ධර්මිෂ්ඨ සමාජයක් සඳහා එළිමහනේ දිවුරුම් දීම

  👤  3693 readers have read this article !
2018-08-19

උදේනි සමන් කුමාර

මේ ඡායාරූපය තරමක අමුතු මාදිලියක එකකි. එළිමහන් උස් වේදිකාවක තිදෙනකු නැඟී සිටින අතර පහත පසු බිමෙහි ඔවුන් වටා ආරක්ෂක හමුදා සීරුවෙන් සිටින අන්දම පෙනේ. මෙහි සිටින තිදෙනා ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එලිනා ජයවර්ධන ආර්යාව සහ අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතාය.

මේ ස්ථානය අපට හුරු පුරුදු ගෝල්ෆේස් පිටියයි. මේ සිදුවන්නේ විධායක ජනාධිපති නිල වශයෙන් දිවුරුම දීමය. දිවුරුම් දීම සිදුවන්නේ අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ඉදිරියේය. ජනාධිපති ජයවර්ධන මහතා දිවුරුම් කියවන අතර අගවිනිසුරු ගාම්භීරතා සහිතව සීරුවෙන් සිටී. උදෑසන හිරු එළිය මුහුණට වැටෙන බැවින් ජයවර්ධන මැතිනිය අපහසුවෙන් සිටින බව පෙනේ.

මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැතියේ 1978 පෙබරවාරි 4 දින උදෑසන ගාලු මුව‍ෙදාර පිටියේය. ගාලු මුව‍ෙදාර පිටියේ පුටුවත් මේසයත් තබා දිවුරුම් දුන්නේ මොන එහෙකටද? රජ ගෙදරදී නැත්නම්, නිදහස් චතුරශ්‍රයේදී දිවුරුම් දෙන්න තිබුණා නොවේ දැයි කෙනකුට හිතෙන්නට බැරි නැත. එයට පිළිතුරු දීම අසීරුය. එයට පිළිතුරු දිය යුතුව තිබුණේ ජයවර්ධන මහතාමය. නමුත් එවැනි පැහැදිලි කිරීමක් කරන ලද බවක් දැනගන්නට නැත. සමහර විට මහේශාඛ්‍ය මන්දිරයක නොව ජනතාව අතර සිට විධායක ජනාධිපති දිවුරුම් දීමේ පොඩි ගතියක් ඇති නිසා එසේ කළා වන්නටද පුළුවන.

ධර්මිෂ්ඨ සමාජයක් ඇති කරන බවට ප්‍රතිඥා දුන් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 1977 මහ මැතිවරණය මෙරට දේශපාලනයේ සුවිශේෂ අවස්ථාවකි. 1977 ජූලි 22 පැවැති මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 168කින් 140ක්ම ලබාගන්නට ජයවර්ධන මහතා සමත් විය. දෙමළ එක්සත් පෙරමුණට ආසන 18ක් හිමි වූ අතර ශ්‍රී ලනිපයට හිමිවූයේ ආසන 8කි. මැතිවරණයත් සමඟ රට පුරා ජාතිවාදී කෝලහල පැනනැඟුණු අතර ජේ.ආර්. ජයවර්ධන අගමැති තනතුරෙහි දිවුරම් දුන්නේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කළ පරිසරයකය.

අගමැති තනතුරට පත්වීමෙන් පසු ජයවර්ධන මහතා තම දීර්ඝ කාලීන අභිමතාර්ථයන් මස්තකප්‍රාප්ත කර ගත්තේය. පූර්ණ බලැති විධායක ජනපති ක්‍රමය සහිත නව ව්‍යස්ථාවක් 1977 ඔක්තෝබර් 4 වැනිදා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කර ගත්තේය. ඒ වන විට ඔහුට හයෙන් පහක බලයක් තිබූ නිසා ඊට ගැටලුවක් තිබුණේද නැත. ඔබ දකින ඡායාරූපය ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවය.

සමහර විට ඒ මහතා මෙම දිවුරුම් දීමේ අවස්ථාව එළිමහනට රැගෙන ආවේ විධායක ජනපති ක්‍රමයට විරුද්ධව උද්ඝෝෂණයන්හි නියැළුණු සිරිමා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පිරිස්වලට කෝචොක් එකක් ලෙස වන්නටද බැරි නැත. කෙසේ වුවද ධර්මිෂ්ඨ ආණ්ඩුව හිතූ තරම් ධර්මිෂ්ඨ නොවන බව ජනතාවට වැටහෙන්නට වැඩිකල් ගියේ නැත. මේ සිද්ධියේ වඩාම අරුමය වන්නේ විධායක ජනපතිගේ ආණ්ඩුවට විරුද්ධව මුලින්ම කට ඇරියේ ඡායාරූපයේ සිටින අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා වීමය.

අගවිනිසුරුවරයා තමන් සහභාගි වූ උත්සවයකදී ඍජු ප්‍රකාශයක් කරමින් බඩු මිල වැඩි වීම නිසා මිනිසුන් අසීරුවට පත්ව ඇති බවත් රජයේ සේවකයන්ට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන නිසා ඔවුන් අල්ලස් ගැනීමට යොමු වන බවත් කීවේය. වෙලාවේ හැටියට එය විධායක ජනාධිපතිට අසූ හාරදාහට තදවෙන කතාවකි. ආණ්ඩු විරෝධී මහජන බලවේගයට අධි ශක්ති එන්නතකි. අගවිනිසුරුවරයා එවැනි ප්‍රකාශ එකක් නොව කීපයක්ම කළේය. පසුගිය ආණ්ඩුව ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් එක් රැයකින් තනතුරින් පහකළා වැනි පිළිවෙතකට යන්නට ජනාධිපති අර අඳිද්දී අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා තනතුරට ආයුබෝවන් කියා යන්න ගියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon