පාද යාත්‍රාවේ පැමිණි බැතිමතකුට මහ රෑ කාලි මෑණියන් දර්ශනය වූ හැටි කාලි මෑණි අනුහස්් ගැන මහේන්ද්‍රසාමි කියන රහස්

  👤  3664 readers have read this article !
2018-08-19

ශිව දෙවියන්ගේ භාර්යාව උමයංගනාව හෙවත් පාර්වතිය වේ. ඔවුහු කෛලාසකූටයේ වාසය කරති. ශිවට දාව පාර්වතිය දරුවන් දෙදෙනකු බිහි කළාය. එම දරුවෝ ස්කන්ධ කුමාර සහ ගණේෂ නම් වෙති. ඇතැම් හින්දු ලබ්ධිකයො ස්කන්ධ කුමාර සහ ගණේෂ කාලි මාතාවගේ දරුවන් ලෙස විශ්වාස කරති. ඔවුන් එසේ සිතන්නේ කාලි මාතාව යනු පාර්වතිය මැයි සලකාය. එනමුදු මෙම මතයට එකඟ නොවන පිරිසක්ද සිටිති. ඔවුන්ගේ මතයට අනුව කාලිය පාර්වතියගේ අවතාරයක් (දිෂ්ටියක්). පාර්වතිය සමහර අවස්ථාවල තම දේව ස්වරූපය වෙනස් කර කාලිය නම් යක්ෂ වේශයෙන් පෙනී සිටින බව ඔවුහු විශ්වාස කරති. මේ නිසා ස්කන්ධ කුමාර සහ ගණේෂ කාලියගේ දරුවන් ලෙස පිළිගැනීම ඔවුහු ප්‍රතික්ෂේප කරති.

කාලිදාස ප¾ඩිතුමන් විසින් රචිත කුමාර සම්භවයෙහි දැක්වෙන පරිදි හිමාල පර්වතය හා සම්බන්ධ දෙවියාගේ දියණිය පාර්වතියයි. සකල ස්ත්‍රී ලාවණ්‍යයෙන් යුතුව වැඩෙන ඇය ශිව දෙවියන්ගේ පියඹ වන බවට නාරද සෘෂිවරයා අනාවැකියක් පළ කරයි.

මෙයින් සතුටට පත්වන පර්වත දෙවියා හිමාලයේ තවුස්දම් රකින ශිවට උවටැන් කිරීම පිණිස තම දියණිය (පාර්වතී) ශිවට උවටැන් කිරීම පිණිස යවයි. මේ අතර තාරක නම් අසුරයාගේ බලය නිසා දෙවිවරු පීඩාවට පත්වෙති. ඔවුහු මහා බ්‍රහ්මයා වෙත ගොස් තාරක අසුරයා වනසන ලෙසට ආරාධනා කරති. එහෙත් එය කළ නොහැකි වන්නේ මහ බඹු විසින් මේ වනවිටත් තාරක අසුරයාට වරයක් දී තිබෙන බැවිනි. එලෙස දී ඇති වරය ආපසු ගැනීම ආර්ය චාරිත්‍රයක් නොවන බැවින් මහබඹු කියා සිටින්නේ ශිවට දාව පාර්වතියට උපදින කුමාරයකුට පමණක් අසුරයා විනාශ කළ හැකි බවය. ධ්‍යානයට සමවැදී සිටින ශිව අවදි කර ඔහු තුළ පාර්වතිය කෙරෙහි ප්‍රේමය ජනනය කරවීම සඳහා දෙවිවරු අනංග නම් කාම දෙවියාගේ පිහිට පතති. පාර්වතියගේ උවටැන් ලබමින් සිටින ශිව කරා ගිය අනංගයා ශිවගේ හද සිදුරු කිරීම පිණිස මල් දුන්නෙන් හී සරයක් යවන්නට සැරසෙයි.

ඒ සමඟම ශිව තම ලලාටාක්ෂියෙන් ගිනි සර යවා අනංගයා අළු කර දමයි. ඒ සැණින් පාර්වතිය දුටු ශිව ඇයගේ රූපලාවණ්‍යයෙන් මත් වී ඇය විවාහ කර ගනී. පසුව ඇයට ඉපදුණු ස්කන්ධ කුමරා තාරක අසුරයා මරා දෙවිවරුන්ගේ අභිලාෂය ඉටුකර දෙයි.
හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පවසන්නේ මෑණියන් පිළිබඳ විවිධ කතා දේව සාහිත්‍යයේ සඳහන් වන බවයි.

"කාලි මෑණියන් දැකපු අය මේ කෝවිලට ඇවිත් විස්තර කියනවා. ඒවා ඇත්තයි. මාත් ඇයව දැක තිබෙනවා. දැඩි භක්තියෙන් ඇය අදහන අයටයි එහෙම පෙනෙන්නේ" කී මහේන්ද්‍රසාමි සෑම වසරකම කතරගම පාද යාත්‍රාවේ යෙදෙන පුද්ගලයකු කෝවිලේ දී මට හඳුන්වා දුන්නේය.

ඔහු දෙහිවල පදිංචිකරුවෙකි. වසර 5ක් තිස්සේ කතරගමට යන පාද යාත්‍රාවේ ගමන් ගන්නෙකි. තමා විටින් විට මෑණියන් දැක ඇතැයි ඔහු පවසයි.

"මම දැන් අවුරුදු පහක් තිස්සේ කතරගම පාද යාත්‍රාවේ යනවා. අපි යන්නේ පේදුරුතුඩුවේ ඉඳන්. කතරගම දෙවියන්ට බාරහාර වෙලා භක්තියෙන් තමයි අපි යන්නේ. අපි කැලය මැදින් තමයි අපි යන්නේ. අතරමඟදී තවත් කට්ටිය අපේ නඩයට එකතු වෙනවා. කතරගමට යන කොට විශාල පිරිසක් අපට එකතු වෙලා. දවසක් අපි පේදුරුතුඩුවේ ඉඳලා ගමන පටන් ගත්තා. කාර්තිව් කෝවිල ළඟ නැවතිලා පූජෝපහාර දීලා එදා රෑ කෝවිල භූමියේ නැවතිලා විවේක ගත්තා. එතකොට මහ රෑ. අනෙක් කට්ටිය ගමන් මහන්සිය නිසා හොඳටම නිදි. මට නින්ද ගියේ නෑ. කාලගුණය එදා තරමක් උණුසුම්. දවසේ වැඩ අවසන් නිසා කෝවිලේ ප්‍රධාන ‍ෙදාර වසා දමලායි තිබුණේ. බැතිමතුන් දල්වපු පහන් කෝවිල් බිමේ අෑත තවමත් දැල්වෙමින් තිබුණා. ඒවා තිබුණේ තරමක් අෑතින් නිසා අප සිටි තැනට ඒවායේ ආලෝකය වැටී තිබුණේ නෑ. අපි ඉන්න හරියේ තිබුණේ ගන අඳුරයි.

මම ඉන්න තැනින් අඩි කිහිපයක් ඉස්සරහින් එක්වරම ඡායාවක් මතුවුණා. එය අපැහැදිලිවයි පෙනුණේ. තත්ත්පරයකින් එය පැහැදිලිව පෙනුණා. ඒ සිටියේ කාන්තාවක්. ඇයගේ ස්වරූපය බියකරු එකක්. මම හොඳටම බය වෙලා ඒ දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවේ මම නිදාගන්න ලෑස්ති වී පැදුරක් මත හාන්සි වෙලායි හිටියේ. එක්වර මට පෙනුණු ඒ බියකරු කාන්තාව එයාගේ බඩ ඇතුළෙන් මිනිස් ඔළුවක් එළියට ගන්නවා මම දැක්කා. මම හොඳටම බය වුණා. කර කියා ගන්න දෙයක් නැතිව ඔහේ බලා හිටියා. මගේ ඇඟ පණ නැතිව යනවා වගේ දැනුණා. ඒ දර්ශනය ඒ තරම්ම බියකරුයි.

ඊට පස්සේ ඒ බියකරු කාන්තා රූපය අතුරුදන් වෙලා වේලායුදයක් පෙනුණා. ඒ එක්කම කාලි මෑණියන් වැඩ ඉන්නවා මම හැබැහින්ම දැක්කා. ඒ රූපය හරියටම අපි අර පින්තූරවල දකින කාලි මෑණියන් වගේ. හරිම ලස්සනයි. මගේ බය කොහෙන් ගියාද දන්නේ නෑ. මම දෑත් එකතු කරගෙන වැඳගෙන නැඟිටින්න උත්සාහ කළා. ඒ දර්ශනය හොඳටම බලාගන්න. ඒ එක්කම ඒ දර්ශනය නැතිවෙලා ගියා. මට හොඳටම විශ්වාසයි මම ඒ දැක්කෙ මෑණියන් කියලා. අපේ නඩයේ හැමෝමත් ඒක විශ්වාස කළා. මුලින්ම දුටු දර්ශනය එක දිගටම පෙනුණා නම් බයටම මගේ හදවත නවතින්න තිබුණා. වේලායුදයත් මෑණියන්ගෙ සෞම්‍ය ලස්සන රූපයත් පස්සේ දැක්ක නිසා බය නැතිවෙලා මගේ හිතේ භක්තියක් මතුවුණා. මට විශ්වාසයි ඒ වෙලාවේ මම දැක්කෙ හීනයක් නොවෙයි කියලා" ඔහු පැවැසීය.

නන්දන තෙන්නකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon