චර්චිල්ගේ-ජේ.ආර්.ගේ සහ රනිල්ගේ ගැට

  👤  4226 readers have read this article !
2018-08-17

"නයකත්වයට පත්වන සියලු දෙනා සර්වනාසම්පූර්ණ වූවන් වන්නේ නැත. එහෙත් නායකත්ව ලක්‍ෂණ ප්‍රකටව පළ කරන්නෝ වෙත් නම් ඔවුන් තුළ පවත්නා වූ යම් යම් දුර්ගුණයන් ද අකාමකා දමන්නට පුළුවන්කම ලැබෙන්නේය. එහෙත් නායකත්වය දරා සිටිද්දී සතුරන් හා මිතුරන් කළමනාකරණය කරගෙන දුෂ්කර ගමනක්, දුෂ්කර මාවතක් ඔස්සේ යෑම තරම් අතිශය කටුක අත්දැකීමක් නොමැතිය. එහෙයින් ආවාට ගියාට කෙනකුට නායකයකු වන්නටද බැරිවනවා මෙන්ම එය දරා සිටින්නටද බැරිය. දරාගෙන දුර ගමනක් ගියේ නම් හේ සැබෑ නායකයකු වශයෙන් බැබළෙන්නේය. චර්චිල් ගැන කියන්නට ඇත්තේද එයය."

මේ දෙවැනි ලෝක යුද්ධය අධිෂ්ඨානයෙන් ජයගත් බි්‍රතාන්‍යයේ අසහාය නායක අගමැති වින්ස්ටන් චර්චිල් පිළිබඳව, බි්‍රතාන්‍යයේ කීර්තිමත් පුවත්පතක් වූ The Times හි එවක කර්තෘවර Robert mc Gowan Barigton - Ward සිය කතුවැකිය මඟින් පළ කළ අදහසය.

බි්‍රතාන්‍යය පමණක් නොව මුළු ලොවම මහත් අසීරු තැනක තිබියදී චර්චිල් සිහිනුවණින් ඉවසා දරා සිටිමින් යුද්ධය ජයගන්නට රටත් ජනතාවත් මෙහෙය වූ ආකාරයේ උණුසුම දැනී ඇති කතුවරයා එසේ සටහන් තැබීම අපටද දැනෙන යමක් පෙන්වන්නේය.

1785 ජනවාරි 1 දා The Daily Universe නමින් ලියාපදිංචි කොට මධ්‍ය දක්‍ෂිණාංශික මතයක් දරමින් පසුකාලීනව කොන්සර්වැටිව් පක්‍ෂයට බරව පළවූ බි්‍රතාන්‍යයේ The times පුවත් පත ඒ නිසාම කිව යුත්ත නොකියා සඟවා වෙනත් යමක් කීවේද නැත. චර්චිල්ට විරුද්ධවාදීන් පහර දෙද්දී එය පළ කරමින් මුළු මහත් බි්‍රතාන්‍යයම භීතියෙන් ඇලළී ගිය මොහොතක කොන්සර්වැටිව්වාදියකු වූ වින්ස්ටන් චර්චිල් අගමැතිවරයාව මුරුංගා අත්තේද නොතබමින් රටේ බරපතළකම වටහාගෙන පුවත්පත එසේ පෙර ගමන් යෑම ජනතාවාදී සද්ක්‍රියාවක් බවට පත්විණි. චර්චිල්ගේ ඉවසීමත් නායකත්ව ගුණයන් නොවෙන්නට ලෝක ඉතිහාසය වෙනස් වන්නට බොහෝදුරට ඉඩ තිබිණි.

මෙහි අපට වැදගත් වන විශේෂයක්ද ඇත.
චර්චිල් පිළිබඳව හොඳින් හැදෑරූ ඔහු පිළිබඳව කියවපු ජේ.ආර්.ගේ සටහන්වලට අනුව ඔහුද ඉන් ලබා ගත් දේ බොහෝය. ජේ.ආර්. දේශපාලනයේ සක්‍රියව සිටින මොහොතක චර්චිල්ගේ හැසිරීම, ඔහුට මහත් ආකර්ෂණය වූවක්ම වී තිබිණි.

මේ වෙද්දී ජේ.ආර්. ලංකාවේ අගමැති වීමට, ජනාධිපති වීමට හීනෙකින්වත් සිතා නොඉන්නට වූ තරම් කාලයකි. එසේ කීවද ඔහු තුළ වූ දැනුමින් පිරුණු ප්‍රයෝගික නායකත්ව ශෛලියක් හැඩගස්වා ගන්නා අත්දැකීම් ලබන කාලයක් විය. දෙවැනි ලෝකය සිදුවෙද්දී ජේ.ආර්.ට වයස අවුරුදු 36ක් තරම් විය. එය දේශපාලන ඉව සහ උනන්දුව උතුරා යන වයසකි. කළ යුතු දේ සහ නොකළ යුතු දේ හොඳින් දැන තම ගමන් මඟ හසුරුවාගත යුතු වන වයසකි. එහෙත් ඔහුට ඉහළින් ඩී.එස්., ඩඩ්ලි, කොතලාවල වැනි දැවැන්තයන් කිහිපදෙනකු සිටියදී ඒ හැම තැනකින්ම, පුද්ගලයකුගෙන්ම හේ උගත්තේය.

අද එක්සත් ජාතික පක්‍ෂයට නායකයන් අමුතුවෙන් හදා ගන්නට, පෙර පාසල් දැමිය යුතු වන තැනට වැඩ සිදුවෙද්දී ජේ.ආර්.ලා පෙළගැසුණු ආකාරය අද සිටින බාලයන්ට කියා දිය යුතු වන තත්ත්වයක් උද්ගත වීම මේ ප්‍රවේශය අතිශයින්ම අත්‍යවශ්‍ය කරුණක් වී ඇත.

ජේ.ආර්. අහම්බෙන් ගඟ දියේ ගසාගෙන ආ පොල් ලෙල්ලක් නොවේ. ඔහු එ.ජා.ප.ය නමැති දැවැන්ත ගස රෝපණය කරද්දී ඊට එක්වූ ප්‍රමුඛයන් අතර මැද පෙළේ අයෙකි. ඩී.එස්. ගිය මඟත් ඩඩ්ලි ගිය මඟත් සර් ජෝන් ගිය මඟත් හැදෑරූ ජේ.ආර්. නායකයකු වන්නට පෙර ප්‍රගුණ කළ යුතු අත්දැකීමෙන් හා පන්නරය ලැබිය යුතුය යන්න කෙතරම් හැදෑරුවේදැයි ජීවිතයේ වරින් වර පසක් කරගෙන කියා පෑවේය.

1994 මැයි 24 දා කොළඹ රොටරි සමාජයේ සාමාජිකත්වය අමතා ජේ.ආර්. කළ කතාව කාටත් දැන් අමතක වන්නට පුළුවන. එහෙත් එ.ජා.ප.යේ නායකයන් වන්නට සිතා සිටින්නන්ටත් එක්ක එයද මෙහි පෙළ ගැස්විය යුතුය.

"නායකත්වය නායකයන්ගේ ලක්‍ෂණ සමඟ මූලිකව බැඳී පවතින්නකි. ඒ නිසා නායකයන් ගැන කතා නොකර නායකත්වය ගැන කතා කිරීම අපහසුයි. විවිධ වර්ගයේ නායකයෝ සිටිනවා. අපිට ඔවුන්ව පෞද්ගලික ජීවිතයේදී, සාමාජීය ජීවිතයේදී, ක්‍රීඩාවලදී හා අනෙකුත් ක්‍රියාකාරකම්වලදී මුණගැසෙනවා. දේශපාලන ක්‍රියාකාරකම් තුළ ද විවිධ නායකයෝ සිටිනවා. හමුදා ක්‍රියාන්විතවලද නායකයෝ සිටිනවා. වසර 54ක මගේ දේශපාලන ක්‍රියාකාරකම් තුළ විවිධ නායකයන් මට මුණ ගැසී තියෙනවා.

"1931 සිට එවැනි නායකයන් ලංකාවේද සිටියා. බුද්ධ වර්ෂ 600ක් පමණ අෑතට ගිය අපගේ දීර්ඝ ඉතිහාසය තුළ පළමුවතාවට 1931දී අපට ඡන්ද බලය හිමි වුණා. අවුරුදු 60කට පසුව නිදහස මල්ඵල ගැන්වී ශක්තිමත් වුණා. ඒ නිසා අපට උරුම වුණු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවේශමෙන් වර්ධනය වීමට ඉඩහැරීම පිළිබඳය අපි ආඩම්බර විය යුතුයි. මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ 1931 සිට අපට විවිධ නායකයන් හමුවුණා."

ඩඩ්ලිත් එක්ක නොගැළපුණු තැන් තිබුණද ජේ.ආර්. එක්සත් ජාතික පක්‍ෂය අතහැර එම බලවේගය මොට වන ආකාරයට හැසිරුණේ නැත. එය පාක්‍ෂිකයාට පෙනෙන ආකාරයෙන් ෂේප් න්‍යායය අනුගමනය කරමින් බරපතළ යටි කූට්ටු වැඩ නොකළේය. කාට හෝ දෙවැනි වී පසුපසින් සිට රටට වැඩ කරන්නට ශික්‍ෂණයක් හා ඉවසීමක් සහිත වූයේ නම් ඒ හොඳ නායකත්ව ලකුණකි. ජේ.ආර්. ඉහත උත්සවයේදී මෙසේ ද කීවේය.

"මම දීර්ඝ කාලයක් තිස්සේ මගේ නායකයන්ට දෙවැනි වී කටයුතු කර තිබෙනවා. ලොව පුරා මිනිසුන් තමන්ගේ නායකයන් අබිබවා යෑමට කටයුතු කරන බවත් අපි දන්නවා. අපි ඒ වගේ හැසිරීම් ධෛර්යත් නොකළ යුතු බවයි මගේ අදහස. ඒකට හේතුව ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මිනිසුන් විසින් මිනිසුන් සඳහා තෝරා පත් කරනු ලබන දෙයක් නිසායි. එක්තරා ශේ‍ර්ෂ්ඨ මිනිසෙක් වන වින්ස්ටන් චර්චිල් ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් දෙවැනි පෙළ තෙවැනි පෙළ නායකයෙක්ව සිටියා. ඔහුට එංගලන්තයේ අගමැති වීමට හැකි වූයේ දෙවැනි ලෝක යුද්ධයේ අවසානයට ළඟාවීමෙන් පසුවයි. නායකත්වයට නායකයකු වීමට ඉවසීම අතවශ්‍ය දෙයක්."

චර්චිල් හැදෑරූ ජේ.ආර්. තම සිතැඟි නොවළහා පවසමින් තමන්ගෙන් පසු බිහිවන බිහිවන්නට සිටින නායක පෙළට ඇසෙන්නට කීවේය. එම කතාවේදීම එය ඔහු හොඳ තැනකකට ගෙනැවිත් මෙසේ පැහැදිලි කළේය.

"මම අවුරුදු ගණනක් දෙවැනි පෙළ නායකයකුව ඉන්නා කාලේ මගේ යාළුවෙක් මට කිව්වා... ජේ.ආර්. කනගාටු වෙන්න එපා. දේශපාලනයේ තියෙන්නේ "ස්ටේයර්ස් රේස්" එකක් කියලා. ඒ කියන්නේ රේස් ඔට්ටුවක් කියලා. මම දන්නේ නෑ ඔබලාගෙන් කවුරු හරි ඔට්ටු අල්ලන කෙනෙක්ද කියලා. අපිට නුවරඑළියේ හැර තරග නෑ.නමුත් රේස් ඔට්ටුවක් තියන්න තරගකරුවෙක් මිනිහෙක් හරි අශ්වයෙක් හරි ඉන්න ඕන. අසල්වැසියාට ඉහළින් යන්න හරි පයින් ගහන්න හරි අනෙකුත් අය අතුරුදහන් වනතුරු හරි ඉන්න උත්සාහ ගන්න ඕන. එම නිසා දේශපාලනඥයකුට හොඳ සෞඛ්‍යයක් අවශ්‍යයි. ඔබගේ වකුගඩු, හෘදය ගැන බලන්න. ටිකක් කන්න. වැඩි වෙහෙසකාරි ව්‍යායාම් නොකරන්න. අවසානයේදී ඔබ "ස්ටේයර්ස් රේස්" එකේ තරගයෙන් දිනනවා. ඔබ දේශපාලනඥයකු නම් ඔබ නායකයා වෙනවා."

ජේ.ආර්. ඇතැම් විට තමන් වටා නායකයන් වන්නට සිටි අයට ඇහෙන්න දැනෙන්න මීට පෙරත් කතා කර කීවේ නායකයා වෙන්න පුරුදු වෙයල්ලා කියලා විය යුතුය.
ජේ.ආර්. අද නැති වුණත් ඔහු පෙළගැස්වූ එ.ජා.ප.ය හා ඔහු පෙළගැස්වූ ව්‍යවස්ථාව තවමත් නොමැරී පවතින්නේය. කොතෙක් නම් ආලවට්ටම් කතා කීවද කාටවත් ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව මුළුමනින්ම ඉවත් කර දමන්නට බැරි වුණේය. ජේ.ආර්. කියූ දෙවැනි පෙළ නායකයන්ට මේ පාඩම්වලට වඩා හොඳ පාඩම් මේ යැයි කියන්නටද බැරි වූයේය.

රනිල් සහ එ.ජා.ප.ය මේ මොහොතේ ගත කරන්නේ එ.ජා.ප.යේ ඉතා තීරණාත්මක කඩඉමක් වන නිසා මෙය කිව යුතුය. ඉවසීම අතින් ජේ.ආර්.ගේ ඉවසීම මේ යැයි පෙන්වමින් රනිල් තෙම්පරාදු වී සිටින්නේය. ඔහු මේ වන විට ඉතිහාසයේ කිසිදු නායකයකු මුහුණ නොදුන් ආකාරයේ අර්බුද ගණනාවකට මුහුණ දෙමින් අතිශය තීරණාත්මක කඩඉමක් පසු කරමින් සිටින්නේය.

තමන්ගේම පිලේ ඇත්තන් කඩාගෙන එහාට මෙහාට පනිද්දී ඉවසූ රනිල් කිසිවකුත් නොසිතූ නොපැතූ වෙලාවක එස්.බී. වැනි මහ ලේකම්වරයකු ඇතුළු රොත්තක් කඩාගෙන රතු අලි, නිල් අලි, කොළ අලි සහිත යූ.එන්.පී. ආණ්ඩුවක් හදලා පෙන්නුවේය. එහෙත් චන්ද්‍රිකා වටා උන් හැමදාමත් විවේචන, විචාර හා කොරහේ කිඹුලන් දකින්නවුන්ගේ උපදෙස් පරිදි රනිල්ගේ ආණ්ඩුව වැට්ට වූවේය.

ඒ වැට්ටිල්ල හීන් සීරුවේ අධ්‍යයනය කළ රනිල් ඒ නිසා හිතේ අමාරුවෙන් වැලපෙන්නට ගියේ නැත.
ඉවසා කල් යල් බලා සිටියේය. නියම කාලයට තාලයට වෙඩි නූල පත්තු කරන්නට මාන බලමින් උන්නේය. ඒ අතර පරාජයන් බොහෝ විය. ඒ නිසාම පක්‍ෂයේ තෙරපුම වැඩි වී ඇච්චන් බැච්චන්ගේ අපවාදයනටද ලක් විය.

"දෙයි හාමුදුරුවනේ නම්බු පිටින් තමුන්නාන්සේ මේ පක්‍ෂය දාලා යන්න" යැයි මුහුණටම කියද්දීත් ඉවසා දරා උන්නේය. ඇතැමුන් කල්ලි ගැසී උප්පරවැට්ටි දමමින් හොරා පොලිස් සෙල්ලමේ යෙදෙද්දී ද ඒවා නොදැක්කා මෙන් සිටියේය. එසේ ඉවසා ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයකු යළිත් එම පක්‍ෂයෙන්ම කඩාගෙන තමන්ට එදා වින කළ චන්ද්‍රිකාගේද උදව්වෙන් ආණ්ඩුවක් හදා එහි අගමැතිද වූයේය.

දැන් තියෙන්නේ ඒ ආණ්ඩුව වට්ටන හදිසි කූට උත්සාහයක් අබිමුවය. කවුරුත් සිතා සිටින්නේ මෛත්‍රි හා රනිල්ට ගෙදර යන්නට වන බවය. එහෙත් රනිල් සීරුවෙන්ය. සුපුරුදු ඉවසීමෙන්ය. මොන උප්පරවැට්ටි තිබුණත් ජේ.ආර්. කියා දුන්, චර්චිල් කියා දුන් පාඩම් රනිල්ට අමතක වන්නට බැරිය. ඒ නිසා නායක ඉනිමක් ක්‍රීඩා කරන රනිල් මීට මුහුණ දෙන ආකාරය දැනගන්නට හැකිවන්නේ ඉදිරියටය.

සරලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon