කාලෝ අයංතෙ !

  👤  3813 readers have read this article !
2018-08-13

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අවුරුදු 16කට අත්හිටවූ අවුරුදු හයක සිරදඬුවමක් නියම වූයේ ඉකුත් සතියේය. ඒ අධිකරණයට අපහාස කළ වරදටය. නඩුවක සාක්කිකාරියකට අධිකරණ භූමියේදී තර්ජනය කළ වරදට මීට පෙර ඒහිමියන්ට මාස හයක සිරදඬුවමක් නියමවී තිබිණි.

බෞද්ධ භික්‍ෂුවකට මෙවැනි චෝදනා එල්ලවීම කිසිසේත් අනුමත කළ නොහැකිය.කෝටියක් සංවරශීලය තිබිය යුතු යැයි පැවසෙන බෞද්ධ භික්‍ෂුව 'විනය' පිළිබඳ දෝෂාරෝපණයකට සඟ සසුනට ලක්වීම හිතකර නැත.

ඉකුත් සිකුරාදා දිනපතා 'මව්බිම' පළ කළ වාර්තාවක දැක්වූයේ මීරිගම ප්‍රදේශයේ භික්‍ෂුවක් මිථ්‍යා මත ප්‍රකාශ කරමින් බුද්ධ ශාසනයට හානිකර ලෙස කටයුතු කරන බවය. මීරිගම පොලිසිය ඉදිරිපිටට රැස්වූ තෛ්‍රනිකායික හිමිවරුන් පිරිසක් පොලිසියෙන් ඉල්ලා ඇත්තේ මේ 'චීවරධාරියා'ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

මේ භික්‍ෂු පිරිස පස්යාල, ගිරිඋල්ල මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් මේ විරෝධතාවේ නිරතව ඇත. මාර්ගය අවහිර නොකරන ලෙස මීරිගම පොලිස්ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීම මේ පිරිස ප්‍රතික්ෂේප කර තිබේ. ඒ නිසා ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ පස්යාල - ගිරිඋල්ල මාර්ගයේ කිලෝමීටර් තුනකට ආසන්න දුරකට වාහන තදබදයක් ඇතිව තිබූ බව අදාළ වාර්තාවේ සඳහන් විය.

මේ භික්‍ෂු පිරිස එල්ල කරන චෝදනාව සත්‍යද? අසත්‍යද? යන්න නොදන්නා නමුත් බෞද්ධ භික්‍ෂුන් හතර වැනි සිල් පදය සමාදන්ව ඇති නිසා ඔවුන් පවසන්නේ සත්‍යය යැයි අපි සිතමු. යම් පුද්ගලයකු චීවරය දරාගෙන බෞද්ධ ධර්මයට විරුද්ධව හැසිරෙන්නේ නම් ඊට එරෙහිව අනිවාර්යයෙන් පියවරක් ගත යුතුය. එහෙත් පොලිසියට මෙලෙස බලපෑම් කරමින් මහාමාර්ග අවහිර කරමින් ජනතාවට පීඩා කරමින් හැසිරීමෙන් සෙසු භික්‍ෂුන් කරන්නේද බුද්ධ ධර්මයට නොඑසේනම් බුද්ධ ශාසනයට හානියකි. විනය හා නිහඬ බව උතුම් කොට සැලකූ ගෞතම බුදුන් වහන්සේ අනුදත් මඟ යන්නන් එලෙස හැසිරීම සුදුසු නැත.

බෞද්ධ ධර්මය දේශනා කරන බව කියමින් මිථ්‍යා මත වපුරන්නෝ මෙරට ගිහි, පැවිදි දෙපාර්ශ්වයේ ඕනෑ තරම් සිටිති. ඇතැම් බෞද්ධ භික්‍ෂුන්ගේ ප්‍රකාශවලට සවන්දෙන බෞද්ධ ධර්මයේ මූලිකාංග පිළිබඳව යම් අවබෝධයක් ඇත්තන්ට පවා ලැජ්ජාවක්, කේන්තියක් පැමිනේ. තෛ්‍රනිකායික නායක භික්‍ෂුන් ඇතුළු සියලු දෙනා මේ ගැන දැඩි අවධානය යොමු කළ යුතුය. මීරිගම සිටින බව කියන ඊනියා භික්‍ෂුව වැන්නන් බිහිවීමට මේ අවාසනාවන්ත තත්ත්වය දැඩි ලෙස බලපා ඇත.

මිථ්‍යා මත වපුරන චීවරධාරියකු අල්ලා දඬුවම් දීමෙන් පමණක් බුද්ධ ශාසනයට වන හානිය අවම වන්නේ නැත. සමස්ත තත්ත්වය තුළ බුද්ධ ශාසනය දැඩි පිරිහීමකට බඳුන්වෙමින් පවතින බව ධර්මධර, විනයධර බෞද්ධ භික්‍ෂුන්ගේ අදහසය. යති පරපුරක් විසින් බැබළවූ මෙරට බුද්ධ ශාසනය, බුද්ධ දේශනාව අනුව යමින් රැක ගැනීමට නම් තෛ්‍රනිකායික බෞද්ධ භික්‍ෂුන් එකතුවී සංඝායනාවක් පැවැත්විය යුතු කාලය එළැඹ ඇත.

කාලෝ අයංතෙ!

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon