අතීත අනාගත බෝසත් භව ගමනක ආශ්චර්යවත් තොරතුරු පළ කළ මොහොතක්

  👤  3909 readers have read this article !
2018-08-19

අති පූජනීය නාඋයනේ අරියධම්ම අප ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්තමානයේ සිට නාම - රූප ඔස්සේ ක්‍රමයෙන් අතීතයට ගමන් කොට චුති _ පටිසන්ධි වටහා ගනිමින් හැකි ශක්තිය ගොඩනඟා ගන්නේ ඉතා සරල භාවනා ක්‍රමයන්හි සිට අතිශයන්ම ගැඹුරු භාවනා ක්‍රමයන් දක්වා විධිමත්ව පියවරෙන් පියවර පැමිණීම තුළිනි.

මේ ශක්තිය තුළින් හේතුඵල ධර්මයන්ට අනුව අනාගතය පිළිබඳවත් තොරතුරු හෙළි කර ගැනීමට අප ස්වාමීන් වහන්සේ සමත් වූහ. එසේ අනාගතයට නාම - රූප ඔස්සේ ගමන් කරමින් නාම - රූප නිරෝධය දකින උන්වහන්සේ එම නාම _ රූප අවසානය හෙවත් නිර්වාණය කරා යෑමට ඇති භවයන් කෙතෙක්ද යන්න අවබෝධ කරගැනීමට තරම් පුළුල් වූ ධර්මාබෝධයකින් සමන්විත මහ තෙර නමක් විය.

එසේ එම නාම _ රූප භව ගමන සඳහා ගතවන කාල නිර්ණය විපස්සනාවට නඟමින් හේතුඵල සම්බන්ධය පිළිබඳව වූ මනා අවබෝධය වැඩිදියුණු කරගත් උන්වහන්සේ එම භාවනා මාර්ගයන්ට අනුව අතීත මෙන්ම අනාගත භවයන්ද මනාව අවබෝධ කරගැනීමට සමත් විය.

එම පරීක්ෂාවන් තුළින් මහා අසිරිමත් වූ අතීත _ අනාගත බෝසත් භව ගමනක් පිළිබඳව උන්වහන්සේ අවබෝධ කරගත් තර්කානුකූල වූ ධර්මානුකූල වූ තොරතුරු උන්වහන්සේ විසින් අඛණ්ඩව සටහන් කරන ලද 2002 මාර්තු 01 දින ලියා නිම කරන ලද උන්වහන්සේගේ ස්වයං ලිඛිත ආත්ම සහතිකයේ සඳහන්ව ඇත.

කල්තොට වැඩිහිටි නිවාසයේ පින්වත් ජිනදාස හෙට්ටිආරච්චි මහතාණන්ගේ කාරුණික ආරාධනය මත ලියූ බව සඳහන් එම ආත්ම සහතිකය නිමාවේ උන්වහන්සේ මෙවැනි සටහනක් තබා ඇත.

අතිශයෝක්තීන් තොර වූ මේ ජීවිත සටහන් පෙළ මාගේ ආත්ම සහතිකයකි. මෙහි සටහන් නොවූ තවත් වැදගත් කරුණු ...... ඇතිව අපහසුතාවෙන් සිටත් ලියන ලද මේ සටහන් පෙළ බොහෝ දවසක් තිස්සේ ටිකෙන් ටික ලියා ඇත. තවත් ඉදිරියට අවශ්‍ය වුවහොත් ලිවීමට ඉඩ තබාගනිමි.

මේ වාර්තාව මා ජීවත්ව සිටිනතුරු ප්‍රසිද්ධ නොකරන ලෙස හිතවත් සැමට මෙයින් ආරාධනය කරමි.

හුදු පුණ්‍ය වාර්තාවක් වන මෙය කියවන සැමටද මා රැස් කළ විවිධාකාර පුණ්‍ය සම්භාරය අත්වේවා!

මෙවැනි පුණ්‍ය වාර්තාවක් වුවත් අවඥා කරන, විවේචනයට, හාස්‍යයට ලක්කරන කෙනෙක් වෙතොත් ඒ සැමටත් නිවන් මඟ හෙළිවේවා! යි මෙත්සිත සමාහිත කරමි.

මා හදාවඩාගත් ගුණවත් මවුපිය දෙදෙනාට මතු බුදු බව අත්වේවා!

මාගේ ආචාර්ය උපාධ්‍යාදී කල්‍යාණ මිත්‍ර මහෝත්තමයන් වහන්සේට මතු බුදු බවම අත්වේවා!

මාගේ සබ්‍රහ්මචාරීන් වහන්සේට සහෝදර සහෝදරියන් සහිත සහලේ ඥාතීන්ට හිතෛෂි දායක දායිකා මවුපිය දූ දරුවනට ලෝක ශාසන ආරක්ෂක සියලු දෙවියන්ට හිතාහිත මැදහත් සියලු ලෝවැසියන්ට පැතු උතුම් බෝධියෙන් අමා මහ නිවන් සුව අත්වේවා!
මෙම ලිපි මාලාව සැකසීමේදී අප මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේගෙන්, සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ ඥාතීන්ගෙන්, දායක කාරකාදීන්ගෙන් රැස් කරගත් තොරතුරු මෙන්ම 2016 සැප්තැම්බර් 07 වැනි දින උන්වහන්සේ අපවත් වීමෙන් පසු සමාජ ගත වූ මෙම 'ස්වයං ලිඛිත ආත්ම සටහන්' අතිශයින්ම ප්‍රයෝජනවත් විය.

උන්වහන්සේගේම අත් අකුරින් ලියා ඇති එම 'අසිරිමත් බුදු මඟ පිය සටහන්' මෙසේ සමාජ ගත වූයේ උන්වහන්සේ එම සටහන් ලියා තබා වසර 15කට පමණ පසුය.
එම සටහන්වලට අනුව අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ මේ ආත්ම භාවයට පෙර භවයේ රුවන්වැලි මහ සෑරදුන්ගේ ආරක්ෂක දේවතාවෙකි. ඒ බව එම සටහන්හි මෙසේ සඳහන්ය.

7.05 පර්යංකය

රූප _ අරූප අජ්ඣත්ත බහිද්ධා චුති පටිසන්ධි බැලීම. ප්‍රතිසන්ධිය දිටිමි. පටිසන්ධි භවාංග අරමුණ රුවන්වැලි මහ සෑය. පූර්වභවය එහි ආරක්ෂක දේවතාවෙකි. නම මෛත්‍රි. ඊට පූර්වයෙහි තාපස කෙනෙකි. මෙහි ප්‍රතිසන්ධිය සෝමනස්ස ත්‍රිහේතුකයි.

2.15 පර්යංකය

ප්‍රතිසන්ධි උපාදානස්කන්ධයේ අතීත වර්තමාන හේතු සියල්ල පට්ඨාන ණය ක්‍රමයෙන්ම බැලීමි.

12.45 පර්යංකය

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සමාපත්ති සියල්ලට අනතුරුව නාම රූප අනුව පටිසන්ධියත් පූර්ව භවයෙහි දේවත්වයත් ඉන් පෙර බ්‍රහ්මත්වයත් ඊටත් පෙර දඹදිව වනගත තවුස් ජීවිතත් අරමුණු කළෙමි.

7.00 පර්යංකය

ආනාපාන ධ්‍යාන සතරට හා පූර්ව භව තුනක් බැලීම. දේව - බ්‍රහ්ම _ මඛාදේව පෙළේ රාජ ඍෂි සිවු බඹ විහරණ වැඩූ බව

5.10 පර්යංකය

ආනාපාන _ බ්‍රහ්මවිකාර _ නාම රූප විදර්ශනා - පූර්ව භව පේළියට බැලීම දේව - බ්‍රහ්ම _ රාජ ඍෂි - දේව - කසුප් බුදු සසුනේ පැවිද්ද, ත්‍රිපිටක ධර්ම, ධ්‍යාන සංඛාරුපෙක්ඛා තෙක් විපස්සනා වඩා ඇති බව දැක්කෙමි.

බිනර පෝ දිනයයි. මෙදින අලුයම පර්යංකයේදී අතීත භව පරම්පරාව පටිච්ච සමුප්පාදය අනුව විදර්ශනාවට නැඟීමේදී කාශ්‍යප බුද්ධ ශාසනය තෙක් ආත්ම භාව 14ක් පේළියට ගත හැකි වූ අතර දීපංකර බුදු සසුනේ සිට නියතව ආ ගමනක් ගැන තදින් අරමුණු විය. ඒ අවස්ථාවේ අනිත්‍ය අරමුණු වෙමින් ආශ්වාස ප්‍රාශ්වාස නැවතී සෑහෙන වේලාවක් දැඩි සමාධියට පත්වීමි.

රූපාවචර _ අරූපාවචර ධ්‍යාන සියල්ල ඉතා විශිෂ්ට ලෙස ප්‍රගුණ කර ඇති අප මාහිමිපාණන් වහන්සේ චුති චිත්තයටද එසේ උපදවාගත් ඕදාත කසිණ පළමු ධ්‍යාන සිත හේතු වී ඇත. එම පළමු ධ්‍යාන සිතට අනුව උන්වහන්සේගේ වත්මන් උපත මහා බ්‍රහ්ම ලෝකයේ බව උන්වහන්සේට අරමුණු වී ඇත. මෙසේ අනාගත භව දිගින් දිගට පරීක්ෂා කර බැලීමේදී උන්වහන්සේට පෙනී ගොස් ඇත්තේ මෛත්‍රි බුදු සසුනේ පැවිදි බව ලැබ උතුම් පැවිදි දිවියන් ලැබීමටද වාසනාව ඇති බවයි.

මේ ආකාරයට ධර්මානුකූලව අනාගතයේ නාම රූප නිරෝධය පරීක්ෂා කළ අප ස්වාමීන් වහන්සේට අරමුණු වී ඇත්තේ තවත් ආත්මභව 1800ක උප්පත්තිය ලැබීමට තරම් දිගු භව ගමනක් තවත් ඉදිරියට තමන්ට ඇති බවය.

මෙම ආත්ම භව 1800 අවසානයේ ලෝකයේ මනුෂ්‍ය ආයුෂ අවුරුදු ලක්ෂයක්ව පවතින කාලයේ අපේ ගෞරවනීය මාහිමිපාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වන ආකාරය උන්වහන්සේට අරමුණු වී ඇත. මේ සියලු අතීත සහ අනාගතය දැකීම්වලට පසුබිම වන්නේ අප මාහිමිපාණන් වහන්සේ පෙර සසර පුරුදු සමඟ මනාව ප්‍රගුණ කළ බොහෝ වාර ගණනාවක් ප්‍රගුණ කළ දීර්ඝ කාලයක් ප්‍රගුණ කළ භාවනා මාර්ගයන්ය.

මෙම කාරණා තුළින් ප්‍රකට වන්නේ ධර්මය තුළ පවත්නා සත්‍යයයි. ලොව පහළ වන බුදුවරයන් වහන්සේ පවා ධර්මය ගුරු කොට සලකන්නේ ඒ නිසාය. අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ වැනි බුදුවරයන් වහන්සේ වැඩිය මඟ තුළ නිවැරැදිව අධිෂ්ඨානශීලව වැඩම කළ බුද්ධාංකුර යතිවරයන් වහන්සේ අනුව යමින් ධර්මය ප්‍රගුණ කිරීම උතුම් ශ්‍රී සද්ධර්මය තුළ පවත්නා පරම සත්‍යය මතු කරගැනීමට හේතු වේ.
(තවත් කොටසක් ලබන සතියේ)

සුනිල් පොරමඬල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon