බස්නාහිර පුටු හුටපටය

  👤  3083 readers have read this article !
2018-08-14

බස්නාහිර පළාත් සභාවට ඉදිකර ඇති නව ගොඩනැඟිල්ලට අලුත් ගෘහ භාණ්ඩ ඇණවුම් කර ඇත. අලුත් පුටු 104ක්ද ඒ අතර තිබේ. ඒ මන්ත්‍රිවරුන්ට අසුන් ගැනීමටය. අලුත් පුටු ඇණවුම් කිරීමේ අවුලක් නැත. අවුල වී ඇත්තේ පුටුවලට වැය වන මුදලය.


ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි ලක්ෂ්මන් නිපුණආරච්චි හෙළි කළ පරිදි මේ එක් පුටුවක් රුපියල් හයලක්ෂ පන්දහසකි. පුටු තොගයට බස්නාහිර පළාතේ ජනතාවගේ බදු මුදලින් රුපියල් හයකෝටි පනස් ලක්ෂයකට අධික ගණනක් වැය වෙයි. අදාළ පාර්ශ්වයන්ගේ සාක්කුවලට යන කොමිස් මුදල සුළුපටු නැත.


බස්නාහිර පළාත් පක්ෂ-විපක්ෂ මන්ත්‍රිවරුන් සියලු දෙනා මේ පුටු කතාව දන්නා මුත් ඒ අතරින් කිසිවකු එය රටට හෙළි කළේ නැත. ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂ්මන් නිපුණආරච්චි ප්‍රමුඛ මන්ත්‍රි පිරිසට හෘද සාක්ෂියක් තිබුණු නිසා 'පුටු' ඇණවුම තාවකාලිකව නතර කරගැනීමට හැකි විය. ඒ නියෝගය දුන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාරටද ස්තිතුවන්ත විය යුතුය.


රටම ආර්ථික සමාජයීය දේශපාලන අර්බුදයකය. බස්නාහිර පළාත් සභාව විශාල ආදායමක් ඇති තැනක් බව ඇත්තය. එහෙත් පළාතේ ප්‍රශ්න නිමක් නැත. මහ ඇමැති ඇතුළු ආණ්ඩු පක්ෂයේ වගකීම ඒ ප්‍රශ්න විසඳීමට මුදල් යෙදවීම මිස පස්ස තියන්න මෙතරම් වටිනා පුටු ඇණවුම් කිරීම නොවේය.


පුටු නැති, වැසිකිළි නැති, පානීය ජලය නැති, විදුලිය නැති, අධ්‍යාපනයට අවශ්‍ය උපකරණ නැති, පාසල්" කීයක් බස්නාහිර පළාතේ තිබේද? දැවෙන ප්‍රශ්න පළාතේ කොපමණද? එසේ තිබියදී කෝටි ගණන් වැය කරමින් පුටු මිලදී ගැනීමට තීරණය කළවුන්ට මොළේ කළඳක් තිබෙනවාද? ඊට අනුමැතිය දුන් ගොනා කවුද. ඊනියා ජනතා පුත්‍රයන්ට මෙවැනි දේට එකඟත්වය පළ කිරීමෙන් ඔවුන්ගේ 'හෙලුව' රටටම නිරාවරණය වී ඇත.


පාර්ලිමේන්තුවේ සිටින්නේද පළාත් සභාවල සිටින්නන්ට වෙනස් පිරිසක් නොවේ. හිටපු ඇමැතිවරුන් 'පස්ස' තැබූ මෝටර් රියවල තමන්ට හිඳගෙන යෑමට නොහැකි බව කියා අලුත්ම නිල රථ ඉල්ලූ මැති ඇමැතිවරුන් එහි සිටී. ඊනියා මහජන නියෝජිතයන් රැළ සුවපහසු පුටු ඉල්ලන්නේ හිඳගත් විට මොළේට අනතුරක් වේ යැයි සිතා විය යුතුය. එලෙස බැලූ විට කෝටි ගණනක් වැයකර හෝ පුටු ගෙන්වා මේ පිරිසගේ මොළේ ආරක්ෂා කරගත යුතුය. නොඑසේ නම් රට පාලනය කිරීමට කිසිවකු නැති වනු ඇත. එසේ වුවහොත් කාට කියන්නද?


අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිටි එකම ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයාට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මොළේ අහවල් තැන ඇති පිරිසක් පහර දීමෙන් ඔහු දැඩි ලෙස ගිලන්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඒ නිසා රෝගීහු දැඩි අසීරුතාවට පත්ව ඇත. මේ කාරණය බස්නාහිර පළාතේ පුටු ප්‍රශ්නයට අදාළ වන්නේ කෙසේදැයි අයකුට සිතීම සාධාරණය.


අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් නොව මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්කවල ස්නායු රෝගීන් සැත්කම්වලට බඳුන් කෙරෙන ප්‍රධාන රෝහල අනුරාධපුර ශික්ෂණ රෝහලය. ඒ රෝහලේ සිටින්නේද එක් විශේෂඥ වෛද්‍යවරයකු පමණි. ඊනියා මහජන නියෝජිතයෝ ජනතාවගේ බදු මුදල්වලින් පස්සට සැප දීම සඳහා රුපියල් කෝටි ගණන් වැයකර 'පුටු' ගෙන්වන්නේද මැති ඇමැතිවරු අලුත් සැප කාර් ඉල්ලන්නේද රටේ මෙවැනි තත්ත්වයක් තිබියදීය. වළකට වැටීම මොළේට ලාභයක් යැයි මාඕ සේතුං පැවැසීය. එහෙත් එය ලාභයක් වන්නේ මොළයක් තිබෙන්නේ නම් පමණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon