බස් ත්‍රස්තවාදය

  👤  3595 readers have read this article !
2018-08-19

ත්‍රස්තවාදය පරාජය කළ බවට කොතරම් උදම් ඇනුවත් තවමත් මේ රටේ මිනිස්සු විවිධාකාර ත්‍රස්තවාදයන්ට මුහුණ දෙති. මේ දිනවල ජනතාව මුහුණ දෙන්නේ මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවාවේ ත්‍රස්තවාදයටය. ඇත්ත වශයෙන්ම ඔවුන් ත්‍රස්තවාදියෝය. ඔවුන්ට අණක් ගුණක් නැත. ඔවුන් තළන්නේ, පෙළන්නේ, දඩයම් කරන්නේ මගී ජනතාවය.

මේ දිනවල අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන නිසා මගී ප්‍රවාහන සේවාවන් නිසි වේලාවට විධිමත්ව පැවැත්විය යුතු බව මගී ප්‍රවාහන සේවාවේ නියැළෙන්නන් දත යුතුය. එහෙත් ඔවුහු එය තුට්ටුවකට මායිම් නොකොට අසරණ සිසු දරුවන්ගේ බෙල්ලට පිහිය තබන්නාක් මෙන් බස් වර්ජනයක් ආරම්භ කළහ. ගිය සතියේ ආණ්ඩුවේ දුම්රිය සේවාව වර්ජනයක නිරත විය. එයින් රටට සිදුකළ පාඩුව රුපියල් කෝටියකි. ආණ්ඩුව බස් මුදලාලිලා නටවනවාද, බස් මුදලාලිලා ආණ්ඩුව නටවනවාද කියා තෝරා බේරා ගන්නට බැරි තරමට මේ සිදුවීම ජුගුප්සාජනකය.

මෙවර බස් සංගම් වර්ජනයකට පිවිස සිටින්නේ මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන්ගෙන් අය කරන දඩ මුදල් අඩු කරන ලෙස බල කරමිනි. සෑම ආකාරයකම මාර්ග නීති සඳහා අය කරන දඩ මුදල් වැඩි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද්දේ පසුගිය ජනවාරි මාසයේය. දැන් මාස අටක් ගෙවුණු තැන හදිසියේම වර්ජනයක් පටන් ගැනීම ප්‍රහේලිකාවක් බව ප්‍රවාහන ඇමැති කියා තිබේ. ඔහු පවසන්නේ නීති කඩනවා නම් දඬුවමක් නියම කිරීම ඕනෑම රටකට පොදු බවය. නීති ඉවත් කරන්නට, අඩු කරන්නට බස් සංගම් කරන ඉල්ලීමට ආණ්ඩුව එකඟ වෙනවා නම් ඉදිරියේදී මිනීමරුවන් හා ස්ත්‍රී දූෂකයන්ද දඬුවම් අඩු කරන ලෙස ඉල්ලන්නට ඉඩ ඇති බවද ඇමැති පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව සාකච්ඡා කර ප්‍රශ්න විසඳන්නට ඉදිරිපත් නොවීමෙන් වැඩ වර්ජන හට ගන්නා බවය. ඒකාබද්ධ විපක්‍ෂය වැඩ වර්ජන රැල්ල පිටුපස සිටින බවට ආණ්ඩුවේ ඇමැතිවරයකු නැඟූ චෝදනාවට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති පවසන්නේ තමන් වර්ජන පිටුපස සිටියා නම් ඔහොම වර්ජන අවසන් වෙන්නට ඉඩ නොතබන බවය. කෙසේ වුවද සැඟවිය නොහැකි සත්‍ය වන්නේ මේ රටේ බලයට පත් කිසිදු ආණ්ඩුවකට පෞද්ගලික මගී ප්‍රවාහන සේවාව විනයක් ඇති මහජන සේවාවක් බවට පත් කරන්නට නොහැකි වීමයි. අද එය දඩාවතේ දුවන පිස්සු බල්ලකුගේ තත්ත්වයට වැටී තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශය, ගමනාගමන කොමිෂන් සභාව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, පළාත් මගී ප්‍රවාහන ආයතන ආදී මහජන මුදල් කාබාසිනියා කරන ආයතන හැටහුටහමාරක් තිබුණත් තවමත් බසයට නඟින මගියාට ගෙවූ මුදලට සරිලන ටිකට්පතක් දෙන්නට හැකි වී නැත.

පිටත් වන වේලාවක් නැත. ගමනාන්තයට ළඟාවන වේලාවක් නැත. බිම් කළුවර වැටෙන විට පෞද්ගලික බස් ආගිය අතක් නැත. ඔවුන්ට ඕනෑ වෙලාවට පාරට එති. නියමිත ගාණ තළා ගත්තාට පසු බස් රථය පාරෙන් ඉවත් කර ගනී. මිනිසුන්ට මාසේ වැටුප ත්‍රීවීල්වලට පුදන්නට සිදුවේ. පසුගිය මැයි මාසයේ ඉන්ධන මිල වැඩිවූ විට වැඩිවන ඉන්ධන මිලට සාපේක්‍ෂව 6.56%කින් බස් ගාස්තු වැඩි කළ යුතු බවට බස් සංගම් වර්ජනයක් ඇරැඹුවේය. ආණ්ඩුව අවසානයේ මස් රාත්තලම ඉල්ලූ ෂයිලොක්ලා ඉදිරියේ දණ ගැසුවේය. අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කරගන්නට බස් මුදලාලිලා සමත් විය. ජනසතු බස් සේවාව 1978දී බිඳ දැමුවේ එ.ජා.ප. ආණ්ඩුව විසිනි. දැන් කියන්නට සිදුව තිබෙන්නේ කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කියාය. නමුත් විඳවන්නේ අසරණ මගී ජනතාව වීම කනගාටුවය.

ලොව දියුණු රාජ්‍යයන් බොහෝමයක මගී ප්‍රවාහන සේවා පවත්වන්නේ පෞද්ගලික සමාගම් විසිනි. නියමිත ප්‍රමිතීන් අනුව සේවා සැපයීමට පළාත් රාජ්‍ය ආයතන සමඟ එම සමාගම් ගිවිසුම්වලින් බැඳී සිටී. බසයේ තත්ත්වය, ගාස්තු අය කිරීම, ධාවනය විය යුතු වේලාවන්, අසුන් ගත යුතු මගීන් සංඛ්‍යාව නීතියේ නියම කර තිබේ. ලංකාවේ මෙන් අමරදාසගේ බස්, ගැමුණුගේ බස් කියා හෝ මුදලාලිගේ සහ මුදලාලිගේ පවුලගේ බස් කියා හෝ හිතුමතේ දුවන බස් වෙනත් රටවල නැත. කිසිදු මාර්ග නීතියකට යටත් නොවී පාර පුරා කුළු හරකකු මෙන් දුවන දඩ කොළ කවදාවත් නොලැබෙන පොලිස් ලොක්කන්ගේ බස්ද ඒ රටවල නැත. ඒ නිසාම රට රාජ්‍යවල ගිහින් එන අපේ අයියලාද ඒ රටවල මගී බස් සේවා ගැන ඉහළින් කතා කරති. නමුත් මෙහෙ ඔවුන්ගේ කෙරුවාව බලු වටින්නේ නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon