සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  4003 readers have read this article !
2018-08-24

ජේ.ටී. ද සිල්වා ,රුචිර ඩිලාන් මධුශංඛ

අමරදේවයන්ගේ දර්ශනය සමඟ
ඉදිරියට යා යුතුයි
ජනාධිපති

"අමරදේවයන්ගේ දර්ශනය සමඟ ඉදිරියට යා යුතුයි. අනාගත පරපුරට එම දර්ශනය දායාද කළ යුතුයි" ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

ශ්‍රී ලංකා ජන සංගීතය හා ඉන්දියානු සංගීත අනන්‍යතාව සහිත සුනම්‍ය සංගීතයක් දායාද කිරීමට එතුමාට හැකි වුණා. අමරදේව දර්ශනය නොමැරී නොමැකී ඉදිරියට ගෙන යෑමේ අරමුණින් මේ සංගීත පර්යේෂණ කේන්ද්‍රය ඉදිකරනවා.

අමරදේවයන් කළ ජාතික යුග මෙහෙවරට එදත්, අදත්, හෙටත් ඔහුට ගෞරවය පුද කළ යුතුයි. මේ රටේ සංගීත කේෂ්ත්‍රයේ විද්වතුන්ට, ප්‍රාඥයන්ට අමරදේවයන් මහා ආදර්ශයක්. එතුමා ජාත්‍යන්තරයෙන් සම්මාන රාශියක් ලබා ගත්තා. එවැනි යුග පුරුෂයෙක් ගැන යළි සිහිපත් කිරීමට ලැබීම සතුටට කරුණක්. අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය ඉදිකිරීම තුළින් එතුමන්ගේ දර්ශනය ඉදිරියට ගෙන යෑමට විශාල පිටිවහලක් වේවි. රජයක් විසින් වෙන කිසිම කලාකරුවකුට මෙවැනි මධ්‍යස්ථානයක් ඉදිකර නෑ. අමරදේවයන්ගේ දර්ශනය ලොවට හඬ ගා කියන්නට මෙම මධ්‍යස්ථානය පිටිවහලක් වේවි. "ඔබගෙන් සමුගෙන මම යන්නම්" කියලා එතුමගේ ප්‍රසිද්ධ ගීතයක් තියෙනවා. මම මේ වෙලාවේ කියනවා ඒ ගීතයේ වගේම එතුමාගේ දර්ශනයෙන් වෙන් වෙන්නට අප කිසිදු කෙනකුට පුළුවන්කමක් නෑ. එතුමාගේ දර්ශනය අනාගත පරපුරට දායාද කරමින් අමරදේව කේන්ද්‍රය ඉදිරියේදී ඉදිකිරීමට රජය කටයුතු කරනවා.

ග්‍රාමීය ණයගැතිභාවය
අද ගැටලුවක්
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක

"ගම්මට්ටමෙන් ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම මඟින් මුදල් ලබාගෙන කුඩු ව්‍යාපාරය හැර වෙනත් ව්‍යාපාර සාර්ථක කරගත නොහැකි යැයි" විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පැවැසීය.
"ග්‍රාමීය ණයගැතිභාවය අද ගැටලුවක් වෙලා. යාපනයේ සියදිවි නසාගැනීම්වලට එය ප්‍රධාන හේතුවක්. පොලී අධික, භයානක ණය යෝජනා ක්‍රම ගම් මට්ටමෙන් ක්‍රියාත්මක වෙනවා."

"නියඟයෙන් හානිවූ දිස්ත්‍රික්ක 11ක ක්ෂුද්‍ර මූල ණය ගත් අයට සහනයක් දෙන්න තීරණයක් ගෙන තිබුණත් අද මේ ණයවල හිරවී සිටින්නේ එම දිස්ත්‍රික්කවල ජනතාව පමණක් නෙවි. මේ තීරණය නිසා ණය මුදල කපා ගැනීමටත්, පොලිය දරා ගැනීමටත් සිදුවී තිබෙන්නේ ඒ මුදල් ලබාදුන් මූල්‍ය ආයතනයි. ඔවුන් එයට එකඟ වෙයිද යන ගැටලුව තිබෙනවා."
"රජයේ මෙම කොන්දේසිවලට අනුව සමාගම් මෙම සහනය ලබානොදීමට ඉඩ තිබෙන බව ණය ලබාගත් අය පවසනවා."

මුදල් ඇමැති මංගල සමරවීර
"ඔවුන් සමඟ අප කළ සාකච්ඡාවලදී එකඟවුණා. හැත්තෑපන්දහසකට පමණ මෙයින් සහනයක් සැලසෙනවා."

අනුර කුමාර දිසානායක
"කඩාවැටුන මූල්‍ය ආයතන පිළිබඳවත්, තැන්පත්කරුවන්ගේ අසරණභාවය පිළිබඳවත් අවධානය යොමුවී නැහැ. ඒ ගැනත් වේගවත් පියවරක් ගන්න ඕන.
"අමරදේව සංගීත පර්යේෂණ ආයතනය පිහිටුවන පනතට අපි අපේ සහාය ලබාදෙනවා"

රුපියල අද මස්තබාල්දු වෙලා
මන්ත්‍රි බන්දුල ගුණවර්ධන

"ඉන්දියාවේ ජාතික ගීය ලියූ රවීන්ද්‍රනාත් තාගෝර්තුමා වීරයෙක් බවට පත්වෙද්දී ලංකාවේ ජාතික ගීය ලියූ ආනන්ද සමරකෝන් මහත්තයාට සියදිවි හානිකර ගන්න සිදුවුණා" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසීය.

"අමරදේව පදනමක් පිහිටුවීම වැදගත් දෙයක්. ඒ ගැන ඒකාබද්ධ විපක්ෂය සතුට පළ කරනවා"
"රුපියල අද මස්තබාල්දු වෙලා. අද ඩොලරයේ අගය රුපියල් 161ක් වෙලා. අපි රජය භාරදුන් අවස්ථාවේ ඩොලරය එකසිය හතළිස් ගණන්වල තිබුණේ"
"සිංගප්පූරු ගිවිසුම නිසා කසළ මෙරටට ගෙන ඒමට අවස්ථාව සැලසී තිබෙනවා. මේ ගිවිසුම රටට අහිතකර ගිවිසුමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති කිහිපයක්ම මේ ගිවිසුම නිසා උල්ලංඝනය වී තිබෙනවා"

"මේ ගිවිසුමේ වගන්ති ක්‍රියාත්මක කිරීම අපට අත්හිටුවීමට බැහැ. එවැනි අවස්ථාවකදී බේරුම්කරණය සඳහා සිංගප්පූරුවට යන්න වෙනවා. එවැනි අවස්ථාවකදී මේ ගිවිසුම යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයකුට අවුරුදු දහයක් මේ රට තුළ රැඳී සිටිමින් ව්‍යාපාරය පවත්වාගෙන යෑමට ඉඩ සැලසෙනවා"

මුදල් රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා
"මේ රටට කුණු ගෙන ඒමට එම ගිවිසුම යටතේ හැකියාවක් නැති බව වගකීමෙන් කියනවා"

වාරණ දාන්න එපා කියලයි සංස්කෘතික ඇමැතිතුමාගෙන් ඉල්ලන්නේ
ඇමැති මංගල සමරවීර

"තරුවන් සරණයි" නාට්‍යයේ කිසිම වරදක් නෑ. බුද්ධාගමට අගරු වෙනවා කියලා ආණ්ඩුවට ගහනවා. ඒකෙන් කියන්නේ අද "තරු පස්සේ යනවා එහෙමත් නැත්නම් නළු නිළියෝ පස්සේ යන සමාජයක් තියෙන්නෙ කියන තේරුම" යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය.

කලාකරුවන් කරන සෑම නිර්මාණයක්ම අපට මිහිරි නෑ. නමුත් ඔවුන්ට නිර්මාණ කිරීමට අයිතියක් තිබිය යුතුයි. ඒ නිසා මම සංස්කෘතික ඇමැතිවරයාගෙන් ඉල්ලනවා වාරණ දාන්න එපා කියලා. මේ ඊයේ පෙරේදාත් එවැනි නාට්‍යයක් තහනම් කළා. ඒකේ වැරැදි දෙයක් නෑ. "තරුවන් සරණයි" කියන්නේ නළු නිළියන්ගේ පස්සේ යනවා කියන එක. මම ගෙන්න ගෙනම බැලුවා. කලින් මමත් බය වුණා. ඒකයි ගෙන්න ගෙනම බැලුවේ. ඒකේ ඇති වරදක් නෑ.

අනුර කුමාර දිසානායක

දැන් කවුද තහනම් කළේ. අපිද? ආණ්ඩුවද?

මංගල සමරවීර

මගේ කතාව සම්පූර්ණයෙන්ම අහගෙන ඉන්න. හැමදාම ජනතා විමුක්ති පෙරමුණට ඕක තමයි වුණේ. පොඩ්ඩක් අහලා වලිගෙ පාග ගන්නවා. ජේ.වී.පී. කාලෙත් කලාකරුවෝ ඝාතනය වුණා.

බන්දුල ගුණවර්ධන

මම රිචඩ් ද සොයිසා ඝාතනය ගැන චිත්‍රපටයක් කරන්න ගියා. කලා නිර්මාණවලට ඉඩ දෙනවා නම් ඇයි ඒක තහනම් කළේ?

මංගල සමරවීර

කවුද තහනම් කළේ. මම නම් තහනම් කළේ නෑ. ඔබතුමා ආයෙත් ඒ වැඩේ පටන් ගන්න. ඒ විතරක් නොවෙයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු හැටිත් චිත්‍රපටයක් කරන්න. එතකොට ඒ දෙකටම මම අවසර දෙන්නම්. ඒ විතරක් නෙවෙයි රු. 2,500කින් ජීවත් වීම ගැනත් චිත්‍රපටයක් හදන්න.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon