අපි දෙමළ සමාජයේ කාන්තාව පිළිබඳ ආකල්ප බිඳ දැමුවෙමු

  👤  3969 readers have read this article !
2018-08-19

තවත් මාස දෙකක් ගෙවී ගිය තැන අම්මා මා ඉන්දියාවේ පෞද්ගලික පාසලකට ඇතුළත් කළාය. ඒ වන විට මගේ පාසල් ගමන නැවතී වසර එක හමාරක් ගෙවී තිබිණි. මගේ අලුත් පාසලේ සිටියේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් සිවු දෙනෙක් පමණි. වැඩි කල් නොගොසින් මම එයින් එක් අයකු වන්නට තරම් වාසනාවන්ත වූයෙමි. එපමණක් නොව එම වසරේ විද්‍යාලයේ 'නෘත්‍ය රැජන' බවට තේරී පත්වූයේද මාය.

පසුව මම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයෙමි. ඒ වෙනුවෙන් ඇප කැපවී කටයුතු කළේ මගේ නැන්දා කෙනෙකි. එහිදී මම ජීව තාක්ෂණය පිළිබඳ උපාධියක් උපයා ගතිමි. ඉන්පසු මම නීතියද හැදෑරුවෙමි. නීතිය පිළිබඳ උපාධියක් ලබා ගන්නටද මම සමත් වූයෙමි.

ඒ දිනවල කොටි සංවිධානය මා පිළිබඳ කරුණු සොයා බැලූ බව මට දැනගන්නට ලැබුණේ මෑතකදීය. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ දේශපාලනික වශයෙන් සංවිධානයට මගෙන් උදවු උපකාර ලබා ගැනීමයි.

තවදුරටත් මම කොටි සංවිධානය සමඟ සබඳතා නොපැවැත්වීමි. මම සිතාමතාම ඔවුන් පිළිබඳ සොයා බලන්නට නොපෙලඹී සිටියෙමි. ඔවුන්ට සොයාගත නොහැකි වීමට තරම් මම වාසනාවන්තද වූයෙමි. එබැවින්ම මට මගේ ජීවිතය ඉදිරියට ගෙන යා හැකි විය.

මගේ පවුලේ අයද පසු කලෙක ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූහ. ශිරානි දැන් ප්‍රීතිමත් දෙදරු මාතාවකි. විශාල බහුජාතික වෙළෙඳ සමාගමක ජේ‍යෂ්ඨ කළමනාකාරිනියක ලෙස ඇය වෘත්තීයමය වශයෙන් අති සාර්ථක වී සිටින්නීය.

අජන්තිගේ පවුලේ උදවිය මා අත්හැර දැමුවේ නැත. ඇගේ නැඟණිය නිලන්ති හා මවුපිය යුවළද දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිති. මේ වන තෙක්ම මා ඔවුන්ගේ පවුලේ සමීපතමයෙකි. ඔවුන් සියලු දෙනාම මට දක්වන්නේ මහත් සෙනෙහසකි.

මගේ නැඟණිය මෙන්ම නිලන්තිද ඇගේ දරු දෙදෙනා සමඟ සාර්ථක විවාහ දිවියක් ගත කරයි. ඇය දැන් ගණකාධිකාරිවරියකි.

එක්තරා ආකාරයකින් අපි කාන්තාව පිළිබඳ සමාජමය ආකල්පයන් බිඳ දැමුවෙමු. ගතානුගතික ද්‍රවිඩ සමාජය තුළ කාන්තාවන්ගේ තත්ත්වය ඉහළ තලයකට ගෙන යෑමටත්, ඔවුන් බලගැන්වීමටත් අපගේ ක්‍රියාකලාපය බලපෑමක් ඇති කළා යැයි මම විශ්වාස කරමි.

එහෙත් මරාගෙන මැරෙන බෝම්බයක් වීම කාන්තාවගේ නිදහසට හෝ ස්වාධීනත්වයට අදාළ නොවන්නේමය. ඒ බව මට එකල එතරම් වැටහුණේ නැත. ඔවුන් නිර්භීත කාන්තාවන් බව සැබෑය. නමුත් ඔවුන් ඒ කළේ ස්වාමියකුට සේවය කිරීමක් පමණි. එකී ස්වාමියා ඔවුන්ගේ පිරිමි ප්‍රතිමූර්තිය කිසිදාක හැඳින ගත්තේද නැත. මෙම මරාගෙන මැරෙන කොටි කාන්තාවන් හට නම් ප්‍රභාකරන් විවාහ වීමේ අවස්ථාවද සලසා දී තිබිණි.

මගේ යෙහෙළිය අකිලා නොහොත් සත්‍යා දේවි එක්දහස් නවසිය අනූපහේ නොවැම්බර් පළමුවැනිදා නිර්වේලිහිදී මිය ගොස් තිබිණි. ඒ ශ්‍රී ලංකා හමුදාව සමඟ හටගත් ගැටුමකදීය. අකිලා මියගොස් තිබුණේ වසර දහයකට පමණ පෙර දීබාන් මියගිය ස්ථානයේදීමය. ඇය හමුදාවට හසු නොවනු පිණිස සයනයිඩ් ගිල දමා ඇත. ඉන් පෙර ඇය තම ඒකකයටම අණ දී තිබුණේ සයනයිඩ් ගිල දමා සිය දිවි නසා ගන්නා ලෙසටය. මියයන විට ඇය කාන්තා අංශයේ උප ප්‍රධානියාව සිට ඇත. මරණයෙන් පසු ඇය ලුතිනන් කර්නල් ධුරයට උසස් කොට ඇත. එය කොටි හමුදාවේ සෙබළකු හට ලබාගත හැකි ඉහළම තනතුරයි.

අකිලා 1991 වර්ෂයේ පටන්ම හමුදාවට අවශ්‍යව සිටි කොටි කතක් වූවාය. ඒ ප්‍රභාකරන් හා ඔහුගේ උපනායක පොට්ටු අම්මාන් සමඟ එක්වී රජීව් ගාන්ධි ඝාතනය සැලසුම් කළ වරදටය.

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධ මරාගෙන මැරුණු කොටි කත මෙන්ම ඒ හා සම්බන්ධ අනෙකුත් කාන්තාවන්ද අකිලාගේ ඒකකයට අයත්ව සිටියවුන්ය. ඒ අතර අකිලාගේ උප නායිකාව වූ ලේඛා ද සිටියාය.

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ලේඛාට මරණ දඬුවම නියම විය. එහෙත් 1999 වර්ෂයේදී අභියාචනයක් මත නිදහස් වූ ඇය සදාකාලික අනාථ කඳවුරකට යවනු ලැබීය. එය ඉන්දීය සිර ගෙවල්වලටත් වඩා අතිශය අමානුෂික ස්ථානයක් බව කියැවේ.

ඉන්පසු කිසිදාක මට රොෂාන් මුණගැසුණේ නැත. එහෙත් 1989 සැප්තැම්බරයේදී යුද්ධය නොපැවති සමයකදී ඔහු මා සොයා නුවර ගොස් තිබිණි. ඔහු අපේ අත්තම්මාගේ මහ ගෙදරටද ගොස් මා ගැන විපරම් කළ බව මට පසු කලෙක දැනගන්නට ලැබිණි. මා සොයාගත නොහැකි වූ කල ඔහු ඉන්දියාවේ රැකියාවක් සඳහා පැමිණ ඇත.

1991දී වයස අවුරුදු විසිහයක් වූ රොෂාන් අත්අඩංගුවට ගැනුණේ රජීව් ගාන්ධි ඝාතනයට සහාය දැක්වූ අයකු හැටියටය. උසාවි වාර්තාවල ඔහු පිළිබඳ දක්වා තිබුණේ අති දක්ෂ රියැදුරෙක් ලෙසය. 'එල්ලා මැරීම' ඔහුට තීන්දු වූ දඬුවම විය. එහෙත් ඔහුද වසර නවයක් උපරිම ආරක්ෂාව යටතේ ඉන්දීය සිර කඳවුරක සිරගතව සිට පසුව නිදහස් වී ඇත. ලේඛා මෙන්ම ඔහුද අති දුෂ්කර අනාථ කඳවුරකට යැවූ බවක් කියැවේ. සමහර විට රොෂාන් මේ වන විටත් එහි සිටිනවා විය හැකිය.

ප්‍රභාකරන්ගේ උප නායකයාව සිටි මහත්තයා, මහේන්ද්‍රරාජා ගෝපාලස්වාමි වසරක් පුරා වධ හිංසා පමුණුවමින් කුසගින්නේ තබා ඝාතනය කරනු ලැබ ඇත. ඒ අන් කිසිවකු විසින් නොව කොටි සංවිධානය විසින්මය. ඔහු මරා දමා ඇත්තේ 1994 දෙසැම්බර් මස විසිඅට වැනිදාය. එවකට ඔහුගේ වයස අවුරුදු තිස් අටකි.

මහත්තයා සහ ඔහුගේ සහායකයන් ප්‍රභාකරන් විසින් හඳුන්වනු ලැබ ඇත්තේ දේශද්‍රෝහීන් ලෙසටය. ඒ ඔහු ඉන්දීය බුද්ධිමය ඒජන්සියක් හා එක්ව ප්‍රභාකරන් මරා දමා කොටි සංවිධානයේ නායකත්වය ලබා ගන්නට සැලසුම් කළ වරදටය. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මඟින් මහත්තයාගේ ජීවිතය බේරාගන්නට අභියාචනා ඉදිරිපත් කොට ඇත. එහෙත් එය නොසලකා හරිමින් ප්‍රභාකරන්ගේ සහචරයෝ මහත්තයා සහ ඔහුට පක්ෂපාතී පුද්ගලයන් දෙසීය පනහක් ඝාතනය කළහ.

කංචනා, සෙංගමාලම් සහ මෙහි සඳහන් තවත් සමහර සගයන්ගේ දෛවය කෙලෙස කුමන වෙනසකට භාජන වූවා දැයි මම නොදනිමි.

2009 මැයි මාසය වන විට වසර තිස් තුනක් තිස්සේ පැවැති ඒ ක්‍රෑර සිවිල් යුද්ධය නිමාවට පත්විය. ශ්‍රී ලංකා රජයේ හමුදාවෝ තම ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළහ. ඒ සමඟ කොටි සංවිධානයට යුද අපරාධ චෝදනා ඉදිරිපත් විය.

මේ කඨෝර වූ ගැටුම තුළ ගෙවී ගිය ඒ වසර තිස් තුන පුරා ලක් දෙරණට වටිනා මිනිස් ජීවිත ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අහිමි විය.

මේ අතරින් 1987 දෙසැම්බර් 23 වනදා එනම් නත්තලට දින දෙකක් තිබියදී සටනින් මියගිය අජන්ති, මුරලි ඇතුළු මගේ සහෘදයන්ගේ දේහ කොටස් මහාවීර සුසාන භූමියෙහි වළ දමනු ලැබිණි. ඔවුන් මිය ගිය ස්ථානයට ආසන්නව පිහිටා තිබූ එම සුසාන භූමිය අද එහි දක්නට නැත. 2011 මාර්තුව වන විට එම ස්ථානයෙහි දකින්නට ලැබුණේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් දැවැන්ත මූලස්ථාන ගොඩනැඟිල්ලකි.

- නිමි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon