රම්‍ය නගරය:කොළඹ

  👤  3652 readers have read this article !
2018-08-20

ලෝකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර ලැයිස්තුවේ ලංකාවේ කොළඹ නගරයට හිමි ස්ථානය 2018 වසරේ සමීක්‍ෂණයේදී 133 දක්වා පහත වැටීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ ලොකු කතාබහක් ඇතිවී තිබේ. මේ පිළිබඳව මත දක්වන්නන් සිය අදහස් පළ කරන්නේ කිසිදු විද්‍යාත්මක පදනමක පිහිටා නොවන බව පෙනේ.

මේ පිළිබඳ කෙරෙන ඇතැම් විවේචන අනුව ජීවත්වීමට සුදුසු නගර ලැයිස්තුවේ කොළඹ නගරයට හිමි ස්ථානය 140න් පහළට වැටුණොත් ලෝකයේ ජීවත්වීමට නුදුසුදු නගර අතරට කොළඹ වැටෙන බව සමහරකු ප්‍රකාශ කර තිබිණි. ඉහත සමීක්‍ෂණය වාර්ෂිකව සිදු කරනුයේ ගෝලීය ආර්ථික සමීක්‍ෂණ ඒකකය (Economist Intelligence Unit
Annual Global Survey)මඟිනි. ඔවුන්ගේ 2018 වාර්තාවට අනුව ලෝකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර 10 අතරට පිළිවෙළින් වියානා, මෙල්බෝන්, ඔසාකා, කැලගරි, සිඩ්නි, වැන්කුවර්, ටොරොන්ටෝ, ටෝකියෝ, කෝපන්හේගන් සහ ඇඩිලේඩ් නම් කර තිබේ.

ලංකාවේ මේ සම්බන්ධව මත පළ කරන ඇතැමුන් සිතා සිටින්නේ නගරයේ කුණු, රථවාහන තදබදය සහ අපවිත්‍ර කානු නිසා කොළඹ පහත වැටෙනවා ඇත යනුවෙන් බව පෙනේ. 'කලකට ඉහත අප ඉතා හොඳ තත්ත්වයක සිටියා. දැන් පහළට යනවා' යනුවෙන් ඔවුන් අර්ථ දක්වන්නට වෑයම් කරන බව පෙනේ. නමුත් සත්‍ය තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය.

ලෝකයේ ජීවත්වීමට සුදුසු නගර 100 අතරට හෝ කොළඹ නගරය ගෙන එන්නට නිදහසින් පසු ගෙවුණු වසර 70 තුළ මේ රට පාලනය කළ කිසිදු පාලකයකුට නොහැකි විය. අතීතයේ සේද මාවතේ ප්‍රධාන වරාය නගරයක් වූ කොළඹ, අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ කොළඹ, අරාබි, පර්සියන්, ද්‍රවිඩ, පෘතුගීසි, ලන්දේසි, ඉංගී්‍රසි ආදී විවිධ ජාතීන් එකට වෙළෙ¼දාම් කළ කොළඹ ජීවත්වීමට නුසුදුසු නගරයක් බවට පත් කිරීමේ වගකීම භාරගත යුත්තේ ආණ්ඩු බලය හෙබවූ දේශපාලන පක්‍ෂ මිස වෙන කිසිවකු නොවේ.

කොළඹ නගරය ජීවත් වන්නට නුසුදුසු නගරයක් වන්නේ නම් ඊට වගකිව යුත්තෝ බහුතරයක් වෙති. 1937 ආර්. සරවනමුත්තුගේ සිට 2018 රෝසි සේනානායක දක්වා නගරාධිපතිවරුන් 27 දෙනකු කොළඹ නගරයේ පුරපතිකම් දරා ඇත. ආචාර්ය එන්.එම්. පෙරේරා, ජෝර්ජ් ආර්. ද සිල්වා, වින්සන්ට් පෙරේරා, වී.ඒ. සුගතදාස, කුමාරන් රත්නම්, කරු ජයසූරිය වැනි දැවැන්තයෝද ඒ අතර වූහ. කොළඹ ලොව හොඳම නගරය කරන්නට ඔවුහු අසමත් වූහ.

ගෝලීය ආර්ථික සමීක්‍ෂණ ඒකකය හොඳ නගරයක් මනින ප්‍රමිතීන් මොනවාද යන්න අපේ අවධානයට යොමුවිය යුතුය. ඔවුන්ගේ වාර්තා දක්වන අන්දමට සැලකිල්ල යොමු කරන්නේ නගරයක දේශපාලන ස්ථාවරභාවය, සමාජ ස්ථාවරත්වය, අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය ආරක්‍ෂාව සහ අපරාධ සිදුවන්නේද යන කාරණා සම්බන්ධයෙනි.
කොළඹ නගරය සොබා සුන්දරත්වයෙන් අනූන වෙරළාසන්න නගරයකි. ඊට දීර්ඝ ඉතිහාසයක් ඇත. නගරයේ පෞරාණික වටිනාකම්ද ඉහළය. නමුත් මේ රම්‍ය නගරය අපරාධ බහුල, මහ දවල් හිටි අඩියේ මිනිසුන් මහමඟ වෙඩි තබා මරා දමන චිකාගෝවක් බවට පත් කිරීමේ වගකීම භාර ගත යුත්තේ නගරය පාලනය කළ උදවිය මිස පුරවැසියන් නොවේ.

අද කොළඹ මත්ද්‍රව්‍ය බෙදාහරින, මත්ද්‍රව්‍ය පාරාදීසයක් බවට පත්ව තිබේ නම් එයටද ඔවුන් වගකිව යුතුය. ජීවත්වීමට සුදුසුම නගර ගැන සුසුම්ලනවාට වඩා අපේ නගරය සුජාත මිනිසුන් වසන රම්‍ය නගරයක් බවට පත්කර ගැනීමට ප්‍රථමයෙන් තීන්දු කළ යුත්තේ නගරවාසීන් බව වටහා ගත යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon