වැලිකඩ සිරකාරියෝ

  👤  3247 readers have read this article !
2018-08-17

වැලිකඩ සිරකාරිනියන් පිරිස වහලෙන් බැස ගියේය. ඔවුන් සිරගෙදර වහලට නැග්ගේ ඉල්ලීම් කිහිපයක් දිනාගන්නටය. අධිකරණ ඇමැතිනිය නම් ප්‍රකාශ කළේ වහලයට නොව ඊට වැඩි උඩකට නැග්ගත් කිසිදු ඉල්ලීමක් ලබා නොදෙන බවය. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම් අතර කඩිනමින් ඇප ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් සපයා දීම, නිවෙස්වලින් ලැබෙන කෑම ලබා ගැනීමට සීමා නොපැමිණවීමද තිබී ඇත. කෙසේ වුවද මේ උද්ඝෝෂණයේ ඇත්ත අරමුණ අනෙකක් බව පළ විය. ඇමැතිනිය දැඩි තීරණයක සිටියේ ඒ නිසා විය යුතුය.

වහලේ උඩට නැග්ග සිරකාරිනියන් කුඩු වෙළෙන්දියන් කියා හැඳින්වීමට අපි කැමැති නැත. ඔවුන් මත්කුඩු වෙළෙ¼දාමට යොමුවූ සමාජ-ආර්ථික හේතු ගැන කතා නොකර ලේබල් ගසා පලක් නොවේ. මේ කිසිදු කාන්තාවක් මත්කුඩු විකුණා ජීවත් වීමට හෝ මෙලෙස සිරගතව දුක් විඳීමට හෝ ප්‍රාර්ථනා නොකළ බව විශ්වාසය.
අක්කර 48ක වපසරියක පිහිටුවා ඇති වැලිකඩ සිරගෙදර රැඳවිය හැකි පිරිසට වඩා දෙගුණයක පමණ පිරිසක් රඳවා සිටී. ඒ කියන්නේ වැලිකඩ යනු අපායකි. එවැනි තැනක රැඳී නොසිට ඇප ලබා ගැනීමට කවුරුත් කැමැතිය.

ඇප ඉල්ලන මේ කාන්තාවන් පිරිස අතර කුඩු වෙළෙන්දියන් මිස කුඩු ජාවාරම්කාරියන් සිටින බව නොපෙනේ. තෝරු මෝරු සිරගෙදර සිටම මත්කුඩු වෙළෙ¼දාම ජයටම කරගෙන යන බව නොරහසකි.

අධිකරණ ඇමැතිනිය ඉකුත් ජූලි 26දා වැලිකඩ බුද්ධි අංශය විසුරුවා හැරියේ මේ බව දැනගෙනය. එය ඇය ගත් නිර්භීත තීරණයකි. වැලිකඩ සිරගෙය ඇතුළට මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට පිහිටු වූ මේ බුද්ධි අංශයේ කට්ටිය අවසානයේ ජාවාරම්කරුවන් බවට පත්වූ බව ඇත්ත කතාවය. බුද්ධි ඒකකය වෙනුවට ඇමැතිනිය විසින් වැලිකඩට පොලිස් ඒකකයක් ලබාදී ඇත. එහෙත් අලුත් ඒකකය පිළිබඳවද අවධානයෙන් සිටිය යුත්තේ "දූෂණ විරෝධීන්" පවා දූෂණවලට හසුවන රටක අප ජීවත්වන නිසාය.

රාජපක්ෂ පාලන සමයේ වැලිකඩ සිරගෙදර ඇතිවූ සිරකරුවන්ගේ කැරැල්ලත් මැඬපැවැත්වූ ආණ්ඩුව සැලකිය යුතු සිරකරුවන් පිරිසක් මරා දමනු ලැබීය. සිද්ධියට අදාළ කමිටු වාර්තාවෙන් පැහැදිලි වන්නේ එය සිරකරුවන්ගේ කැරැල්ලක් නොවන බවය. කෙසේ වුවද මේ ආණ්ඩුව කාලයේ සිරකාරියන් වහලය උඩ නැග්ගාය. ඔවුනොවුන් ගුටි ඇන ගත්තා මිස අන් යමක් වූයේ නැත.

මහනුවර බෝගම්බර මෙන් වැලිකඩ සිරගෙයද බොරැල්ලෙන් ඉවත් කරන බව දැනගන්නට ඇත. එය ඉතා බුද්ධිමත් තීන්දුවකි. සිරකරුවන් මනුෂ්‍යයෝය. ඔවුන් එල්ලා මැරීම අසාධාරණය. ඔවුන්ට අමනුෂ්‍යයන්ට මෙන් සැලකීම ඊටත් වඩා අසාධාරණය. අලුත් සිරගෙවල් හදා සිරකාරියන්ට, සිරකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතුයි. වඩාත් වැදගත් වන්නේ සිරගෙවල් පිරී ඉතිරෙන මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කිරීමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon