වංශකතාවලින් කියැවෙන තොරතුරු සනාථ කරමින් රෝහණ රාජ්‍යයේ තෝම්බුව සිතුල්පව්වෙන් මතුවෙයි

  👤  3909 readers have read this article !
2018-08-19

ඓතිහාසික රෝහණ රාජ්‍යයේ අතීත කතාව විමසන්නකුට 'සිතුල්පව්ව' මඟහැර යා නොහැකිය. ඒ තරමටම එම පුදබිම රෝහණයේ ඉතිහාසය හා බැඳී පවතින්නේය. රහස් ගොන්නක් සඟවා තබාගෙන ඇත. විශේෂයෙන් සිතුල්පව්ව පූජා භූමිය රෝහණ රාජ්‍යයේ පිහිටි ආරණ්‍ය සේනාසනයද වෙයි. තිස්සමහාරාම මහා විහාරය සහ ඒ ආශ්‍රිත බෞද්ධ ආයතන ග්‍රාමන්ත සේනාසනය ලෙස සැලකීම වඩාත් උචිතය. මේ ආයතන ද්වයම එකම කාල පරිච්ඡේදයක ඇරැඹී දියුණුවට පත් ඒවා බැව් පෙනෙයි. ඊට හේතුවන්නේ දහස් ගණන් භික්ෂුන් වහන්සේට වාසස්ථාන බවට පත්වූ පූජා භූමි ලෙස හඳුනාගැනීමට උපකාරි වන තොරතුරු රාශියක් වංසකතාවලින් සහ අට්ඨකතාවලින්ද සිය ගණනක් සෙල් ලිපිවලින්ද ඉදිරිපත් වූ සාක්ෂිමඟින් තහවුරු වීම නිසාවෙනි.

මෙහි ගිය ඔබටත් අප කා හටත් දැනෙන එක් දෙයක් ඇත. එනම් අදටත් ශාන්ත නිසසල පසුබිමක් මැවී තියෙන නිසාම අතීතයේද ආරණ්‍යයකට සුදුසු මනරම් නිසංසල පසුබිමක් සිතුල්පව්වේ තිබෙන්නට ඇති වගයි. තවමත් මෙහි ළඟා විය හැක්කේ මහ වනය මැදිනි. හාත්පස බණ භාවනාවකට යෝග්‍ය දැහැන් වැඩුමට සුදුසු වටපිටාවකි. ස්තූපය පිහිටි කඳුගැටයේ සුන්දරත්වය වැඩි කරමින් අෑතින් පිහිටි කඳු පන්තිය මනා ආරක්ෂක වැටක් වැනිය. අෑතින් හපුතලේ කඳුවැටිය දිස්වෙයි. පසෙකින් මහා වනාන්තරය නිමාවන කෙළවරෙහි මහා සමුද්‍රය. තපෝ වනයකට සුදුසු වාත්‍රාශ්‍රය ස්වාභාවික වටපිටාව පූර්ණය. එබැවින් ආරාම සංකීර්ණයක් වශයෙන් මෙම ස්ථානය රජදරුවන් තෝරාගෙන ඇත්තේ බොහෝ කරුණු සිතාබලාය.

දැනට තහවුරු කරගෙන තිබෙන තොරතුරුවලට අනුව පූජාභූමියක් ලෙස සිතුල්පව්ව ඇරැඹෙන්නේ රෝහණ රාජ්‍යයේ දැවැන්තයකු වන කාවන්තිස්ස රජතුමාගේ කාලයේ පටන්ය. කාවන්තිස්ස රජු ප්‍රථමයෙන් ඉදි කළ වෙහෙර විහාර කිහිපය අතර සිතුල්පව්ව ප්‍රමුඛ වෙයි.

සිතුල්පව්ව කෙතරම් වැදගත් වීද යතොත් රෝහණ රාජ්‍යයේ සෑම පාලකයකුම මෙම පුදබිම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමෙන් පෙනෙයි. විශේෂයෙන් අටුවා යුගය වන විට සිතුල්පව්ව රුහුණු ප්‍රබලම ආගමික මධ්‍යස්ථානයක් බවට පත්ව තිබිණි. 'පපංච සුදනී', 'සම්මෝහ විනෝදනී' වැනි අටුවා ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට එහි විසූ භික්ෂුන් වහන්සේ ගණන 24,000කි. මහවංසයේ සඳහන් ගණන 12,000කි. මෙම ගණනය කිරීමේ හා සංඛ්‍යාවන් අතිශයෝක්තියක් විය හැකි මුත් විශාල භික්ෂුන් සංඛ්‍යාවක් මෙහි විසූ බවට පිළිගත හැකිය. එම භික්ෂුන් වහන්සේට නේවාසිකව විසීමට තරම් මෙම ස්ථානය ඉඩකඩ සහිතව සංවර්ධනය වී තිබෙන්නට ඇති බවය.

'විසුද්ධි මාර්ගය' නම් ග්‍රන්ථයෙහි සඳහන් පුවතකට අනුව එවක සිතුල්පව්ව අතිශය ජනාකීර්ණ පුදබිමකි. භික්ෂුන් වහන්සේට ආගමික කටයුතුවල යෙදීමට පවා අපහසු වන තරමට අතිවිශාල සදැහැවතුන් පිරිසක් දිවා කාලයෙහි මෙහි ඒකාරාශී වී සිටින බවත් කියැවේ.

මෙය සැබැවින්ම ආගමික ස්ථානයක් පමණක්ම නොව අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙසද ප්‍රකටව පැවැතිණි. දැනුම අවැසි බොහෝ දෙනා නිතර මෙහි පැමිණ සාකච්ඡා කරන්නටත්, ආගමික අභ්‍යාස, ධර්ම දේශනා කරන්නටත් නොයෙකුත් දිශාවලින් භික්ෂුන් වහන්සේ පැමිණි බවට සඳහන් වීමෙන්ම එය තහවුරුව ඇත. බෞද්ධයන්ගේ පිළිගැනීමේ හැටියට මෙරට සිය අවසන් රහතන් වහන්සේ වූ මලියදේව මහ රහතන් වහන්සේද එසේ වැඩිය පිරිස අතර වූහ.

විසුද්ධි මාර්ගයේ එන තොරතුරුවලට අනුව භාවනා මධ්‍යස්ථානයක් ලෙස මෙම පුදබිම සුවිශේෂ වී තිබිණි. ඒ අනුව කසින භාවනාව සඳහා විශාල පිරිසක් මෙහි ආ ගිය බැව් පැවැසේ. දේශීය භික්ෂුන් වහන්සේ පමණක් නොව විදේශීය භික්ෂුන් වහන්සේද මෙහි එන්නට ඇලුම් කර ඇති බැව් සඳහන් වේ. විසුද්ධිමාර්ගයේ සඳහන් පරිදි පාඨලීපුත්‍ර නගරයේ සිට ලක්දිවට පැමිණි, අනුරාධපුරයේ මහා විහාරයේදී පැවිද්ද ලබාගත් 'විශාඛ' නමැති භික්ෂුව තම ජීවිතයේ ඉදිරි කොටස ගතකිරීම සඳහා සිතුල්පව්ව පැමිණ ඇති බැව් පැහැදිලිය.

මෙය පුදබිමක් හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් හැටියට කෙතරම් සුවිශේෂ වූවා දැයි කියතොත් අනුරාධපුරයේ මහා විහාරයට තරම්ම වැදගත්කමක් දී රජවරුන් මීට වැඩි අවධානයක්දී කටයුතු කිරීමෙන්ම එය තහවුරු වෙයි. මහාවංසය හා වෙනත් ඓතිහාසික මූලාශ්‍ර තොරතුරුවලට අනුව සද්ධාතිස්ස, භාතිකාභය, මහාදැළියමානා, ආමණ්ඩ ගාමිණී, ඉලනාග, වසභ, ධ් ගජබා මහල්ලකනාග, කණිට්ඨතිස්ස, ගෝඨාභය, ජෙට්ඨතිස්ස, බුද්ධදාස, මහාසේන, මහානාම,
ධ් දප්පුල, ධ් විජයබාහු, ධ්ධ් පැරකුම්බා යන රජවරුන් සිතුල්පව්වේ දියුණුව සඳහා කරන ලද විවිධ ප්‍රතිසංස්කරණයන් සහ පූජාවන් පිළිබඳ තොරතුරු අනුව මේ බැව් තහවුරු වෙයි.
මෙහි ඓතිහාසික වශයෙන් අදටත් සුරැකිව තබාගන්නට ඇති නටබුන් අනුව වඩ වඩාත් මෙහි ඉතිහාස කතාව තහවුරු වන්නේය. අඩි 400ක් තරම් උස් කඳු ගැටයක් මුදුනේ පිහිටි ස්තූපයත්, ඊට පරිවාර වශයෙන් වසභ රජු විසින් ඉදිකරන ලදැයි පැවැසෙන කුඩා ස්තූප 10ක් මෙහිදී ප්‍රමුඛ වෙයි. ප්‍රධාන කඳු ශිඛරය වටා ඇති කඳු වළල්ලෙහිද ස්තූප කීපයක නටබුන් දක්නට ලැබේ. එයින් තහවුරු වන්නේ ඒ හැම කඳු මුදුනකම ස්තූප පිහිටි බවකි. ඉන් එකක් මේ වෙද්දී තහවුරු කරගෙන ඇති අතර එයට 'කුඩා සිතුල්පව්ව' යැයි කියති.

කුඩා සිතුල්පව්වට යන මාර්ගයේ පිහිටි 'ගල්කුඩය' අපූර්ව නිර්මාණයකි. මහා වංසයෙහි සඳහන් අන්දමට වසභ රජු විසින් කරවන ලදැයි පැවැසෙන මෙය ගලින් කළ කුඩයක ආකෘතිය උසුලයි. වැසි දියෙන් ආරක්ෂා වීම සඳහා කටාරම් කොටා සකස් කර ඇති මෙහි වැස්සක් ආ කළ ඉන් ගැලවෙන්නට, නොතෙමී ඉන්නට දෙසියයක් පමණ දෙනාට ඉඩකඩ සලසා ඇත.

මහ සිතුල්පව්වේ නැඟෙනහිර බෑවුම පැත්තේ පිහිටි දිගින් අඩි 67ක් හා උසින් අඩි 31ක් වූ ලෙන් විහාරය, පැරැණි ලෙන් විහාර සම්ප්‍රදාය මැනවින් විදහා පාන්නකි. කටාරම් කොටා, සැකසූ මෙහි සැතපෙන බුදු පිළිමයක් වෙයි. ලෙන් විහාරයේ ඇතුළු පැත්තේ සිවිලිමේ ඇඳි සිතුවම් මෑතක් වන තුරුම තිබී ඇතත් දැන් ඒවා සම්පූර්ණයෙන්ම මැකී ගොස් තිබේ. එහෙත් තවමත් විහාරයට පිවිසෙන ප්‍රධාන ‍ෙදාරටුවෙහි ඉහළ සීලිමේ පැරැණි සිතුවම්වල සලකුණු පමණක් දක්නට ඇත.

සමතලා බිමෙහි පිහිටි උපෝසථඝරය ලෙස හඳුනාගෙන ඇති ගොඩනැඟිල්ලේ නටබුන් තුළින් මෙහි විසූ භික්ෂුන් වහන්සේ ගැන ඉඟියක් ලබාගත හැකිය. දිගින් අඩි 100ක් තරම් පදනම් බිම අනුව එය මහල් කිහිපයකින් යුක්තව තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. එය විචිත්‍ර සිතුවමින් යුක්ත වී යැයි සිතිය හැක්කේ එහි පැමිණි භික්ෂුණියක් ඇඳ තිබුණු ‍ෙදාරටුපාල රූපයක් දැක රාගී සිත් ඇති කර ගත්තා යැයි කියැවෙන ප්‍රවෘත්තියක් සමඟය.

ඒ අසල පිහිටි ගල්කණු, සමූහය අනුව ධර්ම ශාලාවක නටබුන් බැව් පෙනෙයි. එය සුවිසල් ගොඩනැඟිල්ලකට පැවැති බවට සිතිය හැකි නටබුන් තවමත් තිබේ. බැමිණිටියාසාය පැවැති අවධියේ ‍ෙදාළොස් දහසක් භික්ෂුන් වහන්සේගේ පරිභෝගය සඳහා පැවැති වී සියල්ල මීයන් විසින් කා දමන ලදැයි යන පුවතක් සඟසරණෙහි දැක්වේ. එම පුවත අනුව 'වී අටුව' තිබෙන්නට ඇත්තේ මෙම ධර්මශාලාවෙහි බවට තදබල විශ්වාසයක් පවතී. දැනට මෙම ධර්ම ශාලා ගොඩනැඟිල්ලෙහි අඩි 10ක් පමණ උස ගල් කනු 40ක් පමණ ඉතිරිව තිබේ.

කෙසේ වෙතත් මේ මුළු පුදබිම පුරාම හඳුනාගත් සහ තවමත් හඳුනා නොගත් පුරාවස්තු රාශියකි. ආසනඝර, බෝධිඝර, නහානඝර ආදී ගොඩනැඟිලි හා නටබුන් රාශියක් ඇත. වාස්තු විද්‍යාත්මක කැටයම්මුද්‍රා ලාංඡන පුරාවස්තු පිළිබඳව ගවේෂණ කටයුතු පූර්ණ නොවී ඉතිරිව ඇත.

ගල් ලෙන් සමූහය ඉතා වැදගත් පුරාවිද්‍යා සාධකයන්ය. වත්මනෙහි ඒ හැටි උනන්දුවක් ගවේෂණයම නැති වුවද තවමත් අපට කතා කරන්නට වී ඇත්තේ බෙල් මහතා කළ පර්යේෂණ වාර්තා ඇසුරෙනි. එච්.සී.පී. බෙල් මහතාගේ නිරීක්ෂණයට හසු වූ කටාරම් කෙටූ ගල්ලෙන් 125ක තොරතුරු ඇත. ඒවා මනුෂ්‍ය වාසය සඳහා සැකසූ ඒවා බව ඉන් පැහැදිලිය. ගල් ලෙන් පියසිවල සිතුවම් ඇඳ තිබුණු ලකුණුද ඇති හෙයින් නිසැක වශයෙන් ඒවා භික්ෂුන්ගේ පරිහරණය පිණිසම වන්නට ඇත. බෙල් මහතා එදා මහත් දුෂ්කරතා මැද එවැන්නක් කළද අද ඒ සඳහා උනන්දුවක් ඇත්තෙන්ම නැත. අද මෙම ප්‍රදේශය යාල අභයභූමියට අයත්ය. මනුෂ්‍ය වාසයෙන් තොරය. ගල් ලෙන් දරුණු ලෙස වන සතුන්ගේ තිප්පොළ බවට පත්ව ඇත. ගවේෂණයට ඒවා බාධා වන නිසා ඊට මඟ ඇහිරී තිබේ.

කෙසේ වෙතත් සිතුල්පව්ව පුද බිමෙන් ලද සෙල් ලිපි අනුව වංසකතාවලින් නොකියැවෙන තොරතුරු රැසක් අනාවරණය වීමත් සමඟ මෙම පුදබිමේ ඓතිහාසිකත්වය වංසකතාවලට සමගාමීව තහවුරු වෙයි. වංසකතා තුළ වූ ඇපැහැදිලි තැන් සනාථ කර ගැනීමට හැකිවේ. කැලණියේ විසූ විහාරමහාදේවිය, කතරගම දස බෑ රජවරු, කැලණිතිස්ස රජතුමා ගැන තොරතුරු සනාථ කර ගත හැකි විය. දුටුගැමුණු රජුගේ දසමහ යෝධයන් පිළිබඳ කතා සුරංගනා කතාය යන තරමට ඇතැමුන් කීවද ඔවුන් සැබෑවටම රුහුණේ විසූ බව මින් තහවුරුව ඇත. විශේෂයෙන් ගෝඨායිම්බර, නන්දිමිත්‍ර, වේළුසුමන ගැන සෙල් ලිපිවලින් තහවුරු කෙරුණු කරුණු වැදගත්ය. අපි මුල් ඓතිහාසික යුගය ගැන මෙසේ සාක්ෂි සපයන සිතුල්පව්ව පිළිබඳව නිසි පුරාවිද්‍යා ගවේෂණයක් කරන්නට රාජ්‍ය අනුග්‍රහය ලැබී නැත. එය එසේ වී නම් මීට වඩා රෝහණ ඉතිහාසය මතු වනු ඇත.

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon