බස්නාහිර 'මැජික් පුටුව'

  👤  3660 readers have read this article !
2018-08-23

'පුටු' අවශ්‍ය වන්නේ වාඩි වීමටය. බිම වුවද වාඩි විය හැකි නමුත් වැඩි වෙලාවක් බිම වාඩි වී සිටීම අසීරුය. 'පුටු' හදා ඇත්තේ ඒ නිසාය. ලී කෑලි දෙක තුනකින් හදන පුටුවල සිට සුපිරි 'පුටු' දක්වා විවිධාකාරයේ 'පුටු' ලෝකයේ ඇත. 'පස්ස' තැබීමට වුවද පුටුව ලක්ෂ ගණන් වියදම් කර තනන්නෝ සිටිති.

රජවරුන් එකල අසුන්ගත් පුටුව 'සිංහාසනය' විය. මැති-ඇමැතිවරුන් ඇතුළු ඉහළ නිල දරන්නන් සැප පුටුවල අසුන් ගැනීමට කැමැතිය. විශේෂයෙන් මැති-ඇමැතිවරු ඊට දැඩි කැමැත්තක් දක්වති. ඊට හේතුව සිහසුන් පිළිබඳව ඇති ළැදියාව විය යුතුය.

බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ට වාඩිවීමට පුටුවක් රුපියල් 6,40,000කට මිලදී ගැනීමට තීරණය කර ඇත්තේ ඒ නිසා යැයි සිතිය හැකිය. අනාවරණය වී ඇති පරිදි මේ එක් පුටුවක සැබෑ වටිනාකම රු. 2,90,000කි. බෙල්ජිය මේ සිට නැව් මඟින් ගෙන්වා, සවිකිරීම දක්වා යන වියදම හා බදු මුදල් අය වන විට පුටුවක වටිනාකම රු. 6,40,000ක් වේ.

පළමුවැනි ප්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රි පුටුවලට සමාන පුටුවක් බස්නාහිර පළාත් සභාවට අවශ්‍යද යන්නය. බෙල්ජියමෙන් ආනයනය නොකර ලංකාවේ මෙවැනි පුටුවක් නිෂ්පාදනය කළ නොහැකිද යන්න දෙවැනි ප්‍රශ්නයයි. අවසන් ප්‍රශ්නය මන්ත්‍රි 'පස්සට' මෙතරම් 'සැප' අවශ්‍යද යන්නය.

බස්නාහිර පළාත් සභා සීමාවේ නොවිසඳුණු, දැවෙන ප්‍රශ්න ඕනෑ තරම් ඇත. වැසිකිළි නැති, පානීය ජලය නැති, විදුලිය නැති, විද්‍යාගාර, ක්‍රීඩා පහසුකම් නැති පාසල් බස්නාහිර පළාතේ ඇත. පානීය ජලය අඩු, මාර්ග හරිහැටි නැති, විදුලි බලය නැති ගම්මාන තිබේ.

බස්නාහිර පළාත් සභාවේ මුදල් ඕනෑ තරම් ඇතැයි මහ ඇමැතිවරයා මාධ්‍යවලට කියා තිබිණි. ප්‍රශ්නය වන්නේ ඒ මුදල්වලින් පළමුව කළ යුත්තේ 'සැප පුටු' ගෙන්වීමද යන්නය.
වැදගත්ම කාරණය එය නොවේ. මේ 'සැප පුටු' යෝජනාවට බස්නාහිර පළාත් මහ ඇමැති ඇතුළු මන්ත්‍රිවරුන් අති බහුතරය අත් දෙකම එසැවීමය. විරුද්ධ වී ඇත්තේ මේ සැප පුටු කතාව රටට හෙළි කළ ජවිපෙ මන්ත්‍රිවරුන් හය දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ කණ්ඩායමේ මන්ත්‍රිවරු දෙදෙනකු පමණි. හිටපු මහ ඇමැති උපාලි කොඩිකාර හා ජනක වැලිවත්ත විරුද්ධ වූ 'ඒකාබද්ධ'යේ දෙදෙනාය. එහිදී උපාලි කොඩිකාර විරුද්ධ වී ඇත්තේ මහරගම ආසනයේ සිය ප්‍රතිවාදියා වන ඉසුර දේවප්‍රිය නිසා විය යුතුය. ජනක වැලිවත්ත මන්ත්‍රිවරයා විරුද්ධ වූයේ කුමක් නිසාද යන්න නොදන්නා නමුත් ඔහුටත්, ජවිපෙ මන්ත්‍රිවරුන්ටත් බස්නාහිර පළාතේ මෙන්ම රටේම යුක්තිගරුක ජනතාවගේ ප්‍රශංසාව හිමි විය යුතුය. එය 'පුටු' ගෙන්වීමට විරෝධය පළ කිරීමටත් වඩා ඡන්ද දායක ජනතාව පිළිබඳව ඔවුන්ට තවමත් ළැදියාවක් පැවැතීම හා බැඳීමක් ඉතිරිව තිබීම නිසාය.

මේ පුටු යෝජනාව ගැන ඇතිවූ විවාදයේදී එක් විපක්ෂ මන්ත්‍රිවරයකු පෙන්වා දී ඇත්තේ පළාත් නිලධාරීන්ට තීරුබදු රහිත වාහන ලබාදී තිබෙන බවත් සභාවේ කාලය අවසන් වීමට ඇත්තේ සුළු කාලයක් වුවද මන්ත්‍රිවරුන්ට 'වාහන' ලබාදී නැති බවත්ය.

පක්ෂ-විපක්ෂ භේදයකින් තොරව මේ මන්ත්‍රිවරුන් අති බහුතරයට අවශ්‍ය පස්ස තැබීමට සැප පුටුය. සුවසේ ගමන් යෑමට සුපිරි වාහනය. ඒ හැර පළාත් සභාවේ කාලය අවසන් වීමට ප්‍රථම ජනතාවගේ හිතසුව පිණිස කිරීමට නොහැකි වූ වැඩ මොනවාදැයි ඔවුන් සිතන බවක් පෙනෙන්නට නැත. ඡන්ද දායක ජනතාව සබුද්ධික විය යුත්තේ මෙවැනි ඊනියා මහජන නියෝජිතයන් ගැනය. එහෙත් තවමත් සැලකිය යුතු පිරිසකට මේ ඇත්ත ගැන අවබෝධයක් නැත. එය රටේ අවාසනාවය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon