ජන බලය පෙන්නන්නට කාලය පැමිණ ඇත

  👤  3480 readers have read this article !
2018-08-14

පසුගිය සතියේ ආරම්භ වූ දුම්රිය වැඩ වර්ජනය සාමාන්‍ය ජනතාව දැඩි අසීරුවක දැමුවේ එය අනපේක්‍ෂිත අවස්ථාවක ඇරඹුණ නිසාය. සාමාන්‍යයෙන් වැඩ වර්ජනයකට පෙර පූර්ව දැනුම් දීමක් කෙරුණද මෙවර එය සිදුනොවී වැඩ වර්ජනය හදිසියේ ආරම්භ වීම නිසා සවස රාජකාරි අවසන් කොට දුම්රියෙන් නිවෙස් බලා යෑමට පැමිණි මගීන් විශාල පිරිසක් අසීරුතාවට පත්වූ අතර ඔවුන් දුම්රිය ස්ථාන ඉදිරිපිට උද්ඝෝෂණය කරනා ආකාරය රටේ සියලුම ජනතාවට ප්‍රවෘත්ති හරහා දක්නට ලැබිණි. කුපිත වූ සමහරක් මගීහු රාජ්‍ය දේපළවලට හානි කළ අතර දුම්රිය වැඩ වර්ජකයන් යැයි හඳුනාගත් කිහිප දෙනකුට ජනතාව පහර දුන් බවද වාර්තා විය.


දුම්රිය වර්ජනයට දින කිහිපයකට පෙර රජයේ වෛද්‍යවරුන්ද එක් දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර ඉන් අගතියට පත්වූයේද සාමාන්‍ය ජනතාවමය.
දිනෙන් දින ඉහළ යන මෙබඳු වර්ජන නිසා පෞද්ගලික අසීරුතාවන්ට මහජනතාව පත්වන විට ‍ෙදාස් තැබිය යුත්තේ කාටද කියාවත් තීරණය කරගත නොහැකි තරමට අද ජනතාව අසරණ වී ඇත.


වැඩ වර්ජනයක් යනු සාමාන්‍යයෙන් යම් අයිතිවාසිකමක් දිනා ගැනීම සඳහා ඉතිහාසය පුරා සේවකයන් විසින් භාවිත කරනු ලබන අවසාන තුරුම්පුවයි. තම ඉල්ලීම්වලට පාලකයන් කන් නොදෙන බවට තහවුරු වූ විට තම අවසන් අවිය ලෙස වැඩ වර්ජන භාවිත කිරීමට වෘත්තීය සමිති තීරණය කරන්නේ යම් විසඳුමක් දීම සඳහා පාලකයන්ට බල කිරීමටය.


දුම්රිය වැඩ වර්ජන ආරම්භ වූ දින මගීන් කුපිත වී කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණය කරන අතරතුර රූපවාහිනි නාළිකාවකින් පෙන්වූ වැටක් උඩට නැඟ කතාවක් පවත්වන තරුණයකුගේ ආවේගකාරී ප්‍රකාශ කිහිපයක් තුළින් රට අද පත්ව ඇති තත්ත්වය ගැන ඉතා පැහැදිලි චිත්‍රයක් ලබා දෙයි.


'මතක තියාගන්න මිත්‍රවරුනි, අපේ රට දැන් පාලනය කරන්නේ හොරු රැළක්.'


'මේ මිනිස්සු දුක් විඳිනවා. අපේ දරුවෝ බලාගෙන ඉන්නවා අම්මලා, තාත්තලා ගෙදර එනකන්. පාලකයෝ වගේ නෙවෙයි ගෙදර ගිහිල්ලා හාල් හුණ්ඩුව ළිපේ තියල අපි ජීවත් වෙන්නේ. අපේ කර උඩින් බලයට ආපු පාලකයන්ට මේවා පෙනෙන්නේ නැද්ද?'


'අද රටේ නායකයෙක් නැහැ. අපේ රටට නායකත්වය දෙන්න තාම කොන්ද තියෙන පාලකයෙක් නැහැ.'
'මතක තියාගනිල්ලා ඊළඟ පාර කතිරේ ගහනකොට, ජන බලය ලොකුයි. හැම බලයටම වඩා ලොකුයි.'


පසුගිය සතියේ අප දුටුවේ පෞද්ගලික ආයතනයක පාලකයන් හා සේවකයන් අතර ගැටුමක් නොවේ. ආණ්ඩුව හා රාජ්‍ය සේවකයන් පිරිසක් අතර ගැටුමකි. මෙම ගැටුමෙන් පීඩා වින්දේ ආණ්ඩුවේ රැකවරණය යටතේ සිටින මහජනතාවය. නමුත් ආණ්ඩුව මේ අවස්ථාවේ මහජනතාවගේ දුෂ්කරතාවන් අවම කරන්නට කිසිදු පලක් ඇති උත්සාහයක් ගත්තාද යන ගැටලුව මෙහිදී මතුවේ. මීට පෙරත් විවිධ වැඩ වර්ජන, විරෝධතා ආදිය හරහා ජනතාව අසීරුතාවට පත්වූ අවස්ථාවල කළාක් මෙන්ම ආණ්ඩුව මෙවරත් කළේ ප්‍රශ්නයට මුහුණ දෙනවා වෙනුවට කර ඇරීමට උත්සාහ කිරීමය.
වැඩ වර්ජන අතර රටේ ප්‍රධාන නායකයකු රැස්වීමක් අමතමින් කීවේ වැඩ වර්ජනවලින් ආණ්ඩුවට නොරිදෙන බවයි. යහපාලනය බලයට පැමිණි දා සිට අපි දකින්නේ ඔවුන්ගේ මේ ආකල්පය නොවේද? මෙවැනි ප්‍රකාශවලින් ගම්‍ය වන්නේ පසුගිය වසර කිහිපය තුළ ආණ්ඩුවත්, ජනතාවත් කෙතරම් දුරස්ථ වී ඇත්ද යන්නය. ඉහත කී තරුණයා ආවේගයෙන් ප්‍රකාශ කළාත් මෙන් මහජන ඡන්දයෙන් බලයට ආ පාලකයන්ට අද මහජන දුක වේදනාව අමතක වී ඇති සැටි කෙතරම් ඛේදජනකද?
සාලාව හමුදා කඳවුරේ පිපිරීමෙන් විනාශ වූ ගෙවල්වල ජනතාව අදත් පාරේ උද්ඝෝෂණ කළද ආණ්ඩුවට රිදෙන්නේ නැත.


මීතොටමුල්ලේ මියගිය අයට හා දේපළ හානි වූ අයට තවමත් වන්දි නැති වුණට ආණ්ඩුවට රිදෙන්නේ නැත.


ජලය, පොහොර නැතිව වගාවන් පාඩු වූ ගොවියන් ණය ගෙවා ගත නොහැකිව වස බොන විට ආණ්ඩුවට රිදෙන්නේ නැත.
එදා වේල පිරිමසා ගැනීමට අවශ්‍ය හාල්, පොල්, ලූනු, මිරිස්, එළවළු, මස්, මාළු, බිත්තර ඇතුළු සියලු ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ ගොස් පවුලට හරි හමන් ආහාරයක් ලබා දෙන්නට නොහැකිව මහජනතාව ලතැවෙන විට ආණ්ඩුවට රිදෙන්නේ නැත.


ඉතිහාසයේ කිසිදිනෙක නොවූ විරූ ආකාරයට රට පුරා මත්ද්‍රව්‍ය ප්‍රචලිතව රටේ අනාගත පරපුර විනාශයට යනු දුටුවද ආණ්ඩුවට රිදෙන්නේ නැත.
අලි-මිනිස් ගැටුම වළක්වන්නට ආණ්ඩුවට නිසි සැලස්මක් නොමැතිකම නිසා වන අලින් පහරදී අසරණ ගම්වැසියන් මිය යන විට ආණ්ඩුවට රිදෙන්නේ නැත. මහජනතාවට පාරේ තොටේ යන විට කාගේ හෝ ආරවුලකට මැදිව වෙඩි කා මැරෙන්නට සිදුවිය හැකි තරමට පාතාලය වර්ධනය වෙමින් තිබුණාට ආණ්ඩුවට රිදෙන්නේ නැත.


ඒ අනුව අසන්නට වන්නේ මහජන ඡන්දයෙන් බලයට ආ පාලකයන්ට රිදෙන්නේ කුමක් වූ විටද යන්නය. ව්‍යවස්ථානුකූලව ලංකාවේ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. සුප්‍රකට ඇමෙරිකානු ජනාධිපතිවරයකු වූ ඒබ්‍රහම් ලින්කන් වරක් පැහැදිලි කළ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් යනු 'ජනතාව විසින්ම, ජනතාව උදෙසා, ජනතාව පාලනය කරනු ලැබීමයි.'


එසේ නම් ජනතාව දුක් විඳින විට ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ ආණ්ඩුවට නොරිදෙන්නේ කෙසේද?


ජනතා උද්ඝෝෂණ, අකුරට වැඩ කිරීම, වැඩ වර්ජනය එදා මෙදා තුර සෑම ආණ්ඩුවක් යටතේම සිදුවී ඇත. නමුත් ප්‍රශ්න ඔඩු දුවන්නට පෙර ඒවා විස¼දා ගැනීමට ඒ ඒ ආණ්ඩුව ක්‍රියා කළේ මහජනතාව අසීරුවට පත් නොකර ප්‍රශ්න විස¼දා ගැනීම ආණ්ඩුවේ වගකීම නිසාය. අවාසනාවකට මෙන් 2015 වෙනසක් පැතූ අය පත්කරගෙන තිබෙන්නේ ජනතාව ගැන කිසිදු ආකාරයකින් සංවේදී නැති, ඒ බව ප්‍රසිද්ධියේ කීමටද බිය නැති පාලකයන් පිරිසකි.


අද රටේ උද්ගතව ඇති ප්‍රධාන ගැටලු සියල්ලටම මූලික හේතුව පාලකයන් ජනතා හඬට සංවේදී නොවීමයි.


පාලකයන් ජනතා හඬට සංවේදී නම් 30 වසරක ත්‍රස්තවාදයෙන් රට බේරාගත් රණවිරුවන් අනතුරේ හෙළන, අන්තවාදී දෙමළ ඩයස්පෝරාව පිනවන්නට බටහිර රටක් විසින් ඒක පාක්‍ෂිකව සකස් කරන ලද යෝජනාවලියකට බයට පත්වූ වහාම ජිනීවාවලදී සම අනුග්‍රාහකත්වය දක්වයිද?


පාලකයන් ජනතා හඬට සංවේදී නම් දශක ගණනාවකට පෙර සිට ලංකාවේ බොහෝ පාලකයන් තුළ පැවැති සිහිනයක් සැබෑ කරමින් ඉටුවූ අනාගතයේ ලංකාවේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානය වීමට නියමිත හම්බන්තොට වරාය රටට අහිමි කරයිද? ඒ සමඟ ආදායම් ඉපැයිය හැකි හෙක්ටයාර් දහස් ගණනක ඉඩම් රටට අහිමි කරයිද?


පාලකයන් ජනතා හඬට සංවේදී නම් ලංකාවට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළක අවශ්‍යතාව ඉටු කරමින් ඉදිවූ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට අතිශයින්ම වැදගත්වූ නිසි කළමනාකරණයක් තුළින් විශාල විදේශ විනිමයක් රටට ඉපයීමට හැකියාව ඇති, ලෝකයේ විශාලතම ගුවන් යානා පවා ගොඩබෑ හැකි මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබාදී ජාතික සම්පත් රටට අහිමි කරනවා පමණක් නොව චීනය හා ඉන්දියාව අතර අනාගතයේ ඇතිවිය හැකි යුද ගැටුමක අනිසි විපාක අපේ රටට විඳින්නට සිදුවන තත්ත්වයක් නිර්මාණය කරාවිද?


පාලකයන් ජනතා හඬට සංවේදී නම් පළපුරුද්දෙන් තොර ඉතාම දුර්වල ඇමැතිවරයකු හා නිලධාරීන් පිරිසක් විසින් ලංකාව නියෝජනය කරමින් සිංගප්පූරුවේ හා ඉන්දියාවේ ඉතා දක්‍ෂ පළපුරුදු දක්‍ෂ ඇමැතිවරුන් හා නියෝජිතයන් සමඟ සාකච්ඡා කොට එකඟවූ ලංකාවට ඉතා අවාසි සහගත කොන්දේසිවලින් පිරුණු, ලංකාවේ ව්‍යාපාරිකයන්ට, වෘත්තිකයන්ට පමණක් නොව සාමාන්‍ය වැඩ කරන ජනතාවට පවා ඉතා අනර්ථකාරී ප්‍රතිඵල ගෙන දෙන වෙළෙඳ ගිවිසුම්වලට අස්සන් කරාවිද?


පාලකයන් ජනතා හඬට සංවේදී නම් ලෙයින් කඳුළින් දිනූ දේශය යළි දෙකඩ කරන්නට අන්තවාදීන් හා ඔවුන්ට උඩගෙඩි දෙන බටහිර බලවේග විසින් ඉතා සූක්‍ෂ්ම ලෙස සැලසුම් කරන ක්‍රියාවලියක තීරණාත්මක පියවරක් වන නව ව්‍යවස්ථාවක් පස්සා ‍ෙදාරෙන් සම්මත කරගැනීමේ කුමන්ත්‍රණයක් සැලසුම් කරයිද?


පාලකයන් ජනතා හඬට සංවේදී නම් ජීවන බරෙන් තැළී පෙළී සිටින ජනතාව මත තිබූ සියලු බදු සහන ඉවත් කරමින් 2014ට සාපේක්‍ෂව 2018 වන විට බදු බර 100%කින් ඉහළ දමාවිද?


පාලකයන් ජනතා හඬට සංවේදී නම් ජනතාව මෙතරම් ආර්ථික පීඩනකට ලක්වී ඇති යුගයක දිගින් දිගටම පාලකයන්ගේ වරප්‍රසාද වැඩි කරගනිමින්, වැටුප් වැඩි කරගනිමින්, කැබිනට් මණ්ඩලය පුළුල් කරමින්, කෝටි ගණන් වටිනා යාන වාහන ගෙන්වමින්, රජයේ නිවාස කාර්ය මණ්ඩල සහ තව තවත් පහසුකම් වැඩි කරමින් විශාල නාස්තියක් කරාවිද?


පාලකයන් ජනතා හඬට සංවේදී නම් වසර 3ක් තුළ රටේ ණය බර රුපියල් කෝටි තුන් ලක්‍ෂයකින් හෙවත් 40%කින් ඉහළ දමමින්, එසේ රැස්කර ගත් ණය මුදල් කිසිදු කල් පවතින ආයෝජනයකට නොයොදවමින් අනාගත පරපුර යළි ගොඩ ආ නොහැකි ණය උගුලක සිර කරාවිද? රටේ ආදායම් ඉපයිය හැකි සියලු ආයතන විකුණමින් අනාගතයේ තව තවත් ණය නොවී පවතින ණය ගෙවන්නට රජයකට ඇති සියලු අවස්ථා අහිමි කරාවිද?


අප මුහුණදී සිටින්නේ ඉතිහාසයේ සැබෑ ඛේදවාචකයකට බව වටහා ගැනීමට තවත් සාධක අවශ්‍යද?
අප යළිත් එදා කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආවේගවත් කතාවක් කළ තරුණයා කළ ප්‍රකාශය දෙස බලමු. ඒ 'මතක තියාගනිල්ලා ඊළඟ පාර කතිරෙ ගහනකොට, ජන බලයට ඔක්කොම යටයි.'


ඔහු කී දෙය සැබෑවකි. එහෙත් කතිරය ගසන්නට ආයිත් අවස්ථාවක් ලැබෙන්නේ කවදාද? වත්මන් ආණ්ඩුව කතිරයට ප්‍රියතාවක් නොදක්වන ආණ්ඩුවකි. බලයට ආදා සිට ඡන්ද මඟ හරින ආණ්ඩුවකි. පළාත් සභා ඡන්ද වසරකට වඩා කාලයක් ප්‍රමාද කළ ආණ්ඩුවකි. අද වන තුරු එකඳු ප්‍රාදේශීය සභා ඡන්දයක්වත් නොතියා කල් මරන ආණ්ඩුවකි. පාර්ලිමේන්තු පනත් හරහා පවා ඡන්ද කල් දමාගත් ආණ්ඩුවකි. මෙවැනි ආණ්ඩුවක් පාර්ලිමේන්තුව හරහාම මීළඟ ඡන්දයත් කල් දමා නොගනීවිය කියා ඇති විශ්වාසය කුමක්ද? ආණ්ඩුවේ සියලු යටි කූට්ටු වැඩ සැලසුම් කරන්නේ වරක් කළගෙඩි සෙල්ලමක් හරහා මහ මැතිවරණය වසර 6කින් කල්දමා ගත් දේශපාලන ඔස්තාර්ගේ බෑනා බව ජනතාව අමතක නොකළ යුතුය.


ඒ නිසා කතිරය ගසන්නට අවස්ථාව එන තුරු උඩ බලාගෙන නොසිට ආණ්ඩුවට සැබෑ ජන බලය පෙන්වීමට කාලය පැමිණ තිබේ. ඉක්මනින්ම කතිරය ගැසීමට අවස්ථාව ලබා ගැනීම එහි මූලික අරමුණ විය යුතුය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon