ඛාන්ලා සහ කන්නලා

  👤  4713 readers have read this article !
2018-08-23

මේඝනාද

රටක් වශයෙන් පාකිස්තානය ලබා ගත්තේ ජයග්‍රහණ දෙකකි. ඒ සයිඩ් අහමඩ් ඛාන්ගේ දැක්මෙන්, මොහොමඩ් අලි ජින්නාගේ නාමයෙන් 1947දී ඉන්දියානු මුස්ලිම් ජනතාවගේ නිජබිම ලෙස පාකිස්තානය නිර්මාණය වීම සහ 1992දී ඉම්රාන් ඛාන්ගේ විප්ලවීය නායකත්වයේ නාමයෙන් විල්ස් ලෝක කුසලානය දිනා ගැනීමයි.

හැමෝම බනිද්දී... වසීම් අක්‍රම්, ඉන්සමාම් උල් හක් වගේ කෝඩුකාරයන් ටිකකුත් තියාගෙන පිටියට බැස්ස ඉම්රාන් ඛාන් පළමුවැනි තරග හතරම පරාජයට පත් වූයේ ය. අවසන් පූර්ව වටයේදී නවසීලන්තය පරාජය කරමින් ගේම අතට ගත් ඉම්රාන් ලෝක කුසලානය අතට ගත්තේ එංගලන්තයත් ගෙදර යවලා ය. හිතුවක්කාර ඉම්රාන් ඛාන් 1992දී ලෝකයම කැලඹුවේ එහෙම ය.

1992දීම ලෙදර් බෝලෙයි, බැට් එකයි පැත්තකින් තිබ්බ ඛාන් 1996දී දේශපාලන ගේමක් පටන් ගත්තේ ය. 'තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්' නමින් දේශපාලන පක්ෂයක් හදාගත්තු හිතුවක්කාර ඉම්රාන්ට 1997 මහ මැතිවරණයෙන් එක ආසනයක්වත් දිනා ගන්නට බැරි විය. 2002 මැතිවරණයෙන් යන්තම් එක ආසනයක් දිනාගත්තේ ය. ඒකත් ඔහුගේ නමට ය. 2008 මහ මැතිවරණය මඟහැරිය ඉම්රාන් 2013 ඡන්දෙන් ආසන 35ක් දිනා ගත්තේ ය. මුලින් රැඩිකල් මතවාදයක සිටි ඉම්රාන් පසුව ජනතාවට සමීප දේශපාලනයකට මාරු වෙන්න තීරණය කළේ ය. වසර 22ක් ඉවසූ ඉම්රාන් 2018 ඡන්දයෙන් ආසන 115ක් දිනා ජයග්‍රහණය කර පාකිස්තානයේ අගමැති පුටුවේ වාඩි වුණේ ය. 'තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්' පක්ෂය පාකිස්තානු දේශපාලනයේ තෙවැනි බලවේගය බවට පත් කළ ඉම්රාන් අවසානයේ මහ පක්ෂ පරාජය කරමින් මැච් එක දිනුවේ එහෙම ය.

ලංකාවත් එක්ක ගත්තාම ඉම්රාන් වාදනය කළ තැටියෙයි, රනිල් වාදනය කළ තැටියෙයි ලොකු වෙනසක් පේන්නට නැත.

"අපේ ණය බර මේ වන විට ටි්‍රලියන 28ක්. ගතවූ දස වසරේදී තරම් ඉතිහාසයේ කිසිම දිනෙක අප ණය වී නැහැ" ඉම්රාන් කිව්වේ එහෙම ය.රනිල් කිව්වෙත් ඕකම ය. රනිල් දැන් කියන්නෙත් ඕකම ය.

ඉම්රාන් පංචවිධ න්‍යාය පත්‍රයක් ගෙනාවේ ය.

1. නීතියේ ආධිපත්‍යය.

"නීතිය සැමටම සමාන විය යුතුයි."

2. සකාත්.

ප්‍රගතිගාමී බදු ක්‍රමයක්. ධනවතුන් දුප්පතුන්ට උපකාර කරනු පිණිස වැඩියෙන් බදු ගෙවිය යුතුයි. හොඳ සෞඛ්‍ය සේවයක්, හොඳ අධ්‍යාපනයක් සහ සැමට යුක්තිය.

3. සානුකම්පිත බව.

"බටහිර රටවල මිනිසුන්, සතුන්ව පවා හොඳින් රැක බලා ගන්නවා. සතුන්ටත් ගෙවල් තියෙනවා. ඒ රටවල සත්තු, මෙහෙ මිනිසුන්ට වඩා හොඳින් ජීවත් වෙනවා. අප මේ පාඩම් ඉගෙන ගත යුතුයි."

4. විපාක ලැබීම.

"පාලකයන් සිය වගකීම්වලට අවංක විය යුතුයි. ඔවුන් සත්‍යවාදී විය යුතුයි. බටහිර රටවල මෙම නීති තිබෙනවා. නමුත් අපේ රටේ පාලකයන් බලයේ සිටියදී අසාමාන්‍ය ලෙස ධනවත් වන හැටි ඔබට පෙනෙනවා"

5. අධ්‍යාපනය.

"ශුද්ධ වූ මුහම්මද්තුමා බාදර් හි සටනෙන් පසු තමන්ගේ ජනතාවට අධ්‍යාපනය ලබාගන්නා ලෙස පැවැසුවා. නමුත් අද අප දිහා බලන්න. අපි එතුමාගේ උපදෙස් පිළිනොගත් නිසා අපට යන එන මං නැතිවෙලා."

එහෙම කිව්ව ඉම්රාන්, වැඩේ පටන් ගත්තේම ප්‍රැක්ටිකල් න්‍යායෙන් ය. 524ක් වූ අගමැති කාර්ය මණ්ඩලය 2ට අඩු කළේ ය. අගමැති නිවෙස විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්නට දී හමුදා ලේකම්ගේ ගෙදර නතර වුණේ ය. අගමැති කාර්යාලය සතු වාහන 80 වාහන 2කට අඩු කර, වෙඩි නොවදින වාහන වෙන්දේසියට දැමූ ඉම්රාන් "අපිට ගුවනින් යන්න හෙලිකොප්ටර් තිබෙනවා. අහස් යානා තිබෙනවා. හැම සුඛෝපභෝගී පහසුකමකින් යුත් රාජකීය මාලිගා තිබෙනවා. එක පැත්තකින් බැලුවාම අපේ රටේ ජනතාවට වියදම් කරන්න අපිට සල්ලි නැහැ. එහෙත් අපේම රටේ තවත් කොටසක් යටත් විජිත පාලකයන් වගේ ජීවිත ගත කරනවා. බලන්න අපේ පාලකයෝ ජීවත් වන හැටි. බලන්න කොපමණ මුදලක් ඇමැතිවරු විදෙස් සංචාර සඳහා වියදම් කරනවාද? ඒ සඳහා රුපියල් මිලියන 650ක් පමණ වියදම් කරලා. කථානායකගේ වියදමට කියලා රුපියල් මිලියන 160ක් අය-වැයෙන් වසරකට වෙන් කරනවා. මොනවටද මේ. ඔවුන්ට පිටරටවලට ගිහිල්ලා ඉඩම් අත්පත් කරගන්නද? මට හිටි සේවකයන් 524න් මම තියා ගත්තේ දෙන්නයි. මම ජීවත් වෙන්නෙ කාමර 3කින් යුත් නිවෙසක. මම පාවිච්චියට තියා ගත්තේ වාහන 2ක් පමණයි. එහෙම කරන්නෙත් මගේ ජීවිතයට තර්ජන ඇති බව ආරක්‍ෂක උපදේශකයන් කියන නිසයි. මගේම ගෙදර ඉන්න මම හිතාගෙන හිටියත් මට එහෙම ඉන්න එපා කියලා ආරක්‍ෂක අංශ බල කළා. මගේ ආණ්ඩුව අනෙක් සියලුම වෙඩි නොවදින වාහන වෙන්දේසි කරනවා. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට කියනවා ඇවිත් ඒවා මිලදී ගන්න කියලා. ආණ්ඩුවට අයත් මැති ඇමැතිවරුන්ගේ නිවාස හැකි පමණ සරල මට්ටමට ගෙන එන්න මම කටයුතු කරනවා. ජාතික මට්ටමෙන් රටේ වියදම් අඩු කළ හැක්කේ කෙසේද යන්න සොයා බැලීම සඳහා ආචාර්ය ඉෂ්රාම් හුසේන් යටතේ කමිටුවක් පත්කරන්නට මා කටයුතු කරනවා. මම ඔබලාට තේරුම් කරලා දෙන්න ඕන අපි විසින්ම අනවශ්‍ය දේවලට යොදවපු මුදල් අපේ රටේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් වියදම් කරන්න තිබුණා. ඒ නිසා අලුත් රටක් ගොඩනඟන්න අපි දුප්පත් ජනතාව ගැන සිතිය යුතුයි." ජාතිය අමතා කිව්වේ එහෙම ය.

මහ මැතිවරණයෙන් බලය ඉල්ලා රනිලුත් 'පංචවිධ ක්‍රියාවලියක් මහජනතාවට ඉදිරිපත් කළේ ය.

1. ආර්ථිකය දියුණු කිරීම
2. දූෂණය මුලිනුපුටා දැමීම
3. නිදහස තහවුරු කිරීම
4. යටිතල පහසුකම් සඳහා ආයෝජනය
5. අධ්‍යාපනය ඉහළ නැංවීම

එහෙම කරපු රනිල් ඇතුළු යහපාලක දිවුරුම් දෙන තැන සිටම දැම්මේ අඩු වියදම් සෝබන රංගනයක් ය. දවසෙන් දෙකෙන් පරණ හොරු ටිකම දක්කා ගත්තේ ය. ඒ මදිවට අලුත් හොරෙක් ගෙනත් මහ බැංකුවේ වාඩි කරවා මහ බැංකුව මහ දවල් සුද්ද කළේ ය. දැන් වසර 3 හමාරක්ය. නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති සේ ය.

ඉවසලා ඉවසලා අවුරුදු 10කට පස්සේ රනිල් ආයෙත් අගමැති පුටුවේ වාඩි වුණේ ය. රනිල්ගේ මාමා ජේ.ආර්. ලංකාවේ අගමැති වුණේ අවුරුදු 22ක් ඉවසලාය. ඉවසීම අතින් කොහොමත් මාමලා බෑනලා කප්පිත්තෝ ය. ප්‍රශ්නය තියෙන්නේ මාමලා බෑනලාගේ ඉවසීමේ නොව අරමුණේ ය. ඉවසල ඉවසල අවුරුදු 22කට පස්සේ ඉම්රාන් පාකිස්තානයේ අගමැති වුණේ ය. ඉම්රාන්ගේ ඉවසීම ඇතුළේ දැක්මක් තිබුණේ ය. ඉම්රාන් ඉවසුවේ ජනතාව වෙනුවෙන් ය.

"දිනකට දෙවතාවක් කෑම කන්න බැරි අය ගැනත් හිතන්න අපි පුරුදු වෙන්න ඕන. මිලියන 25ක් දරුවෝ පාසලෙන් එළියට ආවට පස්සේ මොකද කරන්නේ කියලා අපි හිතන්න ඕන. අපේ ජනගහනයට වෙන්නේ මොකක්ද කියලා අපි හිතන්න ඕන. එක පැත්තකින් අපිට මිනිස්සුන්ට වියදම් කරන්න සල්ලි නෑ. අනෙක් පැත්තෙන් යටත්විජිත ස්වාමියෝ වගේ ජීවත් වෙන්න හුරුවෙච්ච පිරිසක් අපට ඉන්නවා" ඉම්රාන් යථාර්ථය දැක්කේ එහෙම ය.

රනිල්ගේ මාමා ජේ.ආර්. කළෙත් දැන් රනිල් කරන දේමය. ඒ කාලේ ජේ.ආර්. ලංකාව සුරපුරයක් කරනවා කියා කයිය ගහද්දී ඒක දිහා බලාගෙන හිටපු ලී-ක්වාන් යූ මඩ ගොහොරුවක තිබුණු සිංගප්පූරුව රන් තැටියක් උඩ තැබුවේ ය. දැන් රනිල් යහපාලනයෙන් ලංකාව සුරපුරයක් කරනවා කියා කයිය ගහද්දී ඒක දිහා බලාගෙන හිටිය ඉම්රාන් නියම යහපාලනයෙන් පාකිස්තානය රන් තැටියක තබනවාට සැකයක් නැත. රනිල්ලාගේ බොරු යහපාලනයෙන් ලංකාව එක තැන පල් වෙද්දි, යහපාලන ගුණධර්ම ටික එකතු කර ගත්ත ඉම්රාන් ප්‍රමුඛ පාකිස්තානය, දකුණු ආසියාවේ සුපිරි රාජ්‍යයක් බවට පත් කරන දිනය වැඩි අෑතක නොවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon