යේසුතුමාගේ චිත්‍රයට සමාන තාගෝර්ගේ දර්ශනයට මා සිත ඇදී ගියා

  👤  3770 readers have read this article !
2018-08-19

ශි්‍රයානි අජන්තා විතාන

නිවාඩුවෙන් පසු ශාන්ති නිකේතනය ආරම්භ විය. නිවාඩු සමයේදී ගම් රටවලට ගොස් සිටි ගුරු සිසු දෙපිරිස ආපසු පැමිණීමෙන් මෙතෙක් පාළු පිට්ටනියක්ව පැවැති ශාන්ති නිකේතනයට නව පණක් ලැබුණා මෙන් නිහැ¾ඩියාව බිඳී ගියේය. උදේ පාන්දර නැඟිට ස්නානය කොට විනාඩි දහයක් පමණ භාවනානුයෝගීව සිට යමක් වළ¼දා කවුරුත් දේව ස්තෝත්‍ර කියා ඉගෙනීමෙහි වැඩ ආරම්භ කළහ. තැන් තැන්වල ගස් යට පැවැත්වූ පන්ති දකින කා තුළ හෝ ඇති වනුයේ අමුතුම හැඟීමකි. තමා ඒ අතිපැරැණි තක්සලා විශ්වවිද්‍යාලය බැලීමට පැමිණියේද යන හැඟීමකි.

අප සමඟ ශාන්ති නිකේතනයට ඇතුළු වූ විමලානන්දට හෝ දේවානන්ද නමැති අනෙක් ළමයාට හෝ මට හෝ කිසිම භාෂාවක් කතා කිරීමට බැරි වීම නිසා ටික දිනක් යනතුරු අපට කිසිවක් කර කියාගත නොහැකි විය. එහෙත් ඉහත කී ළමයින් කුඩා ළමයින් සමඟ නිතර සෙල්ලම් කිරීම ආදිය නිසා ඉක්මනට වංග භාෂාව කතා කිරීමට පටන් ගත්හ.
එහෙත් කුඹල්වැල්ලේ සිරිනිවාස තෙරුන්ටත්, මටත් භාෂාව නොදැනීම නිසා කලක් යනතුරු වූයේ ලොකුම කරදරයකි. සිරිනිවාස තෙරණුවන් ඉංගී්‍රසි ටිකක් කතා කළ නිසා උන්වහන්සේට තරමක පහසුකමක් ඇතිව තිබිණි.

කලක් යෑමෙන් අපට ද වංග භාෂාව කතා කළ හැකි විය. මේ දිනවල ඇමෙරිකාවේ සංචාරයක යෙදී සිටි රවින්ද්‍රනාථ තාගෝර්තුමා පෙරළා පැමිණියේය. එතුමා දුටු පළමු වාරය එයයි. කාගේත් සිත් ගන්නා ශාන්ත පෙනුමකින් යුත් එතුමාගේ සුදුවන් රැවුලත් දිගට බෙල්ලට වැටෙන්නට කපා තිබුණු කේශ කලාපයත් ඊට සුදුසු ඇඳුමත් මගේ සිත තදින් ඇද ගත්තේය. යේසුතුමාගේ චිත්‍රයට සමාන ශාන්ත පෙනුමකින් යුත් තාගෝර්ගේ ඒ දර්ශනයට මා හිත තදින් ඇදී ගියේය. අදත් ඒ පළමු දින පෙනුම මා සිත තුළ තදින් ඇදී පවතී. ඊට පසු බොහෝ අවස්ථාවල එතුමා හම්බ වුණත් ඒ පළමු දැකුම අදත් හොඳට මතක තිබේ. තාගෝර් කවියා නියම භාරතීය සෘෂි ගණයට අයත් ශාන්තුවරයෙක් යැයි සිතුවෙමි. ඒ දිනවල ශාන්ති නිකේතනයේ ඉගෙනීමෙහි යෙදී සිටි අපි, තාගෝර්තුමාට ජයමංගල ගාථාවලින් ආශීර්වාද කොට පිළිගතිමු.

ජගදානන්ද රායි මහතා පැරැණි ගුරුවරයෙකි. ඔහු අපට බෙහෙවින් හිතවත් විය. එතුමා වංග සාහිත්‍යයට විද්‍යාව සම්බන්ධ පොත් රාශියක් ලියූ උසස් ලේඛකයෙකි. ශාන්ති නිකේතනයේ ගණිතය ඉගැන්වූ මෙතුමා රසිකයෙක්ද විය. ප්‍රවෘත්ති පත්‍රය කියැවීමට පුරුදු කරගෙන සිටියේ තම ගණිත පන්තියේදීය. ළමයින්ට ගණන් සෑදීමට දී පත්‍රය බැලීම ඔහුගේ සිරිත විය. ගුරුතුමා ප්‍රවෘත්ති පත්‍රය බලන අතර ඇතැම් ළමයි එය ගණන් කොපි කිරීමටද අවස්ථාවක් කර ගනිති. එහෙත් එවැනි අවස්ථා කිසිදිනක ඔහුගේ දර්ශන පථයෙන් පිටු දැක්ක නොහැකි විය. ඔහු වහාම ළමයා අල්ලා ගත්තේය. ශිෂ්‍යයන්ට මෙය ප්‍රහේලිකාවක් විය.

දිනක් මේ ගැන පරීක්ෂාවෙන් සිටි අපට හොරය අල්ලා ගත හැකි විය. එනම් ඔහු පත්‍රයේ කුඩා සිදුරු කිහිපයක් සාදාගෙන ඒවායේ ආධාරයෙන් පන්තියේ ශිෂ්‍යයන් කරන කියන දේ බලා සිටීමයි. ජගදානන්ද බාබු දිනක් රාත්‍රි අටට පමණ මුට්ටියක් ගෙනැවිත් එය අපිට තෑගි කොට ලංකාවේ පිළිවෙළට උයනවා නම් හෙට දවාලට තමාද කෑමට එන බව කීවේය.

මුට්ටිය කුමක්දැයි පරීක්ෂා නොකොටම අපි එය ඇතුළු කාමරයට යැවීමු. ටික වෙලාවකට පසු මුට්ටිය ඇතුළේ ශබ්දයක් ඇසී ඒ කිම දැයි පිරික්සන විට මුට්ටිය ඇතුළේ දිග රැවුලින් යුත් මගුරන් කිහිප පළක් සිටින බව දක්නට හැකි විය. අපි හැකි තරම් සිනාසී ඒ වෙලාවේදීම ඔවුන් අසල වැවට ගෙන ගොස් දැමීමු. පසු දින රායි මහතා නාගෙන කෑමට පැමිණියේය. අප විස්තරය කියා අප මගුරන් කෑවත් සතුන් නොමරන බව කී විට රායි මහතා ශෝක වුණේ මගුරන් සිවුදෙනා මරාගෙන එන්නට නොහැකි වීම ගැනය. ඔහු ටික දිනක් යන තුරුම "මගුරු මාට්" (මගුරු මාළු) ගැන ඇති වූ ශෝකය අමතක කරන්නට නොහැකි විය.

රායි මහතා වංග ජාතිකයෙකි. වංග ජාතිකයෝ මස් මාළු ප්‍රිය කරති. මස් මාළු නැතහොත් එය කෑමක් වශයෙන් ඔවුන් පිළිගන්නේ නැත. උතුරු ඉන්දියාවේ මස් මාළු නොකන්නේ බිහාර්වාසීන් හා හින්දුස්ථාන් ජාතිකයන් පමණකි.

මේ අතර මට වඩාත් හොඳින් වංග භාෂාව කතා කළ හැකි විය. තාගෝර්තුමාද පෞද්ගලිකව හඳුනා ගැනීමෙන් ඔහු හමුවීමට නිතර යෑමටද පුරුදු වීමි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon