කාලය තරණය කර යෑමේ අදහගන්න බැරි කතා

  👤  3769 readers have read this article !
2018-08-19

කාලය හරහා ගමන් කිරීම බොහෝ වසර ගණනාවක සිට ලෝකය පුරා කතාබහට ලක්වූ මාතෘකාවකි. මිනිසාට කාලය හරහා ගමන් කළ හැකිද? යන්න බොහෝ විවාදයන්ට බඳුන් වී ඇත. කාලය හරහා ගමන් කිරීම සිදුවිය හැකි සංසිද්ධියක් බවට බොහෝ මත ඉදිරිපත් වී ඇත. මේ මතය ඉදිරිපත් කරන අය ඔවුන්ගේ මතය සනාථ කිරීමට විවිධ කරුණු ගෙන හැර පාති. ඒ අතර ඡයාරූප ප්‍රධාන වේ. අතීතයේ සිට මේ දක්වා විවිධ අද්භූත ඡායාරූප ප්‍රසිද්ධියට ලක්වී ඇත. ඒ අතර සමහර ඡායාරූපයන්ට පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට පවා අපහසු වී ඇත්තේ ඒවායේ අද්භූතජනක බව නිසාමය. මේ සමහර ඡායාරූප කාල තරණයට සාක්ෂි ලෙස යොදා ගැනේ.

එක්දහස් නවසිය හතළිස් ගණන්වලදී පාලමක් විවෘත කරන අවස්ථාවක ලබාගත් ඡායාරූපයක එක්තරා පුද්ගලයෙක් අව් කණ්ණාඩි පැලඳ, ටී-ෂර්ට් එකකින් හා ජැකැට්ටුවකින් සැරසී සිටිනු දක්නට ලැබේ. මෙහි සිටින අනෙක් සියලු පුද්ගලයන් පැරැණි කාලයේ ඇඳුම්වලින් සැරසී සිටින අතර මේ පුද්ගලයා පමණක් අසාමාන්‍ය ලෙස දිස්වේ. පුදුමයට කරුණ නම් එකල අව් කණ්ණාඩි භාවිතයක් නොතිබීමයි. මේ සියලු කරුණු අනුව එම පුද්ගලයා අනාගතයෙන් පැමිණි අයකු සේ සැලකේ. එසේම වසර 1928 තිරගත වූ චාලි චැප්ලින්ගේ චිත්‍රපටයක කාන්තාවක් ජංගම දුරකථනයක් වැනි යමක් කන තබාගෙන සිටින අයුරු දැක්වෙන දර්ශනයක් ඇතුළත් වී තිබෙන අතර ජංගම දුරකථන පිළිබඳව අදහසක් හෝ නොමැති එවැනි අතීතයක මේ දර්ශනයේ සිටින්නේ අනාගතයෙන් පැමිණි අයකු බවට මත පළවී තිබේ. එසේම වසර එක්දහස් නවසිය තිස් ගණන්වලදී කර්මාන්ත ශාලාවක සේවයෙන් පසු පිටතට ගමන් ගන්නා කාන්තාවන් පිරිසක් ඡායාරූපයට නඟා තිබිණි. ඒ අතරින් එක් කාන්තාවක් ජංගම දුරකථනයකින් කතා කරමින් ඉදිරියට ගමන් කරනු පැහැදිලිවම ඡායාරූපයට නැඟී ඇත. මෙයද කාල තරණයට ප්‍රබල සාධකයක් බව බොහෝ දෙනාගේ අදහස වී ඇත. මේ සිදුවීම් දෙකෙහිම ඇත්තේ අද්භූතජනක ස්වභාවයකි. මන්ද ජංගම දුරකථන ගැන සිතා හෝ නොමැති යුගයක මේ ඡායාරූප ගෙන තිබීම අතිශය පුදුමසහගතය. එසේම වර්ෂ 1,800දී අඳින ලද සිතුවමක පුද්ගලයකු අත සී.ඩී. තැටියක් වැනි යමක් තිබෙනු දක්නට ලැබීමද අද්භූතජනක සිදුවීමක් ලෙස සැලකේ. එසේම වසර 400ක් පමණ පැරැණි සොහොන් බිමක කරන ලද කැණීමකින් නවීන පන්නයේ ස්විස් ඔරලෝසුවකට සමාන භාණ්ඩයක් හමුවී තිබේ. මේ සියල්ල කාල තරණය සැබෑවක් බවට සනාථ කෙරෙන සාධක බවට විශ්වාස කෙරේ.

කාල තරණය පිළිබඳ නවතම පුවතක් බි්‍රතාන්‍ය එක්ස්ප්‍රස් පුවත්පත පසුගිය දාක වාර්තා කර තිබිණි. ඒ තමා කාල තරණය කරන්නෙක් යැයි කියාගන්නා පුද්ගලයකු සම්බන්ධයෙනි. නෝවා නමින් හැඳින්වෙන මෙම පුද්ගලයා තම වාසගම මාධ්‍යයෙන් වසන් කරන බව සඳහන් වේ. ඔහු පවසා සිටින්නේ තමා අනාගතයට ගමන් කිරීම උදෙසා තම ජීවිතය පවා අනතුරේ හෙලූ බවයි.

අනාගත ලෝකයේ තාක්ෂණය කෙසේදැයි සොයා බැලීමට ඔහු මෙසේ අනාගතය කරා ගමන් කර, වැඩිදුරටත් ඔහු පවසා සිටින්නේ "මම කිසිවකුත් රැවටීමට බලාපොරොත්තු වන්නේ නෑ. මගේ එකම අරමුණ කාල තරණය යථාර්ථයක් බව ඔප්පු කිරීම පමණයි. මම කාලය තරණය කරන්නෙක්. නෝවා පවසන පරිදි කාල තරණය යථාර්ථයක් වී ඇත්තේ වර්ෂ 2003 වසරේදීය. එය රහසිගත සංවිධාන මඟින් පොදු ජනතාවගෙන් සඟවාගත් කරුණක් වී ඇත. වර්ෂ 2028 වන තෙක් කාල තරණය පිළිබඳ රහස ජනතාවගෙන් සඟවා තැබෙනු ඇත. නෝවා පවසන්නේ කාල තරණය දුෂ්කර කාර්යයක් බවත් ඒ හේතුවෙන් තමා විශාදය තත්ත්වයට පත්වූ බවත්ය. එසේම තමාගේ තරුණ පෙනුම වියැකී ගිය බවත් එය රැක ගැනීමට තමාට බෙහෙත් පවා ලබා ගැනීමට සිදු වූ බවත්ය. "වර්ෂ 2028දී මේ සංවිධාන පිළිගන්නවා කාල තරණය ඇත්තක් බව. ඊට පස්සෙ පොදු මහජනතාවට එය විවෘත කරනවා" නෝවා පවසයි. නෝවා පවසන පරිදි වර්ෂ 2021දී සාමාන්‍ය උපැස් යුගලක් පරිද්දෙන් සැකසෙන පරිගණක කරළියට පැමිණෙනු ඇත. එසේම ඔහු පවසන්නේ වසර 2020න් පසුවද නැවත ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි. බොහෝ දෙනා මෙය විශ්වාස නොකළද මෙය සියයට සියයක්ම සත්‍ය බවට ඔහු දිවුරා සිටී. සිය කතාව අවසානයේ නෝවා හැමදෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කිරීමට අමතක නොකරයි. නෝවාගේ කතාවෙන් පෙනී යන්නේ කාල තරණය සත්‍යයක් බවද? නෝවා පවසන්නේ කාල තරණය යථාර්ථයක් බවට වර්ෂ 2028දී මහජනතාවට හෙළිවන බවයි. එසේ නම් නෝවාගේ කතාව සත්‍යක්ද බැලීමට වසර 2028 වනතුරු බලා සිටීමට සිදුවනු ඇත.

එල්. ජයසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon