රෝයල් - තෝමස් මහා ක්‍රිකට් තරගයේ ඩඩ්ලි කඩුලු රැක්ක රහස අගමැති වූ පසු හෙළිවෙයි

  👤  3979 readers have read this article !
2018-08-19

මෙරට ප්‍රථම අගමැති ඩී.ඇස්. සේනානායක මහතා 1901 වසරේදී ගල්කිස්ස ශා.තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. 1911 ජුනි 19 වැනිදා උපන් ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මහතාද ජනහද දිනාගත් අගමැතිවරයකු වීමට පෙර දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු විය.

ඩඩ්ලි ශා.තෝමස් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළේ 1927-28 වසරවලදීය. 1927 මාර්තු 24 සහ 25 දෙදින කොළඹ පැවැති 48 වැනි "රෝයල් - තෝමස්" ක්‍රිකට් ගැටුමේ 8 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ඩඩ්ලි නොදැවී ලකුණු 48ක් රැස් කළේය.

ඔහු සමඟ පිතිහරඹයේ යෙදුණු අවසන් ක්‍රීඩකයාගේ දැවී යෑම නිසා ඒ මහා ක්‍රිකට් තරගයේදී අර්ධ ශතකයක් ලබා ගැනීමට ඩඩ්ලිට තිබූ අවස්ථාව අවාසනාවන්ත ලෙස අහිමිව ගියේය.

1928 මාර්තු 23- 24 දෙදින පැවැති රාජකීය - තෝමස් මහා ක්‍රිකට් තරගයේදී ඩඩ්ලි පිතිකරුවකු ලෙස පිටියට පිවිසියේ 6 වැන්නා ලෙසිනි. එදින ඔහු ලකුණු 25ක් ලබා සිටියදී දැවී ගියේ රාජකීය පිලේ නායක කන්දයියා එවූ වේග පන්දුවකටය.

ඩඩ්ලි තෝමස් විදුහලින් අස්ව ගිය පසුවත් එහි ආදි ශිෂ්‍ය ක්‍රිකට් පිලට ක්‍රීඩා කරන්නට අමතක කර නැත. රාජකීය ශා. තෝමස් වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමට පෙර ශා තෝමස් පිල ආදි ශිෂ්‍යයන්ගේ පිල සමඟ එක් සහභාගි වීම සම්ප්‍රදායකි. ඩඩ්ලි මේ ආදි ශිෂ්‍ය ක්‍රිකට් පිලකටද ක්‍රීඩා කළේය.

1965දී කොළඹ මහ නගර සභාවට වසර 100ක් සම්පූර්ණ විය. ඒ නිමිත්තෙන් කොළඹ නොමෑඩ්ස් පිටියේදී පාර්ලිමේන්තුවේ ක්‍රිකට් කණ්ඩායමක් හා කොළඹ මහ නගර සභාවේ ක්‍රිකට් කණ්ඩායමක් අතර ක්‍රිකට් තරගයක් පැවැත්විණි. (අද නොමෑඩ්ස් පිටිය දක්නට නැත. ඒ භූමියේ අද ඇත්තේ නෙළුම් පොකුණ රඟහලය.)

එදා එම තරගයේදී පාර්ලිමේන්තු ක්‍රිකට් පිලට නායකත්වය දුන්නේ එවකට අගමැති ධුරය දැරූ ඩඩ්ලි සේනානායක මහතාය. මහ නගර සභා පිලට නායක්වය දුන්නේ එවකට නගරාධිපති ධුරය දැරූ වින්සන්ට් පෙරේරා මහතාය. මේ සියවස් සමරු ක්‍රිකට් තරගයේ විනිශ්චයකරුවන් ලෙස කටයුතු කළේ එවකට පාර්ලිමේන්තුවේ මහ ලේකම් සෑම් විජේසිංහ මහතා සමඟ කොළඹ නාගරික කොමසාරිස් බී.ඒ.ජයසිංහ මහතාය.

ඩඩ්ලි සමඟ පාර්ලිමේන්තු පිලට එදා කේ.බී. රත්නායක, ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා, බර්නාඩ් සොයිසා, අනිල් මුණසිංහ ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් ක්‍රීඩා කළහ. ඩඩ්ලි සේනානායකගේත්, ඇන්. ඇම්. පෙරේරාගේත් විකට්ටු ලබා ගත්තේ නාගරික මන්ත්‍රි පී.සුමතිරත්න එවූ පන්දුවලිනි. ක්‍රිකට් තරගයෙන් ජය අත්කර ගත්තේ ඩඩ්ලි නායකත්වය දුන් පාර්ලිමේන්තු පිලය. තරගයේ වීරයා වූයේ වමතින් පිත්ත හසුරුවමින් තම ඉනිමට 4 පහර 9ක් එක්කරගත් කේ.බී. රත්නායක මහතාය. ඔහු තරගයේදී ලකුණු 65ක් රැස්කරගෙන තිබිණි.

සිවුවරක් අගමැති ධුරයට හිමිකම් කියූ ඩඩ්ලි තම ක්‍රිකට් දිවියෙන් ලබාගත් විනය, සංයමය හා පන්නරය සිය දේශපාලන ජීවිතයේදීත් පෙන්නුම් කළේය. සෑම විටම තමා උගත් පාසලට අසීමිත ආදරයක් දැක්වීය. එදා පාසල් වියේ ක්‍රීඩකයන් අතර තිබූ සහෝදරත්වයේ බැඳීම කිසිදු වෙනසකට ලක් නොවීය.

1928 පැවැති "රෝයල් - තෝමියන්" මහා ක්‍රිකට් තරගයේ තෝමස් පිලේ කඩුලු රකින්නා වූයේ ගුණවර්ධන ක්‍රීඩකයාය. එහෙත් තරගයේ දෙවැනි දිනයේ කඩුලු රැක්කේ ඩඩ්ලිය. එය රහසකි. ඒ බව දැන සිටියේ ශා.තෝමස් පිලේ ක්‍රීඩකයන් 5 දෙනකු පමණි. ඒ රහස හෙළි වූයේ වසර ගණනාවකට පසු ඔහු අගමැති තනතුරට පත්වූ සතුට සමරන්නට ආදි ශිෂ්‍යයන් කොළඹ හෝටලයක පැවැත්වූ රාත්‍රි භෝජන සංග්‍රහයකදීය.

පළමු දින තරගය නිමවී දෙවැනි දිනට එළැඹුණු පෙරවරුවේ ඩඩ්ලි කළේ තම මිතුරු එල්.පී. ප්‍රනාන්දුගේ මෝටර් රථය ඉල්ලාගෙන තම ක්‍රිකට් පිලේ මිතුරන් 5 දෙනකුත් නංවාගෙන විනෝදයට "පොඩි සවාරියක්" ගැසීමය. ඩඩ්ලි රිය පදවාගෙන ගොස් යළි දෙහිවලින් හරවාගෙන කොළඹ දෙසට එද්දී කාරයේ පිටුපස කැන්වස් වහල ගැලවී ගියේය. එය සවිකර තිබූ යකඩ පොල්ල වැටුණේ කඩුලු රකින ගුණවර්ධනගේ අතක් මතටය.

අතට වූ හානිය නිසා එදින ඔහුට කඩුලු රකින්නට නොහැකි වූ අතර ඔහු වෙනුවට කඩලු රකින්නට සිදු වූයේ ඩඩ්ලිටය. මේ සිදුවීම ක්‍රීඩකයෝ 5 දෙනාම "දේව රහසක්" සේ සුරකින්නට පොරොන්දු වූහ. එය හෙළි වූයේ ඉන් වසර ගණනාවකට පසු ඩඩ්ලිට අගමැති ධුරය හිමිවූ පසුවය.

පාසල් දිවියෙන් සමුගෙන වසර ගණනාවකට පසු රාජකීය පිලට නායකත්වය දුන් කන්දයියා දිනක් බම්බලපිටිය බස් නැවතුම්පොළක රැඳී සිටියේ පිටකොටුවට බසයක් එනතුරුය. ඒ කොටුවෙන් පිටත්වන දුම්රියකින් යාපනය බලා යෑමටය.

ගාලු පාරෙන් අරලියගහ මැඳුරට යමින් සිටි අගමැති ඩඩ්ලි හදිසියේම බස් නැවතුම පසු කරද්දී එහි රැඳී සිටි කන්දයියා දුටුවේය. අගමැතිගේ මෝටර් රථය යළි පසුපසට ධාවනය වී බස් නැවතුම අසල නතර කෙරිණි.

"කන්දා උඹ කොහෙද යන්නෙ? නැඟපං කාර් එකට..."
මෝටර් රථයෙන් පිටතට හිස දැමූ අගමැතිවරයා කන්දයියාට කීවේය.

පාසල් වියේ විරුද්ධ පිලට නායකත්වය දුන් කන්දයියා සිය මෝටර් රියට නංවාගත් අගමැති ඩඩ්ලි ඔහුද සමඟ ගියේ අරලියගහ මැඳුරටය. අනතුරුව ඔහු යාපනයට යෑම සඳහා කොටුව දුම්රියපොළට ඇරලුවේද ඩඩ්ලිය. ඒ එදා පාසල් සමයේ ඔවුන් අතරවූ නොනැසුණු සහෝදරත්වයයි.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon