අධිරාජ්‍යවාදීන්ගේ පසුම්බියේ ලංකාවට පැමිණි ඉන්දීය ධනපතියන්ට ලංකාවේ ආණ්ඩු පුරවැසිකම් දුන්නා

  👤  3597 readers have read this article !
2018-08-19

උදේනි සමන් කුමාර

රෝමානු කතෝලික සභාවේ කුරුස කොඩිය රුවලේ ඇඳ කාලතුවක්කු විස්සකින් සන්නද්ධ කර තිබූ වස්කෝද ගාමාගේ සෙනට් ගේබි්‍රයෙල් නැව ප්‍රමුඛ නැව් හතර 1498 මැයි මාසයේදී ඉන්දියන් සාගරයට සේන්දු වන විට ඉන්දියන් සාගරයේ වෙළෙඳ ආදිපත්‍ය හිමිකරගෙන සිටියෝ මුස්ලිම්වරුය. 10 වැනි සියවස වන විට මොවුහු මලබාරයේ පදිංචිව සිටි අතර එහි සිට කොරමැන්ඩලය පුරාත් ක්‍රියාත්මක වූහ. 13 වැනි සියවසේ පටන් ඉන්දු ලංකා වෙළෙ¼දාම මූලික වශයෙන් පාලනය වූයේ ඔවුන් අතින්ය. ඉක්මනින්ම ඔවුහු ලංකාවේ නැව් තොටුවලත්, වෙළෙඳ මධ්‍යස්ථානවලත් පදිංචි වූ අතර ක්‍රම ක්‍රමයෙන් රට අභ්‍යන්තරයටද පිවිසුණහ. 14 වැනි සියවස මැද භාගය වන විට ලංකාවේ බටහිර හා දකුණේ වෙරළබඩ නැව් තොටවල් වටා මුස්ලිම් ජනාවාස බිහිවී ගියේය. පරංගීන් කොළඹට ගොඩ බසින විට කොළඹ නගරය මූලික වශයෙන්ම මුස්ලිම් ජනාවාසයක් විය.

තම වෙළෙඳ ආධිපත්‍යයට හා ඒකාධිකාරයට ඇති තර්ජනය උඩ මුලින්ම පරංගීන් හා ගැටුණේ මුස්ලිම්වරුය. මොවුහු මලබාරයේ සහ කොරමැන්ඩලයේ සිට පැමිණි නිසා කතා කළේ දෙමළ භාෂාවය. 15 වැනි සියවස පමණ තෙක් මලබාරයේ කතා කළේ දෙමළ භාෂාව බව පෙනේ. මලයාලම් භාෂාව භින්න වී වෙන්වී ගියේ 15 වැනි සියවස පමණේදීය. ඊට කලින් මෙහි පැමිණි මලබාර් මුස්ලිමුන් දිගටම දෙමළ බස කතා කරන්නට වූ අතර ඔවුන්ගේ රැකියාව වූයේ මලබාරය සමඟ වෙළෙ¼දාම හෙයින් එම භාෂාව දිගටම තබා ගැනීමද අවශ්‍ය විය. එහෙත් ඔවුන් කතා කරන දෙමළ බස අරාබි බලපෑමට හසුවී සහ ප්‍රාදේශීයකරණය වී ඇත. එබැවින් ඔවුන් කතා කරන දෙමළ බස තමිල්නාඩුවේ හෝ යාපනයේ කථා කරන දෙමළ බසින් බොහෝ දුරට වෙනස් වී ඇත. ඉස්ලාම් ආගම ඇදහීම හා වෙළුණු සමාජ - සංස්කෘතික ජීවිතය හේතුකොට ගෙන මොවුහු දෙමළ ජාතිකත්වයෙන් මූලික වශයෙන් වෙනස් වෙති. නිරිත දිග මුහුදු බඩ ප්‍රදේශවලදී පරංගීන් හා ලන්දේසීන් සමඟ ගැටීම හේතු කොටගෙන එම ප්‍රදේශවල පරංගි හා ලන්දේසි යටත් විජිතවලින් ඉවත්වීමට සිදුවූ මොවුන්ට සෙංකඩගල රජු විසින් කන්ද උඩරට රාජධානියේ නැඟෙනහිර වෙරළෙහි පදිංචිවීමට, ජනාවාස පිහිටුවා ගැනීමට ඉඩ සලසා දෙන ලදී. එබැවින් අද මොවුන් නැඟෙනහිර වෙරළබඩත්, බටහිර වෙරළබඩත් ප්‍රධාන වෙළෙඳ නගරවලත් රාශිභුත වී සිටිනු දැකිය හැකිය.

1815දී උඩරට රදල නිලමේවරුන්ගේ පූර්ණ සහයෝගයෙන් කන්ද උඩරට රාජ්‍ය ආක්‍රමණය කර අත්පත් කරගත් හා 1818 උඩරට කැරැල්ල ක්‍රෑර ලෙස මර්දනය කර සිය බලය තහවුරු කරගත් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මුඩු බිම් පනත් කිහිපයක් මඟින් කඳුකරයේ භුමිභාගයන් අත්පත් කරගෙන ඒවා යටත් විජිත වතුකරය බවට පෙරළීමත් සමඟ එහි සේවය කිරීම සඳහා අඩු කුලී ශ්‍රම හමුදාවක් අවශ්‍ය විය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ අණසක යටතේ පැවැති අසල්වැසි දකුණු ඉන්දියාවේ සිටි සීමාරහිත අතිරේක ශ්‍රම බළකායේ පිහිට පැතීමට ඔවුන්ට සිදුවිණි. ඔවුහු මේ සඳහා අපකීර්තිමත් කොන්ත්‍රාත් ක්‍රමයක් පිහිටු වූහ. ඒ උඩ අඩු කුලී ශ්‍රමිකයෝ පා ගමනින් ඉතාමත් අමානුෂික හා දුෂ්කර තත්ත්වයන් යටතේ දකුණු ඉන්දියාවේ තන්ජෝරය වැනි ප්‍රදේශවල සිට ලංකාවේ මධ්‍යම කඳුකරයට ගෙන එන ලදහ. මේ ගමන්වලදීම ඔවුගෙන් දස දහස් ගණනක් මිය ගියහ. එසේම වතුකරයේ මුල් යුගයේ පැවැති අදටත් වඩා ඉතා භයංකර දුෂ්කර තත්ත්වයන් තුළත් විශාල වශයෙන් මියගියහ. මේ මියයෑමේ අනුපාතය සියයට 25ක් පමණ විය. එනම් සෑම හතර දෙනකුගෙන් එක්කෙනෙක් පමණම මිය ගියහ. මෙලෙස 1840-1850 අතර දශකය තුළ පමණක් දකුණු ඉන්දීය දෙමළ කම්කරුවෝ දශලක්ෂයක් පමණ ආනයනය කරනු ලැබූහ. අධිරාජ්‍යවාදීන්ගේ වාසනාව පෑදුණේ මොවුන්ගේ විනාශය හා උත්තර් සූරාකෑම මතය. මුලදී කෝපි වතුකරයේ වැඩට ගෙනා මෙම ප්‍රජාව 1970දී කෝපි පරිහානියෙන් පසුව 1880 පටන් වර්ධනය වූ තේ වගාව නිසාත් ඉන් දශක කීපයකට පසුව ඇරැඹි රබර් වගාව නිසාත් දිගටම ආනයනය කිරීම සිදුවිය.

ලංකාවේ බි්‍රතාන්‍ය යටත් විජිතවාදය බිහි කළ අග්‍රගණ්‍ය ආර්ථික විද්‍යාඥයා වූ සර් අයිවර් ජෙනිංග්ස් ලංකාවේ ආර්ථිකය නම් සිය කෘතියේ මේ ගැන සඳහන් කරන්නේ මෙසේය. "1870 සිට 1900 දක්වා ජනගහනයේ වැඩී යෑම කෙරෙහි උපත් සහ මරණවලට වඩා වැඩි වශයෙන් බලපෑවේ සංක්‍රමණයයි. 1871-1880 දශකයේදී කෝපි කර්මාන්තය උච්චස්ථානයට පත් විය. දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ඇදී ආහ. 1880න් පසු කෝපි කර්මාන්තය පිරිහෙන්නට විය. වතු අතහැර දමනු ලැබිණි. 1881-1890 කම්කරු සංක්‍රමණය වැඩිවීමේ ප්‍රතිශතය පහත වැටිණි. තේ වගාව ඇති වීම හේතුවෙන් 1891-1900දී වඩා වැඩියෙන් කම්කරුවන් වාර්ෂිකව සංක්‍රමණය විය. මේ වැඩි වීම 1901-1910 අතරත් පැවතිණි. රබර් වතු විවෘත කිරීම හේතුකොටගෙන තවදුරටත් අඩු ප්‍රතිශතයකින් වුවත් එය දිගටම පැවතිණි.

1929දී එක්සත් ජනපදයේ ඇති වූ මහා අවපාතය වතුකරයටද බලපෑවේය. කම්කරුවන්ගේ ආපසු සංක්‍රමණයක් 1931 සිට දක්නට ලැබේ. 1938 වන විට යුද්ධයේ ආරම්භය බලපාන්නට විය. ජපන් ආක්‍රමණයක බිය නිසා මේ ආපසු සංක්‍රමණය 1940න් පසුවත් දිගටම පැවතිණි. ඒ ලාංකේය නිෂ්පාදනවලට වූ ස්වාභාවික ඉල්ලුම තිබියදීමය. එම බිය 1944 වන විට අහෝසි වී ගියේය. බුරුමය හා මලයාව ආපසු අල්ලා ගැනීම සඳහා මිත්‍ර පාක්ෂික හමුදා ගොඩනැඟීමේලා සහාය වීමට ශ්‍රමිකයෝ විශාල වශයෙන් අවශ්‍ය වූහ. ලාංකික නිෂ්පාදනවලට උසස් මිල ගණන් ලැබිණි. 1944-1946 කාලය තුළ විශාල වශයෙන් කම්කරුවෝ ලංකාවට සංක්‍රමණය වූහ. "මෙලෙස සියවසකටත් වැඩි කාලයක් මුළුල්ලේ ලංකාවට දකුණු ඉන්දියාවෙන් අඩු කුලියට ශ්‍රමය විකිණීම සඳහා ඉතා කටුක දුෂ්කර තත්ත්වයන් යටතේ ලයින් කාමරවල පදිංචි වී සේවය කිරීමට පැමිණි
දකුණු ඉන්දීය දෙමළ ප්‍රජාවක් අද කඳුකරයේ වෙසෙති. මොවුන්ට රටේ සෙසු ජන කොටස් භුක්ති විඳින සීමිත ප්‍රජා අයිතිවාසිකම් පවා නැත. මොවුන්ගෙන් වැඩි දෙනෙක් අද දක්වාමත් කිසිදු රටක පුරවැසියන් ලෙස සැලකෙන්නේ නැත. මොවුන්ට දී ඇති නම "රටක් නැත්තවුන්"ය. සිය ලේ, කඳුළු දහඩිය හෙළා අධිරාජ්‍ය ධනපති ක්‍රමයට සේවය කිරීම වෙනුවෙන් ඔවුන් ලබා ඇති උපහාර එයයි. ලංකාවේ උග්‍ර සූරාකෑමට හා පීඩනයට පාත්‍ර වී සිටින ජන ප්‍රජාවක් වන මොවුන් ධනපති පන්තිය විසින්ම නොමඟ යවා සංවිධානය කොට ගෙන සිටති. මොවුන්ගේ ඡන්ද බලය ඩී.ඇස්. සේනානායකගේ නායකත්වයෙන් යුත් යූ.ඇන්.පී. ආණ්ඩුව විසින්ම 1949දී අංක 48 දරන ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) සංශෝධන පනත මඟින් උදුරා ගන්නා ලදී. 1948 ලංකා පුරවැසි පනතද, 1949 අංක 3 දරන ඉන්දීය පාකිස්තාන් නිවැසියන්ගේ (පුරවැසිකම්) පනතද ඔවුන් මේ තත්ත්වයට ඇද දැමීමට හවුල් විය.

වතුරකරයට අමතරව කොළඹ නගරයේද සේවය සඳහා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් විශාල ලෙස දකුණු ඉන්දියාවෙන් දෙමළ කම්කරුවෝ ගෙන එන ලදහ. ඒ කතාවේ එක් පැත්තක් පමණි. අනික් පැත්තෙන් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සිය පසුම්බියේ දමා ගෙන ලංකාවට ගෙනැවිත් ඇති ඉන්දීය ධනපති කොටසක්ද වෙති. මොවුන් විශාල ආර්ථික හා දේශපාලන බලපෑමක් සහිත කොටසක් වන අතර මොවුන්ට නම් යූ.ඇන්.පී. හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවලින් නිර්ලෝභීව සම්මාන පුරවැසිකම් හා උපතින් පුරවැසියන්ට නැති විශේෂ වරප්‍රසාද හා අයිතීන් ලබා ගැනීමට හැකි විය. අදත් ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය කෙරෙහි විශාල බලපෑමක් කරන මොවුන්ට පුරවැසි අයිතීන් පිදූ ධනපති ආණ්ඩු වතුකරයේ කම්කරුවන් කෙරෙහි නම් ඊට ඉඳුරාම වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබේ. නේරු-කොතලාවල, සිරිමා-ශාස්ත්‍රි, ඩඩ්ලි-ඉන්දිරා, සිරිමා-ඉන්දිරා නොයෙක් සම්මුතීන් ඇති වුවත් අදත් වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය තවමත් නොවිසඳී පවතී.

එය ලංකාවේ ජාතික ගැටලුවේ විසඳීමට ඇති ප්‍රධානතම ප්‍රශ්නයයි. එය යටපත් කිරීමටත්, වසන් කිරීමටත් දෙමළ ජාතිවාදී ධනපති පන්තිය හා සුළු ධනපති පන්තියත්, සිංහල ජාතිවාදී ධාපති පන්තිය හා සුළු ධනපති පන්තියත් එකට ක්‍රියා කරනු පෙනේ. වතුකරයේ දෙමළ ජනතාව සෙසු දෙමළ ජනයාගෙන් වෙන් වූ වෙනම ජාතිකත්වයක් නොවේ. එය එසේ වෙනම ජාතිකත්වයක් ලෙස හුවා දැක්වීමට දෙමළ ජාතිවාදී ධනපති පංතියත්, සුළු ධනපති පන්තියත් ඉතා කැමති බවක් පෙනේ. දෙමළ ජාතිවාදී ධනපති පන්තියේ හා සුළු ධනපති පන්තියේ ඊළම් ඉල්ලීමට වතුකරයේ දෙමළ ප්‍රජාව එකම දෙමළ ජාතිකත්වයේ කොටසක් ලෙස පිළිගැනීම බාධකයක් වේ යැයි ඔවුහු සලකති.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon