ඉන්නා කණ්ඩායමට දීමෙන් ආණ්ඩුවේ ඒකාධිපති ගමන පැහැදිලියි." ඩලස් කීවේය.

"ආණ්ඩුව කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් ඇමැති ධුර දරන හින්දා විපක්ෂ නායකකම දෙන්න බැහැ කියලයි. හැබැයි ජාතික ආණ්ඩුවට ගිවිසුම් අස්සන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානය නෙවෙයි" ලන්සා පැවැසීය.

"ආණ්ඩුවේ මේ වැරැදි ක්‍රියාමාර්ගයට විරුද්ධව අපි පාර්ලිමේන්තුවෙත් පිටත් විරෝධය පාන්න ඕනේ" වෙල්ගම පෙන්වා දුන්නේය.

"එදා 2015දී සන්ධානයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් ඇමැති ධුර දරන කොට නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂ නායක ධුරයේ කටයුතු කළා. ඒක පූර්වාදර්ශයකට ගන්න පුළුවන්" සුසිල් පැවැසීය.

"ඒ විතරක් නෙවෙයි චන්ද්‍රිකා මැතිනිය 2011 ජනාධිපති වෙලා ඉන්න කොට අගමැති වෙලා හිටියේ රනිල් වික්‍රමසිංහ. හැබැයි චන්ද්‍රිකාගෙම පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්තයා එදා විපක්ෂ නායක ධුරය දැරුවා. ජනාධිපතිගෙම පක්ෂයේ වුණා කියලා මහින්ද මහත්තයට විපක්ෂ නායක ධුරය නොදී ඉන්න එදා කටයුතු කළේ නැහැ." ගම්මන්පිල පැවැසීය.

කථානායකවරයා වැරැදි තීන්දුවක් ගතහොත් ඔහුට විරුද්ධව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. එසේම පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත විපක්ෂ නායක ධුරය ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

කෙසේ වෙතත් විපක්ෂ නායක තනතුර සම්බන්ධයෙන් කථානායකවරයාගේ ස්ථාවරය සිකුරාදා පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එහිදී කථානායකවරයාගේ මතය වූයේ ජාතික ආණ්ඩුව නියෝජනය කරන නිසා සන්ධානයට විපක්ෂ නායක කම ලබාදිය නොහැකි බවය. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 70 දෙනාගේ වරප්‍රසාද ආරක්ෂා කර දීමට තමන් කටයුතු කරන බවද කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

මේ අතර එදින පාර්ලිමේන්තුවේදී කලින් එකම කඳවුරක හිඳ දැන් විරසක වී සිටින චම්පික ඇමැතිවරයා සහ ගම්මන්පිල අතර වාදයක් ඇති විය. චම්පික ඇමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය පිළිබඳව ගම්මන්පිල එහිදී ප්‍රශ්න කර තිබිණි.

දැනට චම්පික ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු මීට පෙර ගම්මන්පිල මන්ත්‍රිවරයා පළාත් ඇමැතිවරයකු ලෙස සිටියදී ඔහුගේ කාර්ය මණ්ඩලයේ සිටි දෙදෙනා බව මෙහිදී හෙළිවිය. ඔවුන් දෙදෙනාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ගම්මන්පිල ප්‍රශ්න කළේය.
"ඒ දෙන්නා ඔය ප්‍රශ්න අහන මන්ත්‍රිවරයා පළාත් ඇමැති කෙනෙක් හැටියට ඉන්නකොට එතුමාගේ කාර්ය මණ්ඩලයේ හිටපු අය. ඒ කාලේ සුදුසුකම් ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් අහනවා" චම්පික කීවේ තරමක් කේන්තියෙනි.

"රටේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ මම එතුමගෙ ගෝලයෙක් කියලා. හැබැයි අද ඒක වැරැදියි කියලා මිනිස්සු හිතාගෙන ඇති. ඔබතුමා මාව අනුගමනය කරන මගේ ගෝලයෙක් බව පැහැදිලි වුණා" ඒකට බොහොම පිං"

ගම්මන්පිල කියූ කතාවට මැති සබේ ඇත්තෝ මහ හයියෙන් සිනාසුණහ.

ගෝඨා ඇමෙරිකා යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය සඳුදා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. මාසයක කාලයක් ගෝඨා ඇමෙරිකාවේ සිටින අතර සැප්තැම්බර් මුල් සතියේ යළි දිවයිනට පැමිණීමට නියමිතය. දේශපාලනමය වශයෙන් වැදගත් ක්‍රියාදාමයක මුල් පියවර සකසා ගැනීම සඳහා ගෝඨා මෙසේ ඇමෙරිකාවට ගිය බව දේශපාලන ක්‍ෂේත්‍රයේ කතාබහට ලක්වී ඇත.

ඔහු එනතුරු "වියත්මඟ" ඇතුළු වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ. එතෙර යෑමට පෙරාතුව ගෝඨාභය "වියත් මඟ" සහ "හරිමඟ" ඇතුළු සංවිධානවල නියමුවන් සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ. තමන් නැවත පැමිණෙනතුරු ඒවායේ ඉදිරි කටයුතු කළ යුතු ආකාරය ගැන ගෝඨාභය ඔවුන් සමඟ සාකච්ඡා කර ඇත.

තාත්තගෙම පුතා

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සමඟ මන්නාරම දිස්ත්‍රික්කයේ නරුවිලික්කුම්හි "ලූර්දු නගර්" 102 වැනි උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සෙල්වම් අඩෛකලනාදන් සහ චාල්ස් නිර්මලනාදන් ඇතුළු ආරාධිතයන් පිරිසක් සහභාගි වී සිටියහ. ආරාධිතයන් උත්සව භූමිය වෙත කැඳවාගෙන එන ලද්දේ අලංකාර පාසල් තූර්යවාදන කණ්ඩායමක් පෙරටුකොටගෙනය. ආරාධිත අමුත්තෝ සජිත් සමඟ ගම්මානයේ නිවාස 23ටම ගොඩවැදී ජනතාවගේ වතගොත, සුවදුක් විමසා සිටීමට එක්වූහ. මෙසේ නිවෙසෙන් නිවෙසට යමින් සිටියදී අඩෛකලනාදන් මන්ත්‍රිවරයා සජිත් වෙත පාසල් ළමයින් පිරිසක් රැගෙන ආවේ "ඇමැතිතුමා මේ කට්ටියට ඔබතුමාගෙන් උදව්වක් ඕනෑ වෙලා" කියමිනි. ළමයින් 1,200ක් පමණ ඉගෙනුම ලබන ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ පාඨශාලාවක් වූ සාන්ත සර්වේසස් විද්‍යාලයෙන් පැමිණ සිටි මේ ළමයින් පිරිස මුලින්ම ගරුසරුව ඇසුවේ "ඇමැතිතුමා, අපට ඔබතුමා එක්ක කතා කරන්න පුළුවන්ද" කියාය. සජිත් ඔවුන්ට ඊට ඉඩදී අසා සිටිද්දී ඔවුන් කීවේ "අපි දැකලා තියෙනවා සර් පාසල්වලට බස් රථ ලබා දෙනවා. අපේ විදුහලටත් බස් රථයක දැඩි අවශ්‍යතාවක් තිබෙනවා. අනේ අපිටත් බස් එකක් අරන් දෙන්න බැරිද" කියාය. "දරුවෝ, මම බස් රථ අරන් දෙන්නේ රජයේ මුදලින් නෙවෙයි. දානපති පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාරවලින්. කොහොම වෙතත් පරිත්‍යාගශිලී ව්‍යාපාරිකයන්ගේ උපකාරය ඇතිව යුද්ධයෙන් විනාශ වුණු ඔයාලගේ විද්‍යාලයටත් බස් රථයක් ලබා දෙන්නම්" සජිත් කියද්දී ළමෝ ඉහවහා ගිය සතුටින් පී්‍රතිය පළ කළහ. අඩෛකලනාදන් මන්ත්‍රිවරයා කීවේ "නියමයිනේ ඔබතුමා තීන්දු තීරණ ගන්න විදිය. තාත්තගෙම පුතා- වැඩේ කෙරෙන බව අපට විශ්වාසයි" කියාය.

සමෘද්ධි නිලධාරීන් පොලිස් බැටන් පොලු අසල නතර වෙයි

සමෘද්ධි ව්‍යාපාරයේ මතුවී ඇති ප්‍රධාන ගැටලු 8 වැනි දින බත්තරමුල්ලේ පාර්ලිමේන්තු වටරවුමේ සිට සටන් පුවරු සහ සංගම්වල නම් සහිත බැනර් ඔසවාගෙන පාර්ලිමේන්තු මාර්ගයේ ටික දුරක් ගොස් පොලිස් බැරියර් ජල බවුසර ළඟ රැඳී උද්ඝෝෂණය කළහ.
එතැන් සිට පාර්ලිමේන්තු වටරවුම හරහා දියත උයන පසුකරමින් බත්තරමුල්ල මාර්ගයේ පැමිණ සමාජ සවිබල අමාත්‍යාංශයට හැරෙන තැනට පැමිණෙද්දී අමාත්‍යාංශයට ඇතුළු වන ‍ෙදාරටුවේ පොලිසිය අමාත්‍යාංශ ආරක්ෂක පිරිස කළු ඇඳුම් ඇඟලාගත් කුලු පොලු පිරිස හා ඊට පසුපසින් ජල බවුසර් සූදානම් කර තිබෙනු දක්නට ලැබිණි. ඉන්පසු සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමයේ සභාපති උසස් පොලිස් නිලධාරියකුට කතාකොට සමාජ සවිබලගැන්වීමේ අධ්‍යක්ෂ ජනරාල් ජේ. උඩල්ලගේ මහතා අතට අමාත්‍යාංශ ‍ෙදාරටුව අබියසදී සමෘද්ධි අයිතීන් සුරැකීමේ ජාතික පෙරමුණේ ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එස්.ඒ.ඩී. ජගත් කුමාර මහතා විසින් සමෘද්ධි ව්‍යාපාරයේ මතුවී ඇති ප්‍රධාන ගැටලු සඳහන් සන්දේශයක් භාරදුනි. අනතුරුව සමාජ සවිබල ගැන්වීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසුවේ මේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන බවය.

දයාන් උසස් නිලතල
කාරක සභාව බෙදයි

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස නම් කර ඇති ආචාර්ය දයාන් ජයතිලක සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දින තුනක දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව පිළිගැනීමක් සිදුවිය.

එක් තනතුරක් සම්බන්ධයෙන් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ පැවැති දීර්ඝතම සාකච්ඡාව මෙය වීමද විශේෂත්වයකි.

කාරක සභාවේ සාමාජිකත්වය මෙහිදී බෙදීමක් ඇතිවූ අතර එහිදී බහුතර කැමැත්තෙන් ආචාර්ය දයාන් ජයතිලක එම තනතුරට පත්කිරීමට තීරණය වී තිබේ. පසුගිය 7 වැනිදා ශ්‍රීලනිප මන්ත්‍රි වෝල්ටර් ජානක බස්නාහිර පළාත් සභාවට හැට්ටයක් ගෙන ඒම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය. අදාළ මන්ත්‍රිවරයා විසින් සිය ප්‍රතිපාදන යොදා සිදුකළ ව්‍යාපෘති කිහිපයක් ප්‍රමිතියෙන් තොරවීම නිසා සිදුව ඇති මුදල් නාස්තිය පිළිබඳ ජවිපෙ මන්ත්‍රි මහින්ද ජයසිංහ කීප වතාවක් ප්‍රශ්න කර තිබේ. නමුත් එම ප්‍රශ්නයට පිළිතුරු දීම දිනෙන් දින කල් දැමීමට ඇමැතිවරයා කටයුතු කර තිබේ. පසුගිය සතියේ සභාවාරයේදීද ජවිපෙ මන්ත්‍රිවරයා මෙම ප්‍රශ්නය නැවතත් විමසූ අවස්ථාවේදී පළාත් ඇමැතිවරයා පිළිතුරු දීමට කල් ඉල්ලා සිටියේය. නමුත් චෝදනාවට ලක්වී ඇති මන්ත්‍රිවරයා නැඟිට ප්‍රශ්න කිරීම ගැන ප්‍රශ්න කළේ පදනම් විරහිතව චෝදනා එල්ල කරන බව පවසමිනි. එතැනින් නොනැවතුණු මන්ත්‍රිවරයා තමන් රැගෙන ආ හැට්ටයක්ද පෙන්වමින් කියා සිටියේ මේවා ඕපදූප කතා බවය. "මන්ත්‍රිතුමා ඊයේ ගලවගත්ත එකක් අමතක වෙලා සභාවට ගෙනැල්ලා. මේ ව්‍යාපෘතිවල ප්‍රමිතියක් නෑ. පාසලක් ළඟ හදපු කානුවලට ළමයි වැටෙනවා. පාලම්වලින් මිනිස්සු යන්න බයයි. ඒ නිසා මේ ගැන හොයලා බලන්න ඕනෑ. මේ ප්‍රශ්නයට ඇමැතිවරයා උත්තරයක් දෙන්න ඕනෑ. ඇත්ත හෙළිවුණාම හැට්ටය අඳින්න වෙන්නේ ගෙනාපු කෙනාටම තමයි" මහින්ද ජයසිංහ කියනවාත් සමඟම අදාළ මන්ත්‍රිවරයා හැට්ටයද සඟවාගෙන අසුන් ගත්තේය.

මන්ත්‍රි පුටුවකට ලක්ෂ හයහමාරක් ජවිපෙ මන්ත්‍රිගෙන් ආණ්ඩුකාරවරයාට පැමිණිල්ලක්

බස්නාහිර පළාත් සභාව සඳහා බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකළ නව ගොඩනැඟිල්ලට මේ දිනවල කාර්යාලයීය උපකරණ ඇණවුම් කරමින් තිබේ. මේ අතර පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ සභා ශාලාව සඳහා මන්ත්‍රි ආසන ගෙන්වීමට කටයුතු කෙරෙමින් ඇති බව පසුගියදා පැවැති සභා කටයුතු කාරක සභාවේදී හෙළි විය. පුදුමයට කාරණය වන්නේ මන්ත්‍රිවරයකු සඳහා ගෙන්වීමට තීරණය කර ඇති පුටුවක මිල ලක්ෂ හයහමාරකට ආසන්න මුදලක් වීමයි. මේ පිළිබඳ ජවිපෙ මන්ත්‍රි ලක්ස්මන් නිපුණආරච්චි ආණ්ඩුකාරවරයාට ලිඛිත පැමිණිල්ලක් කිරීමට කටයුතු කර තිබේ. අධික වියදමක් දරා මෙවැනි භාණ්ඩ ගෙන්වීමට අවසර ලබාදුන්නේ කවුරුන්ද යන්න සොයා බලන ලෙසත් එම තීරණය වහාම අවලංගු කරන ලෙසත් මන්ත්‍රිවරයා ඉල්ලා තිබේ. "පළාත් සභා ගොඩනැඟිල්ල හදලා තවම වැඩ පටන්ගෙන නැහැ. ගොඩනැඟිල්ල හදපු එක ගැන සමහරුන්ගෙ ප්‍රසාදයක් තියෙනවා. ඒ ප්‍රසාදය පාවිච්චි කරලා දැන් මේ වගේ මගඩි කරන්න හදනවා. මේ විදියට මුදල් නාස්ති කරන්න අවසර දෙන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. කොහොමත් මේ විදියට ලොකු මුදලක් වෙන්කරගත්තාම මේකෙන් වැඩි ගාණක් ගසාකන්න පුළුවන්" මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

රුචිර දිලාන් මධුසංඛ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon