අද සමාජයට අපි අලුතෙන් උප්පැන්න සහතික හදන්න ඕනෑ - චාල්ස් දයානන්ද

  👤  3547 readers have read this article !
2018-08-19

සංලාපය - අජිත් නිශාන්ත

- චිත්‍ර ශිල්පියකු, ගුරුවරයකු මෙන්ම චිත්‍ර කලාව පිළිබඳ කෘතීන් ගණනාවක සහ සිරගත දිවියේ අත්දැකීම් ඇසුරින් රචනා කරන ලද 'සිපිරි ගෙයක මතක සටහන්' නමැති කෘතියේ කතුවරයාද වන චාල්ස් දයානන්ද රචනා කළ ප්‍රථම නවකතාව 'පිටස්තරයෝ' සහ 'ඉබේ ලියැවුණු කවි' කාව්‍ය සංග්‍රහය අගහස් ප්‍රකාශන ලෙස පළ වී ඇත. මේ කෘතීන් පිළිබඳව කතුවරයා සමඟ කළ සංලාපයකි මේ.

ඔබේ ප්‍රථම නවකතාව බිහි වන නිර්මාණ පසුබිම කුමක්ද?

සාහිත්‍යකරුවෙක්වත්, සාහිත්‍ය නිර්මාණ කරපු කෙනෙක්වත් නොවන මම ලේඛකයෙක් බවට පත් වුණෙත් චිත්‍ර කලාව සම්බන්ධව අධ්‍යාපනික පොතපත ලිවීමෙන්. මෙයට කලින් මම චිත්‍ර කලාව සම්බන්ධ අධ්‍යාපනික පොත්පත් සහ ලිපිලේඛන රචනා කරලා තියෙනවා. හැබැයි මෙයට පෙර කවදාවත්ම සාහිත්‍ය නිර්මාණ රචනා කරලා තිබුණේ නැහැ. දැනට වසර කිහිපයකට පෙර සාහිත්‍ය නිර්මාණයකට කිට්ටු කෘතියක් මා අතින් නිර්මාණය වුණා.

'සිපිරි ගෙයක වසර හයක්' නමින් පළ වුණු ඒ කෘතියෙන් මගේ සිරගත දිවියේ අත්දැකීම් රැසක් මතක සටහන් විදියට ඉදිරිපත් වුණා. මම 71 කැරැල්ලට අහු වෙලා අවුරුදු හයක් හිරේ හිටිය කාලය තුළ ලැබූ ඒ අත්දැකීම් ඇසුරු කරගෙන අවුරුදු හතළිහකට පස්සේ, ඒ කියන්නේ මට වයස අවුරුදු හැට විතර වුණාට පස්සෙ තමයි මේ කෘතිය මගෙ අතින් නිර්මාණය වුණේ. මගේ වයස, කාලය සහ සාහිත්‍යමය දැනුම කියන සියලු දේ මිශ්‍ර වෙලා ඒ කෘතිය මගේ අතින් ලියැවුණේ සාහිත්‍ය කෘතියක් හා සමානවයි. එය කියවපු හැම කෙනෙක්ම මට කිව්ව ඒ කෘතිය හරිම ලස්සනයි, හරියට සාහිත්‍ය කෘතියක් වගෙයි කියලා. ඒ නිසා සාහිත්‍යමය භාෂාත්මක ලිවීමකුත් මා තුළ තියෙනවාය කියලා මටත් දැනුණා. ඒත් එක්ක තමයි මම මේ සාහිත්‍ය නිර්මාණකරණයට ඉබේ පිවිසීගෙන යන්නේ.

මෙය ඔබේම පෞද්ගලික අත්දැකීම් ඔස්සේ රචනා වූ නවකතාවක්ද?

මේ පොත ලිවීමට අවශ්‍ය වස්තු බීජය ගොඩනැඟෙන්නේ මගේ ජීවිත කාලය තුළදී මා අත්විඳි එක්තරා සිද්ධියක් ඔස්සේයි. එය කාලයක් තිස්සේ මගේ හිතේ තදබල විදියට රැව්පිළිරැව් දුන්න සිද්ධියක්. මම ගුරුවරයෙක් විදියට වැඩ කරන කාලෙදි මාත් එක්ක එකට වැඩ කරපු ඉතා දක්ෂ ගුරුවරයෙක් හිටියා. ඔහු උපතින් දෙමළ ජාතිකයෙක්. හැබැයි ඔහු සිංහල සමාජයේ සිංහල මිනිසුන් එක්ක ඉතාම සමීපව කටයුතු කළ සුන්දර මිතුරෙක්. ඇත්තෙන්ම ඔහු ඉතාමත්ම වටිනා මනුස්සයෙක්. හොඳ චරිතයක්, ඉතා ආදර්ශවත් සහ හොඳ පෞරුෂයක් තිබුණු මනුස්සයෙක්. හැබැයි මේ මනුස්සයගේ විවාහයෙන් පසුව ඔහුගේ ජීවිතය කඩාකප්පල් වුණා. ඊට පස්සෙ ඔහු පිස්සෙක් බවට පත් වෙලා අධික විදියට බොන්න පටන් අරගෙන, අවසානයේදී හිඟන්නෙක් විදියට මහ පාරේ මැරිලා වැටුණා. මේක මට තදබල කම්පනයක් ඇති කළ සිදුවීමක් වුණා. ඇයි මෙහෙම වුණේ, මේකට හේතුව මොකක්ද කියලා හිතනකොට මේ තුළ කිසියම් ජාතිවාදී මූලයක් තිබෙනවා කියලා මට පෙනුණා. ඔහු විවාහ වුණේ සිංහල කාන්තාවක් සමඟයි. විවාහ පසු කාලයේදී ඒ විවාහය කඩාකප්පල්වීම ඔහුගේ මරණයට හේතු වුණාය කියලා මට හිතෙනවා. ඒ වගේම තවත් අත්දැකීම් කිහිපයකුත් මට අත්දකින්න ලැබුණා. සමහර දෙමළ - සිංහල විවාහවලින් බිහි වෙන දරුවෝ ඔවුන් මුහුණු දුන් ගැටලු ගැන මාත් එක්කම කියලා තියෙනවා. සමහර තරුණයො කියනවා තාත්ත දෙමළ වුණාට මට නම් දෙමළ වෙන්න බැහැ කියලා. එවැනි තත්ත්වයක් මේ සමාජය තුළ තියෙන්නෙ ඇයි? ඒ මූල බීජය වස්තු කරගෙන කිසියම් ප්‍රබන්ධමය ආකෘතියක් මා අතින් ගොඩනැඟුණා. ඒ තුළ යම් යම් සත්‍ය සිද්ධීන් තියෙනවා.

උදාහරණයක් වශයෙන් 83 ජූලි කෝලාහලය සහ ඒ ආශි්‍රත සිද්ධීන් මේ කතාව ඇතුළෙ තියෙනවා. ඒවා සත්‍ය සිද්ධිනෙ. හැබැයි ඒ සත්‍ය සිද්ධීන් තුළට ප්‍රබන්ධ වූ චරිත ඇතුළු කරලා ඒ ඔස්සේ මේ පිළිබඳව සාකච්ඡාවක් ගෙන යෑමටයි මම උත්සාහ අරන් තියෙන්නෙ. ඒක සාර්ථකද අසාර්ථකද කියලා මම දන්නෙ නෑ.

ඒ සැබෑව ප්‍රබන්ධය දක්වා ගෙන යෑමේදී පරිකල්පනය යොදාගත්තේ කුමන ආකාරයටද?

මෙහිදී උපයෝගී කරගත් මූලික සංකල්පීය තත්ත්වය වුණේ මේ රටේ තිබෙන්නා වූ මේ ජාතිවාදය නිසා ඇති වුණ බිහිසුණු සමාජ බෙදීමයි. ඒ බිහිසුණු සමාජ බෙදීම මානව ඛේදවාචකයක් දක්වා ගමන් කරනවා. ඒ ගමන් කිරීමේ එක්තරා අවස්ථාවක් තමයි මම ඔය පාදගත්තෙ. එහෙම නම් ඒ ඔස්සේ තවත් පුළුල්ව හිතා බැලුවොත් අපි දන්නා අවුරුදු හැටක පමණ කාලයට අදාළ දේශපාලන ඉතිහාසය තුළ මෙවැනි ඛේදවාචක ගණනාවක්ම මේ රටේ සිද්ධ වුණා. ඒ නිසා මම මේ නවකතාවේදි නිර්මාණය කළේ තනිකරම සිහින කල්පනා ලෝකයක් නෙමෙයි. මේ සැබෑව ප්‍රතිනිර්මාණය කිරීමක්. අපි අත්දුටු සැබෑව මේ නවකතාවේ තියෙනවා. උදාහරණ විදියට 1958 දෙමළ කෝලාහලය, 77 දෙමළ කෝලාහලය, 81 යාපනය පුස්තකාලය ගිනි තැබීම සහ 83 මහා කෝලාහලය වගේ අවස්ථා අපි සැබෑ ලෙසම දැකලා තියෙනවා. ඒ හැම එකකින්ම මේ රටේම අහිංසක ජනතාවක් පීඩා වින්දා.

එක්තරා ජනතාවක් ඒ විදියට පීඩා විඳිද්දි තවත් ජනතාවක් සතුටට පත් වෙන මේ ක්‍රමය මොකක්ද, මේක මහා අමානුෂික ක්‍රමයක් නේද කියන හැඟීම් මා තුළ ඇති වුණා. ඒවා ගැන ලියන්න අවශ්‍ය කරන සිද්ධීන් ඕනෑ තරම් මේ සමාජයේ තියෙනවා. කරන්න තියෙන්නේ ඒ සිද්ධීන් අරගෙන නිසි ආකාරයට ගළපලා සත්‍ය පරිකල්පනයක් ඒ තුළ ගොඩනඟන එක විතරයි.

මේ නවකතාව හරහා ඔබ උප්පැන්න සහතිකය පිළිබඳ බරපතළ විවේචනයක් මතු කරනවා?

මේ සමාජයේ අපි තවම ජීවත් වෙන්නෙ හරි නොදියුණු ගෝත්‍රිකයන් පිරිසක් විදියටයි. භෞතික වශයෙන් දියුණු වුණාට අපි ආධ්‍යාත්මික වශයෙන් තවම ගත කරන්නෙ වහල් ජීවිත. අපි ආධ්‍යාත්මික වශයෙන් තවම ඉන්නේ වැඩවසම් යුගයක. නමුත් යුරෝපයේ දියුණු, ධනේශ්වර රටවල මේ තත්ත්වය නැහැ. මේ නොදියුණුභාවය තුළ ජාතිවාදය, ආගම්වාදය සහ කුලවාදය ක්‍රියාත්මක වෙමින් එක්තරා පිරිසක් පීඩාවට පත් කිරීමක් සිදු වෙනවා. නම් ඒක කොයි තරම් මානව ඛේදවාචකයක්ද? ආගමක්, ජාතියක් හෝ කුලයක් මුල් කරගෙන මිනිසුන් අතර බෙදීමක්, සදාකාලික වෛරයක් ඇති වෙනවා නම් සහ ඝාතන පවා සිද්ධ වෙනවා නම් ඒක කොයි තරම් ඛේදජනක තත්ත්වයක්ද? එතකොට අපි කොච්චර නොදියුණු මිනිස්සුද? මෙන්න මේ නොදියුණු භාවය ඇතිවීමට හේතුව මොකක්ද කියලා මම කල්පනා කරලා බැලුවා. ඒ බලනකොට මම දැක්කා ඇත්ත වශයෙන්ම අපේ රටේ තියෙන මේ උප්පැන්න සහතිකය ඉතාම නරකම ලියැවිල්ලක් බව. උප්පැන්න සහතිකයේ අහන ප්‍රශ්නවලින් ජාතිවාදය, ආගම්වාදය සහ කුලවාදය වැනි දේවල් අවුස්සනවා. උදාහරණයක් විදියට ජාතිය කුමක්ද කියලා ඇහුවාම මිනිස්සු ලියන්නේ මොකක්ද? සිංහල, දෙමළ හෝ මුස්ලිම් කියලනෙ ලියන්නෙ. නමුත් ඒක නෙවෙයිනෙ කියැවෙන්න ඕනෙ. ජාතිය මොකක්ද කියලා ඇහුවාම ලියැවෙන්න ඕනෙ ශ්‍රී ලාංකික කියලා.

හැබැයි මෙලෝ ආගමක් ගැන දන්නෙ නැතිව උපදින බෞද්ධ ළමයෙක් හරි ක්‍රිස්තියානි ළමයෙක් හරි නම් කරන්න මේ සමාජයට තියෙන අයිතිය කුමක්ද? ඒකයි මම ප්‍රශ්න කරන්නෙ. එතකොට උප්පැන්න සහතිකයේ තියෙන ඊළඟ එක තමයි වාසගම. වාසගම ඇතුළෙ කුලය සැඟවෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඔය වාසගම් දුන්නේ වැඩවසම් යුගයේදී ආරච්චි මහත්තුරුනෙ. ඒ කියන්නේ ගම් මුලාදෑනින්නෙ. ළමයෙක් ඉපදිච්ච ගමන්. ආ ඕකට අහවලාගේ අහවලා කියලා හෝ අහවල් කුලයේ අහවල් එකා කියලා නම දාපන් කියලා කියනවා. ඒ කියන්නෙ ඒක තමයි වාසගම. අපේ සිංහල සමාජයේ තිබුණට ඇත්තටම දෙමළ මිනිස්සු ගාව ඔය ක්‍රමය නැහැ. දෙමළ මිනිස්සුන්ගෙ තියෙන්නෙ තාත්තගේ නම පුතාට හිමි වෙන විදියෙ ක්‍රමයක්.

කෘතියේ පළමුවැනි කොටස ළමාවිය පිළිබඳ විස්තරයක් සඳහා වෙන් කිරීමට හේතුව කුමක්ද?

මම මේ නවකතාවේ දෙවැනි කොටසෙන් එන්නේ කිසියම් චින්තනමය ප්‍රකාශනයකටයි. ඒ ඔස්සේ මම මතු වෙන්නේ ජාතිවාදයට එරෙහි වූ විඥානයක්. මේ විඥානය මා තුළ ගොඩනැඟුණු ආකාරය පොතේ ප්‍රවේශය කියන කොටසෙන් විස්තර කෙරෙනවා. උප්පැන්න සහතිකය සහ ඒ ආශි්‍රත තර්ක ඔක්කොම එමඟින් ඉදිරිපත් කරනවා. ආකෘතිමය වශයෙන් ඒ කොටස මුලට යෙදීම සුදුසුද, අගට යෙදීම සුදුසුද කියලා මම දන්නෙ නැහැ. එහෙම යොදන එක සුදුසුයි කියලා හිතුණු නිසා මම එහෙම යෙදුවා. පළමුවැනි කොටසට ළමා කාලය පිළිබඳ දීර්ඝ විස්තර ඇතුළත් කළේ අනෙක් මිනිසුන්ට වඩා වෙනස් ආකාරයට සිතන්න මා පුරුදු වුණු ආකාරය ගැන කියන්නයි.

කෘතියේ පළමුවැනි කොටස සහ දෙවැනි කොටස අතර පවතින සම්බන්ධතාව?

පළමුවැනි කොටසෙන් මගේ ළමා කාලය අවසන් වෙනවා. හැබැයි ඒ කාලය තුළදී මගේ ජීවිතයට එකතු වුණු දේවල්වල ආලෝකය කෘතියේ දෙවැනි කොටස තුළ දකින්න ලැබෙනවා. පසු කාලයක මට හමුවූ චරිත අතරින් කුලවාදය, සමාජයේ අසම්මතය හෝ ජාතිවාදය නිසා පීඩාවට පත්වූ මිනිසුන්ගේ චරිත කෘතියේ දෙවැනි කොටසෙදි ඉදිරිපත් කෙරෙනවා. එතකොට ඒ හරහා සමාජයේ තියෙන මහා ඛේදවාචකයට මම පිවිසෙනවා.

කෘතියේ අගභාගයේ සඳහන් වන ජීවිතය කැත ව්‍යාපාරයක්. භයානක කුමන්ත්‍රණයක් යැයි යන ප්‍රකාශය ගැන විශේෂයෙන් යමක් කියනවා නම්?

සම්මත සමාජය ගත්තාම අපි මේ ජීවත් වෙන්නෙ පරිහානියට යමින් පවතින යුගයකයි. සමාජය ක්‍රමිකව සංවර්ධනය නොවීමේ විපාක අපි අද විඳිනවා. අද අපේ ඇඟ තියෙන්නෙ එක තැනක, චින්තනය තියෙන්නෙ තව තැනක. සමස්ත වශයෙන් ගත්තාම ඉතාමත්ම අප්‍රිය සහගත විදියට මහා පහත් මට්ටමකට සමාජය ඇද වැටිලා තියෙනවා. අපි දියුණු ශිෂ්ටාචාරයක් සහිත මිනිස්සු කියලා කිව්වට එන්න එන්න දියුණු වෙනවා නෙවෙයි., එන්න එන්නම නොදියුණු භාවයේ පත්ලට අපි ගමන් කරමින් සිටිනවා. ගෙවී ගිය 70 සහ 80 දශකයේ තරුණයන් හැටියට, මැදිවියේ මිනිසුන් හැටියට අපි ඉතාමත්ම ප්‍රබුද්ධ සමාජයක ජීවත් වුණා. මහගමසේකරලා, සරච්චන්ද්‍රලා, මාර්ටින් වික්‍රමසිංහලා ජීවත් වුණු හොඳ කවි ගීත ලියැවුණු සහ අමරදේවලා ගී කියපු හොඳ යුගයකයි අපි ජීවත් වුණේ. මහගමසේකර කලින් දවසෙ ලියපු කවිය අපි පහුවදාට සාකච්ඡා කරන මට්ටමක් එදා තිබුණා. එවැනි ප්‍රබුද්ධ සමාජයක් එදා තිබුණා. එදාට සාපේක්ෂව අද සමාජය විශාල වශයෙන් පිරිහිලා. සමාජය මේ ගමන් කරන්නෙ කොහෙටද කියලා හිතාගන්නත් බැහැ. මේ සියල්ල තුළ ඉතාමත්ම කැත දේශපාලන ව්‍යාපාරයක් සහ ඉතාමත්ම කැත ආගමික ව්‍යාපාරයක් තියෙනවා.

අපේ බෞද්ධාගම කියන එක ඉතාම විශිෂ්ට ආගමක්. ඇත්ත වශයෙන්ම මේ නවකතාවෙන් ඒ ගැන සඳහන් වෙනවා. අපේ ලොකු හාමුදුරුවො කළ මෙහෙවර ගැන මේ නවකතාවෙන් කියැවෙනවා. ඒ ලොකු හාමුදුරුවන්ගේ චරිතය සත්‍ය චරිතයක්. එවැනි චරිත ඇසුරේ වැඩෙමින් ජීවිතය අත්විඳපු අපට දැන් වයසට යනකොට අද සිදුවෙමින් පවතින මේ පිරිහීම පැහැදිලිව පෙනෙනවා. සමාජයේ අද පවතින තත්ත්වය දකිනකොට මේ ජීවිතය කැත ව්‍යාපාරයක් කියලා එදා මැක්සිම් ගෝර්කි කියපු වදන් අද මට යළිත් සිහි වෙනවා. අන්න ඒ නිසායි මම ඔය සඳහන මගේ නවකතාවටත් යොදාගත්තෙ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon