විශේෂ අධිකරණය සහ හොරුන් ඇල්ලීම

  👤  3743 readers have read this article !
2018-08-22

සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවේ තෙවර්ෂ පූර්ණය නිමිත්තෙන්දැයි නොදන්නා නමුත්, මහ පරිමාණ වංචා, දූෂණ නඩු අහන විශේෂ මහාධිකරණය ඊයේ අධිකරණ ඇමැතිනි නීතිඥ තලතා අතුකෝරල අතින් විවෘත කෙරිණි.

මේ ප්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය (ඊපඪචතචබ ඕචප) පිහිටුවීමට ආණ්ඩුව තීරණය කළේ වංචා, දූෂණ නඩු ප්‍රමාද වීම මඟහැරවීමේ අරමුණ ඇතිවය. අධිකරණය හමුවේ ඇති නඩු ගොඩටම දමා වංචා, දූෂණ නඩු ඇසීමට යෑම නිසා ගෙවුණු වසර තුනේ දූෂකයන්, වංචාකාරයන් නිදැල්ලේ සිටිනවා හැර අන් යමක් සිදුවූයේ නැත. 'සිල් රෙදි' සිද්ධිය හැර අන් කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් තීන්දුවක් ලබා ගැනීමට වසර තුනක් ගත වුවද නොහැකි විය.

මේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩුව වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ගාමිණි සෙනරත් ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරන ලද නඩුව විභාගයට ගැනීමට නියමිත බව දැනගන්නට ඇත. "ලිට්රෝ ගෑස්" සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ මේ නඩුව පවරා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු ආණ්ඩු විරෝධී පක්‍ෂ හා සංවිධාන චෝදනා කරන්නේ මේ විශේෂ මහාධිකරණයේ අරමුණ විපක්‍ෂයේ පිරිස් දඩයම් කිරීම බවය. 1971 කැරැල්ලෙන් පසු සමඟි පෙරමුණු ආණ්ඩුව මෙවැනි විශේෂ අධිකරණයක් 'අපරාධ යුක්ති කොමිෂන් සභාව' නමින් පිහිටුවනු ලැබීය. එවක විපක්‍ෂය මෙවැනිම චෝදනාවක් ආණ්ඩුවට එල්ල කළේ විශේෂ අධිකරණ අනවශ්‍ය බව පවසමිනි.

විපක්‍ෂයේ තෝරාගත්තවුන් මර්දනය කිරීමේ වුවමනාවක් ආණ්ඩුවට ඇත්දැයි නිශ්චිතව කිව නොහැකිය. බලය ඇත්තන් බලය රැක ගැනීමට නොකරන දෙයක් නැත. විපක්‍ෂය නමකට අභියෝගයක් බව දැනුණු විට එදා මෙදාතුර බලයේ සිටි සෑම ආණ්ඩුවක්ම කළේ නියමින් හා අනියමින් විපක්‍ෂය මර්දනය කිරීමය: විපක්‍ෂයේ කැපී පෙනෙන්නන් බිලිබා ගැනීමය. ඒ නිසා විපක්‍ෂයේ ඇතැම් පක්‍ෂ හා විවිධ සංවිධාන කරන චෝදනාව එකවර බැහැර කළ නොහැකිය.

කල් වරමින් සිට හෝ පිහිටුවූ විශේෂ මහාධිකරණ තුළින් වංචා, දූෂණ නඩු අසා වැරැදිකරුවන් වේ නම් ඔවුන්ට දඬුවම් දිය හැකිය. නිවැරැදිකරු වුවහොත් ඔවුන්ට චෝදනාවලින් නි‍ෙදාස් වීමට මින් අවස්ථාව ලැබේ. විපක්‍ෂය පවසන ආකාරයට බොරු චෝදනා එල්ල කරමින් මඩ ගැසීමට ඉන් පසු කිසිවකුට ඉඩ නොලැබෙයි. චෝදනාවලට ලක්ව තැවි තැවී සිටිනවාට වඩා චෝදනාවලින් නිදහස් වී සමාජය හමුවේ දෙපයින් සිට ගැනීමට අවස්ථාව ලැබීම කාහට වුවද හොඳය.

වසර ගණන් නඩු අසමින් සිටීම පැමිණිලිකරුවන්ට මෙන්ම විත්තිකරුවන්ටද හිසරදයකි. යුක්තිය ඉටුවීම පමා වීම අයුක්තියකි. ඒ අර්ථයෙන් මේ විශේෂ මහාධිකරණයට විරුද්ධ විය හැක්කේ යුක්තිය, සාධාරණය අවශ්‍ය නැති වංචා දූෂණයට රුචි නරුමයන්ට පමණි.

යුක්තිගරුක සමාජයක් ගොඩනැඟීමට නම් වංචා, දූෂණ අවම වූ වඩා සාධාරණ ක්‍රමයක් රටේ පැවැතිය යුතුය. ඒ සඳහා පළමුව කළ යුත්තේ වංචනිකයන්ට, දූෂකයන්ට දඬුවම් දීමය. කවරකුට හෝ බොරු චෝදනා එල්ල කර ඇත්නම් ඔවුන්ව ඉන් නි‍ෙදාස් කිරීමය. ධනය, බලය නොසලකා පාලකයන් යුක්තිගරුකව කටයුතු කිරීමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon